Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

යුගයක් එළිය කළ
සංහිඳියාවේ පාසල

සංහිඳියාව ගොඩනැගීමේ පියවරක් ලෙස සිංහල සිසුන්ට දෙමළ භාෂාවත්, දෙමළ සිසුන්ට සිංහල භාෂාවත් ඉගැන්වීම පාසල්වල යළි ආරම්භ වී තිබේ. මේ අතීත කතාව, ඒ සඳහා උපයෝගී කර ගත හැකි කදිම පූර්වාදර්ශයකි.

17.10.2017  |  
බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය
බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් විද්‍යාලය එදා

”මං ඉපදුණේ 1946 යාපනයේ කරෙයිනගර්වල ජනවාරි 14 වැනිදාවක. බණ්ඩාරවෙලට ආවේ බණ්ඩාරනායක මහත්තයා සිංහල විතරක් රාජ්‍ය භාෂාව කරපු නමසිය පනස් හයේ අවුරුද්දේ..’’
සෙල්වතුරෙයි ගනේෂමූර්ති හෙවත් බණ්ඩාරවෙල පරාශක්ති මුදලාලි එසේ සිය අතීතය ස්මරණය කරන්නේ දෙනෙතෙහි නැඟි සියුම් දීප්තියක් සහිතවය. ඔහු බණ්ඩාරවෙල වැඩිමනත් සිංහල මිනිසුන් පොත පත මිලදී ගැනීමට පැමිණෙන වෙළඳ සැලෙහි හිමිකරුය. නමසිය පනහ දශකයෙහිදී තමන් උපන් යාපනය හැර දමා නව මිශ්‍ර සංස්කෘතියක් අත්පත් කර ගනු වස් ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ බණ්ඩාරවෙල කුඩා නගරයට පැමිණි ඔහු අධ්‍යාපනය ලැබීම සඳහා ඇතුළත් වන්නේ මිෂනාරීන් විසින් ආරම්භ කරන ලද පාසලක් වන ශාන්ත ජෝශප් විද්‍යාලයටයි.
‘‘ඒ වෙනකොටත් මගේ තාත්තා හිටියේ බණ්ඩාරවෙල. වෙළඳාමට ඇවිත් 1928 අවුරුද්දෙ ඉඳලා. තාත්තා සාප්පු බඩු වික්කා. හැබැයි වැඩිය ප්‍රසිද්ධ යාපනෙන් ගෙනල්ල විකුණපු සුරුට්ටු, දුම්කොළවලට. මිනිස්සු ඒවට කැමති නිසා හරි වාසියි ඒ කාලෙ.” පරාශක්ති මුදලාලි, යාපනය-කඳුරට යා වූ සැටි කීවේය.
‘‘යාපනේදී මං ඉස්කෝලෙ ගියේ වියාවිල් ශෛව පරිපාලන විද්‍යාලෙට හයේ පංතියට යනකල්. බණ්ඩාරවෙලට ආවට පස්සෙ දැම්මෙ සෙන්ට් ජෝශප් කොලේජ් එකට. ඒකෙ දෙමළ වගේම සිංහල ළමයි කලවමේ හිටියා. මට ඊට කලිං ඒ වගේ අත්දැකීමක් තිබුණෙම නෑ. 06 පංතියේ ඉඳලා මම හිටියේ දෙමළ ළමයි විතරක් ඉන්න පංතියක. ඊට පස්සෙ 09 පංතියෙන් එහාට ජ්‍යෙෂ්ඨ පංතිවලදි දෙමළ සිංහල ළමයි කලවමේ දැම්මා. ඇත්තටම මං ඒකෙන් තමයි සහජීවනය ඉගෙන ගත්තෙ.”
එතකොට අපේ ප්‍රින්සිපල් ජර්මානුවෙක්. එයාගේ නම බ්‍රදර් රුඩොල්ෆ්. එයා අපෙන් ඉහළ විනයක් බලාපොරොත්තු වුණා. ඔන්න රුඩොල්ෆ්ට පස්සෙ ආවා ප්‍රංශ කාරයෙක්. එයා බ්‍රදර් ජේම්ස්. හරිම තද නීති කාරයා. හැබැයි හැමෝටම සමානව සැලකුවා. ජාතීන් අතර සමගිය බලාපොරොත්තු වුණා.
”ඒ කාලෙ මතක් වෙනකොටත් ආඩම්බරයි. හරිම සතුටුයි. මා එක්ක එකම පංතියේ හිටියා අල්ලපු බිල්ඩිමේ ඩොක්ටර් රණසිංහ. ඒ සහෝදරකම අදටත් තියෙනවා.”

පරාශක්ති මුදලාලි
එතෙර ගුරු පියවරු

ශ්‍රී ලංකාවේ සිය මෙහෙවර ආරම්භ කරන්නට පැමිණි මිෂනාරී කණ්ඩායම් අතර කැපී පෙනෙන අධ්‍යාපන මෙහෙවරක් ඉටු කළ නිකායක් වන්නේ ඩි ලාසාල් බ‍්‍රදර්ස්ලාය. ඩි ලාසාල් සහෝදරවරු බදුලූ දිසාවේ ආරම්භ කළ ප්‍රමුඛ අධ්‍යාපන මධ්‍යස්ථානය වන සෙන්ට් ජෝශප් විද්‍යාලය බිහිවන්නේ 1909 වසරේදීය. ඒ අනුව එය බදුල්ල දිස්ත්‍රික්කයේම අති පැරණි පාසලක් වේ. පිරිමි ළමුන් 17 දෙනෙකුගෙන් සමන්විතව ඇරඹි පාසලේ මුල් විදුහල්පතිවරයා අයිරිෂ් ජාතික සහෝදරවරයෙකි.
1928 දී සෙන්ට් ජෝශප් විද්‍යාලය ප්‍රංශයේ මාරිස්ට් බ්‍රදස්ලාගේ පාලනයට නතු වේ. එවක් පටන් ක්‍රමයෙන් දියුණු වූ බහුවාර්ගික පිරිමි පාසලක් වන මේ විද්‍යාලය රජයට පවරාගන්නේ 1961 දීය. සිංහල දෙමළ සහෝදරත්වයේ පාසලෙහි අවසානය සනිටුහන් වනනේද ඒ පියවරත් සමඟය. රජයට පවරා ගැනීමෙන් පසුව සෙන්ට් ජෝශප් කොලීජිය සිංහලයින් සඳහාද, බාලිකාවන් සඳහා වෙන්ව පැවති මිශ්‍ර සෙන්ට් මේරීස් විද්‍යාලය අමිශ්‍ර දෙමළ කතා කරන්නන් සඳහාද වශයෙන් වෙන් කිරීමේ අදූරදර්ශී පියවර ගනු ලැබිණි.
අද වන විට නිල සම්මතයක් නොවූවද එක් භාෂා මාධ්‍යයකට සීමා වීම නිසා සිංහල පමණක් පාසලක් ලෙස පවත්වා ගෙන යන එහි, වත්මනට වඩා අතීතය බෙහෙවින් ප්‍රෞඪ වන බැවින් ඒ පිළිබඳව සාක්ෂි සටහන් කිරීම යුතුකමකි.

/දොස්තර රණසිංහ

”ඒ කාලෙ සිංහල දෙමළ භේදයක් තිබුණෙ නෑ. හැමෝම යාළුවො. දෙගොල්ල යා කරපු මීඩියම් එක ඉංග්‍රීසි. ඒ නිසා අපි අතර හොඳ සහජීවනයක් තිබුණා.” දොස්තර රණසිංහ, සෙන්ට් ජෝශප් විද්‍යාලයීය ස්වර්ණ යුගයේ ආදි ශිෂ්‍යයෙකි. පරාශක්ති මුදලාලි, කලින් සඳහන් කළේ ඔහු ගැනය.
”අපිත් දෙමළ ඉගෙන ගත්තා. දෙමළ අය සිංහල ඉගෙන ගත්තා. අපේ මව්පියො කරපු ව්‍යාපාරවල පාරිභෝගිකයො දෙමළ අය. ඉතිං ඉස්කෝලෙ ඉගෙන ගත්ත දේවල් අපි ප්‍රැක්ටිස් කළේ ඒ අය ඇසුරෙ.” තමන් දෙමළ සංස්කෘතියටද එක සේ ගරු කරන්නට උගත් අන්දම ඔහු පැහැදිලි කරයි. ”අපි ක්‍රීඩා කළේ සිංහල දෙමළ යාළුවෝ එකට. ගුරුවරුත් හැමෝටම එක වගේ සැලකුවා. කවුරුත් ළමයි මිස සිංහල දෙමළ කියලා නෙවෙයි.”
බණ්ඩාරවෙල නගරය සංහිඳියාවේ නගරයක් ලෙස පවත්වා ගෙන යන්නට ඔවුන්ට උපකාරී වූයේද පාසලින් ලද ඒ පන්නරයයි. දොස්තර රණසිංහ අදහන්නේ බෙදීම් ඇත්තේ දේශපාලනය තුළ මිස ජනතාව අතර නොවන බවයි. ”58, 83 කලබලවලදී අපි දෙමළ අයව පරිස්සම් කළා. අදත් අපි කන බොන දේවල් පවා හුවමාරු කරගන්න තරම් එකට බැඳුණෙ අපේ ඉස්කෝලෙ හින්දා.” දොස්තර රණසිංහ පෙන්වා දෙන අන්දමට මිශ්‍ර පාසල් වාර්ගිකව බෙදා වෙන් කිරීම ජනතාව භේද භින්න කිරීමට හේතු වූ ප්‍රශ්නවල මූලයයි.

ඩව්ලිව්.ඒ.එස් මුද්‍රණාලයාධිපති

”අපේ තාත්තා අලූත්ගම. මුලින්ම තැපෑලෙ වැඩ කරලා පස්සෙ කොම්පැනියක වැඩ කරද්දී බණ්ඩාරවෙලට ඇවිත්. දකුණෙ අය ටිකක් සිංහල පැත්තට බරයි. ඒත් අපි ජාතිවාදීන් නොවුණෙ අපේ ඉස්කෝලෙ නිසා.”
බණ්ඩාරවෙල ඩව්ලිව්.ඒ.එස් මුද්‍රණාලයාධිපති කිංස්ලි ද සිල්වා එක්සත් වෙළඳ සංගමයේ මුල් පෙළ තනතුරු දරමින් දෙමළ හා මුස්ලිම් ව්‍යාපාරිකයින් සමඟද සහයෝගයෙන් කටයුතු කරන්නෙකි. නගරයේ සංහිඳියා පිළිවෙත පවත්වා ගෙන යන්නට මේ ව්‍යාපාරිකයෝ දැඩි කැපවීමකින් කටයුතු කරති. පන්සලේ. කෝවිලේ හෝ පල්ලියේ සියලූ කාර්යයන්හිදී ඔවුන් එකාවන්ව ඉදිරිපත් වන්නේ එහෙයිනි.
”මට අද වගේ මතකයි ඒ ඉස්කෝලෙ. සිංහල සර්ලා ෆාදර්ස්ලා එක්ක දෙමළ සර්ලා වැඩ කළා. හොඳ සර් කෙනෙක් හිටියා ධර්මලිංගම් කියලා. අපිට ටික ටික හරි දෙමළ කතා කරන්න පුළුවන් වුණේ ඒ ඉස්කෝලෙ නිසා. අදත් මං දෙමළ අය එක්ක බිස්නස් කරනවා. පස්සෙ ආණ්ඩුව ඉස්කෝල වෙන් කළා දෙමළ- සිංහල කියලා. එහෙම නැතිව දිගටම තිබුණු විදිය ආවා නම් අපේ රටට මෙහෙම වෙන්නෙ නෑ. මං අවුරුදු දහයක් මේ නගරෙ වෙළඳ සංගමයෙ සභාපති. අපි කිසිම ගැටුමක් ජාතීන් අතර ඇති වෙන්න නොදෙන්නෙ ඒ ලබපු අත්දැකීමේ වටිනාකම නිසා.”
බණ්ඩාරවෙල අලූත්ගමට ආදර්ශයක් ව ඇති අන්දමත් කිසිම අන්තවාදි වාර්ගික කණ්ඩායමකට බණ්ඩාරවෙල මුල්බැස ගන්නට නොහැක්කේ ඇයිද යන්නත් ඔහු එසේ පැහැදිලි කරයි.

/ජනලංකා මුදලාලි

කුමාරවේල් මුදලාලි හෙවත් කවුරුත් දන්නා පරිදි ජනලංකා මුදලාලි බණ්ඩාරවෙල නගරයේ සම්මානනීය පුරවැසියෙකි. අදත් බහුතරයක් සිංහල-දෙමළ පාරිභෝගිකයින් රෙදි කෑල්ලක් ගන්නට යන්නේ ජනලංකාවටය. ආසන්නයේ ඕනෑම පන්සලක, බෞද්ධයින්ගේ දන්සැලක ආධාර ලැයිස්තුවේ මුලටම ලියා ගන්නේ ඔහුගේ නමය. වර්ග දෙකක දරුවන් එකට ඉගෙනගත් සෙන්ට් ජෝශප් කොලීජියේ සාඩම්බර ආදි සිසුවකු වන ඔහු අද තමන්ගේ ව්‍යාපාරවල සිංහලයින් ගණනාවකට පාසලේ නාමයෙන් රස්සාව දී ඇත.
”මං යන කාලෙ අපි සිංහල ළමයි- දෙමළ ළමයි නෙවෙයි ‘ජොශපියන්ස්ලා.’ අපේ ඉස්කෝලෙ ප්‍රින්සිපල් සිංහල වුණාම දෙමළ කෙනෙක් වයිස් ප්‍රින්සිපල් කළා. ඒ අතිතය මොන තරම් මිහිරිද?” ජනලංකා මුදලාලි එසේ විමසයි. යාපනෙන් විත් ඔවුන්ට ඉගැන්වූ දෙමළ ගුරුවරුන්ට අදත් සිංහල ආදි ශිෂ්‍යයෝ බෙහෙවින් ගරු කරති.
”1956 සිංහල රාජ්‍ය භාෂාව කළා. ඒකට කමක් නෑ. රටේ සියයට හැත්තපහක් මිනිස්සුන්ගෙ භාෂාවනේ. ඒත් මොකක්ද වරද ඉන්ටර්මීඩියම් එක හැටියට ඉංග්‍රීසි හැදුවෙ නෑ. ළමයින්ට දෙවන භාෂාව සැටියට සිංහල හරි දෙමළ හරි ඉගැන්වුවෙ නෑ.”
ජනලංකා මුදලාලිට අනුව රටවැසියා ද්විභාෂිතයින් කරන්නට තිබුණු අගනා අවස්ථාව අහිමි වන්නේ සෙන්ට් ජෝශප් වැනි පාසල් වාර්ගික සීමාවක් තුළට ඇද දැමීමෙනි. ”තමන් ඉස්සරහ දෙමළ අය නොදන්න භාෂාවකින් කතා කළාම, සිංහල මිනිස්සු සැකෙන් වපර ඇහෙන් බලන්න ගත්තා. කඬේට ආවම ගෝලයයි මුදලාලියි වෙන දෙයක් ගැන කතා කරනවා. සිංහල මිනිහා හිතනවා වංචාවක් කරන්න හදන්නෙ කියලා.”
ඔහුට අනුව එවැනි තත්ත්වයන් වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කළ යුත්තේ රාජ්‍ය මට්ටමෙහි වැඩපිළිවෙළකි. වැදගත්ම දේ භාෂාවන් ඉගෙන ගැනීමට ජනතාව පෙළඹවීමයි. ”මේ රටේ යාපනේ හැරුණාම අනෙක් දෙමළ අය සියයට අනූවක් සිංහල කතා කරනවා. ඒත් සිංහල අයගේ භාෂා දැනුම ගැන කනගාටු වෙන්න ඕන. මං ළඟ වැඩ කරන සිංහල අයට මං කියනවා මා එක්ක දෙමළෙන් කතා කළාම වැඩි පඩි කියලා. මට ඕන එයාලා ඉගෙනගන්න පොළඹවන්න.”
මෙ වන විට රජයේ පාසල් දෙවන භාෂාවන් ලෙස සිංහල හා දෙමළ ඒ ඒ වාර්ගික දරුවන්ට ඉගැන්වීම ආරම්භ කර තිබේ. එහෙත් කුමාරවේල් මුදලාලි පෙන්වා දෙන්නේ භාවිතයෙන් තොර ඉගැන්වීමේ ඵලදායක බව අඩු හෙයින් දරුවන්ට මුසු වීමට අවස්ථාව ලබාදෙන වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි. අතීත සෙන්ට් ජෝශප් විද්‍යාලය ඒ සඳහා කදිම පූර්වාදර්ශයකි.
”අපි එකට හිටියෙ. ටිකෙන් ටික වෙන් කරලා 78න් පස්සෙ දෙපැත්තකට ඇදලා දැම්මා. රට ආපස්සට ගියා. මේක කළේ දේශපාලනය. දැන් ආපහු වෙනස් වෙන්න ඕන, අනාගතය වෙනුවෙන්. ආයෙමත් ඒ වගේ ඉස්කෝල ඇති වෙන්න ඕන. අපි එකතුවෙලා ජාත්‍යන්තරයට යන්න.” ඒ ඔහුගේ අනාගත පෙර දැක්මයි.

බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් විද්‍යාලය අද