Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

පිරිසුදු ජලයෙන් හදවත් දිනූ මිනිසෙක්
මංජුල විජේසුන්දර

මානුෂීය හැගීම් සහිත ධෛර්යවත් මිනිසකුට කොපමණ දේ කළ හැකිද? මේ ඒ ගැන ජීවමාන නිදර්ශනයකි.

01.10.2017  |  
වවුනියාව දිස්ත්‍රික්කය
මංජුල වැසි දිනක ගෙන් ගෙට යමින්

එක් පසෙකින් පවස නිවන ජලයයි. අනෙක් පසින් ආදරය, දයාව හා කරුණාවයි. ජීවිතයකට අත්‍යාවශ්‍ය පානීය ජල‍යෙනුත්, දුකටපත් හදවත්වලට අවශ්‍ය කරුණා දහරිනුත් දුෂ්කර පෙදෙසක ජන හදවත් ඇඳ බැඳගත් අපූරු තරුණයෙකි.

මේ චරිතය ගොඩනැගෙන්නේ වව්නියා දිස්ත්‍රික්කයේ කර්කශම පෙදෙසක් වන සෙට්ටිකුලම කොටසෙනි. ඒ, බීමට පිරිසිදු ජලය නැතිව මුස්ලිම් දෙමළ විශාල ජන කොටසක් රෝගීන් වී ජීවිත ගැන සියලු බලාපොරොත්තු අතහරිමින් සිටි යුගයක, පිටස්තරයෙන් ආ සිංහල තරුණයෙකු ලෙසයි.

සෙට්ටිකුලමට ආ අමුත්තෝ

මංජුල විජේසුන්දර නම් ඔහු, 2012 වසරේදී කුරුණෑගල මාකෙළිය ගමෙන් වව්නියා දිස්ත්‍රික්කයට පා තබන්නේ ප්‍රජා සත්කාරයක් ලෙස, බීමට පිරිසිදු ජලය නැති ජනයාට පිරිසිදු ජලය ලබා දීමේ ක්‍රමවේදයක් උදෙසා සමීක්ෂණයක් කිරීමටය. ඉංජිනේරු වි.මු.ජයවර්ධන, රසායන විද්‍යාඥ බන්දුල ප්‍රේමරත්න හා මංගල පද්මසිරි ඔහු සමග ගිය සෙසු පිරිසය.

ඔවුහු වව්නියාව පෙදෙසේ ජල සාම්පල 3300ක් පරීක්ෂා කළහ. නරකම වතුර හමු වුණේ සෙට්ටිකුලමෙනි. ඒ ජලය පානය කරන්නේ නම් සෙට්ටිකුලමේ සිටින රෝගීන් සංඛ්‍යාව කෙබඳු මට්ටමක වියහැකිදැයි සිතූ ඔවුහු වෛද්‍ය නිලධාරීන්ගෙන් වකුගඩු රෝගීන්ගේ විස්තර ඉල්ලා බැලූහ.එම විස්තරවලට අනුව වකුගඩු රෝගීන් සංඛ්‍යාව 42කි. එය වියහැක්කක් නොවන බව සිතූ පිරිස නිවාස 7262කට ගොස් විවිධ සායන වලින් ප්‍රතිකාර ලබන ජනයාගේ වෛද්‍ය වාර්තා ඉල්ලා පරීක්ෂාකර බැලූහ. එම වාර්තාවල ඇති තොරතුරු ආශ්‍රිතව අපිරිසිදු ජලයෙන් ඇති වන රෝගවල ලක්ෂණ ඇති අය 503ක් බවට පෙනී ගියේය. අස්ථි ප්ලෝරසියාව හා වකුගඩු රෝග ඒ අතරය.

ඹෟෂධ දීමටත් වඩා කළ යුතු එකම පිළියම පිරිසිදු ජලය දීම බව තීරණය කළ මේ කණ්ඩායම ජල පිරිපහදු දෙකක් ප්‍රදේශයේ සවි කළහ. එම ජලය සාමාන්‍ය ප්‍රති ආශ්‍රැති ජල පිරිපහදුවකින් පෙරීමට තරම් නොහැකි අධික කැලිසියම් හා ක්ලෝරීන් සාන්ද්‍රණවලින් යුතු ජලයක් බැවින් මෙම විද්වතුන් තිදෙනා ‘විද්‍යුත් කැටිගැසීමේ ක්‍රමය‘ නැමති නවතම ක්‍රමයක ජල පිරිපහදු යන්ත්‍ර ඒ සඳහා නිපදවා මේ ජල සැපයුම් ඇති කළෝ ය. එම යන්ත්‍ර නිපදවීම සිදු කළේ, කුරුණෑගල ස්පෙක්ට්‍රා ආයතනයයි.

ජල ව්‍යාපෘතියේ සේවයකරන රැකියා විරහිත තරුණියනට ජලයේ කැල්සියම් පරික්ෂාව කියා දෙමින්
විශ්මිත ‘ජල චිකිත්සාව’

මේ ජලය බෙදා දීමේ වගකීම අතට ගත්තේ මංජුලය. ඒත් එම වනවානුවේදී අදාළ ප්‍රදේශවල ජනතාවට පිරිසිදු පානීය ජලය භාවිත කිරීමේ වැදගත්කම ගැන නිසි අවබෝධයක් නොවිණි. මංජුල ගම්මාන දෙකකට මුලින්ම නොමලේ ජලය දී එම කොටසේ සිටි රෝගීන් විසිතුන් දෙනොගේ චර්යාව අධ්‍යයනය කළේය. ප්‍රතිපලය විශ්මිත විය.

ඇවිදීමට බැරිව සිටි අය ඇවිදින්නට වූහ. වැඩ කරන්නට බැරිව සිටි අය වැඩ කරන්නට වූහ. සායනවලට ගොස් ගෙන එන වෛද්‍ය වාර්තාවල තත්ත්වය යහපත් විය. සායනවලට ගිය ගණන 370කි. ඒ හැමෝටම ජලය දෙන්නේ නොමිලේය. කලකදී එම සංඛ්‍යාව සායනවලට යාම නතර විය. මේ ඒ අයගෙන් කිහිප දෙනෙකි:

එස්.ජේසරාසා (52) වකුගඩු රෝගය උත්සන්න වීමෙන් බොහෝ කලක් ඇවිදීමටද නොහැකිව සිටි අයෙකි. පිරිසිදු ජලය ලැබී මසකට පමණ පසු තමන්ට ගේ දොර වැඩපල කිරීම, තල්ගස් නැගීම හා තනිව ගමන් බිමන් යෑමට හැකි වූ බව ඔහු පැවසුවේය.

ආබාධිත කරුණාකරන් දරුවා

රෝගයට ගොදුරු වී සිට සුවය ලැබූ එස්. පාමා (48) මෙසේ පැවසුවාය: ” මම අවුරුදු තුනක් වව්නියා රෝහලෙන් බේත් ගත්තා. මට ලේ සුද්දකරන්නත් කියලා වෛද්‍ය වාර්තාවේ ලියලා තිබුණා. මම ගියේ නෑ කරදර නිසා. ඒත් ව්‍යාපෘතියෙන් වතුර ලැබුණට පස්සේ මට දැන් අමාරුවක් නෑ.”

ගොවියෙකු වන අංජන් ජෝනිදාස් වකුගඩු රෝගයෙන් අසාධ්‍යව සිට වව්නියා රෝහලේ වෛද්‍ය සායනයෙන් ප්‍රතිකාර ලැබූ තවත් අයෙකි. ඔහුද පවසන්නේ නතර කර තිබූ තම වෘත්තිය නැවත ආරම්භ කළේ පිරිසිදු ජලය ලැබුණාට පසුව බවයි.

පෙදරේරුවෙකු වන කේ. ලෝරන්ස්, තෙවසරක් රෝගාතුරව සිට මෙම ජලය පානය කිරීමත් ආහාර පාන වෙනස් කර ගැනීමත් මගින් සුවය ලැබූවෙකි.

පස්වසක ‘ජල බැම්ම’

වසර පහක් ගත වී අදත් මංජුලගේ ජලය බෙදා හැරේ. එය අපූරු ව්‍යාපෘතියකි. එය නඩත්තුවන්නේ ජල පාරිභෝගිකයන්ගෙන් අය කෙරෙන මුදලිනි. එහෙත් රෝගීන්ට ජලය නොමිලේය. විශේෂ උත්සව වලට, අගහිග ඇති අයට නොමිලේය. සාමාන්‍යයෙන් සහන මිලටය. ඒ ලබන ආදායමෙන් යන්ත්‍ර නඩත්තු කරන ගමන් රැකියා විරහිත කිහිප දෙනෙකුට ජල සමිතියේ තනතුරු හා රැකියාවන් ය. එයින්ද ඉතිරි ආදායම සායනවලට යන්නට අගහිග ඇති අයට, කන්න බොන්න නැති අයට පිහිට වීම වෙනුවෙනි. මංජුලට ඉතිරිවන සොච්චන් ලාභය උපන් දින සාද ,විවාහ මංගල උත්සව, මළ ගෙවල් හා කෝවිල්වල උත්සව වෙනුවෙන් තෑගි බෝග දෙන්නට වැය කළ විට ඔහු අද අඳින්නේ පළඳින්නේ කන්නේ බොන්නේ නිදන්නේ සෙට්ටි කුලමේ සාමාන්‍ය දුගී වැසියෙකු මෙනි.


උදේට කෝවිලට ගොස් දෙවියන් වැඳ නළලේ කුංකුම තවරාගන්නා මංජුල දැන් චතුර ලෙස දෙමළෙන් කතා කරයි.

‘‘ එනකොට දෙමළ එච්චර දැනීමක් නෑ. දැන් කතාකරන්න හොඳටම පුළුවන්. මේ මිනිසුන්ගේ වගේ සරල ජීවිතයකට මමත් දැන් ආසයි. මම ආ මුල් දවස් වල රෑට නිදන්න තැනක් නැතුව කන්නයියාගේ වත්තේ අඹගහෙන් සල්ලි මල්ල එල්ලලා, කන්නනයියාත් එක්ක එළු කූඩුවේ නිදාගත්තා. මේ අයටත් මාව විශ්වාසයි. මටත් එහෙමයි. හැම මගුල් ගෙදරටම, උපන්දින සාදයකටම මටත් ආරාධනා කරනවා. මෙහෙ චාරිත්‍ර අනුව මංගල උත්සවයේදී මනමාලයාගේ පා දෝවනය කරන්නේ මාමා හෝ පවුලේ ප්‍රධානියා. මාමා ඉද්දී මට ඒකට ආරාධනා කරනවා.” තමන් ඒ ප්‍රජාවගේම කෙනෙකු වී ඇති අයුරු ඔහු විස්තර කළේය.

”මගේ දුරකතන අංකය හැම වකුගඩු රෝගියෙක් ළඟම තිබෙනවා. කවුරුහරි ලෙඩ වුණොත් මහ රෑ මට තමා ඉස්පිරිතාලෙ යන්න කතා කරන්නේ. මේ මිනිස්සුන්ගේ දුකේදී පිහිට වෙන එක මට සතුටක්.” ඔහු කියයි.

හදිසි අනතුරක්

එක් අවස්ථාවක, මංජුල යතුරුපැදියක ගැටී බරපතළ ලෙස තුවාල ලැබුවේය. යතුරුපැදිය පැදවූ තරුණයා රියදුරු බලපත් නොමැති අයෙකි. ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නැයි මංජුල පොලිසියෙන් ඉල්ලා සිටියද සිදුවීම බරපතළ නිසා පොලිසිය ඔහු විරුද්ධව නඩු පැවරුවේය. උසාවියේදී, තමන් බලාපොරොත්තු වන වන්දි මුදල කොපමණදැයි මහේස්ත්‍රාත්වරයා මංජුලගෙන් විමසීය.

‘‘මේ දරුවාගේ පියාත් වකු ගඩුරෝගියෙක්. මේ දරුවා හෙට සාමාන්‍ය පෙළ විභාගය ලියනවා. එයාගෙන් මට වන්දි අරන් වැඩක් නෑ. එයාට උදව්වක් කරන්න මට විදියක් නැතුව ඉන්නේ” යැයි ඔහු පිළිතුරු දුන්නේය.

මංජුල රෝහල් ගත කර සිටින කාලය තුළ ඔහුව ආහාර සපයන්නට, ළඟ සිටින්නට, සත්කාර කරන්නට ආ පිරිස අපමණය. එය වන්දියකින් තක්සේරු කරන මුදලට වඩා අප්‍රමාණ විය.

නෙක නෙක ‍බැඳුම්

උළුක්කුලම හා වීරපුරම් ගම්මාන දෙක වෛරයෙක් පැවැති ගම් දෙකකි. ජල පිරිපදුව ඉදිකෙරුණේ උලුක්කුලම ගමේ උක්කුඅම්මා මහත්මියගේ වත්තේය. මේ ගම් දෙකේ හැමෝටම මේ ස්ථානය විවෘත වීමත් සමඟ ගම් දෙකේ වෛරය දුරු වී සුහදත්වයෙන් බැඳිණි. මංජුල එය තමාගේ මෙහෙයක් ලෙස සිතා සතුටු වෙයි.

රෝහලේ ජල පිරිපහදුව විවෘත කළ දිනයේ

පාවක්කුලම ජනපදයේ ට්‍රැක් 9 ගමේ පදිංචි කරුණාකරන් දරුවා අතපය විකෘතිව කතා කළ නොහැකි ආබාධයකින් පෙළෙයි. මාපියන්ගේ දිළිදුකම නිසා ඔහුට නිසි ප්‍රතිකාරයක් නොලැබිණි. ඒ වෙනුවෙන් වෙහෙසුණු මංජුල, ඔහුට නොයෙක් උපකාර ලබාදී වෛද්‍යවරයෙකු වෙත ගොස් කථන චිකිත්සක හා භෞත චිකිත්සක ක්‍රම උගෙන ඔහුට ප්‍රතිකාර කිරීම ආරම්භ කළේය. එම චිකිත්සාවන්ගෙන් පසු, එතෙක් ඔසොවාගෙන යා යුතු වූ දරුවා තනිව නැගිටියි. වචන එක දෙක මුමුණයි. දැන් ප්‍රතිකාර කරන අයුරු එම පවුලේ අයට කියා දී ඇත. මාස හයකින් පමණ කරුණාකරන් සුව අතට පත්වේ යැයි ඔහුගේ අපේක්ෂාවය. කරුණාකරන්ගේ ගෙදර අයට වෙනම නළ ළිඳක්, නාන කාමරයක් ආදී පහසුකම් සකසා දීමටද මංජුල කටයුතු කළේ ය.

වරක් මංජුලගේ සිඟිති දැරිය ඩෙංගු වැළඳී රෝගාතුර වූ බවට බිරියගෙන් පණිවිඩයක් ලැබිණි. ඒ වන විට ඔහු රෝගීන් සිය ගණක් කඳවා වකුගඩු රෝග සායනයක් සංවිධානය කර තිබිණි. රාජ්‍ය නිලධාරීන් හා ජනතාවද වෛද්‍ය අංශ ද සමායෝජනය කළේ ඔහු නිසා ඔහු ගමට ගියහොත් වැඩ කටයුත්ත අඩාළ වනු ඇත. එය නොසලකා නිවසට යන ලෙස බොහෝ දෙනා කීවද මංජුල කීවේ ‘මගේ දරුවා බලාගන්න මගේ සහෝදරයින්, බිරිය, අම්මා ආදී හැමෝම ඉන්නවා. ඒ නිසා කවුරුත් නැති මේ අය දාලා මම නොයා ඉන්නම්‘ කියා ය. ඒ අසා ගැමියෝ කොවිල්වලට ගොස් මංජුලගේ දරුවා බේරාදෙන්නැයි දෙවියන්ට කන්නලව් කර, පුද පූජා පවත්වා බාරහාර වූහ. දරුවා එදාම සුවය ලැබුවේය. මංජුලට දෙවියන් වෙනුවෙන් ගෙවන්නට ඇති බාර ගණන විශාලය. එයට හේතුව අතිවිශාල පිරිසක් ඒ වෙනුවෙන් කෝවිල් ගොස් තිබීමය.

මහන්තන්කුලම් පදිංචි කන්නයියා හෙවත් කේ. සෝමසුන්දරම් මංජුලට පළමු ජල පිරිපහදුම සවිකරගැනීමට වත්තේ ඉඩ දුන් පුද්ගලයයා. ඔහුගේ දියණිය තාරණි දිගු කළක් රෝගාතුරව සිටියාය. පිරිසිදු ජලය ලැබීමෙන් පසු ඇය සුවය ලැබුවාය. පාසල් අධ්‍යාපනය නිම කළ ඈ තමාට සුවය දීම වෙනුවෙන් දෙවියන්ට ස්තුති කිරීමක් ලෙස, මංජුල ඇරඹූ මේ ‘සෙන්තාමනි‘ ජලව්‍යාපෘතියේ දෙවසරක් නොමිලේ සේවය කරමින් ජනතාවට ජලය සැපයීමට දායක වුණාය.

දැන් සෙට්ටිකුලමේ කවුරුත් පිරිපහදු කළ ජලය පානය කිරීමට හුරුවී ඇත. ඒ සඳහා මංජුල පමණක් නොව මුදලට ජලය සපයන පුද්ගලයින් වාහන 13කින් පමණ ප්‍රදේශය පුරා බෙදාහැරීම් කටයුතු කරයි. මංජුලත් මසකට ලීටර් ලක්ෂයක් පමණ බෙදා දෙයි. මංජුල හා ස්පෙක්ට්‍රා සමාගම එක්ව සෙට්ටිකුලම රෝහලට ලබා දුන් විශේෂිත පිරිපහදු ඒකකයකින් වෛද්‍ය කාර්ය මණ්ඩලයට හා රෝගීන්ට නොමිලේ ජලය ලැබේ. මේ නිසා වකුගඩු හා අස්ථි ප්ලොරසියාව හේතුවෙන් රෝගාතුර වන පිරිසක් ගැන අලුතින් අසන්නට නොලැබේ.

සෙට්ටිකුලමේ අය උඩරට චාරිකා යන විට නවතින්නේ මංජුලගේ ගමේය. වාරියපොල ප්‍රදේශයේ අය උතුරට යන විට මංජුලගේ සෙට්ටිකුලමේ සහෝදර වැසියෝ කෑම බීම හදා සංග්‍රහ කරති. ඔවුන්ගෙන් සිංහල අය ඉල්ලන්නේ දමිළ ආහාරපානය .අලුතින් උඳු ගෙන ගලේ අඹරා නියම ප්‍රමිතියෙන් වඩේ, තෝසේ ආදිය තනා සෙට්ටිකුලමේ අය කුරුණෑගල අයට දෙන්නේ මංජුලට කරන උපහාරයක් ලෙසය. මේ දෙපිරිස ඥාති බැඳීමක් හෝ විවාහ බැඳීමක් නැති දැඩි මානුෂීය බැඳීමක පුරුක්ය.