අනුරාධපුර බතට-මන්නාරම් කරවල
ගඟකින් යා කෙරුණු මිනිසුන් ගැන කතාවක්
ඉතිහාසය පුරාම වැඩිපුර සටහන් වී ඇත්තේ ජලය නිසා හටගත් ගැටුම්ය. මේ ඒ ඉතිහාසයට අභියෝග කරන කතාවකි. තීරණාත්මක මොහොතකදී කරන මානුෂික මැදිහත්වීමක් අලුත් ඉතිහාසයක් නිර්මාණය කිරීමට තරම් බලවත් බවට මේ කතාව සාක්ෂියකි.
ගඟකට මිනිසුන් වෙන් කළ හැකිවා සේම මිනිසුන් යා කිරීමද කළ හැකිය. මේ ගඟ ඉතිහාසය පුරා ශුද්ධ නගරයක් මැදින් ගලා ගොස් මූදට වැටෙන්නේ ඓතිහාසික නගර දෙකක් යා කරමිනි. සිංහල බස කතා කරන අනුරාධපුර දිස්ත්‍රික්කයත් දමිළ බස කතාකරන මන්නාරමත් මේ ගංගා ජලයෙන් බන්ධනය වන බව ඔවුනොවුන්ගේ හදවත් දනී. මේ හදවත් වල ඇති අව්‍යාජ බැඳීම හැමදාමත් එළියට එන්නේ පොසොන් සමයටය.
ඒ සාමයේ නදිය ‘මල්වතු ඔය’ නම් වෙයි.
මෑතකදී සිදු වුණු අපූරු සිදු වීමක්, මල්වතු ඔයෙන් යා වුණු මේ ප්‍රජාවන් දෙකෙහි බැදීම තවත් සවිමත් කළේය. එය සාමය හෝ සහජීවනය අරමුණු කර ගෙන කිසිවකු විසින් සැලසුම් කළ ව්‍යාපෘතියක් නොව, ඔවුනොවුන්ගේ මානුෂික හැගීම් අවදිවීමෙහි ප්‍රතිපලයකි.
යෝධ වැව අසරණ වූ දවසමීට හත් වසරකට පෙර යෝධවැවේ ජල හිගයක් ඇති වී පීදෙන ගොයම මරණාසන්න විය. නියඟය ඇතුළු බොහෝ විපත්වලින් බැට කා සිටි මන්නාරම් ගොවීන්ට අස්වැන්න පෙනී පෙනී සාගතය වැළඳගැනීම හැර අන් විසදුමක් නොවිණි. ඒ මොහොතේ නාච්චාදූව වැව තුළ යම් ජලධාරිතාවක් පැවැතියේය. එයද රජරට වී වගාවට අරපිරිමැස්මෙන් ජලය දී අනුරාධපුර නගරයේ පානීය ජල අර්බුදයට විසඳුම් වශයෙන් රඳවාගත් සීමිත ජල කඳකි.
එහෙත් මන්නාරම් ගොවීන්ගේ අස්වැන්න විනාශ වීමෙන් වළක්වාගැනීමට මේ ජලය හැකිනම් ගෙනගොස් දෙන්නැයි රජරට ගොවි නියෝජිතයෝ නිලධාරීන්ට කැමැත්ත දුන්හ. වාරි නිලධරයෝ මල්වතුඔය හරහා නාච්චාදූවේ ජලය යෝධවැවට මුදා හැරියහ.ඉරිතැළුණු යෝධවැවේ වෙල්යායේ, බලා පොරොත්තු බිඳුණු ගොයමට පණ ආවේය.
එවර අස්වැන්නද වෙනදාට වඩ සරු විය. ඒ තීරණාත්මක වගාවෙන් සරු අස්වැන්නක් නෙළාගත් යෝධවැවේ ගොවියෝ රජරට ගොවින්ට කෘත ගුණ සලකන්නට සිතූහ. ඒ වවන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව වාර්ෂිකව පවත්වන පොසොන් මහා බත් දන්සැලට ගොවීන්ගේ පරිත්‍යාග භාරගනිමින් සිටියේය. ඒ ප්‍රධාන වශයෙන් සෑම ගොවිජනපදයක්ම දායක කරගනිමින් සහල්ය.
චාරිත්‍රයක උපතයෝධවැව ගොවි සංවිධානය, අනුරාධපුරයට ඒ කළගුණ දැක්වීමට එය අවස්ථාවක් කර ගත්තේය. සිය ප්‍රතිචාරය අමතක නොවන ලෙස සටහන් කර තැබීමට සිතූ ඔවුහු, පොසොන් දන්සල රසවත් කිරීමට මන්නාරමේ රසවත්ම සාගර සම්පත වන කට්ටා කරවල තොගයක්ද පොදිබැඳගෙන පැමිණියෝය.

පොසොන් උළෙල මෙන්ම වාරිමාර්ග දන්සලද රටම යා වන තැනකි. රජරට මහජන නියෝජිතයෝද, ගොවි නියෝජිතයෝද, වාරි නිලධාරීහුද සතුටු කඳුළු තැවුරුණු දෑතින් මේ කරවල තොගය එදා භාරගත්හ. යෝධ වැව ගොවියෝද රජරට අලුත් හාලේ බතින් සංග්‍රහ ලබා නික්මුණේ සාමයට සිය හස්තය දිගුකරගෙන නැවත එන බව කියමිනි. ඒ යුද්ධයේ අවසන් වකවානුවේ උණුසුම්කාරී මොහොතක, එකිනෙකා දෙස සැකයෙන් හා වෛරයෙන් බැලූ ජන කොටස් දෙකක් අතර සිදු වූ ඒ අව්‍යාජ සබැදියාව මායාවක් නොව යථාර්ථයක්ම විය.
ඊළඟ වසරේ යෝධවැවට අනුරාධපුරයේ ජලය ඇවැසි නොවීය. ඒත් මේ කුළගුණ සැමරුම ඒ වසරේත් සිදුකරන්නට යෝධවැව ගොවියෝ සිතූහ. එයින් ඔවුන් ප්‍රාර්ථනා කළ තවත් දෙයකි. එනම්, ‘මෙවන් නියඟ යළි ඇති නොවේවා’ යි ආශිර්වාද ලබා ගැනීමය. පොසොන් උළෙල පවත්වන්නේ රටට ආශිර්වාද ලබාගැනීමට බැවින් මේ පිංකමට එන දහස් සංඛ්‍යාත දනන්ට දෙන දානය උතුම් බව ආශිර්වාදයක් බව දන්නා ගොවි නියෝජිතයෝ එදා සිට මේ දක්වා සෑම පොසොන් උළෙලකදීම අනෙක් දායකත්වයන් සමඟ කට්ටා කරවල පරිත්‍යාගයද සිදු කරති. ඒ ගොවියෝ එය අද තමන්ගේ අනිවාර්ය චාරිත්‍රයක් කර ගෙන සිටිති.
ගොවි රජු ‘සෞන්දරනායගම්’‘‘අපි හැම අවුරුද්දේම බොහෝම සන්තෝසයෙන් මේ පරිත්‍යාගය කරන්නේ. මන්නාරම දේශගුණික වශයෙන් අනුරාධපුරයට වඩා කරකශයි. එහේ සරුවෙන්නේ මල්වතුඔයෙන් එන වතුරෙන්. අපිත් මේ පොසොන් උත්සවයට ඇවිත් රටට සෙත්පතලා කරන පිංකමට හවුල් වෙනවා. ඒ ආශිර්වාදය අපටත් ලැබේවි යි ‘‘ මෙවරත් දන්සලට පරිත්‍යාග ගෙනා යෝධවැවේ ප්‍රධාන පෙළේ ගොවි නායකයෙකු වන ඒ.සෞන්දරනායගම්(74)මහතා කීවේය.
හැම ගොවියෙකුගෙන්ම මුදල් සම්මාදම් කර, පසුව හොඳම කට්ටාකරවල සොයා කරවල වාඩිවලට ගොස් ඒවා මිලට ගෙන නිලධාරින් හා අනුරාධපුරයට පැමිණෙන බවත්, තම පැතුම ගොවිතැනින් සරු වූ රටක් බවත් සෞන්දරනායගම් මහතා කීවේ ය. ඔහු එම දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ ගොවි සංවිධාන සභාපතිවරයා වන අතර ‘ගොවි රජා’ ලෙස සම්මාන දිනූ ප්‍රකට සමාජ සේවකයෙකි.
සුදු පැහැ හැඩගැන්වූ උඩු රැවුලකින් සැරසූ ඔහුගේ මුවත් මහා දේහ ධාරී පෙනුමත් නිසා සෞන්දරනායගම් අනෙක් හැම දෙනා ඉදිරියේ ප්‍රතිමාවක් මෙන් නැගී සිටියේය. අනෙක් හැමෝම බලා සිටියේ ඔහුගේ මුව දෙසය. අසා සිටියේ ඔහුගේ හඬය. සෞන්දරනායගම් ගේ හඬය. ඒ හඬ තුළ වෙනම රටක් ගැනවත්, ඔහුගේ ශරීර භාෂාව, සිනහව හා දමිළ- සිංහල- ඉංග්‍රිසි මිශ්‍ර බසේ අරුත මන්නාරමේ අනෙක් ගොවීන්ගෙන්ද පළ විය.

මුරුන්ගන් විනයාරාසකුලම් පදිංචි 11 මහ ඇළ ගොවි සංවිධානයේ සභාපති වී.ඒ.කාර්සියස් (58) මහතා පැවසුවේ මේ දානය ගොවීන් දැන් චාරිත්‍රයක් ලෙස වාර්ෂිකව කරන කටයුත්තක් බවත්, ඊට ප්‍රදේශයේ ගොවීන්ගේ හා ධීවරයින්ගේ නොමද සහායක් ලැබෙන බවත්ය.
වටිනා මංගල්ලයක්මේ සබැඳියාව අඛණ්ඩව පවත්වාගෙන යන්නෝ වාරි නිලධරයෝය. අනුරාධපුර කලාප වාරිමාර්ග කාර්යාලයේ මෙන්ම මුරුන්ගන් වාරිමාර්ග කාර්යාලයේ නිලධරයෝ ගොවීන්ගේ මේ පැතුම ඉටු කරති. මෙවර ඉකුත් 7වැනිදා මන්නාරමෙන් ගෙනා ද්‍රව්‍ය භාර ගැනීමට අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්යක්ෂ ප්‍රසන්න සිල්වා මහතා ප්රමුඛ නිලධාරීන් මඟ බලා සිටි අතර ගොවීන් සමග මුරුන්ගන් වාරි ඉංජිනේරු පී.සදීස් මහතාද පැමිණියේය. ඔහු මෙසේ කීවේය.
‘‘ මේක සිංහල දෙමළ භාෂා දෙක කතාකරන අපි සන්තෝෂයෙනක් එකතු වන වටිනා මංගල්ලක්”. ඔහු භාෂා දෙකම තකා කළහැකි, දෙපිරිස අතර හොඳ සන්නිවේදනයක් කරන සම්බන්ධීකාරකයෙකි. සෞන්දරනායගම් , කාර්තියස් ඇතුළු ගොව නියෝජිතයෝද සදීස්, ප්‍රසන්න සිල්වා ඇතුළු නිලධරයෝද සතර දිගින් පොසොන් වන්දනාවේ පැමිණි ජනයාද දන්සලේ බංකුවල එකට අසුන්ගෙන සතුටු සාමීචියේ යෙදෙමින් එදා දිවා ආහාරය ගත්හ.
ඒ ලබන වසරේ පොසොන් උළෙල ගැනද කතා කරමිනි.
මල්වතුඔය සැමදා ගලන්නාක් මෙන් මේ මිනිස් හදවත් වල සාමය සදාකල් ගලා යන්නේ නම් මේ රට කොතරම් සුන්දරද?