Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

සැලුන් කුටියක සැඟවුණු
පාපන්දු වීරයා

ඔහු, දිදුලන අතීතයක් නිහඬව දරා සිටින අපූරු මිනිසෙකි. මිනිසත් ඇසුරෙහි ආලෝකය තරමටම නොමිනිස්කම්වල අන්ධකාරයද අත් විඳ ඇති ඔහු ඒ දෙකම සම සිතින් උසුලාගන්නට තරම් පරිණතය.

05.12.2017  |  
අනුරාධපුර දිස්ත්‍රික්කය
රාසයියා සාප්පුවේ දී

නෙතු ගැටෙන හිස කෙස තණතිල්ල සිහියට නගයි. කතුර එදා සේම තවමත් මුවහත්ය. එහෙත්, ඒ කතුරවත් දැළි පිහියවත් කිසිදා සම රතු කළේ නැත. එදා අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ තණ කොළයක් ගානේ සිපගත් කඩිසර දෙපතුල්, පුංචි කුටියේ බිම හැළුණු කෙස් ගස් නොපෑගෙන්නට පා තබන්නේ පරිස්සමෙනි.

ක්‍රිෂ්ණ පිල්ලේ දේවසාරයම් පිල්ලේ හෙවත් ‘රාසයියා’ මීට තිස් වසරකට පෙර අනුරාධපුර නගරයේ පාපන්දු නායකයාය. අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් බිහි වූ දක්ෂතම පාපන්දු ශූරයෙකු වූ රාසයියා යුනයිටඩ්, සම්පත හා රෝජර්ස්  කණ්ඩායම් තුනේ දීම නායකත්වය ගෙන කටයුතු කළේය. දෙවසරක් අනුරාධපුර

දිස්ත්‍රික් පාපන්දු කණ්ඩායමේද නායකයා වූ ඔහු රට පුරා තරග සිය ගණනකට නායකත්වය දී  ජාතික සංචිතයටද ඇතුළත් විය. අද ඒ අතීතය ගැන ඉතිරිව ඇත්තේ ඇත්තේ ජීවමාන සාක්ෂි කිහිපයකි.

ඒ පිළේ සිටි මනෝහරන් ඉන්දියාවේ නියෝජ්‍ය පොලිස්පති වරයෙකි. සුකුමාරන් බන්ධනාගාර නිලධාරියෙකි.

කටුකැලියාව ගමෙන් ආ සනා ගැන ආරංචියක් නැත. පන්දු රකින්නා වූ සෙල්වම් ස්විස්ටර්ලන්තයේ ය. නගරයේ සිටි ඒ ජනප්‍රියතම ක්‍රීඩකයාට අත්පොලසන් වැයූ දහසක් ක්‍රීඩාලෝලීන් අතර නෙත් කැල්මෙන් ඔහු වසඟ කළ

සීතා පමණක් ඔහු ළගය. ඒ කළු ජූලිය කරන ලද සරදමකි.

කාටත් ඇරුණු ‘සැලුන් දොර’

රාසයියාගේ පියා  ක්‍රිෂ්නම් කනපතිපිල්ලේ අතීතයේ ත්‍රිකුණාමලේ සිටි දේශීය වෛද්‍යවරයෙකි. ක්‍රිස්තියානු භක්තික

කාන්තවක් වූ  මව නමින් එළිසබෙත්ය. පවුලේ බඩපිස්සා වූ රාසයියාට අයියලා දෙදෙනෙකු සහ අක්කලා පස්දෙනෙකි. ජපනුන් ශ්‍රී ලංකාවට බෝම්බ හෙළූ සමයේ ත්‍රිකුණාමලය හැරදා අනුරාධපුරයට ආ ක්‍රිෂ්ණම් වෙද මහත්තයා අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අසල වත්තක පදිංචි විය.

රාසා-රංජනී, පුතු ළදරු වියේ දී

වෙදකමන් ඈත් වී කරණවෑමි රස්සාව තෝරාගත් ක්‍රිෂ්ණම්ගේ ‘වින්සන්ට් සැලුන්’ කෙටි කලකින්ම නගරයේ සිංහල දෙමළ කා අතරත් ජනප්‍රිය තැනක් විය. ශාන්ත ජෝසප් විදුහලේ පාපන්දු ක්‍රීඩකයකු ලෙස කුඩා කල සිටම නමක් දිනාගෙන සිටි රාසයියාගේ මිතුරෝ, හිස පීරා, වත්සුණු තවරා හැඩ වන්නට නිතරම මේ සැලුන් දොරින් ඇතුළු වූහ.

පණිවුඩ තියන්නට, බෑග් පාර්සල් තබා යන්නට, ආරක්ෂාවට ආදී විවිධ උවමනාවන්ට, නිතිපතාම ලොකු කුඩා බොහෝ දෙනෙකුට මේ සැලුන් දොර විවර විය.

‘‘ ඒ දවස්වල ෆුට් බෝල් තමයි ජීවිතේ වුණේ” රාසයියා අතීතයේ සැලුන් දොර විවර කරමින් කියයි.

”සෙන් ජෝසප් එකේ, ආර්.එම්.මදර්නායගම් මහත්තය විදුහල්පති.සටැනිස් ලෝස් මහත්තය තමා හෙඩ්මාස්ටර්. කොළඹින් ආව පී.ඩී.සිරිසේන, ජෝ ආරියපාල, යාපනයෙන් ආව ගුණරත්නම් මහත්තුරු තමයි අපේ පුහුණු කරුවෝ. ඉස්කෝලේ අපි හොඳට සෙල්ලම් කළා. ඉස්කෝලෙන් පිට ක්‍රීඩා සමාජවලදි කණ්ඩායම් හදාගෙන අපි රට වටේ තරග වලට ගියා. හුඟාක් ඒවා දිනුවා. මම ජාතික සංචිතයේ හය වතාවක් නියෝජනය කළා. වර්ණ රාශියක් දිනා ගත්තා. පුහුණු කඳවුරු කිහිපයකින් පස්සේ මට පුහුණු කරුවෙකු හැටියට බලපත්‍රත් ලැබුණා.”

ඔහුට සිට සහකාරිය වූ ‘සීතා’ මුණගැසුණේද පාපන්දුවේ පිහිටෙනි.

අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ රාසයියා පාපන්දු ක්‍රිඩාවේ දී 1980 ගණන්වලදී

“සීතා හම්බ වුණේ මුලින්ම දිපානි විද්‍යාලයේ තරගයකට ගිහින්. එයා සිංහල කෙනෙක්. මම ඒ ගෙදර ගියා ආවා. ආදරේ හිතුණාම යාලුවන්ට කියලා සිංහලන් ලියුමක් ලියාගෙන ගිහින් දුන්නා. එයා සිංහලන් ලියලා එව්වාම මම යාළුවන්ට කියලා තේරුම් ගන්නවා. ඒ අම්මා තාත්තාත් හරි හොඳයි. ඒ කාලේ එයාල හිතුවේ මම සීතා අතරමං කරයි තියලා. එදා අකැමැති වුණත් අද විශ්වාසය උපරිමයෙන්ම තහවුරු නිසා පවුල් දෙකේ අපි අතරේ හොඳ බැඳීමක් තියනවා.”

බිහිසුණු දවස්

එහෙත් එක් අවාසනාවන්ත සිදුවීමකින් පසුව, රාසයියා ඇතුළු පවුලේ අයගේ ජීවිතවලට බිහිසුණු ඉරණමකට මුහුණ පෑමට සිදු විය. ඒ ශ්‍රී මහා බෝධිය අසලට එල්ල වූ කොටි ප්‍රහාරයෙන් දින තුනකට පසු 1985-05-14 වැනිදාය.

” මැර කණ්ඩායමක් ඇවදින් අපේ කඩේ කැඩුවා. අක්කගේ පුතාගේ ඔළුව පැළෙන්න ගැහුවා.සිංහල යාළුවො නිසා අපේ ජීවිත බේරුණා.  ක්‍රිස්ටෝපර් කියලා යාළුවෙක් තමයි කඩේ වටකරගත්තු අය පන්නලා අපිව බේරාගත්ත. නගරසභා නිවාසවල හිටපු මගේ මිත්‍රයා කුසුම්, අපේ ගෙදර හැමෝම එයාගෙ ගෙදරට ඒකක ගිහිල්ලා ආරක්ෂා කෙරුවා. කුසුම් එක්ක එයාගේ අක්කා කඩුවකුත් තියාගෙන දොරකඩට වෙලා අපිව මුර කළා. ඊට පස්සෙ, වැඩි ආරක්ෂාවට පිටපළාතකට ඇරවන්න කියලා හමුදාවට බාරදුන්නා. නදර්න් කඳවුරේ නිලධාරීන් ඉතාම හොඳින් අපිව බලාගෙන හමුදා ආරක්ෂාව යටතේ වව්නියාවට ඇරලුවා. ඒ යන අතරමඟ ඊරට්ටපෙරිය කුලමේදී කර්නල් ජයවර්ධන කියලා මහත්තයෙක් මාව අඳුරගෙන හරියට සැලකුවා.”

වර්ණ ලබා

“වව්නියාවේදි දවස් කීපයක් ඉන්න තැනක් නැතුව දුක් වින්දා. නිදාගත්තේ ගස් යට. පුතායි දුවයි මමයි නෝනගේ සාරිය පොරවාගෙන රෑට ගුලි ගැහිලා හිටියා. බඩ ගින්නෙත් හිටියා. ඉන් පස්සෙ අපිට අනෙක් අනාථවෙලා ආපු හැමෝම එක්ක එකට ඉන්න වුණා අනාත කඳවුරක. ඒ වෙනකොට අපිට දරු දෙන්නෙක් හිටියා. ”

“වව්නියාවේ ඒ කාලෙ හිටපු උප දිසාපති තුමා මාව අදුනනවා. එයා අපට නවතින්න පරණ බංගලාවක් දුන්නා. පස්සේ රජයෙන් අපට කෑම බීම ලැබුණා. සති කීපයකින් අපිව මඩකලපුවට ඇරලුවා. කල්මුනේ පාන්ඩිරිප්පු වල මම ‘රාජා සැලූන්’ කියලා වැඩපලක් පටන්ගත්තා. ඒ අතරේ මම ගැන ආරංචිවෙලා ජාතික සංචිතයෙන් පණිවුඩ එව්වා, ටීම් එකක් හදාගෙන තරගවලට එන්න කියලා. මම සෙල්ලම් කළා. කට්ටිය පුහුණු කළා. මට ගෙවීමකුත් කළා.”

යළිත් අනුරාධපුරයට

“අවුරුදු හතර පහක් මඩකලපුවේ ඉඳලා ආයේ 91 දි අනුරාධපුරේට ආවා. ඒ එනකොට අපේ සාප්පුව තිබුණේ ගරා වැටිලා. දැන් තියන ගොල්ඩ් ස්ටෝර්ස් කියන කඩේ ළඟ. අපි සුලු ගානකට ඒක වික්කා. පවුලේ සහෝදරයෝ සහෝදරියෝ අතරේ බෙදුණාම එක්කෙනෙකුට ලැබුණෙ සුළු මුදලක්. අපි නැවතුණේ තම්මැන්නාකුලමේ, සීතාගේ අම්මාගේ ගෙදර. ඒ අතරේ පිට සැලුන් වල දවසේ පඩියට වැඩ කළා. අනුරාධපුරට ආවාට පස්සේ පරණ හිතවතුන් ආයේ හම්බ වෙලා උදව් කළා. ආපහු ආ එක ගැන කට්ටිය සන්තෝස වුණා.

”මට කවදාවත් අමතක වෙන්නෙ නෑ දාමරිකයන් අපේ ගෙදර වටකරගත්ත වෙලාවේ මමයි නෝනයි දරුදෙන්නයි අසරණ වෙච්චි තරම.


”එදා අපට ගැහුවෙ සිංහල අය. ඒ වගේමයි අපිව බේරුවෙත්, ආරක්ෂා කළේත් උදව් කළෙත් සිංහල අයමයි.”

ඔහු අනුරාධපුරයට එන විට පියා කල්මුණේ නැවතුණේය. පසු කලෙක පියා එහි දී මිය ගියේය. ඔවුන් ආපසු අනුරාධපුරයට එද්දී පියා කී කතාවක් රාසයියා අදත් සිහි කරයි.

”පුතේඋඹ යන්නේ පත්තිනි අම්මා තරම් උසස් කාන්තාවක් එක්ක. එයා ඔයාව ආරක්ෂා කරාවි. කිසිම බයක් වෙන්න එපා” කියල තාත්ත කිව්වා. ඒ කිව්වෙ මගේ නෝනා, සීතා ගැනයි. ‘ඒ කෙනා කවදාවත් වෙනස් වුණෙත් නෑ. මොන ප්‍රශ්න ආවත් එකට හිටියා .හැම දුකක්ම බෙදා ගත්තා’ කියලා තාත්තා කීවා. තාත්තාත් අපේ පවුලේ කවුරුත් නොනාට හරි ගරු කරනවා.”

නළලේ තිලකය ඇති, සිංහල දෙමළ දෙබසම කතා කරන සීතා රංජනී ගුණවර්ධන, සිනා මුසු මුහුණින් ඒ අතීතය සිහි කළාය.

”මම යාළුවොත් එක්ක මෙයාලගේ මැච් බලන්න යනවා ඒ කාලේ. මෙයාට මෙයා ජනප්‍රියයි. ඒ වගේම හරි හොඳයි. ගුණ යහපත්කම් නිසා මම එයාට කැමැති වුණා.”

ඉවසීමෙන් -සැනසීමට

රාසයියා-සීතා යුවළට දියණියක හා පුතුන් දෙදෙනෙකි. තෙවැනි පුතු උපදින්නේ ආපසු අනුරාධපුරයට පැමිණි පසුවය. වැඩිමල් පුතු විවාහ වන්නේ සිංහල පවුලකිනි. දියණිය ඇවැස්ස නෑකම් ඇති දමිළ පවුලකින් විවාහ වී සිටී.

බාල පුතු බැංකුවක සේවය කරයි. ස්ථාන කීහිපයක කුළයට ගත් සාප්පුවල වැඩ කළ ඔහු දැන් අනුරාධපුර ගුවන් තොටුපල පාරේ අලුතින් ‘ක්ලැසික් සැලෝන්’ නමින් සාප්පුවක් අරඹා තිබේ.සිය නැන්දම්මා (බිරියගේ මව) ලබා දුන් ඉඩමක අලංකාර නිවසක් තනාගෙන අලුත් බලාපොරොත්තු ඇතිව ජීවත් වන රාසයියා අදත් එදා මහජන ක්‍රීඩාංගණයේ දුටු සුන්දර තරුණයා මෙන්ම ප්‍රිය ජනකය.

“මාත් එක්ක හැමෝම හොඳයි. හිටපු මහ ඇමති බර්ටි මහත්තයත්, ආණ්ඩුකාර සමරවීර මහත්තයත් කොණ්ඩෙ කැපුවෙත් මගෙන්. මම අදහන්නේ බුදුන්ගේ දර්ශනය. ඒ වගේම මහත්මා ගාන්ධිගේ දේශනා. අපට කරදර කළා කියල අපි ‍කිසි කෙනෙකුට වෛර කළේ නෑ. ” රාසයියා සිය ජීවන දහම හෙළිකරමින් කියයි. ඔහුගේ බිරිඳ සීතා, ඒ කතාව ඌන පූරණය කළාය.

“ගොඩක් දේවල් නැති වුණා. පවුලේ අය විසිරුණා. හරියට දුක් වින්දා. වවිනියාවේ මුල් දවස් කීපයේ කැලෑවල් පවා හිටියා. ඒත් අපි අපේ දේපල ගැන හිතලා ගැටුණා නම් අපේ ජීවිතත් නැති වෙනවා. වෛර කරන්න ගියේ නෑ. ඉවසුවා. තරහ අයටත් මෛත්‍රි කළා. ඒ නිසා අද අපේ දරුවන් එක්ක අපි ඉතුරු වුණා. ළමයි සමාජයේ හොඳ තැනක ඉන්නවා.ඒ ගැන සතුටුයි.”