Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

සිංහල දෙමළ හදවත් යා කළ
සිනමාලෝලීන්ගේ නගරය

මෙය සිනමාලෝලීන්ගේ අතීත මතක පිළිබද රසාලිප්ත අවලෝකනයකි. ජනවර්ග තුනකට අයත් මිනිසුන්, කලා රසයද ප්‍රේමයද සහෝදරත්වයද අත් විදිමින් එකම නගරයක දිවි ගෙවූ නුදුරු අතීතයක සොදුරු මතකයද එහි මුසුව තිබේ.

19.07.2017  |  
තිරිකුණාමළය දිස්ත්‍රික්කය
A movie hall in Trincomalee.

අසහාය ඉන්දිය දමිළ නළු සිවාජි ගනේෂ්ගේ ‘වසන්තමාලිගේ’ මෙන්ම සිංහල සිනමාවේ සක්විති ගාමිණි ෆොන්සේකාගේ ‘පෘතුගීසිකාරයා’ත් සිංහල දමිළ සිනමාලෝලීන් එදා නෙල්සන් තියටර් එකේ රස වින්දේ, කන් අඩි හිරිවට්ටන විසිල් හඩ මධ්‍යයේය. ඒ විසිල් හඩ සෙල්වම්ගේද, රත්නසිරිගේද කියා වෙන් කර හදුනාගත නොහැකි විය. හැත්තෑව දශකයේ සිංහල දමිළ සහජීවනය ගොඩ නැගීමට ත්‍රිකුණාමලය නගරයේ පිහිටි සිනමා ශාලා හත කදිම අත්වැලක් වු බව ත්‍රිකුණාමලයේ වෙසෙන පැරැන්නන්ගේ අදහසයි.

යුද්ධය පැමිණීමට පෙර සිනමාලෝලින්ගේ නගරය, ත්‍රිකුණාමලයයි. ලංකාවේ වැඩිම සිනමා ශාලා ප්‍රමාණයක් පිහිටි නගරය ලෙස ත්‍රිකුණාමලය හිමි කර ගෙන සිටි වාර්තාව අදටත් වලංගුය.

අසූව දශකයේ අවසාන භාගය වන විටත්, ත්‍රිකුණාමලය නගරය තුළ පමණක් සිනමා ශාලා හතක් ක්‍රියාත්මක වු අතර, නාවික හමුදා කදවුරේ පිහිටි සිනමා ශාලා දෙකත් සමග ත්‍රිකුණාමලය සතු මුළු සිනමා ශාලා ප්‍රමාණය නවයක් විය. ඊට අමතරව කන්තලේ හා මූතුර්හි සිනමා ශාලා දෙක බැගින්ද, කින්නියාහි එක් සිනමා ශාලාවක්ද පැවතුණි.

                                                    ලාල් ආරියරත්න හා දයානන්ද ජයවීර
භාෂාවයි- ආදරයයි

“මම ගන්දර ඉදලා ත්‍රිකුණාමලේට එද්දී දෙමළ වචනයක්වක් දන්නේ නැහැ. එත්, දෙමළ නළු නිළියෝ දෙමළ පිචර් ගැන රේඩියෝ එකෙන් අහලා තිබුණා. මාත් එක්ක හිටිය යාළුවොත් පිචර් පිස්සෝ. සිංහල දෙමළ භේදයක් නැතිව එයාලා පිචර් බලන්න යනවා. මමත් එයාලත් එක්ක ඒවා බලන්න යනවා. දෙමළ පිචර් බලලම තමයි, මම දෙමළ ඉගෙන ගත්තේ..” හැත්තෑව දශකයේ දකුණේ සිට ත්‍රිකුණාමලයට පැමිණි ධීවර කාර්මිකයෙකු වූ රත්නසිරි අපූරු කථාවකට මුල පුරයි.

“ඒ දවස්වල මම රෑ රස්සාවේ ගිහින් ඇවිත් ජෝති හෝල් එකේ 10.30 දෙමළ පිචර් එක බලනවා. මට එතකොට දෙමළ බැරි වුණාට, අනිත් අය කෑ ගහන කොට මමත් ඒ වචන අල්ලගෙන කෑ ගහලා විසිල් ගහනවා. වැඩිපුරම කියන්නේ, අඩී අඩී කියලා තමයි.. අල්ලපු සීට් එකේ ඉන්න දෙමළ කෙනා කච්චං ටිකක් දීලා අහනවා “ එප්පඩි සිවාජිනුඩය කාච්චි” කියලා.. මමත් එතකොට කියනවා නල්ලම්.. නල්ලම්.. කියලා. මම ඒ කාලේ දන්න දෙමළක් නැහැ…” එසේ කියමින් රත්නසිරි මහ හයියෙන් සිනාසෙයි.

දෙමළ වචනයක්වත් නොදැන ත්‍රිකුණාමලයට පැමිණි රත්නසිරි පසු කලෙක විවාහ වෙන්නේ, දමිළ තරුණියක් සමගිනි. එයද දමිළ චිත්‍රපටවලට පිංසිදු වන්නටය. ඔවුන්ගේ කථාවද දකුණු ඉන්දිය චිත්‍රපටියක් බදුය.

ස්කන්ධරාජා, රත්නසිරි හා තුවාන් මොහොමඩ්

“මම ඒ කාලේ නැවතිලා හිටියේ තිලීනා වත්තේ, අපේ මද්දු අම්මලයි ගෙදර. ඒ වත්තේ වැඩි හරියක් හිටියේ දෙමළ අය. දෙමළ අය පිචර් වලට කොයි තරම් ආසද කිව්වොත්, එකම චිත්‍රපටිය දෙතුන් වතාව බලනවා. අපේ වත්තේ හිටිය ජෙනීටා කියලා කෙල්ලක්. හරියට නිකන් ජය ලලිතා වගේ. එයා මාත් එක්ක හිනා වෙනවා. නමුත් කථා කරන්නෙ නැහැ. ඔය කාලේ නෙල්සන් තියටර් එකට ආවා තංග පදක්කම් කියලා පිචර් එකක්. අපේ වත්තෙන් බාගයක් වත් මේක බලන්න ගියා. කට්ටිය මේක ගැන පාරම්බාන නිසා මමත් රස්සාවෙ නොගිහින් දවසක ගියා ඒක බලන්න.

මම හිටිය පේළියට ඉස්සරහ පේළියේ හිටියේ, ජෙනිටලාගේ ගෙදර අය. එයා මාව දැකලා යාන්තමට වගේ හිනා වුණා. මම ඒ දවස්වල දෙමළ වචන දෙක තුනකට වඩා දන්නෙත් නැහැ. මම කට්ටිය එහෙට මෙහෙට වෙනකම් ඉදලා ‘එප්පඩි තංගච්චි’ කියලා ඇහැව්වා. එයා හිනා වෙලා ‘නල්ල ඉරික්කිරේන් අය්යා’ කියලා කිව්වා. ඔහොම තමයි ඉතින් පටන්ගත්තේ.

ඇන්ඩෘ (රාජු)

පස්සේ ටික කාලයක් යද්දී එයාලා පිචර් බලන්න යද්දී මට කියනවා ‘ඔන්න අය්යා සිවාජිගේ හොද පඩම් එකක් ඇවිත් තියෙනවා. අපි අද 2.30 බලන්න යනවා’ කියලා. හැබැයි ඉතින්, අපි දෙන්න ජාති දෙකක නිසා මේ සම්බන්දෙට මුල් කාලේ දෙපැත්තෙම අය විරුද්ධ වුණා..”

එසේ ජෙනීටා සමග චිත්‍රපටි නැරඹු රත්නසිරි මේ වන විට මුළු ජීවිත කාලයම ජෙනීටා සමග ‘ජීවන ගමන’ චිත්‍රපටිය රග දක්වමින් සිටින්නේය.

තුවාන්ගේ සිංහල පාඩම

මහනුවර සිට ත්‍රිකුණාමලයේ පදිංචියට පැමිණි තුවාන් මොහොමඩ් සිංහල චිත්‍රපටි ලෝලියෙකි. ඔහුගේ ප්‍රියතම චීත්‍රපටිය ගාමිණි රගන රන්මුතු දූවයි. රොබින්-මාලිනි රගන රක්තාට ද හෙතෙම මහත් සේ ඇලුම් කරයි.

මහනුවරදී මැලේ භාෂාව හා දමිළ භාෂාව හැසිරවු තුවාන්, සිංහල චතුර ලෙස උගත්තේ, ත්‍රිකුණාමලයේ පැමිණ සිංහල චිත්‍රපටි නැරඹීමෙනි.

ලක්ෂ්මි (වත්මනේ ෆුඩ් සිටියක්)

“රක්තා පිචර් එක රූගත කළේ, ත්‍රිකුණාමලේ ආන්දන්කුලම වැවේ.. ඊට කලින්   සතුට පත්තරේ මේ කථාව චිත්‍ර කථාවක් හැටියටත් පළ වුණා. ඒ නිසාම අපි රක්කා පිචර් එකට හරි ආසයි. මම හය පාරක් නෙල්සන් හෝල් එකේ රක්තා බැලුවා. ඒකේ රක්තගේ ධණුගේ දෙබස් තාමත් මට කට පාඩම්. එකම පිචර් එක දෙතුන් වතාව බලද්දී මට නිකන්ම සිංහල පුරුදු වුණා…”

තුවාන් මොහොමඩ් එසේ කියන්නේ හපන්කමක් ලෙසිනි. මේ වන විට ත්‍රිකුණාමලය චීනවරායේ පදිංචි තුවාන් මොහොමඩ්ගේ පවුලේ වැඩි දෙනකු ආවාහ විවාහ කටයුතු සිදුකර කර ගෙන ඇත්තේ සිංහල පවුල් සමගිනි.

“ටී.වී එක ආවාහම පිචර් හෝල්වලට තිබුණ තැන නැති වුණා. ඉස්සර තරම් පිචර් ආවෙත් නැහැ. දැන් අපේ ළමයි හෝල් එකකට ගිහින් පිචර් එකක් බලන්නේ, අවුරුද්දකට සැරයක් වගේ. ඉස්සර අපි පිචර් බලපු හෝල් අද ෆුඩ්සිටි වෙලා. සමහරක් එව්වා ටියුටරි වෙලා..ඒ කාලේ අපි ගතකළ සුන්දර ජීවිතේ ආයේ කවදාවත් එන්නේ නැහැ කියලා දැනෙද්දී හිතට හරි දුකයි.. ” තුවාන් මොහොමඩ් කියන්නේය.

සිංහල නැත්නම් දෙමළ

වයස අවුරුදු 11 දී පමණ ගාල්ලේ සිට ත්‍රිකුණාමලයට පැමිණි ලාල් ආරියරත්ත එකල දෙමළ වචනයක් නොදැන හිටියත්, වැඩිපුරම නරඹා ඇත්තේ, එම්.ජී.ආර්.රගන දමිළ චිත්‍රපටිය. ත්‍රිකුණාමලයේ පිහිටි බොහොමයක් චිත්‍රපට ශාලාවල එකල වැඩිපුර දමිළ චිත්‍රපට තිරගත වීම ඊට හේතුවයි.

නෙල්සන්

වසර හතළිහකට වැඩි කාලයක් ත්‍රිකුණාමලය නගරයේ ලාල් කැෆේ නමින් හෝටලයක් පවත්වා ගෙන යන ලාල් පසු කලක චිත්‍රපට රගපෑමට ද එක්වන්නේ, ඔහු තුළ පැවති චිත්‍රපට උන්මාදය නිසාමය.

“ ඒ කාලේ ඔය නෙල්සන් හෝල් එක සිලෝන් තියටර්ස් එකට අයිති එකක්. ඒ නිසා සිංහල චිත්‍රපටි වැඩිපුරම ආවේ ඒකට. සිංහල පිචර් නැති දවස්වලට ගෙදරට හොරෙන් අපි දෙමළ ඒවා බලන්න යනවා. දෙමළ පිචර් එකක් ආවහම 2.30 ෂෝ එකට හරි පෝලිම. සමහර දවස්වලට පාර ගාවට එනකම්ම පෝලිම. අපි පොඩි කොල්ලෝ කාලේ, වැඩිපුරම යන්නේ, ගැලරි. ගැලරි ටිකට් එකක් ශත 60 යි ඒ දවස්වල.

ස්කන්ධරාජා නම් සිංහල ප්‍රේමියා

ත්‍රිකුණාමලයේ පදිංචි සිංහල ජනයා අතර වඩාත් ප්‍රකට සිනමා ශාලාව වූයේ, නෙල්සන් සිනමා ශාලාවයි. එකල සිංහල චිත්‍රපටි වැඩිම ප්‍රමාණයක් නෙල්සන් හි ප්‍රදර්ශනය කිරීම ඊට හේතුවයි. එහි හිමිකරු ශ්‍රී ස්කන්ධරාජා මහතා දමිළ ජාතිකයෙකි. දමිළ චිත්‍රපටි පෙන්වා වැඩි ලාභයක් උපයීමට හැකියාව තිබියදී, සිංහල චිත්‍රපටි පෙන්වූයේ මන්දැයි විමසු විට ඔහු දුන්නේ, අපූරු උත්තරයකි.

“මම ඒ කාලේ ගාමිණිට මාලනීට විජයට පණ ඇරලා.. ගාමිණිගේ පිචර් එකක් ආවොත්, ත්‍රිකුණාමලේ දෙමළ අයත් හරි හරි හරියට බලනවා. එයාලට ගාමිණි සිවාජි වගේ. අනික ගාමිණි දෙමළ අයත් එක්ක හරි එකතුයි.

ශ්‍රී ක්‍රිෂ්ණා

මේ නිසා ඒ කාලේ අපි වැඩිපුරම සිංහල පිචර් තමා දිව්වේ. වෙසක් කාලෙට මිඩ් නයිට් ෂෝ එකත් දුවනවා. ගාමිණිගේ ශත පනහ, කලංගේ යස ඉසුරු හරි අගේට දිව්වා. මේ තියටර් ඇතුළේ සිංහල දෙමළ සමගිය යස අගේට ගොඩ නැගුණා ඒ කාලේ..මනිරත්නම්ලා දෙමළ වුණාට සිංහල පිචර් හැදුවේ. ඒවා දෙමළ අයටත් බලන්න පුළුවන්. නමුත්, පස්සේ කාලේ හොද සිංහල පිචර් හැදුණේ නැහැ. මිනිස්සු පිචර් බලන එක අඩු වුණා.”‍

සිංහල සමිතියට දෙමළ සිංදු

ප්‍රකට සමාජ සේවකයෙකු හා ව්‍යාපාරික වන දයානන්ද ජයවීර ත්‍රිකුණාමලයේ සිංහල දමිළ සහයෝගිතාවට ගරු කරන්නෙකි. හැත්තෑව දශකයේ මුල් අවධියේ සිනමා ශාලා සහ චිත්‍රපට හරහා ත්‍රිකුණාමලයේ ගොඩ නැගුණු අපූරු සංහිදියාව අදටත් ඔහු සිහි කරන්නේ,මහත් වු තෘප්තියකිනි.

“ඒ කාලේ අපේ ඉස්කෝලවල දෙමළ ළමයි හතර පස් දෙනෙක් හිටියමයි.එයාලා ඉතින් ඉස්කෝලේ ඇවිත් අපිට කියනවා ජෝති එකට එම්.ජී.ආර්ගේ නාවෝඩි මන්නම් ඇවිත් තියෙනවා..අරකයි මේකයි කියලා. අපි ඉතින් ඉරිදා වෙනකම් ඉවසිල්ලක් නැතිව ඉන්නේ, ඉරිදට මැටනි ෂෝ එකට යන්න. ඒ කාලේ, ගැලරි ටිකට් එකක් ශත 60 යි. අපිට දෙමළ බැරි වුණාට ඉස්කෝලේ සිංහල සාහිත්‍ය සමිතියට කියන්නෙත් දෙමළ සිංදු. ඒ කාලේ ආවා දෙමළ පිචර් එකක් “තේන් නිලවි” කියලා. එකේ තිබුණා ‘පාට්ටු පාඩවා’ කියලා සිංදුවක්. මේක තමා ඒ දවස්වල අපි හැමෝගෙම කටේ තියෙන්නේ.

සිහාරා

වෙන එකක් තියා අපි කොණ්ඩේ කපන්න ගියහමත් කියන්නේ, සිවාජිගේ ජෙමිනිගේ එම්.ජී.ආර්ගේ කට් එක ගහන්න කියලයි. ඒ වගේම තමා ඒ කාලේ හැම චිත්‍රපටියක් එක්කම සිංදු පොතකුත් පිට වෙනවා. ඒ කාලේ ගත්තු දෙමළ සිංදු පොත් තාමත් මා ගාව තියෙනවා. ඒ කාලේ කොයි තරම් සුන්දරද කියලා දැන් තමා දැනෙන්නේ. එදා අපි වින්ද සුන්දරත්වය 77 පස්සේ ආපු සමාජ වටපිටාවත් එක්ක නැති වෙලා ගියා.

මීට දශක දෙක තුනකට පෙර ත්‍රිකුණාමලයේ ජාතීන් අතර සාමය හා සංහිදියාවට අපූරු තෝනැන්නක් වූ සිනමා ශාලා බොහොමයක් අද වන විට වැසී ගොස් හමාරය. මේ වන විට යම් තරමකින් හෝ පවත්වා ගෙන යනු ලබන්නේ, සරස්වතී හා නෙල්සන් සිනමා ශාලා දෙක පමණි. එදා සිංහල දමිළ සංහිදියාවට නිරායාසව උරදුන් ඒ සිනමා ශාලා මහා යෝධයන් සේ නිහඩව නිසලව විරාජමානව බලා හිදින්නේ, ජාතික සමගිය උදෙසා මහා මෙහෙවරක් ඉටු කොට විශ්‍රාම ගත්තවුන් සේය.

නිර්මලකාන්ත් (කළු ජූලියේ දී ජාතිවාදීහු ගිනි තබා විනාශ කළහ)