Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

වස විස නැති
‘කල්ලඩි බ්‍රිජ් මාර්කට්’

කාබනික පොහොර යොදා නිපදවන ආහාර පිළිබද උනන්දුව මෑතක සිට වර්ධනය වෙමින් තිබේ. ‘කල්ලඩි බ්‍රිජ් මාර්කට්’ ඒ පිළිබද අපූරු නිදර්ශනයකි.

27.09.2017  |  
මඩකලපුව දිස්ත්‍රික්කය

‘කල්ලඩි පාලම’ මඩකලපුව නගරයේ අභිමානවත් සංකේතයකි. මෑතක සිට එයට තවත් වටිනාකමක් ඒ නම හා ඈදී තිබේ. ඒ කල්ලඩි පාලම අසල පැවැත්වෙන සෙනසුරාදා පොළ හෙවත් ‘බ්‍රිජ් මාර්කට්’ ය.

මඩකලපුව නගරයේ වෙළද සැල් මෙන්ම වෙළද සංකීර්ණද තිබුණත් සෙනසුරාදා දිනවල පාරිභෝගිකයින් විශාල පිරිසක් එහි පැමිණෙන්නේ වස විසෙන් තොර එළවළුවක් මිලදී ගන්නටය. බ්‍රිජ් මාර්කට් සෙනසුරාදා පොළේ විකුණන ආහාර භෝග කිසිවක් සදහා වස විෂ එකතු කර නැති බවට, කාබනික පොහොර සහතිකකරණ කමිටුවක් වග වෙයි.

දිරිය කාන්තාවෝ

වස විෂ නැති ආහාර භෝග විකිණීමට බ්‍රිජ් මාර්කට් වෙත එන්නේ යුද්ධයේ අමිහිරි වේදනාවන් අතරින් තම ජීවිත ජයගන්නට වෙර දරන කාන්තාවන් පිරිසකි. ඔහුහු මඩකලපුවේ බොහෝ ඈත දුෂ්කර ගම්වල සිට නැගෙනහිර දියඹෙන් හිරු පැන නගින්නටත් පෙර එහි පැමිණෙති. එයින් වැඩි පිරිසක් අනාථ කදවුරුවල රැදී සිට නැවත පදිංචියට පැමිණි අයයි. ඒ අතරින් සැලකිය යුතු පිරිසක් ‘ගෘහමූලික කාන්තාවෝ’ වෙති. ඔවුන්ට තනිවම පවුලේ බර කරට ගන්නට සිදු වී ඇත්තේ විවිධ හේතු මත ස්වාමිපුරුෂයන් අහිමි වීම නිසාය. එයින් ප්‍රමුඛතම හේතුව යුද්ධයයි.

හතළිස් පස් වියැති චන්ද්‍රන් දයාවතී, පෙරිය පෝරතිව් ප්‍රදේශයේ පදිංචි තිදරු මවකි. ”අපේ එළවළු අද මඩකලපුවේ හරි ප්‍රසිද්ධයි. දැන උගත් පිරිස තමයි අපෙන් තමයි බඩු ගන්නේ. හැම සෙනසුරාදාටම අපේ පොළේ බඩු ගන්න පුරුදු වුණු පිරිසක් ඉන්නවා.” වෙළදාම් කරන අතරේ ඇය පැවසුවාය.

/මොණරාගල ඉපදුණු ඇය, 83 කළු ජූලිය නිසා මඩලකපුවට සංක්‍රමණය වූ පවුලක සාමාජිකාවකි. සැමියා වෙන්ව යෑමෙන් පසුව කුලී වැඩ කිරීමෙන් ජීවිතය සරි කර ගත් ඇය, ඉන් පසුව එළවළු වගාව හා අලෙවි කිරීම ඇරඹුවාය. ”මුලදී වත්තේ වගා කරපු එළවළු අරගෙන ගෙයින් ගෙට ගියා. මීට අවුරුදු දෙකකට විතර කලින් තමයි මම මේ බ්‍රිජ් මාර්කට් එකේ බඩු විකුණන්න සම්බන්ද වුණේ.”

දුර්ලභ අවස්ථාවක්

ඇයත් සමග කතා බහ අතරේදී ඇයගෙන් එළවළු මිල දී ගත් මඩකලපුව කල්ලඩි ප්‍රදේශයේ පදිංචි ආයතන කළමනාකරුවෙකු වූ කේ. මහේෂ්වරන් පැවසුවේ, වස විෂ නැති එළවළු ටිකක් ගන්න ලැබීම දුර්ලභ අවස්ථාවක් බවයි. ”මේ එළවළු පලතුරු කන්න බය වෙන්න ඕන නැහැ. සෞඛ්‍ය ආරක්ෂිතයි. මේ අවස්ථාව මඩකලපුවේ අපි ලබපු ජයග්‍රහණයක්.”

කල්ලඩි බ්‍රිජ් මාර්කට් වලින් සතියට අවශ්‍ය එළවළු පලතුරු මිලදී ගැනීමට එය අය අතර වන්නේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු, වෛද්‍යවරු, රජයේ උසස් නිලධාරීහු මෙන්ම සංචාරක හෝටල් පවත්වා ගෙන යන අයද වෙති. කාබනික ආහාර පිළිබදව උනන්දුවක් දක්වන එබදු බොහෝ දෙනා මේ වෙළදුන්ගේ යහළු මිත්‍රයන් වී ඇත.


වාකරේ, කදිරවේලි, වාලච්චේන, එරාවුර්, කිරාන් කරදියන්ආරු සහ කොක්අඩිචෝලේ යන ප්‍රදේශ කිහිපයක ගෙවිලියෝ බ්‍රිජ් මාර්කට්හි වෙළදාමට බඩු ගෙන එති.

මේ සෑම ගම්මානයකම, සහතික කරන කමිටු පිහිටුවා තිබීම විශේෂයකි. මේ කමිටුවල සහතිකය මත කාබනික පොහොර භාවිතය සිදුකරනු ලබන අතර සියයට සියයක්ම විශ්වාසයෙන් යුතුව එළවළු මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදාවන්නේය. බ්‍රිජ් මාර්කට්හි අලෙවිය සදහා එළවළු පලතුරු නිෂ්පාදනය කරන ගොවීන් සංඛ්‍යාව 1300 පමණ වෙයි.

දුෂ්කරතා රැසක්

අක්කර දෙකක පමණ එළවළු හා පලතුරු වගා කර ඇති වසන්තරාජා මල්ලිකා දේවි, කොක්අඩිචෝලේ කරදියන්ආරු ගම්මානයේ පිදිංචිකාරියකි. ඇය කාබනික ක්‍රමයට කෙසෙල්, බටු, මෑකරල්, කරවිල, ලබු, වැටකොලු, කව්පි, රටකජු වගා කරන අතර ඒවාට ඉහළ ඉල්ලුමක් ඇති බවත්, තම නිවසටත් ගැනුම්කරුවන් පැමිණෙන බව ඇය ආඩම්බරයෙන් පවසන්නීය. එහෙත් ඇගේ අතීත සේම වර්තමාන අත්දැකීම්ද කටුකය.

”යුද්ධය නිසා අපි කිසාකඩි අවතැන් කදවුරේ මාස හතක් හිටියා. යුද්ධය අවසන් වෙලා ආපහු එනකොට ගෙවල් දොරවල් මොකුත් නැහැ. අලි කඩලා. වත්තේ හිටවලා තිබුණු සියලු දේවල් විනාශ කරලා. මගේ මහත්තයා ආබාධිතයි. වැඩක් කරන්න බැහැ. දූලා පස් දෙනෙක් ඉන්නවා. එක් කෙනෙක් පමණයි කසාද බැදලා ඉන්නේ. අනෙක් සියලු දෙනා මං ජීවත් කරවන්න ඕන. ඒ හැම දේම කරන්නෙ මේ වගාවෙන්’.

අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ අලි ගම් වැදිලා වගා කරන භෝග විනාශ කරන එකයි. අලි වැටක් ඉල්ලුවා. නිලධාරීන් බීරි අලි වගේ. ගමට යන්න පාර නැහැ. වැහි කාලෙට ළමයින්ට ස්කෝලේ යන්න බැහැ. ගමට යන්න බස් එකක් නැහැ. කිලොමීටර පහක් විතර පයින් යන්න තියෙනවා. ත්‍රීවීල් එකකට රුපියල් තුන්සීයක් ගන්නවා. අපි කොහොමද හැමදාම ඒවයේ යන්නේ?”

වාකරේ උච්චාකේනි ගම්මානයේ සිට පැමිණි තවරාසා තිරිනෙල්ලි තිස්දෙහැවිරිදි දෙදරු මවකි. එළවළු වගාවට අමතරව කට්ටමුරේ වැවේ මාළු අල්ලන ඇය, කරවල වේලා පොළට ගෙන එයි. දුම් ගසා වේලන ඒ කරවලවලට ඇත්තේ හොද ඉල්ලුමකි. ඇයගේ දවසේ ආදායම රුපියල් හත් අට දාහක් පමණ වෙයි.

”මගේ දරුවො දෙන්නා ස්කෝලේ යනවා. ඒ අයව රැක බලා ගන්න ඕන. වියදම් වැඩියි. අපිට ඉඩම් නැහැ. තියෙන පොළොවත් වැල්ල. කාබනික පොහොර දාලා තමයි වගා කරන්නේ. සෙනසුරාදා බ්‍රිජ් මාර්කට් ආවොත් විතරයි අපිට ආදායමක් තියෙන්නේ.”

යුද්ධයෙන් හෙම්බත් වූ මේ කාන්තාවන්ට මහ පොළොව හා ගැටෙන්නට හිතේ ධෛර්ය තවමත් නොඅඩුව ඇත. ඔවුන් ඉල්ලන්නේ රැකියා නොවේ. සහනාධාරද නොවේ. කාබනික වගාව දියුණු කරගන්න අවශ්‍ය සහයෝගය පමණි.

/අපූරු ආදර්ශයක්

ජන තාක්ෂණ ආයතනය මේ සදහා සහයෝගය දැනටමත් ලබා දී ඇත. එහි මඩකලපු දිස්ත්‍රික් උපදේශක කමල් කැකුලන්දර සදහන් කළ පරිදි, ගොවීන්ට අවශ්‍ය උපදෙස් ලබාදීම, උපකරණ සැපයීම මෙන්ම ඔවුන්ගේ නිෂ්පාදනවල කාබනික සහතිකකරණය සිදු කරන්නේද එම ආයතනයෙනි. බ්‍රිජ් මාර්කට් හි දවසේ නගර සභා කුලිය ගෙවන්නේද එම ආයතනයයි.

නිවාඩු දිනයේ පොළට ඇවිත් එළවළු මිලදී ගත් අම්පාර අතිරේක දිසාපති කේ. විමලනාදන් මහතා සෙනසුරාදා බ්‍රිජ් මාර්කට් වලින් එළවළු මිලදී ගන්න පුරුදු පාරිභෝගිකයෙකි. කල්ලඩි ප්‍රදේශයේ පදිංචිව සිටින ඔහු නිවසේ ආහාර සදහා තොරා ගන්නේ බ්‍රිජ් මාර්කට් එළවළු හා පලතුරුය. “මේ මාර්කට් එකේ එළවළු පලතුරු මිලත් සාධාරණයි. සාමාන්‍ය කඩේ තියෙන මිලට වඩා රුපියල් දහයක් වැඩි වුණත් කමක් නැහැ. ලෙඩ නැහැනේ. ලෙඩ හැදුණම බෙහෙත් ගන්න කීයක් වියදම් කරන්න ඕනද ? මිනිස්සු පුරුදු වෙන්න ඕන ශරීරයට හිතකර දේ ගන්න” ඔහු පැවසුවේය.

සීමාවක් නැතිව පෙළොවට එකතු වන කෘෂි රසායනික ද්‍රව්‍ය නිසා අපේ සාරවත් පොළොව අද දූෂණය වී හමාරය. මේ නිසාම ජලයට මුසුවන ආසනික් හා බැර ලෝහ ප්‍රමාණය ඉහළ යෑමෙන් ජල දූෂණයද ඉහළ ගොසිනි. මේ තත්ත්වය හමුවේ වකුගඩු රෝගීන් සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක්ද දැකිය හැකිය. මෙබදු පසුබිමක, බොහෝ දුෂ්කර තත්ත්වයන් තුළ පවා හොද දෙයක් නිෂ්පාදනය කර තම ජීවිත පවත්වා ගන්නට බ්‍රිජ් මාර්කට් වෙළෙන්දියන් ගන්නා උත්සාහය කෙතරම් අගනා ආදර්ශයක්ද?