Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

මාලිගාවට යන පාර සොයන
‘මාලිගාවත්ත’

පරම්පරා කිහිපයක් තිස්සේ ඔවුන් පදිංචිව සිටින්නේ ‘මාලිගාවත්තේ’ය. එහෙත් මාලිගාවකට යන පාර ඔවුහු තවමත් නොදනිති.

20.11.2017  |  
කොළඹ දිස්ත්‍රික්කය
ඉන්න ඉඩ නැතිව ලැජ්ජාවෙන් අමුත්තන් දිහා බලන අය

“මං සිංහලවත් දෙමළවත් ලියන්න දන්නෙ නෑ. ඒ මොකද කිව්වොත්, අපේ අම්මා මාව ඉස්කෝලෙ ඇරියෙ නෑ. එයා දැනගෙන හිටියෙ ආප්ප පුච්චන්න විතරයි.”

ඇයගේ පෙනුමත්, වයසත්, බුද්ධිමත් කතා විලාසයත් ඇය හෙළි කළ රහස සමග ගළපාගැනීම අතිශයින්ම දුෂ්කරය. මනා රූසපුවකින් හා නායකත්ව ලක්ෂණවලින් යුතු එෆ්. සියානා රෂ්මි (40), කොළඹ මාලිගාවත්තේ ජුම්මා මස්ජිඩ් පටුමගෙහි පදිංචිකාරියකි. ඒ පෙදෙසෙහි ප්‍රජා නායිකාවකද වන ඇය, වත්තේ සුබසාධක සමිතියේ සභාපතිනියයි.

එෆ්. සියානා රෂ්මි (40)

”තාත්තා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා හිටි නිසා, අම්මාට තමයි පවුලේ බර සම්පූර්ණයෙන්ම පැටවුණේ. අම්මා ආප්ප පුච්චලා යන්තම් අපිව ජීවත් කෙරෙව්වා. ඒත් අපිව ඉස්කෝලෙ යවන්න තරම් පුළුවන්කමක් වත්, අවබෝධයක් වත් අම්මාට තිබුණෙ නෑ. මගේ ළමා කාලෙදි තිබුණු තත්ත්වයම තමයි අදත්. සමාජය ගොඩාක් පහත් අඩියක තියෙන්නේ” ඇය තම කතාව පොදු පසුබිමක තබා විවරණය කරයි.

‘‘ මම දැන් තමයි ඉංග්‍රිසි හෝඩිය ඉගෙනගන්නෙ. ඒ අතින් මම වාසනාවන්තයි. මගේ මහත්තයා පාසලේ දහය ශ්‍රේණියට ඉගෙනගත් නිසා එයා අද වරාය අධිකාරියේ රස්සාවක් කරනවා. ඒ නිසා අපි නම් අපේ දරුවන් හතරදෙනාට උගන්වනවා. හැබැයි අනෙක් හැම ගෙදරකම ඉන්න දරුවන්ට අත්වෙලා තිබෙන්නේ මට අත් වෙච්ච ඉරණම.”

‘ගිනිපෙට්ටි’ ගෙවල්

“මෙහෙ හැම ගෙදරකම පවුල් දෙකක් තුනක් ඉන්නවා. ගෙයක් කියලා කීවාට මේ ගෙයක් නොවෙයි පුංචි කාමරයක් විතරයි. ඒ කාමරේට යන්න පාරක් නෑ. ඒක ඇතුළේ තමා නිදාගන්න, උයාපිහාගන්න, ඇඳුම් මාරු කර ගන්න, බඩු මූට්ටු තියාගන්න, පාඩම් කරන්න, ටී වී බලන්න, ඒ තියා ස්වයං රැකියාවක් කරනවානම් ඒකත් කරන්න සිද්ධ වෙන්නේ. ළමයි ඉස්කෝලේ යන්නේ නෑ.බොහෝ අය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා. නාට්ටාමි රස්සාව, පදික වෙළඳාම, කුළී වැඩ වගේදේවල් කරලා ආදායම් උපයන විශාල පිරිසක් ඉන්නවා. ඒත් ඒ අයගේ ආදායම ඔක්කොම වියදම් කරන්නේ මත්පැන්වලට.මේ නිසා දරුවන් තවත් අනාථ වෙනවා.”

නිවාස අතරින් ඇති අපිරිසිදු මාර්ග

සියානාට ජාති ආගම් කුලමල පරම්පරා ගැන ගැන භේදයක් නැත. ඇය සිංහල දෙමළ භාෂා දෙකම පැටළීමෙන් තොරව කතා කරයි. මේ කතා කරන දේ එක බසකින්වත් ලියන්නට කියන්නටත් පුළුවන් වුණා නම් ඇයගේ ජීවිතය බොහෝ වෙනස් වන්නට තිබිණි.

සියානා වැනි ගෘහණියෝ සිය ගණනක් මේ මාළිගාවත්ත අතුරු මාර්ග පිටුපස ජනාවාස කරගෙන සිටිති. ඇතැම් නිවෙස්වල පවුල් පහ හය ජීවත් වෙයි. කිහිප දෙනෙකු රාත්‍රියේ දී නිදා ගන්නා තුරු අනෙක් අය මුර ක්‍රමයට අවදි වී සිටින තැන් ද ඇත. රංඩු සරුවල් නිමක් නැත. ජීවත් වන්නට කිසිම ආදායමක් නැතුව ජීවත් වන අය ද සිටිති. ළමයෙක් මත් කුඩු පාවිච්චි කළත් ඒ ගැන විරෝධය පාන්නට පවා කෙනෙක් නැත. වැඩිහිටියන් වුව සිටින්නේ පීඩාවෙනි. ආවේගශීලීවය. ඒ ඔවුන් සිතන පතන දේ හා කළ යුතු දේ මේ වාසස්ථාන තුළදී ඉටු නොවන නිසා විය හැක. මත් භාවිතය එයට අනන්‍ය වූ ප්‍රශ්නයක් වන්නේත් ඒ නිසා විය හැක.

දහසක් ගැටලු

මේ මුඩුක්කු බඳු කුටිවලින් අප ජලය බැහැර කරන නිසි ක්‍රමයක් නැත. සනීපාරක්ෂක පහසුකම් අල්පය. මදුරු කරදරය උග්‍රය. අවම වශයෙන් හුස්ම ගැනීමට පිරිසිදු වාතාශ්‍රය වත් නොලැබේ.

“අපේ ගෙදරත් පවුල් දෙකක් ඉන්නවා. ඉඩ නෑ. එන්න පාරක් නෑ, වාහනයක් තියා බයිසිකලයක්වත් ගේන්න බෑ.

හිරවෙලා ජීවත් වෙන්නේ. අපිත් කැමතියි ඉඩ තියන තැනක මහල් නිවාසයක්වත් ලැබෙනවා නම්” එම කොටසේම පදිංචි එම්.ඉර්ෂාද් පැවසුවේය.

කොටු වූ ජිවිත

සිත්ති සියානාද එය තහවුරු කරයි: “නිවාස නැති එක තමා අපිට තිබෙන ප්‍රශ්නය.මගෙ එක දුවක් කසාද බැඳලා වෙනම කුලියට ඉන්නේ. එයාගේ දරුවන් ජාත්‍යන්තර පාසලකට යනවා. මෙහෙ ස්ථිර පදිංචිය සනාථ වෙන්නේ නැති නිසා ආණ්ඩුවේ ඉස්කො‍්ල ලැබෙන්නෙ නැහැ. හම්බකරන සියලුම මුදල් කුලී ගෙටයි පාසලටයි දුන්නාම ජීවත්වෙන්නේ අමාරුවෙන්.”

පිරිමි අය බොහෝ විට දිවා කාලයේ මේ නිවාස වල නොරැ‍‍ඳෙති. ඔවුහු පදික වෙළඳාමේ, නාටාමි රැකියාවක, කුලී වැඩක, හෝ ස්වයං රැකියාවක නිරත වෙති. වැසි වෙලාවක නම් ජරා වතුර මැද, අව්ව දිනක නම් ගිනි ගහන රශ්මිය දරාගෙන මේ සිරකුටි බඳු කාමරවල සිරවී සිටින්නෝ කාන්තාවෝය. පෙනෙනෙ තෙක් මානයක වැසිකිළියක්, දිය නාන ස්ථානයක්, ඇඳුම් වේලාගතහැකි තැනක්, ගහක් කොළක්, හිස් බිම්කඩක් මේ ඉසව්වේ නොවේ.

“ගොඩක් ඈත තමා වැසිකිළි තිබෙන්නේ. හැමෝම පොදුවේ පාව්ච්චි කරනවා. පෝළිම කෙළවරක් නෑ. ප්‍රශ්න කෙළවරක් නෑ.” සිත්ති ෆාතිමා පැවසුවාය. ඇය සිටින්නේ තම තරුණ පුතුන් තිදෙනාගේ අනාගතය ගැන ‍බියෙනි.

අනාගත පරපුර

“මට වයස අවුරුදු 26, 20, 16 වයසේ ළමයි තුන්දෙනෙක් ඉන්නවා. මගෙ මහත්තයා අසනීපෙන්. මේ දරුවන්ට රස්සා නෑ. හරිම අමාරුවෙන් ආරක්ෂා කරගෙන ඉන්නේ. මේ අය බෙරාගන්න ඕනෑ නිසා මම ඉල්ලන්නේ ආණ්ඩුවෙන් හෝටල් රස්සාවලට යවන්නවත් පුහුණුවක් දෙන්න කියලා. මත් කුඩු, මත්පෙති වාගේ භයානක දේවල්වලට මේ දරුවන් ගොදුරුවෙන්න පුළුවන්.”

ඒ අසලම පදිංචි ඒ. ජෙස්මින් පස් දරු මවකි. නිවෙස් නැති ඇගේ අක්කා හා අම්මා ද ඒ නිවසේ ම වෙසෙති. ” මට බබාලා පහයි. දැන් දෙන්නේක් බැඳලා අයින්වෙලා. අක්කා ගෙයක් නැති නිසා මං ළඟ ඉන්නවා. අම්මාත් ඉන්නවා. බාල දරු දෙන්නා මා එක්ක ඉන්නවා. එක දරුවෙක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙලා, අහුවුණාට පස්සේ පුනුරුත්ථාපනය කරලා දැන් වැඩක් නැතුව ඉන්නවා. අපට දැන්වත් මේ ළමයි බේරාගන්න ඕනෑ. අපිත් කවදාහරි ඉඩකඩ තිබෙන තැනක ජීවත් වෙන්න ඕනෑ. මෙහෙම ජීවත් වෙන්න බෑ.” ඇය පැවැසුවා ය.

එක පවුලේ වයස්ගත සොයුරියන් තුන්දෙනෙකු ජීවත් වන ගෙයක්ද එහි දි හමු විය. ෆාතිමා රිලායා ඉන් එක් සොහොයුරියකි. ඇයට අවුරුදු 19,17සහ 15 වයස්වල දරුවන් සිටී. වැඩිමල් දරුවා විවාහ වූ පසු ඉන්නට තැනක් නැතිව අගේ මවගේ නිවසට යවා ඇත. ඒ නිවස ද මෙවැනිම තැනකි. ඇය ජීවත් වන්නේ අනෙක් දරුවන් උපයා දෙන මුදලිනි. ඔවුන් කරන්නේ කුලී වැඩයි. ඒ කුලී වැඩ මොනවාද, කවදා කොහේදී ලැබෙයිද කියා නිශ්චිත නැත.යම්හෙයකින් කොළඹ නගරයට නිවාඩු දිනක් හෝ ඇඳිරි නීතිය වැනි තත්ත්වයක් ඇති වුවහොත් ඒ දිනවලට මේ අයට කන්න නැති බව ෆාතිමා කියයි.

‘හැම කතාවක්ම දුක්බරයි’

එහි දී හමු වූ සාම විනිසුරු තනතුරක්ද දරන එස්. මුෆ්ලියා පුතකු හා දියණියන් දෙදෙනෙකුගේ මවකි. ඇගේ නිවෙසේ දැන් පවුල් හතරකි. ඒ නිවසේ ඇත්තේ කුස්සියක් හා බඩුමූට්ටු පිරවූ ඉතා කුඩා කාමරයකි. එහි හැරෙන්නටවත් ඉඩක් නැත.මේ ඉඩ මදි කම නිසා නිතර නිතර ආරවුල් ඇති වන බවත් බාලම දරුවාට පාසල් යා නොහැකිව සිටින බවත් ඇය කියයි.


මේ නිවාසවල වෙසෙන පවුල්වල බොහෝ කාන්තාවන් සැමියන් නැතිව තනි වූ අය බව පෙනේ. ඔවුන් කාටවත් ස්ථිර ජීවන මාර්ගයක් හෝ අද දවසේ කැම කන්නේ කෙසේදැයිවත් අදහසක් නැත.

‘‘ මගේ කකුලක් නෑ. මට වැඩක්පලක් කරන්න බෑ. ළමයි තුන්දෙනෙක් එක්ක මම හරිම අමාරුවෙන් ජීවත්වෙන්නේ. අපිට ගෙවල් ඕනෑ. ජීවත් වෙන්න ඕනෑ. කාටද මේවා කියන්නේ? එසේ ප්‍රශ්න කළ ඇය උමා නෝනා ය.

මේ මාළිගාවත්ත ජුම්මා මස්ජිත් පල්ලිය අවට ශෝකාලාපයයි. මේ හැම පවුලකටම වේදනාබර ජීවන කතාවක් බැගින් වේ. මාළිගාවත්ත අවට අයත් ඛෙත්තාරාම ග්‍රාම නිලධාරී වසම තුළ මෙන්ම සමස්ත වේල්ල විදීය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ මෙවැනි දහස් ගණනගේ ප්‍රශ්න සැඟව තිබේ.

‘වෙනස් කරන්න අමාරුයි’

ඛෙත්තාරාම තුලාන භාර ග්‍රාම නිලධාරී හර්ෂ හෙට්ටිආරච්චිගෙන් මේ ගැටලු සම්බන්ධයෙන් කරන ලද විමසීමේ දී ඔහු පෙන්වාදෙන්නේ ඛෙත්තාරාම ක්‍රිඩාංගණය අසල මේ ජනතාව වෙනුවෙන් මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමේ සැලැස්මක් පවතින බවකි. මාස තුනකට පමණ වරක් කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් සමග ගොස් මෙම නිවාස පරික්ෂා කරන බවත්, සනීපාරක්ෂක පහසුකම් සම්බන්ධයෙන් නිරතුරුව සොයා බලන බවත් ඔහු කියයි. මෙම දරුවන්ට පාසල් ඇතත් පාසල් යාමේ ප්‍රවණතාවයක් නැති බවත් ඒ සඳහා දෙමාපියන්ගේ උනන්දුවද බලපාන බවත් ඔහු පෙන්වා දෙයි.

” ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් මේ පවුල්වල අය තෝරා ස්වයං රැකියා සඳහා අවශ්‍ය උපකරණ බෙදාදීම් බොහෝ විට කරලා තිබෙනවා. ඒත් ටික දවසක් යනකොට මහන මැෂිමක් වුවත් විකුණලා දාලා ආයෙත් හිටපු තත්ත්වයටම වැටෙනවා. අපි උත්සාහ නොකරනවා නොවේ, මේ අය වෙනස් කරන්න අමාරුයි. රජය මහල් නිවාස සංකීර්ණය හදලා දුන්නොත් නිවාස ප්‍රශ්නය බොහෝ දුරට විසඳෙයි.” ග්‍රාම නිලධාරීවරයා කීවේය. එහෙත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් ඇති පූර්වාදර්ශවලින් පෙන්නුම් කරන්නේ, එයද විසඳුමක් නොව තවත් ප්‍රශ්න වැලක ආරම්භය බවයි.

අනාගත පරපුර