Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

නළලේ තිලක තියන, සිංහල නැටුම් නටන
සරසවි මානවිකාව

ඇය සිංහල සිංදු කියන, සිංහල නැටුම් නටන, නළලේ තිලක තියන සරසවි මානවිකාවකි. උණුවන හදවත් අරගෙන තල්අරඹට ගියේ ‘වෙද සතර’ හදාරන්නට ය.

22.10.2017  |  
යාපනය දිස්ත්‍රික්කය

කුසලා පූර්ණිමා කඩුගත් නම් ඇය 2013 වසරේ යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයට නවක ශිෂ්‍යාවක ලෙස පිය නගන විට දෙමළ බස දැන නොසිටියාය.

විශ්වවිද්‍යාලයට ගිය පළමු දවසේ ඇය සමග තවත් සිංහල සිසුවියෝ දෙදෙනෙක් වූහ. අගක් මුලක් නොදන්නා යාපනයේ විස්තර අසන්නටවත් කෙනෙක් නොසිටියේය. ඒ මුල් දිනය ගත වූ පසු ජීවිතයට අවශ්‍ය එදිනෙදා දේවල් සොයාගන්නට සිදු විය. දෙවන දිනයේ ජ්‍යෙෂ්ඨ සිසුහු මේ නවකයින් කැඳවාගෙන නගරයට ගොස් ආහාර ගැනීමට සුදුසු ආපන ශාලා, යන එන පාරවල් ආදිය පෙන්වා දුන්හ. ඒ දෙටු සිසුවන් යාපනය ප්‍රදේශයේම අය වූ අතර ඔවුන් සිංහල නොදත් නිසා සිංහල සිසුවියන් හා කතා කළේ ඉංග්‍රීසි බසිනි.

‘බහ තේරීම’

යාපනයේ ගතවන තුන්වන හතරවන දිනය වන විට පූර්ණිමාට  නිතර ඇසෙන දෙමළ වචන එක දෙක තේරෙන්නට පටන් ගත්තේ ය. සාවධානව හා ආශාවෙන් අන් අයගේ කතාවලට හා විධානවලට සවන් දෙන විටත් ඒ ඒ ක්‍රියාකාරකම් අනුවත් වචන හුරුවන්නට වැඩිකල් ගියේ නැත. සමහර වචන ඒ මොහොතේ ඇසෙන විට තේරුම දැනුණත් පසුව වචනය අමතක වි යයි. ඒ නිසා ඇය කළේ තම අතේ ඇති පොතක පිටපැත්තේ තමා ඇසෙන වචන ලියාගැනීමයි. නගරයේ හා විශ්වවිද්‍යාලයේ දැන්වීම් පුවරුවල දෙමළ අකුරු හා වචන කියවා, ඒ සමගම ඇති සිංහල හා ඉංග්‍රීසි වචන සසඳා බැලීමටද ඇය පුරුදු වූවාය.

ඇගේ  වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමේ 125ක් පමණ දෙනාගෙන් සිංහල සිසු සිසුවියන් සිටින්නේ 35 දෙනෙක් පමණි. ඒ මිතුරන් ඇසුරේ දී හා අධ්‍යයන කටයුතුවල ක්‍රියාකාරකම්වලදී ජනවර්ගය අනුව, භාෂාව අනුව මිතුරන් සොයාගැනීමට ඇය කල්පනා   නොකළාය.

භරත නැටුමකට එක්වූ දෙමළ සිසුවියන් හා පූර්ණිමා

‘‘මගේ හුඟාක් යෙහෙළියෝ දෙමළ. බ්‍රින්ඩා, බ්‍රිටිකා, ජෙනෝෂා, රවිධා, සාරංගා ළඟින්ම හිටපු අය. සමහර වචනවල තේරුම ඒ අයගෙන් අහගන්නවා. හරිම සුහදයි. අපි ඒ අයට ළෙන්ගතු නිසා ඒ අයත් අපට හිතවත්. අපි කුවුරුත් ළඟ ජාති භේද , උසස් පහත්කම් තියාගෙන නෑ. ඔක්කම එකම විශ්ව විද්‍යාලයේ සහෝදර සහෝදරියෝ කියන අවංක අදහසින් සිටි නිසා හොඳ බැඳීමක් තේරුම් ගැනීමක් අපි අතර තිබෙනවා.‘‘ පූර්ණිමා ඇගේ සිවි වසරකට පෙර මතකය අවධි කළේ එලෙසය.

‘සමාජානුයෝජනය’

සරසවියේ විවිධ උත්සව අවස්ථා, සමාජ සත්කාර වැඩසටහන්, ක්ෂේත්‍රයේ ගමන් කිරීම, නගරයට යෑම හා රෝගීන් හා කරන කතා බහ දෙමළ භාවිතට යොමු වන සුවිශේෂ තැන්ය. මුල් දිනවල දැනගත් තනි වචන මාසයක් වන විට සරල වාක්‍ය බවට ගොනු කර කතා බහ කිරීමට හුරු වූ සිංහල මානවිකාවන් අතර පූර්ණිමා ඉදිරියෙන්ම සිටියාය.


”මං දෙමළ භාෂාව ඉගෙන ගන්න දක්වපු උනන්දුව මගේ ජීවිතය ලස්සන කළා.”

සිසුන් අතර ඇය කැපී පෙනෙන චරිතයක් වූයේ නේවාසිකාගාරයේ වෛද්‍ය සිසුවියන් අතර සිටින රංගනයේ හා නර්තනයේ දස්කම් ඇති සිංහල කිහිප දෙනාගෙන් ඉදිරියෙන් සිටින නිසාය. සමු ගැනීමේ සාදයට, නවකයන් පිළිගැනීමේ රාත්‍රියට, වෙසක් උත්සව සැමරුමට මෙන්ම හින්දු උත්සව සැමරුම්වලට මේ මානවිකාවත් වේදිකාවට නගියි. සමහර පෙරදිග නර්තනවලට දෙමළ සිංහල දෙපිරිසේම යෞවනියෝ එක් වෙති. සිංහලෙන් ඉංග්‍රිසියෙන් හා අවශ්‍ය විට දෙමළෙන් උත්සව සභාවක නිවේදන ගෙන එන්නටද ඇය සමත්ය.

බස ඉගෙනුමේ රහස බසට ආදරයත කිරීම බව පූර්ණිමා පෙන්වා දෙයි. මිනිසුන් හා කතා කිරීමට භාෂාවේ අවශ්‍යතාවයට වඩා වැදගත් දේ ඔවුන්ගේ ජීවිතයට ළං වීමය. උතුරේ මිනිසුන්ගේ ජීවිතවල දුක්බර තැන්, දුක් කම්කටොලු හා දුෂ්කරතා ද සුන්දර තැන් ගැනද දැනගන්නට ඇති කැමැත්ත සමග ඇති වන කරුණාව, දයාව, අනුකම්පාව නිසා තමා නොදැනීම කෙටි කලකින් භාෂා බාධකය ජයගත් බව ඇය කියන්නීය.

වන්නියේ ගරුවරියන් පිරිසකට අනුරාධපුර දී විස්තර කියා දෙමින්

වෛද්‍ය සිසුන් මාස හයක කාලයක් තෝරාගත් ගමක පවුලක් අධ්‍යයනය කළ යුතුව ඇත. ඇයට ලැබුණු තිරණල්වේලි ගමේ මිනිසුන්ගේ තතු සොයාබැලීමට යෑම ඇය ආශ්වාදජනක ගමනක් කරගත්තා ය. තිරුණන්වේලි මුත්මාරි අම්මාන් කොවිලේ දෙවියන් වැඳ, නළලේ පොට්ටුවක් තබාගෙන ප්‍රජාවගේ සුව දුක් බැලීමට යන මේ තළෙළු තරුණියගේ වත ගොත කාටත් වැටහෙන්නේ නැත. දෙමළෙන් ඈ විස්තර අසයි. තතු කතා කරයි.උපදෙස් දෙයි. මිතුරෝද ඇය හා දෙමළෙන්ම කතා කරති. වසර දෙකක් වැනි කලක් ගත වූ පසු ඇය යාපනයේම චරිතයක් වූවාය.

‘දුක්ඛ සත්‍යය’

අරියාලේ ගමන ඇය ප්‍රිය කළ තවත් ක්ෂේත්‍ර චාරිකාවකි. අරියාලේ බොහෝ උණුසුම්ය. කාෂ්ඨය. වතුර හිඟය. ජනතාවගේ අපමණ අවශ්‍යතා අතර ඔවුන  විඳින පහසුකම් නූතනයට නොගැළපෙන සේ ය. අරියාලේට යන්නට හේතුව සෑම සිසුවෙකුම තොරාගත් ගැබිණි මවකගේ සෞඛ්‍ය තත්ත්වය, මාස හයේ සිට දරුවා ලැබී මාස හයක් යනතුරු ප්‍රායෝගිතව  අධ්‍යනය කළ යුතු වීමයි. අරියාලේ කොට්ටාසයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය මුල්ම දිනයේ පූර්ණිමාව සුහදව පිළිගත්තා ය.

‘නාන් පූර්ණිමා. ඔරු මෙඩිකල් ස්ටුඩන්ට්‘ යි කියන විට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීණිය ‘වනක්කම්‘ කියා ඇය පිළිගත්තා ය. පූර්ණිමා සිංහල දෙමළද යන්න නොතේරුණි. පූර්ණිමා යන නමද ඇයට යාපනය හා මුසු වීමට රුකුලක් විය. සිංහල දෙමළ පුද්ගල නාම හරි සමානය. ශාන්ති, ගීතා, සීතා, රවී, චන්ද්‍ර, රාජා, රාණි, රංජි, කමලා, රාධා, ක්‍රිෂ්ණ ආදී නම් මේ ජනවර්ග දෙකේම හමුවෙයි. ‘පූර්ණිමා’ යනු හින්දු දෙවඟනකි. ඒ නම යාපනයට ගෞරවනීය නමකි. මේ නිසා පූර්ණිමාට වඩාත් අභිමානයෙන් තමාගේ නම කියාගත හැකි විය.

සරසවියේ සමුගැනීමේ සාදයක දී

අරියාලේ යන්නට යතුරු පැදි යොදාගන්නා වෛද්‍ය සිසුවියෝ ඒ ගමනේදී මාර්ග දුෂ්කරතා, ජල ප්‍රශ්න, මිනිසුන්ගේ ජීවන අරගලය හා දුගී බව සියැසින් දකිති. මේ ගැමියන්ගේ ජීවන ගමනට වෛද්‍ය සිසුවියක ලෙස මෙන්ම වෛද්‍ය වරියක ලෙසද පිහිට වන්නට තමාට ලොකු හැඟීමක් ඇති බව ඇය කියයි.

‘‘විශ්වවිද්‍යාලයේ සිට  අරියාලේට කිලොමීටර් 8ක් දුරයි. මම බලාගන්නා අම්මාගේ ගෙදරත් දුෂ්කර තැනක්. ගෙදර බිත්ති පවා ඇත්තේ බාගෙට හදලා. වැසිකිළි පහසුකම් ගමේම සීමිතයි. බොහෝ දේවල් ගැන දැනුවත් කමක් නෑ. ඒ මවගේ සැමියාගේ හිසේ තවමත් මෝටාර් උණ්ඩයක් වැදුණු තුවාලයක් තිබෙනවා. ඒ ජීවිත හරි අනුවේදනීයයි.”

මතු යම් දවසක..

යාපනයටත්, දෙමළ බසටත්, එහි මිනිසුන්ටත් ආදරය කරන ඇය පවසන්නේ යාපනයේ සේවය කරන්නටද කැමති බවයි. “මට යාපනය හරි, යාපනයේ දුෂ්කර ගමක් හරි වෙන ඕනෑම පළාතක හරි සේවය කරන්න ලැබුණත් මම යන්නේ හරි සතුටින්.‘‘ ඇය කියයි.

“මේ ලබන අද්දැකීම් මට වෛද්‍ය ජීවිතයටත්, පුරවැසියෙක් ලෙසත්, අනාගතයේ කලානිර්මාණයක් සඳහාත් වැදගත් වේවි. මම දෙමළ භාෂාව ඉගෙන ගන්න දක්වපු උනන්දුව මගේ ජීවිතය ලස්සන කළා.” පූර්ණිමා පවසන්නීය.

අනුරාධපුර පුබුදුපුර ඇගේ ගමයි. ගෙදර ආ විට ඇයට ගෙදර අය  ආදරේට කියන්නේ ‘යාපනයේ කෙල්ල’ කියා ය. යාපනයේ සිටින විට ඒ මිතුරු මිතුරියන්ට ඇය ‘හොස්ටල් එකේ සිංහල නැටුම් නටන සුදු  නංගී‘ ය. සිංහල කතාකරන පෙදෙසකදී දෙමළ හෝ මුස්ලිම් කෙනෙකුට සහායක් ඇවැසි වෙතොත්, ඇය නොපැකිළ ඉදිරිපත් වෙයි. ඇගේ ශිෂ්‍ය කණ්ඩායමේ අනෙක් සිංහල සිසු සිසුවියෝද දෙමළ බස උගනිතත්, ඇගේ සංස්කෘතික බැදීම සුවිශේෂය. පොට්ටුව ඇගේ නළලෙහි නොමැකෙන ලෙස ඇදී ඇති යෙයකි. ඒ නළලේ තිලක තියන සිංහල නැටුම් නටන කිරිල්ලිය අනාගතයේ කොයි දිශාවට ඉගිළෙයි ද?