Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

පරපුරෙන් පරපුරට
ගලා යන ආදරය

ඔවුන්ගේ ආදරය, වර්ග භේදයේ වෛරයට ලක්ව මිය යන්නට හොඳටම ඉඩ තිබුණි. එහෙත් බොහෝ කටුක දුක් වේදනා මැද ඔවුහු එය රැකගත්තෝය. දැන් එය, පරපුරෙන් පරපුරට ගලා යන ආදරයකි.

12.11.2017  |  
රත්නපුර දිස්ත්‍රික්කය
සත්‍යසීලන් - ඇසිලින් නෝනා

“අසල්වැසිකමට වඩා දුරදිග ගිය ඇසුරක් අපි දෙන්නා අතරේ තියෙන බව ඉව වැටුණු තාත්තා ඉස්සෙල්ලාම කටින් කිව්වා ‘නවත්තපං’ කියලා. ඒ වුණාට මම ඇහුවේ නැහැ. ඒ අතරේ ගමෙත් කථා බහ ගියා සිංහල බෞද්ධ කෙල්ලෙක් එක්ක මගේ ඇයි හොඳයිය ගැන….. ඊට පස්සේ ඉතිං කටින් නෙවෙයි, හැමදාටම මතක හිටින විදියට හොඳහැටි ගුටිකෑවා”

70හැවිරිදි සුන්දරම් සත්‍යශීලන් අතීතයේ තීරණාත්මක මංසන්ධියක් කාලයේ වැලි තලාවෙන් පාදා ගනිමින් කීවේය. ඉතිරි ටික කීවේ ඇසිලින් නෝනා (71)ය.

“එදාම මෙයාගේ තාත්තා අපේ ගෙදරට ඇවිත් මේක නතර කරන්න කියලා හොදටම බැනල බැනලා යන්න ගියා. අපේ අම්මා එදා බය වුණා. එයත් කිව්වා නතර කරන්න කියලා. ඒ වුණාට ඉතිං එහෙම නතර කරන්න බැහැනේ.”

කළ යුත්තේ කුමක්දැයි ඔවුහු රහසේ කතිකා කළෝය. “මොකද කියන්නේ ?  ඕන දේකට මුණ දෙන්න බලාගෙන අපි යමු යන්න.” ඇසිලින් නෝනා ඉස්සර විය. කිහිප දිනකට පසු, දෙදෙනා හොර රහසේම රත්නපුර ගමෙන් පිටව, පරක් තෙරක් නැති මහ මගට පිළිපන්හ. ඔවුන්ට සුබ පතන්නට සිටියේ, ඔවුන්ගේ හදවත්වල පිරී තිබුණු පේ‍්‍රමය පමණි.

සත්‍යසීලන්- ඇසිලින් නෝනා

සත්‍යසීලන් හා ඇසිලින් නෝනා, සබරගමුව පළාතේ, රත්නපුරයේ එකම ගමක, සිංහල හා දෙමළ පවුල් දෙකක සාමාජිකයින්ය. සත්‍යශීලන්ගේ පියා වතු කොන්දොස්තර වරයෙකි. ඉහළ පංතියේ ඇවතුම් පැවතුම් ඇතිව ජීවත් වූ ඔහු, සත්‍යශීලන්ට නගරයේ හොඳම පාසලක අධ්‍යාපනය ලබා දීමට උත්සුක විය. සාමාන්‍ය ගොවි පවුලක වැඩිමල් දියණිය වූ ඇසිලින් නෝනා ගියේ සාමාන්‍ය පාසලකටය. මේ අලකලංචිය සිදු වන විට ඇය සාමාන්‍ය පෙළ අවසන් කර නිවසට වී සිටියාය.

සත්‍යශීලන් සීයා, ඔවුන් හා සෙල්ලම් කරන්නට මෙන්ම අකුරු කියාදෙන්නටද කැමතිය

ඇසිලින් නෝනාද කැටිව ගමෙන් පිට වූ සත්‍යශීලන්, කළුතර නෑබොඩ ප‍්‍රදේශයේ සිටින පියාගේ මිත‍්‍රයකුගේ නිවසේ ටික දිනක් ගත කළේය. ඉන් පසුව කොළඹ පැමිණ කුකුළු ගොවිපළක වැඩ කළේය. අනතුරුව 1972දී කොළඹට ආයුබෝවන් කියා නැගෙනහිර පළාතේ ත‍්‍රිකුණාමලයට සේන්දු වී කුඹුරුපිටිය ප‍්‍රදේශයේ පොල්වත්තක කළමනාකරු ලෙස සිය ජීවන ගමන ආරම්භ කළේය. 1985 වසර තෙක්ම එම රැකියාවෙහි නිරත වන අතරම විවිධ වගාවන්හි නිරත වෙමින් ඔවුහු එහි දිවි ගෙවූහ.

සාමයෙන්ද පේ‍්‍රමයෙන්ද පිරුණු ඔවුන්ගේ කැදැල්ලට එක් වූ අමුත්තන් හත් දෙනෙකි. කොළඹ සිටි සමයේ, 1969දී සුනිල් ශාන්ත පුතාද 1971දී සත්‍ය අජිත් පුතාද ඔවුන් අතරට එක් වූහ. ඔවුන් ත‍්‍රිකුණාමලයට පැමිණි පසු, 1973දී සත්‍ය කුමාර්ද 1975දී සත්‍ය කුමාරිද 1977දී සත්‍ය රාජ්ද 1978දී සත්‍ය රාණිද 1980දී සත්‍ය රූබිද පැමිණියෝය.

බිඳී ගිය ජීවන රිද්මය

1985න් පසුව, නිවී සැනසිල්ලේ ගලා ගිය ඔවුන්ගේ ජීවිතවල රිද්මය බිඳී ගියේය.

“වෙලාව රෑ නවයට-දහයට විතර ඇති. මම කෙසෙල් වගාවට වතුර දාලා, දෙවැනි පුතත් එක්ක පුෂ් බයිසිකලේ පැදගෙන ගෙදර යමින් හිටියා. අතේ තුවක්කු තියාගෙන හිටිය කිහිප දෙනෙක් මගදි බයිසිකලේ නැවැත්තුවා. කොහෙද ගියේ? මොනවටද ගියේ? කියල ඇහුවා. අපි තමයි එල්ටීටීඊ, මේ ළමය කියයිද අපි ගැන කියලා මගෙන් ඇහුවා. මම ඉංග‍්‍රිසියෙන් උත්තර දීලා කිව්වා නැහැ මේ ළමයා එහෙම කියන්නේ නැහැ කියලා. ඊට පස්සේ යන්න කිව්වා.’’

“මට ඒ සිද්ධිය ඇල්ලුවෙ නැහැ. ගෙදර ඇවිත් අම්මට (ඇසිලින් නෝනා) කිව්වා -ඔයා ටිකක් පරිස්සම් වෙලා ඉන්න, කව්රුහරි ඔයාගෙන් මොනවත් අහන්න ආවොත් හස්ත මුද්‍රාවෙන් කියන්න මම දෙමළ දන්නේ නැහැ මහත්තයාගෙන් අහන්න- කියලා. පස්සේ අපි දැනගත්තා එල්ටීටීඊ කට්ටිය අපි ගැන අහල පහළින් සෝදිසි කරලා තියෙනවා, නෝනා සිංහල නේද? ඒ ගොල්ල හමුදාව එක්ක එකතු ඇති නේද? හමුදාවට ඔත්තු දෙනවා ඇති නේද කියලා. නමුත් ඒ අය කියලා තිබුණා, නැහැ එයාලා එහෙම කරන අය නෙවෙයි, අපි එයාලව ගොඩාක් කල් ඉඳල දන්නවා කියලා.”


එතැන් පටන් සත්‍යශීලන් තාත්තාගේ සහ ඇසිලින් නෝනා අම්මාගේ සිංහල දෙමළ මිශ්‍ර ආදරණීය විවාහය, නොයෙකුත් ප්‍රශ්න කිරිම්, සැක කිරීම් මෙන්ම වධහිංසාවලටද පාත්‍ර වූ බව සත්‍යශීලන් කීවේය.

දෙදෙනාගේ ආදරය අංශු මාත‍්‍රයකින්වත් සෙලවීමට ඒ කිසි බාධකයකට හැකි වුණේ නැත.

“ආයෙමත් වතාවක් එල්ටීටීඊ සාමාජිකයෝ අපේ ගෙදර ආක‍්‍රමණය කළා. අපි සිංහල දෙමළ භාෂා දෙකම පාවිච්චි කරනවා. නමුත් වැඩිපුර සිංහල අහනවා. අපි සිංහල සිංදු අහනවා කියලා අපේ ගෙදර තිබුණ රේඩියෝව එයාලා අරගෙන ගියා. එයාලා දෙමළ සිංදු අහන වෝකි ටෝකි කිට් එක අපිට තියලා ගියා. එතකොට අපිට අහන්න සිද්ධවුණේ දෙමළ සිංදු විතරයි. අපි දෙමළ සිංහල මිශ‍්‍ර නිසා දෙපාර්ශවයේම ප‍්‍රශ්න කිරීම්වලට මුහුණ දෙන්න සිදුවුණා.’’

“මම මෙයාට කිව්වා ඔයා ළමයි ටිකත් අරගෙන රත්නපුර ගමේ යන්න, මම පස්සේ එන්නම් කියලා. ඒත් එයා කිව්වේ ළමයින්ව යවලා අපි දෙන්නම මෙහෙ ඉමු, මැරුණොත් එකට මැරෙමු කියලයි.”

සැකයේ කුරිරු අත්

කාලයාගේ ඇවෑමෙන්, වැවිලි වෘත්තියට සමුදුන් සත්‍යශීලන්, වසර 1985 සිට 1991 දක්වා කාලය තුළ ත‍්‍රිකුණාමලයේ ජර්මන් හඬ ආයතනයේ ආරක්‍ෂක අංශ ප‍්‍රධානියා ලෙසටද 1991 සිට 2000 වසර වන තෙක් ත‍්‍රිකුණාමලය මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ ආරක්‍ෂක අංශ ප‍්‍රධානියා ලෙසටද සේවය කර විශ‍්‍රාම ලැබීය. එම කාලපරිච්ඡේදය තුළදී තමන් එල්ටීටීඊයට ඔත්තු සපයනවා යැයි ශ‍්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවෙන් යම් යම් තාඩන පීඩන පැමිණි බවත් හමුදාව විසින් ඔහු අල්ලාගෙන ගොස් මාසයක් පමණ සිරකොට තබා ප‍්‍රශ්න කිරීමට ලක් කළ බවත් ඔහු කීවේය.

“ටික දවසක් යනකොට, ඉස්සර මෙහෙ හිටපු බි‍්‍රගේඩියර් පිරිස්ට ‘අම්මා’ ඔක්කොම විස්තරේ සඳහන් කරලා ලියුමක් ලියලා ගෙනත් දුන්නා. පස්සේ මාත් එක්ක කථා කළා. සම්පුර්ණ මගේ ජීවිතේ ගැන මම එයාට කිව්වා, පස්සේ එයාට ඇඬුණා, එයා මට කිව්වා මීට පස්සේ ඔයාට කරදරයක් වෙන්නේ නැහැ කියලා. සතියකට වගේ පස්සේ මම ඔක්කොම චෝදනා නිදහස් කරගෙන ගෙදර ආවා.”

ඇසිලින් නෝනා ආච්චි අම්මා, සිය මුණුබුරු මිනිබිරියන්ට සිංහලෙන් මෙන්ම දෙමළෙන්ද නැලැවිලි ගී ගයයි

ඒ වෙනතුරුම දෙමළ බස නොදැන සිටීමේ ගැටලුවක්, ඇසිලින් නෝනාට දැනී තිබුණේ නැත. සිදුවීම්වලින් ඇය කෙතරම් බියට පත්වුයේද කීවොත් එතැන් පටන් කෙසේ හෝ දෙමළ ඉගෙනගන්නට ඇය අදිටන් කර ගත්තාය.

“මට හරිම බය හිතුණා. කැඩිච්ච දෙමළෙන් ටික ටික කථාකරන්න ගත්තා. කා එක්කවත් වැඩිය කථාවට ගියේ නැහැ- හරියටම කථාකරන්න පුළුවන් වෙනකම්.” ඇය කීවාය.

“පස්සේ පස්සේ ඉතිං මම සිංහලෙන් දෙයක් අහද්දි මෙන්න මෙයා දෙමළෙන් උත්තර දෙනවා.” යැයි සිනහ වෙමින් කීවේ සත්‍යශීලන්ය.

බස දිනූ දෙවැනි පරපුර

 “ළමයි ඔක්කෝටම හොඳට සිංහලත් පුළුවන් දෙමළත් පුළුවන් ඒ වගේම ඉංග‍්‍රිසිත් පුළුවන්’’ යැයි ඔහු කීවේ ඉමහත් ප‍්‍රීතියකිනි.

ඔවුන්ගේ පළමු දරුවන් තිදෙනා රත්නපුරේ ගලබඩ සිදුහත් විදුහලේ සිංහල භාෂාවෙන් අධ්‍යාපනය ලැබූ අතර, සත්‍ය කුමාරි සහ සත්‍ය රාජ්, ත‍්‍රිකුණාමලයේ කුඹුරුපිටිය මිෂන් මිශ‍්‍ර දෙමළ පාසැලෙන් දෙමළ භාෂාවෙන් ඉගෙනගත්හ. ඔවුන් ඒ අතර සිංහල භාෂාවද වෙනම උගෙන ඇත. පසුව බාල දරුවන් දෙදෙනාද එම පාසැලේම දමිළ භාෂාවෙන් ඉගෙනුම ලැබූහ.

අද වන විට ඔවුන්ගෙන් එක් පුතෙකු හැර අන් සියලුම දෙනා විවාහපත් වී සිටිති. ලොකුම පුතා සුනිල් ශාන්ත, පියා අනුවම යමින් සිංහල තරුණියක සමග විවාහ විය. ඔහු කැනඩාවේ රැකියාව කරයි. අනෙක් දරුවන්ද රජයේ රැකියාවන් කරන අතර පස්වෙනි පුතා සත්‍ය රාජ්, අද ත්‍රෛභාෂා පරිවර්තකයෙකු ලෙස අගනුවර රැකියාව කරයි.

ජාතීන් දෙකක්, විශ්වාසන් දෙකක් සහ සංස්කෘතීන් දෙකක් මිශ‍්‍ර වී තැනුණු ඔවුන්ගේ කුටුම්භයෙහි අසිරිමත් ඵල එබඳු විය.

ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ සමාදාන විනිසුරුවරයකු, සිවිල් ආරක්‍ෂක උපදේශන සභාවේ නියෝජිතයෙකු මෙන්ම සමථ මණ්ඩල නියෝජිතයෙකු ලෙසද සමාජ මෙහෙවරක නිරත වන සුන්දරම් සත්‍යශීලන්, ගොවිතැනෙහිද සත්වපාලනයෙහිද යෙදෙමින් අරුත්බර විශ‍්‍රාම දිවියක් ගත කරයි.

තෙවැනි පරපුර වෙත..

 “මෙයා වගේ අම්ම කෙනෙක් ලබන්න මම වගේම, අපේ දරුවොත් වාසනාවන්ත වුණා. මෙයාව විවාහ කර ගත්ත එක මගේ ජීවිතයට ලොකු සහනයක්.’’ සත්‍යශීලන් තාත්තා පැවසුවේ මුව පුරා සිනාසෙමිනි.

“ඇයි එහෙම කියන්නේ?’’

“ඇයි මෙයා මගෙන් තැල්ලක් ඉල්ලූවේ නැහැනේ.. දෙමළ කාන්තාවක් විවාහ කර ගත්තා නම් රුපියල් ලක්‍ෂ ගාණක් වටිනා තැල්ලක් එයාට බඳින්නම  ඕනේ. තාලියක් නොදීම විශාල අඩුවක්. නමුත් අපි දෙන්නාගේ ආදරයට ඒ වගේ ප‍්‍රශ්න කිසිවක් හරස් වුණේ නැහැ. ද්‍රව්‍ය නෙවෙයි ආදරයයි හැම වෙලාවෙම ප‍්‍රමුඛ වුණේ.”

ඔවුන්ගේ අපූරු සබැඳියාවෙහි අරුත, තෙවැනි පරම්පරාව වෙතද ගලා යන්නේ නිරායාසයෙනි. ඇසිලින් නෝනා ආච්චි අම්මා, සිය මුණුබුරු මිනිබිරියන්ට සිංහලෙන් මෙන්ම දෙමළෙන්ද නැලැවිලි ගී ගයයි. සත්‍යශීලන් සීයා, ඔවුන් හා සෙල්ලම් කරන්නට මෙන්ම අකුරු කියාදෙන්නටද කැමතිය. ඒ අකුරු, සිංහල, දෙමළ හෝ ඉංග‍්‍රිසි වුවද විය හැකිය.