Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

පුන්තෝට්‍ටමේ දෙමළ කටහඬක්:
‘අපිට සිංහලයන් එක්ක ඉන්න දෙන්න’

බොහෝ‍ දෙනා කැමති තමන්ගේ ජාතියේ මිනිසුන් සමඟ ජීවත් වීමටය. එහෙත් විසි වසරක් තිස්සේ අවතැන් කඳවුරක දිවි ගෙවූ පුන්තෝට්ටමේ දෙමළ වැසියෝ, තමන් සිංහල ජාතිකයන් හා දිවි ගෙවීමට කැමති බව කියා සිටිති.

30.12.2016  |  
වවුනියාව දිස්ත්‍රික්කය
වී. රාජේෂ්වරී, හැකි ඉක්මනින් මෙතැනින් නික්ම යෑමට අපේක්ෂා කරන පදිංචිකාරියකි.

”ඉවර වෙන්නෑ කිය කියා හිටපු යුද්ධය ඉවර වුණා. ඒත් අපි දුක් විඳින එක ඉවර වෙන්නෙ නෑ.” වව්නියාව පුන්තෝට්ටම් අවතැන් කඳවුරේ එම්. මහෙන්ද්‍රන්, කලකිරීමද කෝපයද මුසු හඬකින් පැවසුවේය. ඉක්බිතිව ඔහු, සිය ජීවිත ඉරණම වචන කිහිපයකට කැටි කළේය.

”එදා මම පුන්තොට්ටම කඳවුරට එනකොට මට වසය අවුරුදු 17යි. දැන් 38යි. කසාද බැන්දෙත් මේ අනාථ කඳවුරෙන්. ජීවිතෙන් බාගෙකටත් වැඩියෙ දැන් ඉවරයි.”

මහෙන්ද්‍රන් වැනිම වූ තවත් පවුල් 93කට අයත් පිරිසක් පුන්තෝට්ටම් කඳවුරේ වෙසෙති. මේ පිරිස 1996 වසරේ යාපනය නිදහස් කර ගැනීමට ඇරඹි හමුදා මෙහෙයුම්වලදී අවතැන් වූවන්ය. හමුදාව විසින් ඔවුන් වව්නියා නගරාසන්නයේම වූ මෙම ස්ථානයේ පදිංචි කෙරිණි.

පසුව විවිධ අවස්ථාවල පැවති මෙහෙයුම්වලදී අවතැන්වූවන් දස දහස් ගණනින් මෙම කඳවුරෙහි පදිංචි කෙරිණි. 2010 සිට සිදුකළ නැවත පදිංචි කිරීම්වලදී ඒ හැමදෙනාටම රජයෙන් ඉඩම් හා නිවාස ලබා පදිංචි කෙරිණි. එහෙත් මුලින් ආ පිරිස තවමත් අවතැන් කඳවුරේ ය.

in-the-camp
පුන්තෝට්ටම් කඳවුර මිහිපිට අපායක් බව මහෙන්ද්‍රන් කියයි.
වෙනස් කොට සැලකීම

එදා කිලිනොච්චිය ප්‍රදේශයේ තරුණයන් අතර භද්‍ර යෞවනයේ විසූ මහෙන්ද්‍රන් අද පාසැල් යන දරු තිදෙනෙකුගේ පියෙකි. මේ හැම දෙනාම පාහේ කිලිනොච්චිය, මුලතිව් හා යාපනය ප්‍රදේශවල ව්‍යාපාරිකයින්ගේ කුලීවැඩ කරමින් දිවි ගෙවූ පවුල්ය. ඔවුන් විශ්වාස කරන්නේ, තමන්ට මෙතෙක් නිවාස හා පහසුකම් නොලැබීමට හේතුවද එයම බවයි.

බොහෝ දෙනා සිතන්නේ භේදයක් පැවැතියේ දමිළ බස කතාකරන හා සිංහල බස කතාකරන අය අතර පමණක් බවයි. එහෙත් යථාර්ථය එය නොවේ. පුන්තෝට්ටම් අවතැන්වූවන් කියන්නේ තමන්ට අසාධාරණය සිදු වුණේ එකම බස කතා කරන, එකම ආගම අදහන පිරිසකගෙන් බවයි. තමන් රජයේ තන්තෝරුවලට ගිය විට, ඇතැම් නිලධාරින් එහි පැමිණෙන විට මෙන්ම තමන් වැඩපල සොයා යන තැන්වලදීද තමන්ගේ වර්ගයාම තමන් පහත් කර සලකන බව ඔවුන්ගේ අත්දැකීමයි.

මේ වෙනස්කම්වලට හේතු වී ඇත්තේ මේ කඳවුරේ සිටින අය පැවැත එන්නේ කඳුකරයේ වතු ආශ්‍රිත ශ්‍රමික පවුල්වලින් වීමය. රජයේ රැකියා දෙන විට පවා වතුකරයේ දමිළ වැසියන් මගහැරී ඇති බව මේ තරුණයින් පවසන්නේ උතුරේ බස් ඩිපෝවල ඇති රැකියා ඇබෑර්තු පිරවූ ජන සංයුතිය නිදසුන් ලෙස දක්වමිනි.

in-the-camp2
විශාල ජනකායක් සිටි සමයේ සැපයූ ජලපහසුකම් දැන් එහි නැත.
මිහිපිට අපායක්

පුන්තෝට්ටම් කඳවුර මිහිපිට අපායක් බව මහෙන්ද්‍රන් කියයි. දොරවල් නැති, බිම සිමෙන්ති නැති, සදාකාලිකව අවහිර වූ, ගඳින් පිරි ,වැසිකිළිවලට ජලය නැත. විශාල ජනකායක් සිටි සමයේ සැපයූ ජලපහසුකම් දැන් එහි නැත. ඒ දක්වා රජයෙන් සපයා දුන් විදුලිය සඳහා අලුතින් සම්බන්ධතා ලබාගෙන බිල් ගෙවන්නට මේ ජනයාට සිදු වී ඇත. වෙනත් අයට කඳවුරේ සිටියදී රජයෙන් ලබාදුන් ආධාර ඔවුන්ට නොලැබේ. ඔවුන් පදිංචි ඇතැම් නිවෙස්  දිරාගිය තහඩු වහලවල් සහිතය. ඒ වහලවල් වලින් ජලය කාන්දු වීම වැළැක්වීමට තවත් තහඩු, ඇස්බැස්ටස් කැබලි, පොලිතීන් මෙන්ම පොල් අතුද පටවා ඇත.

ඒවා ඇතුළත ජීවිතය අහිකුණ්ඨික ජනයාගේ කූඩාරම්වලට දෙවැනි නැත. මහේනද්‍රන්ලාගේ ජීවිතයේ විවාහ කටයුතු, මධු සමය, දරුවන් තනාගැනීම, ලෙඩ රෝගවලට මුහුණ දීම, ගංවතුර හා නියං සායට මුහුණදීම, යුධ අවස්ථාවලට මුහුණදීම, අවුරුදු සැමරුම්, මළගෙවල් හා වැඳුම් පිදුම් ආදී සැමෙකක්ම සිදුකෙරුණේ මේ වර්ග අඩි සියයක්වත් නැති කුටි ඇතුළේය. සතා සර්පයින්ගෙන් මැසි මදුරුවන්ගෙන්, වැස්සෙන් පින්නෙන් ඒවාට එන පීඩා ජීවිතයේ අනිවාර්යය අංගයන් වී තිබේ. මේ තරම් අප්‍රසන්න අත්දැකීම් තිබියදීත් මහෙන්ද්‍රන් කියන්නේ නැවති පදිංචි කිරීමක් නැති තරමට හොඳ බවය.

නැවත පදිංචිය

ඔවුන් අනුගත වූ මේ ජීවිතය තුළ ඔවුනට රැකියාවක් ඇත. ඒ කුලී වැඩක් සොයා යාමය. දරුවන් පාසලෙන් කොන් වුවද දැනට පාසලක් ඇත. අලුතින් යන තැන ඒ කිසිවක් නැත. රජය ඔවුන් නැවත පදිංචි කිරීමට සැරසෙන්නේ නෙදුන්කර්නි ප්‍රදේශයේය. එහි ඤාණම් පදනම මගින්, යෝජිත ගමක් ඉදි වේ. එම නිවාස සමග ඔවුන්ට අක්කර භාගයක ගොඩ ඉඩමක් හිමි වේ. ඒ ඉඩමේ කළ හැක්කක් නොමැති බව මෙම ප්‍රජාවේ නායකත්වය දරන යූ.වේලායුදම්(78) කියයි. ඔහු පවසන්නේ තමන් සමග සිටි අනෙක් අවතැන් වූවන්ටත් වෙනත් කඳවුරුවල අයටත් සෑහීමකට පත්විය හැකි ගම් බිම් හා නිවාස ව්‍යාපෘති කල්ඇතිව ලබාදුන් බවත් තමන්ව නොසලා හැර ඇති බවත්ය.

‘‘රජය  අපි ගැන වගකීම නොගන්නා නිසා තමා ඤාණම් පදනමට භාර දුන්නේ. ඒ අයට යුද්ධය ඉවරවෙලා හත් අවුරුද්දක් ගිහිල්ලත් තාම ඒ කටයුත්ත ඉවර කර ගන්න බැරුව ඉන්නේ. දැන් අපිට තියන බය තමා ඒ තැනට ගියාම අපට මේ තියන ජීවිතේත් නැති වේවි කියන එක. මොකද එහෙ වතුර නැහැ. බොන්න බට දාලා වතුර මාර්ගයක් හදනවා කියනවා. එහෙම බෑ. අපිට මොනවා හරි වගා කරන්න වතුර ඕනෑ. හොඳම ක්‍රමය තමා නළ ළිං හෝ ලොකු ළිං කීපයක් හරි ඉදිකරලා දෙන එක. හරිනම් අපට ගොඩ ඉඩමට අමතරව වගාව සඳහා ඉඩමක් දෙන එක රජයේ වගකීමක්.” වේලායුදම් කියයි.

නෙදුන්කර්නිහි මෙම ගම්මානය ඉදි කෙරෙන සින්න අඩම්පන් පෙදෙසේ සිට රෝහලකට යාම පවා ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව එම කඳවුරේ පැරණිම සාමාජිකයෙකු වන ඩයස් ජයසිංහ කියයි. ඔහු පෙන්වා දෙන්නේ සින්න අඩප්පන් සිට පුලියන්කුලමට කිලෝමීටර් 13ක්ද, වව්නියාවට කිලෝමීටර් 32ක්ද ඇති බවකි.

‘‘ ඈත ගමක ඉඩම් දීම ගැන අපේ පිරිසේ කවුරුත් කැමති නෑ. නිලධාරින්ට උවමනාකරන්නේ නැවත පදිංචි කිරීම් සියයට සියයක්ම අවසන් කියලා කියාගන්ඩ අපිව ඉක්මනට මෙතනින් අයින්කරගන්න. ඒත් අපි දන්නවා මෙතනින් ගියාට පස්සේ, අපි ආයේ වතුර ඉල්ලුවත් ඉඩම් ඉල්ලුවත් ඇහුංකන් දෙන්නේ නෑ කියලා. මෙහෙන් ගියාට පස්සේ එහෙ අපේ ළමයින්ට ඉස්කෝල නෑ. අපට රස්සාවල් නෑ.”

එසේ කියන වේලායුදම්, ඒ වෙනුවට අපූරු විකල්පයක් යෝජනා කරයි. ”අපි කියන්නේ, අපිව නෙදුන්කර්නි නෙවෙයි මයිලන්කුලම වාගේ සිංහල මිනිස්සු ඉන්න වව්නියාවේම ප්‍රදේශයක පදිංචිකරවන්න. ඒ අයත් එක්ක ඉන්න එක ලේසියි. අපිත් ආසයි දෙගොල්ල සහයෝගයෙන් ජීවත්වෙන්න.”

සශිකලා, මහෙන්ද්‍රන්, ජයසිංහ, වේලායුදම්
සශිකලා, මහෙන්ද්‍රන්, ජයසිංහ, වේලායුදම්
ජයසිංහගේ කතාව

පුන්තෝට්ටම් කදවුරේ පදිංචිකරුවකු වන ඩයස් ජයසිංහ, වේලායුදම්ගේ යෝජනාවෙහි අරුත, අනෙක් පාර්ශ්වයෙන් සනාථ කරන සුවිශේෂ චරිතයකි. ඔහුගේ කතාව පටු ජාතිබේද දූරීභූත කරන ශාන්තිකර්මයක් වැනිය.

‘‘මගේ ගම මාතලේ රත්තොට. 1988 ජවිපෙ අරගලයට සම්බන්ධවෙලා හිටපු මට ආරක්ෂක අංශවලින් ජීවිතය බේරගන්න ගමෙන් පැනල යන්න සිද්ධවුණා. බිරිඳයි දරුවනුයි අරන් මම පැනලා ගියේ කිලිනොච්චියට. ඒකටත් හේතුවක් තිබුණා. 83 කළු ජූලියේදි දෙමළ පවුල් 16ක ජීවිත බේරගන්න මම උදව් කළා. ඒ අයගෙ නෑයො හිටිය කිලිනොච්චියෙ. ඒ අය තමයි මගෙත් පවුලෙ අයගෙත් ජීවිත ආරක්ෂා කරගන්න උදව් කළේ.

එහෙදි මට හම්බ වුණා කොමියුනිස්ට් මත දරන උතුරේ සහෝදරයෙක්. එයාගේ උදව්වෙන් මමත් වත්තක වැඩ ලබාගත්තා. මාතලේ ගෙදර මට කිරි ගවයො 16 දෙනෙක් හිටියා. අපි පැනල ආවට පස්සෙ, ආරක්ෂක අංශවලට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායමක් ඒ සත්තු ඔක්කොටම  වෙඩි තියලා මැරුවා, මාව අල්ලා ගන්න බැරිවෙච්චි තරහට.

සමහරු හිතයි මම උතුරට වෙලා ඒ හමුදාවෙන් පළිගන්න උතුරේ අයට උදව් කළා කියලා. එහෙම එකක් නෑ. මමත් යුද්ධයෙන් පීඩා විදපු සාමාන්‍ය වැසියන්ගෙන් කෙනෙක්. මගේ ළමයි පස් දෙනාම බැන්දේ දෙමළ බෑණලා. මම සිංහලද දෙමළද කියලා මටත් ගාණක් නෑ දැන්.”


ජේ. සශිකලා කියන්නේ, නැවත පදිංචි කිරීමේ වැඩ පිළිවෙළ තමන්ගේ ජීවිත ඉදිරියට මිස පසුපසට ගෙන යන්නක් නොවිය යුතු බවයි. ඇයද එම කඳවුරෙන් විවාහ වූ තැනැත්තියකි.

”අපට බබාලා දෙන්නෙක් ඉන්නවා. මේ අය දැන් වව්නියාවේ ඉස්කොලේ යනවා. අලුත් ගමට ගියාම අපට ඉස්කෝලයක් ඕනෑ. මහත්තයා මේසන් වැඩ කරන්නේ. මේ රස්සාවල් කරන තැන් අපට නැතිවූණාම ප්‍රශ්න”  සශිකලා කීවා ය.

ආපස්සට යන්න බෑ

වී. රාජේෂ්වරී, හැකි ඉක්මනින් මෙතැනින් නික්ම යෑමට අපේක්ෂා කරන පදිංචිකාරියකි. ඇගේ නිවස උඩිනුත් යටිනුත් දිරාපත්ව ගොසිනි. ”අපි හැමදාම වැස්සට තෙමෙනවා. දුක්විඳිනවා. මෙතනින් දැන්වත් හොඳ තැනැකට යන්න ලැබයි කියලා හිතනවා.” ඇය පැවසුවාය.

නැවත පදිංචිකිරීමේ ක්‍රියාදාමය ගැන වව්නියාව මහ දිසාපති රෝහණ පුෂ්පකුමාර මහතාගෙන් කළ විමසුමේ දී ඒ මහතා ප්‍රකාශ කළේ පුන්තොට්ටම්හි රැඳී සිටින්නන්ට යටිතල පහසුකම් සහිතව නෙදුන්කර්නි හි නිවාස තනා වහා පදිංචිකරවීමට කටයුතු කරමින් පවතින බවයි.

දැනටමත් රජයේ නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ වව්නියා දිස්ත්‍රික්කය තුළ ඉහළ ප්‍රතියක් ගෙන හමාරය. වතුකරයත් අහිමි, උතුරුකරයත් අහිමි මේ ජන කණ්ඩායමටද වින කළේ රටේ කාටත් පීඩා දුන් එකම යුද්ධයය.මේ නිසා යහපත් ජීවන මගක් පතන මේ අයට සාධාරණය ඉටු කිරීම රජයේ වගකීමකි.