Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

දෙවියන් මුරට තියා මරු කපොල්ලෙන් එතෙර වන
‘ඕ‍ර්බෝන් පෙදෙසේ’ ධීවරයෝ

පරම්පරා තුනක් තිස්සේ ඔවුන් කළ ඉල්ලීම් කිසිවක්, ඔවුන්ගේ ඡන්දයෙන් බලයට ආ ආණ්ඩුවලට ඇසුණේ නැත. ඒ තැනට දෙවියකු කැඳවීමට ඔවුන්ට සිදුව ඇත්තේ ඒ නිසාය.

29.12.2017  |  
කොළඹ දිස්ත්‍රික්කය
ධීවර රැකියාවෙන් අපේක්ශිත අරමුනු ඉටුවේද?

තරගයට මෙන් අහස උසට එසැවුණු විසල්  ගොඩනැගිලිය. සුපිරි නිවාස සංකීර්ණයන්ය. තරු පැලඳි සංචාරක හෝටල්ය. ඒ අතරින් දිවෙන, මනාව සැලසුම් කළ මං මාවත්ය. ඈත සිට බලනවිට මනරම් දසුනකි. මේ කොළඹ හදවතට නුදුරු දෙහිවල පුරවරයයි.

මේ සොඳුරු දසුන විනිවිද, එහි පරිධියට එබී බලන්නෙකුට ‘ඔර්බෝන් පෙදෙස’ දැකගත හැකිය.

 ‘ඔර්බෝන් පෙදෙස’

‘ඔර්බෝන් පෙදෙස’ තරමක් අමුතු නමකි. ඒ නමෙහි ඉතිහාසය ගැන එහි වෙසෙන කිසිවෙක් නොදනිති. එහි වෙසෙන්නන් බහුතරයකගේ ජීවනෝපාය ධීවර කර්මාන්තයයි. පවුල් දෙසීයක් පමණ ජීවත් වන මේ ගම්මානයේ වෙසෙන ජ්‍යෙෂ්ඨ ධීවර කාර්මිකයකු වූ ඇල්බට් ෆොන්සේකා, සිය තුන්වැනි පරම්පරාව දැක ගැනිමේ වාසනාව ලද්දෙකි.

“ මේ ධීවර ගම්මානයේ තමයි මම ඉපදුණෙත්. මගේ තාත්තත් ධීවරයෙක්. එදා ඉඳලම අපි පදිංචිවෙලා ඉන්නෙ මේ ගමේම තමයි. අද වෙනකොට මේ ධීවර ගම්මානේ විතරක් බෝට්ටු දෙසීයක් විතර මුහුදු යනවා. ඒ වගේම පානදුරේ ඉඳන් ධීවරයෝ මේ තොටුපළට එනවා. මේ තොටුපළත් නැත්නං ඒ අයට යන්න වෙන්නෙ මෝදරට. ස්ථිර තොටුපළක් නැති එක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නය. අපි දන්න කාලෙ ඉඳල තොටුපළක් හදල දෙන්න කියල ඉල්ලනවා. අපේ වෙන්දේසියෙන් මාලු ගන්න එන වෙළෙන්දො අපි අහසින් වැටුණ මිනිස්සු ගාණට දාල තමයි මාලු මිලට ගන්නේ. ඇයි අපි ස්ථිර විදිහට කර්මාන්තය කරගෙන යන බවක් ඒ අයට පේන්නෙ නැහැ. අද මෙතන පොඩියට හරි ධීවර තොටුපළක් හැදුණා නම් සංචාරක ව්‍යාපාරයටත් හොදයි. වටේටම තියෙන්නෙ සංචාරක හෝටල්. ”

ධීවරයෙකුගේ මාලිගාවක්

කොළඹ අග නගරයේ ජීවත් වෙමින් ජාතික ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදෙන මෙම පිරිසගේ හඩට කන් දීමට කිසිවෙකුත් නොමැති විම පිළිබද ඔර්බෝන් ධීවර ගම්මානයේ කුමාර ගෝමස් මෙසේ පැවසුවේය.

මූලික අවශ්‍යතා අහිමිව

“ පවුල් දෙසීයක් විතර මේ ගම්මානයේ ඉන්නවා. කිසිම කෙනෙකුට ස්ථිර නිවාස නැහැ. පැල්පත් නිවාස තමයි තියෙන්නේ. හරිහැටි වැසිකිළි නැහැ. ස්ථිර ජල පහසුකම් නැහැ. අපි බොහොම අහිංසක විදිහට ජීවත් වෙන පිරිසක්. දවසම මහන්සි වෙලා වැඩ කරල අල්ලගන්න මාලු ටික විකුණල තමයි අපේ දරුපවුල් ආරක්ෂා කරන්නේ.”


 ඔවුහු දුක කියා පිළිසරණ පතන්නෝ නොවෙති. ඔවුන් ඉල්ලන්නේ සිය ගැටලුවලට විසඳුම් ය.

”අපිට ආණ්ඩුවෙන් සහනාධාර මුකුත් අවශ්‍ය නැහැ. අපි ඉල්ලන්නේ අපිට ස්ථිර නිවාස හදල දෙන්න කියල විතරයි. අපිටත් යම් දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. කිසිම කෙනෙක් අපේ හඩට කන්දෙන්නේ නැහැ. අපි මේ විදිහට දුක් වින්දට අපේ ඉදිරි පරම්පරාවට හරි අනාගතයක් තියෙන්න ඕන. ”

රුවන් සංජීව ගෝමස්, ඔර්බෝන් පෙදෙසේ සියලුම පොදු කටයුතු සදහා නායකත්වය ලබාදෙමින් සිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නෙකි.

මරු කපොල්ලක්

“මහ මුහුද මැදදීවත් මුහුණ දෙන්නෙ නැති භයානක තත්වයක් තමයි මේ ඉස්සරහින් පේන බ්‍රේක්වෝටර් එක ළගින් එනකොට තියෙන්නෙ. මෙතන දිගටම ගල්වැටියක් තියෙනවා, ගෝල්ෆේස් දිහාට යනකම්ම. ඔය ගල්වැටියේ මැද හරියේ තියෙනවා පොඩි විවෘත කොටසක්. එතනින් තමයි අපි දියඹෙට යන්නෙත් ගොඩබිමට එන්නෙත්. එතැන හරිම ගැඹුරුයි. මාරියාව තියෙන කාලෙට මෙතන රැල්ල හරිම දරුණුයි. හැම අවුරුද්දෙම මෙතන රැල්ල කැරකිල බෝට්ටු පෙරළිල අපේ ධීවරයෝ මැරෙනවා. ගිය අවුරුද්දෙත් අපේ ධීවරයෝ දෙන්නෙක් මැරුණා. අපි දෙහිවල රේල්පාර වහගෙන උද්ඝෝෂණය කළා, ගල්දාලා දිගටම කොටසක් ගැඹුර අඩු කරල දෙන්න කියලා. ඒකෙන් අපිට වුණ  යහපත තමයි අපේ කීප දෙනෙකුට උසාවියේ පෙනී හිටින්න කියල සිතාසි ලැබුණ එක.

ධීවර පැල්පත් අසල අභාවයට යන පැරනි ප්‍රදීපාගාරය

ඔය පේන ගල්වැටියේ කතරගම දෙවියන්ගේ රූපයක්  සවි කරල ලයිට් එකක් දැම්මෙත් අපේ ධීවරයෙක්. මූදු ගිහිල්ල ගොඩබිමට එන අයගේ ආරක්ෂාවට. ධීවර ගම්මානේ තියෙනවා පරංගි කාලේ හදපු ප්‍රදීපාගාරයක්. ඒක දැං නටබුන් වෙලා. කාටවත් උනන්දුවක් නැහැ ඒක නවීකරනය කරල අපිට සේවයක් සලසන්න.”

වසර ගණනාවක සිට ඔවුන් අඛණ්ඩව සිදු කළ අරගලයක ප්‍රතිඵල පිළිබඳ පෙර නිමිති මේ වන විට පහළ වී තිබේ. ධීවර රැකියාවන් සදහා යන එන්නන්ගේ මර්මස්ථානයක් ගල්වැටි දමා සකස් කිරිමේ මූලික කටයුතු මේ වන විට ඇරඹී ඇත. එසේ වුවද ඒ සියල්ල සිදු වන්නේ ඔවුන්ගේ සහභාගීත්වයකින් තොරවය.

” නේවි මහත්තුරු ඇවිදිං මුහුද මනිනවා සලකුණු දානවා. දියකඩනයක් හදන්න. මේ ව්‍යාපෘතියට කොච්චර කල් යනවාද කියන්න අපි දන්නේ නැහැ. නාවික හමුදාව ධීවර අමාත්‍යාංශය හා වනජීවි දෙපාර්තමේන්තුව එකතුවෙලා හදනවා කියල තමයි අපි දන්නෙ. කොහොම වුණත් ඔර්බෝන් ධීවර ගම්මානයේ එක ඉල්ලීමකට හරි ආණ්ඩුව ඇහුම්කන් දුන්න එක ගැන  අපි සතුටු වෙනවා .”

දහසක් ගැටලුවලින් එකක් විසඳීමේ පෙර නිමිති දැක සතුටු වන්නට තරම් අහිංසක හදවත් ඇති ඔවුන්ට තවත් බොහෝ දේ ලැබිය යුතු නොවේද?

දෙහිවල ඔර්බෝන් පෙදෙසේ ධීවර වැල්ල