Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

පුතුන් සොයන
මවුන්ගේ අරගලය

මාතෘත්වය මෙතරම් වර්ණනා කරන රටක් ලොව කොතැන හෝ වෙත්දැයි සැක සහිතය. එහෙත් මේ මවුවරුන් දින දෙසිය ගණනක් තිස්සේ නැගූ හඬ කිසිවකුට නෑසුණු සෙයකි.

22.12.2017  |  
තිරිකුණාමළය දිස්ත්‍රික්කය

දීපාවලි උත්සව දිනයේ දහවල, ත‍්‍රිකුණාමලයේ ආණ්ඩුකාරවරයාගේ නිල නිවෙස ඉදිරිපස මහ පාරේ කොළ-කළු ආවරණයක් යට වාඩිලා සිටින වයෝවෘද්ධ මවුවරුන් පිරිසකි. දුකින් පීඩාවෙන් මිදීම, අඳුරින් ආලෝකය ලැබීම, ප‍්‍රීතිය සතුට ළඟාවීම, ජීවිතයට නව පණක් ලැබීම යනාදිය දිපාවලියේ ආශිර්වාදයයි. එසේ වුවද මේ අම්මාවරු ඒ කිසිදු පලයක් නොලබාම දීපවාලී උත්සව දින බොහෝ ගණනක් පසු කළෝය.
ඔක්තෝබර් 18වැනිදා, දීපාවලි උත්සව දිනට, ඔවුන් මෙසේ මහමඟට බැස හරියටම දින 233කි. දිනපතා පෙරවරු 9.00 සිට පස්වරු 4.30 වන තුරු මාරුවෙන් මාරුවට බොහෝ විට කුසට අහරක්ද නොමැතිව ඔවුහු නිහඬව පාර අද්දරට වී සත්‍යග‍්‍රහයේ නිරත වෙති. ඔවුන් ඉල්ලා සිටින්නේ අතුරුදහන් කරනු ලැබූ තම දරුවන් හා සැමියන් වෙනුවෙන් යුක්තියයි.

යුක්තිය ඉල්ලීම

ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් හෝ නීත්‍යානුකූල නොවන ආකාරයෙන් රැුගෙන ගිය තම සමීපතමයින්ට කුමක් සිදුවීද? ඔවුන් තවදුරටත් ජීවතුන් අතරද? නැතහොත් මළවුන් අතරද? ජීවතුන් අතර නම් ඒ කොහිද? මළවුන් අතර නම් ඊට වගකිවයුත්තෝ කවරහුදැයි ඔවුහු ප‍්‍රශ්න කරති.
”අපට හිටියෙත් පුතාලා තුන්දෙනයි. අද තුන්දෙනාම මට නැහැ. කිසිම හේතුවක් නැතිව තුන්වතාවකදි මගේ පුතාලා තුන්දෙනාවම නේවි එකෙන් අරන් ගියා. එක පුතෙක්ව අරන් ගිහිං දවස් කිහිපයකට පස්සේ මට කෝල් කරලා කිව්වා ‘අම්මා, මට මේ අය හොඳටම ගැහුවා කියලා’ එච්චරයි මට ඇහුණ අන්තිම වචන ටික මගේ පුතාගෙන්. අනික් පුතාලා දෙන්නවත් 2008 මාර්තු සහ මැයි මාසවලදී සුදු වෑන්වලින් ඇවිත් නේවි එකෙන්ම තමයි අරන් ගියේ” පෙරියකුලමේ සදානන්දරාසා පරමේෂ්වරි පැවසුවාය. අද ඇය කෑම පැකට් සාදා අලෙවි කර ඉතාම අමාරුවෙන් ජීවත් වෙයි.
/

පුතුන් තුන්දෙනාම නැති වීම ගැන අධික ලෙස සොවට පත් වී සිටින ඇය තවදුරටත් කීවේ, මේ ඛේදවාචකය ගැන දැඩි කම්පාවට පත් වු සිය සැමියා අද මානසික ව්‍යාකූලතාවයකින්ද පෙළෙන බවයි.
නැගෙනහිර පළාතේ ලිංගනගර්, කප්පල්තුරේ, උප්පුවේලි, පෙරියකුලම, මුත්තුර් යනාදී ප‍්‍රදේශවල සිට පැමිණෙමින් මහ මඟ සිට සටන ගෙනයන අම්මලා බොහෝ දෙනෙකුගේ කතාද ඊට නොදෙවෙනිය.

පුතුන්ගේ ඉරණම

උප්පුවේලි සිට පැමිණ සිටි 73 හැවිරිදි, එහෙත් ඊටත් වඩා වයෝවෘද්ධ පෙනුමක් උසුලන කබලමුත්තු සින්නම්මා අම්මාද පුතුන් තිදෙනෙකුගේ මවකි. ඇගේ එක් පුතකු ආරක්ෂක අංශවල අත්අඩංගුවේ සිටියදී වස පානය කර මිය ගොස් ඇති බවත්, අනෙක් පුතා කොටි සංවිධානයෙන් අල්ලාගෙන ගිය බවත් ඉතිරිව සිටි පුතාද සිවිල් ආරක්‍ෂක සේවාවක නිරත වී සිටි අතර, වැඩ නිම වී නිවෙසට එමින් සිටියදි පැහැරගෙන ගොස් ඇති බවත් ඇය පැවසුවාය.
මුත්තූර්හි පදිංචි 82 හැවිරිදි සුන්දරලිංගම් සෙල්වරංජිනී ගේ පුතාද හමුදා අත්අඩංගුවේදී අතුරුදන් වූවෙකි.
”මගේ පුතා එයාගේ නැන්දම්මව බලන්න ගිය වේලාවේ ඒ ගම හමුදාවලින් රවුන්ඞ්අප් කරලා. එතනදි තමා අල්ලාගෙන ගිහිං තියෙන්නේ. හමුදා තුනමයි, පොලිසියයි, කරුණාගේ කට්ටියයි ඉඳලා තියෙන නිසා මගේ පුතාව අල්ලගෙන ගියේ කවුද කියලා හරියටම කියන්න දන්නේ නැහැ. නමුත් පුතා අතුරුදහන්.”
අතුරුදහන් සිය පුතාගේ දරුවන් දෙදෙනා රැකබලාගැනීමේ බර පැටවී ඇත්තේද ඇය පිටය. ඇය ඒ බර දරන්නේ අසීරුවෙනි.

අල්ලස් පූජාව

දරුවා බේරා ගන්නට ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරියෙකුට රුපියල් ලක්‍ෂ 05ක අල්ලසක් ලබාදුන් බව ලිංගනගර්හි 75 වියැති සෙල්වරාජා පරමේෂ්වරි කියයි. ‘අන්තිමේදි ලක්‍ෂ 05ත් නැහැ පුතත් නැහැ’ ඇය කීවේ වේදනාවෙනි. ”පුතාව අල්ලගෙන ගිහිං මාස කිහිපයකට පස්සේ අල්ලසකුත් දුන්නට පස්සේ, කෑලි කෑලි වලට කපපු පුතාගේ ශරීරය ත‍්‍රිකුණාමල මුහුදේ දාලා තිබිලා අපිට හම්බවුණා. මගේ අහිංසක පුතාට මෙහෙම කළේ ඇයි ? කවුද කළේ ? කියලා මට දැනගන්න ඕනේ.”
/

ඇය ලක්‍ෂ 05ක අල්ලසක් දෙන විට, මෙම මව්වරුන් කණ්ඩායමේ නායිකාව වන නාගේන්ද්‍රන් ජෙයලක්‍ෂමිපුල්ලේ අම්මා සිය පුතා බේරාගන්නට ඔවුන්ගේ ඉල්ලීම මත නාවික හමුදා නිලධාරින් වෙත රුපියල් ලක්‍ෂ 15ක් ගෙවා තිබේ.
අතුරුදහන්වුවන් නැවත ලබාදීම සඳහා යැයි කියා මෙසේ මුදල් අල්ලස් ගෙන ඇති හිටපු ප‍්‍රධාන නාවික හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුම අද දවස වන විට නීතියේ රැහැනට හසුකරගෙන ඇතැයි ඔව්හු කීහ. එය වසර 4ක් තුළ කොළඹ අලූත්කඬේ උසාවියේ ඇසෙයි. සෙල්වරාජා පරමේශ්වරී සහභාගී වී ඇත්තේ නඩු වාර දෙකකට පමණකි. ”නඩුවලට මොනවා වෙනවද දන්නේ නැහැ. මාසෙට දෙපාරක් කැඳවන නඩුවට පෙනී සිටින්න අපි ළඟ සල්ලි නැහැ. ජීවත් වෙන්නෙත් පුදුම අමාරුවකින්.” මහලූ වුවත් ජීවත් වීම සඳහා දොදොල් සාදා විකුණන ඇය පැවසුවාය.

වන්දි වෙනුවට සත්‍යය

සත්‍යග‍්‍රහයේ නිරත මව්වරුන් කියා සිටින්නේ අතුරුදහන් වු තම දරුවන් වෙනුවෙන් වන්දි මුදලක් අපේක්‍ෂා නොකරන අතර ඔවුන්ට සිදු වූ දේ දැන ගැනීම තම පළමු අවශ්‍යතාව බවයි. එමෙන්ම, වයෝවෘද්ධව අසනීපවලින් පෙළෙමින් කිසිම ජීවනෝපායක් කරගැනීමටද නොහැකිව අරගලයේ යෙදී සිටින ඔවුනට ජීවත්වන්නට ක‍්‍රමවේදයක් සැකසිය යුතු බවත්ය.
ත‍්‍රිකුණාමලයේ පමණක් නොව, අද දවසේ මේ මොහොතේදි කිළිනොච්චියේද, වව්නියාවේද අම්මලා සිය ගණනක්, අතුරුදහන් කර ඇති සිය සැමියා, දරුවා සොයමින් සිය ගතේ ඇති අවසන් ශක්තියද මහ මඟට දිය කර හරිමින් සිටිති. දකුණේ මව්වරු, ඊට බොහෝ කලකට පෙර ඒ අත්දැකීම විඳගත්හ. තවමත් විඳවමින් සිටිති. ශිෂ්ට සමාජයකට ඒ වේදනාව නොතකා සිටිය හැකිද?