Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

සංහිදියාවට පාර කියන
ගොඩපිටිය ජුම්මා පල්ලිය

සිංහල බෞද්ධ ජනතාව අතර මුස්ලිම් විරෝධයක් ඇවිලවීමේ සංවිධානාත්මක දේශපාලන ව්‍යාපෘතියක ක්‍රියාකාරකම් ජනමාධ්‍යවලින් නිරන්තරයෙන් වාර්තා වෙයි. එහෙත් සිංහල බෞද්ධ ජනතාවගේ වන්දනාවට පාත්‍ර වන මුස්ලිම් දේවස්ථානයක් ගැන ඒ ජනමාධ්‍ය දන්නේ නැත.

07.10.2017  |  
මාතර දිස්ත්‍රික්කය
ගොඩපිටිය ජුම්මා පල්ලිය

 “ රත්තරං බඩුටික ගෙනාවට පස්සෙ කෙල්ල කීප සැරයක් ඕක අරගෙන දමා දමා හැඩ බැලුවා. මම ඉතිං කෙල්ලගෙ ආශාව නේ කියල හිටිය මිසක් මොකුත් කියන්න ගියේ නෑ. ටික දවසකින් බලද්දි බඩු ටිකට වෙච්ච දෙයක් නෑ. කෙල්ල කෑ ගහල අඩන්න පටන් ගත්තා. ගෙයි හැම තැනක්ම පෙරළලා බැලුවා කොහේවත් තිබුණෙ නෑ. මට ඒක මතක් වෙනකොට දැනුත් පපුව හෝස්ගාල පත්තු වෙනවා‘’ පුණ්‍යවතී, අතීත වේදනාබර මතකය යළි පාරාගනිමින් පැවසුවාය.

“ දවස් ගණනක් හෙව්වා. බඩු ටික ඔහෙ නෑ. පස්සෙ සාස්තර ඇහුවා. පේන බැලුවා. කැට නිමිති ඇල්ලුවා. වැඩක් වුණේ නෑ. පස්සේ තමයි ආරංචි වුණේ ගොඩපිටියෙ පල්ලියට ගියොත් හොදයි කියල. මම කෙල්ලත් එක්ක ගියා. අපි බුද්ධාගම්කාරයො කියල බැලුවෙ නෑ කාරණාව අහල අපිට උදව් කළා. දවස් දෙක තුනක් යද්දි, දෙයියන්ට පින්සිද්ධවෙන්න බඩු ටික හම්බවුණා. ඒක ගත්තු අයට දඩුවමත් එක්කම ‘’

“ දැන් ලොකු දුව කෝ ? ’’

“ එයා දැන් බැදල. ඈ දීග දෙන්න තමයි මං නොවිදිනා දුක් විදල ඒ බඩු ටික හැදෙව්වෙ. ‘’ මෙතෙක් හැගුම්බරව කතා කළ පුණ්‍යවතීගේ දෙතොලග සිනහවක් මතු විය.

මව්සුම් පූජක තුමා හා අගලකඩ රතනපාල හිමි
‘සර්ව ආගමික පල්ලිය’

පුණ්‍යවතී සදහන් කළ ඒ පල්ලිය, අකුරැස්ස ගොඩපිටිය ජුම්මා පල්ලියයි. මිනිසුන්ගේ විවිධ දුක් වේදනාවලට විසදුම් ලබා දීමේ විස්මිත බලයක් ඊට ඇතැයි, නිතිපතා එහි දහස් ගණනින් ඇදී එන බැතිමත්තු විශ්වාස කරති. එහි ඇති අපූර්වත්වය වන්නේ එහි එන බැතිමතුන් විවිධ ආගම්වලට අයත් වීමය. වැඩිම පිරිස සිංහල- බෞද්ධ ජනයාය. ලංකාවේ සිංහල- බෞද්ධ ජනතාව හින්දු දේවාලවල පිහිට පතා යෑම අතීතයේ සිට පැවතුණු සම්ප්‍රදායක් වන නමුත් මුස්ලිම් දේවස්ථානයක පිහිට පැතීම සු‍විශේෂ අත්දැකීමකි.

මේ ජනයා පිහිට පතා පැමිණෙන්නේ, ගොඩපිටිය පල්ලියේ ‘සියාරම් මධ්‍යස්ථානය’ වෙතය. සියාරම්හි පූජකතුමාට එහි පැමිණෙන්නන් කුමන ආගමකට, ජාතියකට අයත් අයදැයි ප්‍රශ්නයක් නැත. එය සැබැවින්ම සංහිදියාවේ කේන්ද්‍රස්ථානයක් මෙනි.

“ මම හොද බෞද්ධයෙක්. ඒ වුණාට අනෙකුත් ආගම්වලටත් මම ගරු කරනවා. අකුරැස්ස ගොඩපිටිය බෝම්බය පුපුරද්දි මම එතන හිටියා. මගේ ළග සිටි අනෙක් අය බෝම්බයෙන් මැරුණා. මම බේරුණා ‘’වේගවත් කතාවකට මුල පිරූ මාධ්‍යවේදී සමන් උපුල් පිනිදිය මොහොතකට නිහඩ විය. තම කලිසමේ සාක්කුවෙන් ලෙන්සුව අතට ගෙන ගෙල වටා නැගි දාඩිය බිදු පිසදාගත් ඔහු යළිත් කතාකරන්නව විය. ඒ කතාව බොහෝ හැගුම්බරය.

“මම හිතන්නෙ මම බේරුණේ මේ පල්ලිය නිසා. මට කරදරයක්, හිරිහැරයක් වුණාම මම මෙතනට එනවා. මට කරදර කරපු අය නගරයේ ජනතාව අතරදී ප්‍රසිද්ධියේ මගෙන් සමාව ගෙන තිබෙනවා මෙහාට ඇවිත් කිව්වට පස්සෙ ‘’


“ අපේ අම්ම මෙතනට පුදුම කැමැත්තක් තියෙන්නේ. හැබැයි අම්ම හොද සිංහල බෞද්ධ. අවශ්‍යතාවයක් වෙනකොටම අම්ම මෙතැනට එනවා. ‘’ හෙද නිලධාරීනී මධුෂිකා දමයන්ති පැවසුවාය.

“ අප වෙත එන ජනතාව ඔවුනගේ දුක්ගැනවිල්ලට සහනයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. බෞද්ධ, මුස්ලිම්, දෙමළ හැමෝම එනවා. ඉතිං ඒ එන හැම දෙනාම අපේ රටේ අපේම අය. අපි ඔවුන්ගේ ගැටලුව දෙවියන් වහන්සේට ඉදිරිපත් කර සහන ඉල්ලා දෙනවා. එලෙස එන හැමෝගේම බලාපොරොත්තු හැමදාම ඉටු වුණා. ඒ නිසා ජනතාව දිනපතා එනවා. කිසිදු අයකිරීමක් නැතිව අපි අපේ සේවය ලබාදෙනවා‘’ සියාරම්හි මව්සුම් පූජක තුමා පැවසුවේය.

මුස්ලිම් තරුණ හා වැඩිහිටි පිරිස් එක්වී ගංවතුරට යටවූ බෝධිය පවිත්රකරමින්
පන්සලයි- පල්ලියයි

මෙම ස්ථානයට පැමිණෙන ජනතාව ඉල්ලා සිටින, ප්‍රාර්ථනා කරන දේ ඉටුවීමෙන් පසු නැවත පැමිණ උපහාර පූජාවන් පැවැත්වීමද මෙහි ඇති තවත් විශේෂත්වයකි. පල්ලිය අවට ජීවත්වන අති බහුතරය සිංහල බෞද්ධයින් වුව ප්‍රදේශයේ සමගියට, එකමුතුකමට පල්ලියෙන් ඉටුවන සේවය අතිමහත්ය. පල්ලිය හා ප්‍රදේශයේ විහාරස්ථාන අතර ඇත්තේද දැඩි සම්බන්ධතාවකි.

“ අපේ පල්ලියෙ අවශ්‍යතාවයක් වුණොත් ස්වාමීන්වහන්සේලා එනවා. අපේ අයත් එහෙමයි. පල්ලියේ උත්සවයට වැඩිපුරම එන්නෙ සිංහල අය. දෙමළ අයත් එනවා. එයාල කිසිදු බේදයක් නැතිව කාල බීල යනවා. අපිත් වෙසක් වලට, පොසොන් වලට සිංහල අය සමග තොරන් බලන්න යනවා. දන්සල්වලින් කනවා. හරි සතුටුයි “ මෙහොමඩ් ඉෆ්තිකාර් පවසන්නේය.

“ කෙනෙකුගේ සිත අසහනයෙන් පිරුණම ඒ සිතට සහනයක් දෙනවානම් ඒක කවුරු කළත් ලොකු පින්කමක්. වටිනා දෙයක්. ‘’ ගොඩපිටිය ජේතවන රාජමහා විහාරාධිපති හා ගිරුවාපත්තුව ඇතුළු ගාලු මාතර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක අගලකඩ රතනපාල නාහිමියෝ දිගු කතාවකට මුලපුරමින් පැවසූහ.

සියාරම් හි වතාවත් සිදුකරන ස්ථානය

“අපේ බෞද්ධ පිරිස් තම අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් ඔය සියාරමි එකට යනවා. ඒවගේම මුස්ලිම් ජනතාවත් තම අවශ්‍යතා වෙනුවෙන් සමහර අවස්ථාවල අපේ පන්සලේ දේවාලයට එනවා. මේක ලොකු සම්බන්ධතාවයක්. මහත්තයො ඔය පිටට පේන දෙයට වඩා යමක් ගොඩපිටිය පල්ලියෙන් සිද්ධවෙනවා. පහුගිය ගංවතුර වෙලාවේ ඔය පල්ලියට, සියාරම් එකට එන අයගෙනුයි වෙනත් සම්බන්ධතා වලිනුයි ලොකුවට කෑම, බීම, බඩු භාණ්ඩ ගෝනි ගණන් හම්බ වුණා. ඒවා එයාල තනිව බෙදාගත්තෙ නෑ. අපේ පන්සලට ගෙනැත් කාටත් බෙදන්න කියා භාරදුන්නා. පල්ලියට මෙහායින් තියෙන බෝධීන්වහන්සේ ගංවතුරට යටවුණා. වතුර බහිනවාත් සමග මුස්ලිම් දරුවො ඇවිත් බෝධිය හා මළුව සුද්දකරල, බෝධිය නාවල සියල්ල පිරිසිදු කළා. ඒක ආයෙ බෞද්ධයො කරනකම් බලන් හිටියේ නෑ. මේවා මේ පළාතේ සමගියට කදිම පිටුවහලක්. දේශපාලන අවශ්‍යතා මත තමයි මෙවැනි සම්බන්ධතාවන්ට බාධා ඇති කරන්නේ.

මේ තියෙන සමගිය වැඩිකරන්න සිංහළ, දෙමළ හා මුස්ලිම් අය අතර විවාහ වගේම මහණකිරීම්ද කළ යුතුයි. එතකොට මේ සමගිසම්පන්නභාවය තව තවත් ශක්තිමත් වෙනවා ‘’රතනපාල හිමියෝ බලාපොරොත්තු සහගතව පැවසූහ.

සිතේ සතුට යහපත් දිවිගමනකට මගපාදන්නේය. අන්‍යෝන්‍ය සබදතා සමගියට මගපාදන්නේය. සමගිය යහපත් දේශයකට මගපාදන්නේය. සර්වාගමික සුහදත්වය මේ සියල්ල ශක්තිමත් කරන්නේය. ගොඩපිටියෙන් ලබාදෙන්නේ එම ආදර්ශයයි.

සිංහල මවක් හා දියණියක් තම දුක්ගැනවිල්ලට සහන පතා වතාවත්වලට එක්වෙමින්.