Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ලියවිල්ල නිසා රැකියාව අහිමි කර ගත්
පෙදරේරු කවියා

ක්‍රිෂ්ණපිල්ලෙයි අරුලම්පලම් (අකා පුලවර්) තම කවියක් පුවත්පතක පළවූවද ඉන් පිටපතක් මිලදී ගැනීමට බැරි තරම් දුප්පත්ය, ඒත් ඔහු තාම ලියයි.

10.10.2017  |  
මඩකලපුව දිස්ත්‍රික්කය
The artist at work.

”මං පෑනක් අතට ගත්ත වෙලේ ඉඳන් තීන්ත ඉවරවෙනකල්ම ලියනවා. උදේ වරුවෙමත් ලියනවා. ? තිස්සෙත් ලියනවා. වැඩ කරද්දි මගේ හිතට මොකක් හරි අදහසක් ආවොත් මං ඒක කොළ කෑල්ලක සටහන් කරලා තියා ගන්නවා. මේ නිසාම මට මගේ බඩ වියත රැකගන්න කීයක් හරි හම්බ වුණු රස්සාවත් නැති වුණා.
සමහරදාට මගේ කවි පත්තරේ පළ වෙලා කියල දැන ගන්න ලැබෙනවා. ඒත් පත්තරයක් අරන් බලන්න තරම් සල්ලියක් මා ළඟ තිබුණේ නෑ. මගේ සමහර යාළුවෝ මට පත්තරේ අරන් දුන්නා. මගේ නිර්මාණ කියවන සමහරු ඒවා වර්ණනා කරලා මට පත්තරේ දුන්නා.
මම ලියනවා ‘කූත්තු’ කියලා මඩකලපුවේ පෙන්වපු දෙමළ සම්ප්‍රදායට වගේ අයිති වේදිකා නාට්‍ය වර්ගයක්. වේදිකා නාට්‍යවල අයනු ආයනු මං ඉගෙන ගත්තේ මගේ තාත්තාගෙන්. වැඩපොළවල කාන්සිය – මාන්සිය මකාගන්න කියන සින්දුවලිනුත් මං සමහර දේවල් ඉගෙන ගත්තා. උදාහරණයක් හැටියට, කුඹුරේ අස්වැන්න නෙළන වෙලාවට හැම කෙනාම කණ්ඩායමක් වගේ එකට එකතු වෙලා ගායනා කරනවා. ඒ රිද්මය මට දැනුණා. මං ඒ අනුව මගේ දේවල් ලීවා. මම තාමත් ලියන්නේ ඒ විදිහට.
මට නාට්‍යයක් ලියන්න සමහර විට දවස් දහයක්, මාසයක්, මාස කීපයක් නැත්නම් අවුරුද්දක් වුණත් ගත වෙන්න පුළුවන්. ‘තුරෝනාර් මෝඞ්චම්’ නාට්‍යය වේදිකා ගත කරද්දි පිටපත ලියන්නම මට මාසයක් ගත වුණා. පුහුණුවීම්වලින් පස්සේ නාට්‍යය පෙන්නන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී නළුවොයි, ගායකයොයි, බලාගන්න අයයි රණ්ඩුවක් ඇති කර ගත්තා. මේ කලබලේ අතර කවුරුහරි පිටපතට ගිනි තිබ්බා. මොනවා වුණත් නාට්‍යය පෙන්වන්න තීරණය කළ දිනයේ පෙන්වන්නම වෙනවා. ඒත් පිටපතක් නැතුව නාට්‍යයක් පෙන්නිලි බොරු. ඒ අයට ඕන වුණා මට කියලා නාට්‍ය පිටපත අයෙමත් ලියවගන්න. මට මොනව කරන්නද කියලා හිතා ගන්න බැරි වුණා. ඒත් මං එක දිගට දින තුනක් මහන්සි වෙලා අන්තිමේ පිටපත සකස් කරලා දුන්නා. ඒ දවස්වල මං වැඩ කළේ පෙදරේරුවෙක් හැටියට. දවසේ කුලිය රුපියල් 100යි. ඒකෙන් ගෙදර කන බොන ප්‍රශ්නේ මට විසඳගන්න පුළුවන් වුණා. ඒත් එක දිගටම දවස් තුනක් වැඩට නොගිය නිසා මට මගේ රස්සාව නැති වුණා.
ලියනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ලියන රාජකාරිය හදිසියට කරන්න පුළුවන් දේකුත් නෙවෙයි. ඒකට හොඳට හිතන්න ඕනෑ. කල්පනා කරන්න ඕනෑ. මහ රෑ දොළහට- එකට මං නැඟිටලා වචන පේලි දෙකතුනක් ලියලා ඉතිරි ටික ගළපගන්න ගේ වටේ ඇවිදපු අවස්ථා ඕන තරම් තිබෙනවා. මගේ බිරිඳ සමහර වෙලාවට මේ නිසා මට බැණලත් තියෙනවා.
/

ගෙදර මං ලීවේ කුප්පි ලාම්පුවෙන්. මේ ළඟකදි තමයි විදුලි ආලෝකෙන් ලියන්න ගත්තේ. ගෙදර පරිසරය ලියන වැඬේට හොඳ මදි වගේ දැනුණු වෙලාවට මං පන්සලට හරි පෙරපාසලට හරි ගිහින් ඉඳගෙන ලියනවා.
මට පිටපත් ගන්න තරම් වියදමක් දරන්න බෑ. ඒ නිසා මුල් පිටපතම යවනවා නැත්නම් කාට හරි ඕනෑ කිවොත් දීලා දානවා. මගේ ළඟ පළ වෙච්ච ලිපි ටිකක් එකතු කරගෙන තිබුණා. ඒවා යුද්දෙ කාලේ විනාශ වුණා.
ඓතිහාසික දේවල් නාට්‍ය හැටියට ලීවාම මට කිසිම ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වුණේ නෑ. ඒත් සමකාලීන දේවල් ලීවාම, ඒවාට සම්බන්ධ අය කෙළින්ම විරුද්ධ වුණේ නැතුවට වෙන වෙන ක්‍රමවලින් ඒ අයගේ විරෝධය පෑවා. ඒ වගේ විරෝධතා කීපයකටම මුහුණ දීපු අත්දැකීම් මට තිබෙනවා.
උගත් අය අතර මට තැනක් තියෙනවා. මේ දවස්වල උගත් අය සෑහෙන පිරිසක් මගේ ගෙදරට ඇවිත් මා මුණ ගැහෙනවා. විශ්වවිද්‍යාලේ අයත් මාව හමුවෙන්න එනවා.
ක්‍රිෂ්ණපිල්ලෙයි අරුලම්පලම් (අකා පුලවර්) මඩකලපුව දිස්ත්‍රික්කයේ කන්නන්කුඩා ගම්මානයේ වෙසෙන 54 වියැති නාට්‍ය රචකයෙකි. 2010 වසරේදී මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් ඔහු ‘කලයි කවිග්නර්’ නාමයෙන් පුදනු ලැබීය. බටහිර මන්මුනෙයි දිසා ලේකම් කාර්යාලයෙන් සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රථම ගෞරවයෙන් පිදුම් ලැබූ ඔහු නැගෙනහිර විශ්වවිද්‍යාලය මඟින්ද ගෞරවයට පාත්‍ර කරනු ලැබීය.