Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

දෙමළුන් ඇසුරෙහි දිවි රැක ගත් සිංහලයා
ඩයස් ජයසිංහ

‘සිංහල දකුණෙහි’ රැකවරණය අහිමි වූ කල ඔහු දෙමළ උතුරට පලා ගියේය. අවි අත දැරූ පසමිතුරු දෙපාර්ශ්වයේම සැකයටත් තර්ජනයත් ලක් වුවද ඔහු ඒ සියල්ල මැද දෙපයින් නැගී සිටින්නට ඔහුට පුළුවන් විය. ඒ, ජාතිකත්වයේ පටු කෝදුවන් ඔහු නොමිනියහැකි බැවිනි.

03.10.2017  |  
යාපනය දිස්ත්‍රික්කය
දෙමළ පුවත්පත් කියවමින් සිටින ජයසිංහ

සමාජ අසාධාරණය ගැන කලකිරී සිය සිංහල ඥාති වර්ගයාගෙන් මිදී දෙමළ සමාජයෙන් ඥාතීන් සොයා ගත් මේ අපූරු පුද්ගලයා ඩයස් ජයසිංහය. තමාට දාව උපන් දූ දරුවන් සය දෙනාම ද දෙමළ ජනවර්ගයට අයත් බැඳීම්වලට එක්කරලූ බව සතුටින් පවසන ඔහු සිංහලයෙකි.
1988 වසරේ භීෂණ සමයේදී මාතලේ ප‍්‍රදේශයෙන් කිලිනොච්චියට පලාගොස් සැඟවෙන ඔහු නැවත හමු වන්නේ හමුදා මෙහෙම්වලින් උතුර මුදා ගන්නා සමයේ වව්නියාව පුන්තෝට්ටම් සරණාගත කඳවුරේදීය. තවමත් ඔහු පුන්තෝට්ටම් කඳවුරේ දෙමළ සරණාගතයින් අතර පසුවෙයි.

දකුණේ කැරලිකරුවා

අසූව දසකයේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රබෝධයත් සමග සමාජවාදී ආකල්පවලින් සන්නද්ධ වන ජයසිංහ, රෝහණ විජෙවීර හා ඔහුගේ දේශන ගැන පැහැදී එම පක්ෂයේ ග‍්‍රාමීය නායකයෙකු  බවට පත්වන්නේය. මාතලේ උකුවෙල ප‍්‍රදේශයේ ඉපිද හැදී වැඩුණු ඔහු වතු ආශ‍්‍රිත දමිළ සමාජයේ ආශ‍්‍රයෙන් දෙමළ බසද උගෙන සිටියේය. ඒ නිසා සිංහල දෙමළ භාෂා දෙකෙන්ම තරුණයින්ට දේශපාලන පංති පැවැත්වීමට ඔහුට හැකි විය.
ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමෙන් පසු, නිවසෙන් පිට වී සැඟැවුණු දේශපාලනයක නිරත වූ ජයසිංහ, ආරක්ෂක අංශ හා විවිධ ඝාතන කල්ලි විසින් සොයමින් සිටි පුද්ගලයෙකි. 89 වසරේ සැප්තැම්බර් මාසයේ දිනක, එවකට ආරක්ෂක අංශවලට සම්බන්ධව ක‍්‍රියා කළ සන්නද්ධ කණ්ඩායමක් විසින් ජයසිංහගේ නිවස ගිනිබත් කර වත්තේ ගස්වැල් පවා කපා දැමිණි. ඔහුගේ ප‍්‍රධාන ආදායම් මාර්ගය වන කිරි ගව පට්ටියටද වෙඩිතබා මරා දමන ලදි.
මේ සාහසික අපරාධයෙන් පසුව බිරිය හා දරු තිදෙනා සමග දඹුල්ල ප‍්‍රදේශයට පලායන ජයසිංහ, ටික දිනකට පසු කිලිනොචිචියට පැමිණෙන්නේ එහි සිටින දෙමළ ජාතික මිතුරන්ගේ උපකාරයෙනි. තම ගමේ සිටින තමන්ගේම සිංහල ඥාතීන්ට වඩා ජයසිංහට ඔවුන් විශ්වාස විය. ඒ අය නම් 83 කළු ජූලියේදී ජයසිංහගෙන් පිහිට ලැබූ අයයි. ඔවුන්ට රැකවරණය දී සඟවාගෙන සිට කිලිනොච්චිය ප‍්‍රදේශයට ඇරලවූයේ ඔහුය.

කිලිනොච්චියේ ‘දෙවැනි උපත’

වෙල්ලසාමි නැමති මිතුරාගේ උපකාරයෙන් එහි පැල් කොටයක් අටවාගත් ඔවුහු ගමේ අනෙක් අය මෙන්ම දුෂ්කරතා විඳ දරා ගනිමින් ජීවිතය ඇරඹූහ. එහි තිබුණේ ඉතා සංකීර්ණ යුදමය වාතාවරණයකි. ඔවුන් එහි යන සමයේ ඉන්දීය සාම සාධක හමුදාවද, ඔවුන් රටින් පිට කළ පසු එල්ටීටීඊ සංවිධානයද එම පෙදෙසෙහි බලය දැරීය. ගැටුම් උත්සන්න වන විට, ජයසිංහ ඇතුළු පිරිසටද සෙසු ගම්වැසියන් සමඟ කඳවුරෙන් කඳවුරට මාරු වෙමින් අවතැන් ජීවිතයක් ගත කිරීමට සිදු විය.

ජයසිංහ හා පවුලේ අය කිලිනොච්චියේදී එවකට එක්ව ගත් සේයාරුවක්

ජයසිංහගේ බිරිය චන්ද්‍රාවතී කිලිනොච්චියේදී තවත් දරුවන් තිදෙනෙකු බිහි කළාය. මේ දරු උපත් මෙන්ම බිළිඳුන් හදාවඩා ගත් අතීතය අපරිමිත වේදනාවලින් පිරුණ අඳුරු යුගයකි. එහි දී උපන් මුල්ම දරුවා රෝහලෙන් රැගෙන නිවසට ආ දා ධාරාණිපාත වැස්සකින් නිවස තෙමුණේය. සියලූ දෙනා වැස්සේ තෙමෙමින් බිලිඳියට රැකවරණය සැලසූහ.
ඔවුන්ගේ පවුලට යුද සමයේ සිදු වූ ලොකුම විපත නම්, ඔවුන්ගේ දෙවැනි පුත‍්‍රයා එල්ටීටීඊ සංවිධානයෙන් රැගෙන යෑමයි. දරුවන් ළමා සොල්දාදුවන් ලෙස බඳවාගැනීම එකල සුලබව සිදු වූ අතර, සිංහල පවුලක් වුවද ඔවුන්ටද එයින් ගැලවීමට ලැබුණේ නැත. සෙසු මාපියන් සේම හඬා වැටෙනවා මිස කළ හැකි වෙනත් දෙයක් ජයසිංහ යුවළටද නොවිණි.

එල්ටීටීඊය යටතේ දිවි ගෙවීම

හමුදාවෙන්, කොටින්ගෙන්, බඩගින්නෙන්, ජල හිගයෙන්, වනසතුන්ගෙන්, බිම්බෝම්බවලින්, ගුවන් ප‍්‍රහාරවලින්, සොර සතුරන්ගෙන්, වන සතුන්ගෙන් ආදි අනේකවිධ භීෂණයන්ගෙන් අපා දුක් විඳි මේ යුවළට මොන දේ පීඩාකාරී වුවත් අසල් වැසියන්ගේ එකමුතුකමේ සහාය නිසා උපන් ගමට වඩා කිලිනොච්චිය ආරක්ෂාකාරී බව දැනුණි.
දරුවන් හය දෙනාට හෝ වැඩිහිටි යුවළට කිසි විට අසල්වැසියන්ගෙන් කොන්වීමක් සිදු නොවීය.කන බොන දේ චන්ද්‍රා අසල්වාසීන් හා හුවමාරු කර ගත්තාය. ලෙඩ දුක් හැදෙන විට ඒ හැමෝගේම පිහිටලැබිණි. බියකරු සටන් අවස්ථාවල අසල් වැසියෝ චන්ද්‍රාට හා දරු කැළට ආරක්ෂාව සලසා දුන්හ.සමජ අසාධාරණක් සිදු වන හැමතැන දීම ජයසිංහ නැගී සිටියේය. කිලිනොච්චියේ උපන් දරුවන්ට උප්පැන්න සහතික දීම බලධාරීන් ප‍්‍රතික්ෂේප කළ විට, ආණ්ඩුවෙන් පඩිගන්න උඹලාට මගේ දරුවන්ට උප්පැන්න දෙන්න බැරි ඇයිදැයි ඔහු අරගල කළේ ය.
වාර කීපයක දීම එල්ටීටීඊ සංවිධානයේ සැකයට ගොදුරු වූ ජයසිංහ වරක් අත්අඩංගුවට පත් විය.83දී තමාගේ රැකවරණය ලැබූ පවුල් 16ක පිරිසක් තමා කිලිනොච්චියට කැඳවාගෙන ආ බවත් ඒ පවුල් 16 පාරදිපුම් හි සිටින බවත් ජයසිංහ නම්ගම් සහිතව එල්ටීටීඊ සංවිධානයට පැවසුවේය. කොටි බුද්ධි අංශය ඒ ගැන සොයා බලා ජයසිංහ නිදහස් කළේය. ඒ ඔවුන්ගේ කටයුතු වලට සම්බන්ධ වන්නැයි ඇරයුමක්ද සමගිනි.
තම ලිපි කටයුතු සඳහා සේවය සැපයිය හැකිදැයි එල්ටීටීඊය ඔහුගෙන් විමසූ විට, සිය මාක්ස්වාදී ආස්ථානය පැහැදිලි කළ ජයසිංහ, එක් ජාතියක විමුක්තිය වෙනුවෙන් පමණක් පෙනී සිටින ව්‍යාපාරයක් සමග වැඩ කිරීමට තම කැමැත්තක් නැතැයි සෘජුවම ප‍්‍රකාශ කළේය.

අද ජයසිංහ හා චන්ද්‍රා පුන්තෝට්ටම්හිදී

පසුව එල්ටීටීඊයේ පුවත් පතක භාෂා පරිවර්තක ලෙස සේවයට එන ලෙස ඔවුන් ජයසිංහගෙන් ඉල්ලීමක්කළද ඔහුගේ ප‍්‍රතිචාරය පෙර පරිදිම විය. ඒ වෙනුවට ඔහු මත්පැන් ශාලාවක සේවයට ගියේය.කිලිනොච්චියේ ආර්ථික ප‍්‍රශ්න උග‍්‍ර වන විට ජයසිංහ හා කීප දෙනෙක් ජංගම වෙළඳාමක් පටන් ගත්හ.පාපැදිවලින් වව්නියාවට යන ඔවුහු සීනි, හාල්, භූමිතෙල්, සබන් ආදිය රැගෙන ගොස් ගමේ අයට විකිණූහ.
ඒ යන ගමනේදී ජයසිංහට ප‍්‍රයෝජනවත් වූයේ ඉන්දීය හමුදාව දුන් හැදුණුම්පතකි. එහි ඔහුගේ නම ලියා තිබුණේ ‘ජයසිංහම්’ ලෙස නිසා ඔහුට මග තොටේ ආරක්ෂක ප‍්‍රශ්න මගහැර යා හැකි විය.

සිංහල අමතක-දෙවැනි පරපුර

ජයසිංහගේ දරුවන් පාසලේදී මෙන්ම නිවසේදීද දෙමළ බස භාවිත කිරීම නිසා ඔවුන්ට සිංහල අමතක විය.චන්ද්‍රා ගේ කතාවද දෙමළෙන් නිසා දෙමළ බස නිවසේ මව්බස විකලක දි මේ දරුවෝ දෙමළ සමාජයෙන් සහකරුවන් සහකාරියන් තෝරාගත්හ. ඒ විවාහවලට මේ අම්මා තාත්තා ආශිර්වාද කළෝය. අවිවාහක බාලම දියණිය උතුරේ ඇගලූම් කම්හලක සේවය කරන අතර ඇගේ නළලේ කොටා ඇත්තේද දෙමළ සහකරුවෙකුගේ නම බව මව්පියෝ විශ්වාස කරති.
‘‘සිංහලද දෙමළද කියා ප‍්‍රශ්නයක් නෑ. මිනිස්සු එකයි. නරක මිනිස්සු කොයි සමාජයෙත් ඉන්නවා. ගුණවන්ත මිනිස්සුත් ඕනෑතරම් ඉන්නවා. මේ හැම දේටම වඩා මනුස්සකම බලවත්.’’ ජයසිංහ, සිය අභියෝගාත්මක දිවිසැරියෙන් පෙරා ගත් ජීවිතාවබෝධයෙන් බිඳක් වචනවලට කැටි කර කීවේය.