Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

නම නොහඳුනන ගම:
සන්තෝෂපුරම්

මේ ගමේ නම සංතෝෂපුරම්ය. එහෙත්, එහි කිසිවෙක් සතුටින් නැත. එහි වැඩි දෙනෙක් ස්ථිර ජීවනෝපායක් නැත්තෝය. ඉතින් සන්තෝෂයක් කොයින්ද?

31.10.2017  |  
තිරිකුණාමළය දිස්ත්‍රික්කය
කලපුවක මසුන් මරණ ආදිවාසියෙක්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, මූතුර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි සංතෝෂපුරම්හි වැසියෝ ‘මුහුදු ආදිවාසීන්’ යනුවෙන් හැදින්වෙන සුවිශේෂ අනන්‍යතාවකට අයත් වෙති. විසි වසරකට වැඩි කාලයක් පුරා යුද්ධයේ බලපෑමට යටව සිටි ඔවුන්ට සිය ගමෙහි නම මෙන්ම ‘සංවර්ධනය’ද නොවැටහෙන වචනයකි. සංතෝෂපුරම් ගමේ සභාපති ඇල්බට් ධනපාල පවසන්නේ, දුගී බවේ හා නූගත්කමේ අන්ත අඩියට ගිලී සිටින තමන් ප්‍රජාවට ‘සිගමන් යැදීම’ හැර අන් සරණක් නැති බවයි.

අහිමි වූ ‘වන දිවිය’

සංතෝෂපුරම් වැසියන් අද මෙබදු දුක්ඛිත තත්ත්වයකට පත්ව සිටියත්, කලකට පෙර ඔවුහු කිසිවෙකුගේ සරණක් හෝ ආධාරයක් නොමැතිව මහ වනය මැද අභිමානවත්ව ජීවත් වූහ. ඔවුන්ට මෙම අභාග්‍යසම්පන්න ඉරණම උරුම වූයේ, සාම්ප්‍රදායික දිවිපෙවෙත අහිමි කරලීම හා යුද්ධය නිසා බව සංතෝෂපුරම් ගමේ ආදිවාසි නායකයා කියා සිටියි.

“මගේ නම සිංහල වුණාට මම සිංහල නෙවෙයි. දෙමළ කථා කළාට දෙමළත් නෙවෙයි. මම ආදි වාසියෙක්. හරියටම කිව්වොත් වැද්දෙක්. මම උත්සාහ ගන්නේ, අපේ ජනවර්ගය තව දුරටත් ආරක්ෂා කර ගන්නයි. ඒත්, ඒක අපි හිතන තරම් පහසු නැහැ. තාමත් මගේ රස්සාව දඩයමේ යන එකයි, මී කඩන එකයි. නමුත් දැන් ඒ රස්සාවල් කරන්න අමාරුයි. ඒ නිසා කුලී වැඩට යනවා.” ඇල්බට් ධනපාල කියයි.

ආදිවාසි නායක ඇල්බට් ධනපාල, නඩරාජා වර්දන්, තවරාසා මෝහනා

“ඉස්සර අපි පලු වීර දම් කාලෙට කැලේ ගිහින් ඒව කඩලා විකුණුවා. කලපුවේ ගිහින් මඩ මිරිකලා ඉස්සෝ, මාළු ඇල්ලුවා. දඩයමේ ගියා. අපි සත්තු ඇල්ලුවෙ මදු ගහලා. උගුල් අටවලා. මේව අපට පරම්පරාවෙන් ලැබුණ රස්සාවල්. ඒත් ඒව කරනකොට පොලිසියෙන් අල්ලනවා. අපේ අය හිගා කන්න යන්නේ කැමැත්තෙන් නෙවෙයි. කරන්න රස්සා නැතිවෙන කොට වෙන මොනවා කරන්නද?

අනන්‍යතාව අහිමි වීම

ඇල්බට්ගේ සීයා වන විලියම්, අම්පාර ප්‍රදේශයේ විසූ සිංහල ජාතිකයෙකි. කරවල ව්‍යාපාරයේ යෙදීමට මඩකලපුවට පැමිණෙන ඔහු වෙරුගල් ප්‍රදේශයේදී හමු වු මුහුදු ආදිවාසි තරුණියක විවාහ කර ගෙන එහිම බින්න බැස්සේය. ඇල්බට්ගේ පියා, යුවළගේ පුත්‍රයාය. ඔහුද සිය පියා අනුව යමින් සංතෝෂපුරම් ආදි වාසී ගම්මානයේ පදිංචිකාරියක විවාහ කර ගත්තේය. ඇල්බට් යනු ඒ දෙපළගේ පුත්‍රයාය. පිය පාර්ශ්වයෙන් සිංහල සම්භවයක් සහිත වුවද ඔහු මව් පාර්ශ්වයෙන් උරුම වූ ආදිවාසී අනන්‍යතාවට වඩාත් ඇලුම් කරයි.

“මේ වෙන කොට අපේ අනන්‍යතාව නැති වෙමින් යනවා. ලොකුම ප්‍රශ්නෙ තමා ක්‍රිස්තියානි පල්ලි වලින් ඇවිත් අපේ අය රවට්ටලා ඔවුන්ගේ ආගමට අර ගන්න එක. මේ වෙන කොට අපි එහෙම ගිය පවුල් තුන හතරක් ආපසු අරගෙන තියෙනවා.” ඇල්බට් ධනපාල තම පරපුර මුහුණ දෙන අභියෝගයේ තවත් පැතිකඩක් හෙළි කළේය.

මේ අභියෝගවලට මුහුණ දෙමින්, අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම උදෙසා කටයුතු කිරීමට “ආදිවාසීන්ගේ අයිතිවාසිකම් සුරකීමේ සංවිධානය ” නමින් ඔවුහු සංවිධානය වී සිටිති.

ආදිවාසි ගම්මානයේ ලේකම් නඩරාජා වර්දන් කියන අන්දමට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි ආදිවාසි ගම්මාන ගණන 54 කි. මූතුර්හි පමණක් ආදිවාසි ගම්මාන 11 පිහිටා තිබේ. එහි ජීවත් වන පවුල් ප්‍රමාණය 1476 කි. විශාලතම ආදිවාසි ගම්මානය නල්ලූර්ය. යුද්ධය නිමා වීමෙන් පසු විවිධ රාජ්‍ය නොවන සංවිධාන මගින් නිවාස පමණක් ඉදි කර දුන්නද, තම වර්ගයාගේ අනෙකුත් අවශ්‍යතා කිසිවක් සැපිරී නැති බව ඔහු පවසයි.

අහිමි වුණු ‘අයිතිය’

“අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපේ ගම්වල අධ්‍යාපනය හොදටම කඩා වැටිලා. පාසල්වලට ගුරුවරු නැහැ. අපි වැද්දෝ වුණාට අපේ ළමයිට ඉගෙන ගන්න අයිතියක් නැද්ද? රාජ්‍ය නොවන සංවිධානවලින් මේ ගෙවල් ටික හදලා දුන්නා. නමුත් මේ ඉඩම් වලට ඔප්පු නැහැ. අපේ කුඹුරු-හේන් තියෙන්නේ, මුස්ලිම් ගම්වලට මායිම් වෙලා.යුද්ධය අවසන් වුණ ගමන් අපේ ඉඩම් ටික ඒ අය අල්ලගෙන. දෙමළ දේශපාලඥයෝ අපේ ප්‍රශ්න අහන්න එන්නේ, ඡන්දෙ කාලෙට විතරයි. අනිත් කාලෙට පැත්ත පළාතේ එන්නෙ නැහැ.” නඩරාජා වර්දන් පවසයි.

කේ.පූරණී, චිත්‍රවේල් රාසරත්නම්, ගෞරි දේවි

“අපි ඒ කාලේ ඉදන් වැන්දේ පිදුවේ, යක්කුන්ට, ගස්ගල්වලට. තාමත් අපි වල්ලි අම්මා, පෙරියසාමි අදහනවා. නමුත්, ආගම් කාරයෝ ඇවිත් යාඥා වලින් එයාලගේ ලෙඩ හොද කරනවා කියලා රවට්ටලා සල්ලි බඩු මුට්ටු දීලා එයාලගේ පැත්තට හරව ගන්නවා. නූගත්කම, දුප්පත්කම නිසා අපේ අය මේවට අහු වෙනවා. මේ වෙන කොට වැදි ගම්මානවල වැඩි පිරිසක් බයිබල්, සිව්චතුරශ්‍ර වගේ ආගම් වලට ගිහින්.” එසේ කියන්නේ, කේ.පූරණීය.

අහිමි වන ‘මී පැණි’

මී කැඩීම ජීවෝනාපාය කරගත් පනස් හත් හැවිරිදි චිත්‍රවේල් රාසරත්නම්, මී කැඩීමෙන් වසරකට රුපියල් ලක්ෂ හතරක පමණ ආදායමක් උපයන්නෙකි. හතර දෙනෙකුගෙන් යුත්ත ඔහුගේ කණ්ඩායම ජනවාරියේ සිට අගෝස්තු දක්වා කාලය තුළ මී කැඩීමේ නිරත වෙයි. කැලෑ එළි පෙහෙළි කිරීම හා වන රක්ෂිතවලට ඇතුළුවීම තහනම් කිරීම හේතුවෙන් තම ජීවිකාව තව කොපමණ කාලයක් කරගෙන යෑමට හැකිවේද යන්න ගැටලුසහගත බව චිත්‍රෙව්ල් කියා සිටි.

“අඩුම තරමින් දවස් පහක්වත් කැලේ ඉදලා තමා අපි එන්නේ. හොද මී පැණිවලට හොද ඉල්ලුමක් තියෙනවා. වෙළෙන්දෝ ගෙදරටම ඇවිත් මී පැණි අර ගන්නවා. නමුත් මේ වෙන කොට මිනිස්සු කැලේ විනාශ කරනවා. ගිය අවුරුද්දේ මී කඩපු කැලේ ඊළග අවුරුද්දේ මිනිස්සු පදිංචි වෙලා. මේ නිසා මී මැස්සෝ ඈතට ගිහිල්ලා. අනික කැලෑ මහත්තුරු අපි රක්ෂිතවලට ගියහම රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වුණා කියලා අල්ලනවා. අපි වැද්දෝ. මේ කැලේ අයිති අපිට. අපි කැලේ කපන්නෙවත්, ඒකේ නිදන් හාරන්නෙවත් නැහැ. අපි වෙනුවෙන් කථා කරන්න කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ….”

අහිමි වූ ‘දරුවෝ’

චිත්‍රවේල් රාසරත්නම්ගේ බිරිද වන පනස් දෙහැවිරදි ගෞරි දේවි සුහදශීලී කාන්තාවකි. ඇය වසර කිහිපයක් විදේශ ගතව සිට මෑතකදී මෙරටට පැමිණි බවත්, යුධ ගැටුම් පැවති සමයේ තම පාරම්පරික රැකියාවල නිරතවීමට හැකියාවක් නොලද හෙයින් එසේ විදේශ ගත වු බවත් ඇය කියා සිටී. යුද්ධය හේතුවෙන් සිය පුතු අහිමිව ගිය බව ඇය සිහි කරන්නේ, මහත් විස්සෝපයෙනි.

“මට පුතයි දුවයි හිටියේ. ස්කෝලේ ගිහින් එද්දී කොටි පුතාව අරන් ගියා. එතකොට පුතාට වයස අවුරුදු 15 යි. අපි කොටි කාර්යාලයට ගිහින් පුතා ඉල්ලුවත් දුන්නෙම නැහැ. පස්සේ අපිට අපේ දුව ගැනත් බය හිතුණා. ඒ නිසාම දුව අවුරුදු 16 වෙද්දී කසාද බන්දලා ළමයෙක් හදන්න කියලා කිව්වා. පුතා වයස විස්සෙදී කූනතිව්වලදී වෙඩි කාලා මැරුණා. ඊට පස්සේ තමා මම රට ගියේ. යුද්දේ ඉවර වුණාට පස්සේ අපි සැනසීමෙන් ඉන්නවා. අපි වැද්දෝ. අපේ වර්ගය නැති වෙලා යනවට අපි කැමති නැහැ…” ගෞරි දේවි කියන්නීය.

පරපුරේ ‘තරු එළිය’

පවුල් එකසිය හැටක් වෙසෙන සංතෝෂපුරම් ගම්මානයේ රජයේ රැකියාවක නිරත කිසිවෙකුත් නැත. ඉතිහාසයේ කිසිදු දිනක තම ගමේ අයෙකු රජයේ රැකියාවක නිරත වු බවක් තමා අසා නැති බව විසිපස් හැවිරිදි තවරාසා මෝහනා කියන්නීය. දඹානේ ආදිවාසීන්ට මහත් ගෞරවයක් උරුම කර දෙමින් විශ්ව විද්‍යාලයට ගිය දඹානේ ගුණවර්ධනයන් සේ මෝහනාද මෙවර විශ්ව විද්‍යාල අධ්‍යාපනයට වරම් ලබන්නේ, මුහුදු ආදි වාසීන්ගෙන් සරසවි වරම් ලද පළමුවැන්නිය ලෙසයි.

“මම මේ වෙන කොට නැගෙනහිර විශ්වවිද්‍යාලයට තේරිලා ඉන්නේ. මගේ අයියලා කුලී වැඩ කරලා තමයි මාව මේ තත්වෙට ගෙනාවේ. මම උපාධිය කරලා රජයේ හොද රස්සාවක් අර ගෙන අපේ ගමටම සේවයක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. විශ්වවිද්‍යාලයේ දී වුණත්, මම ආදි වාසී තරුණියක් කියලා කියන්න ලැජ්ජ වෙන්නේ නැහැ…”

මෝහනාගේ අව්‍යාජ වදන් ආදිවාසීන්ගේ අනාගත පෙරළියක සුබ පෙර නිමිති පිළිබිඹු කළද, එය යථාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් ඉටු විය යුතු බොහෝ දෑ තිබේ. ඊට මුල පිරිය යුත්තේ සංවේදී හදවත් ඇති මිනිසුන්ය.

පැරණි ඇදහිලි වැදුම් පිදුම් කෙරෙන ස්ථානයක්