Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

තිස් වසරක් ගමක තනිවම දිවි ගෙවන
සේරුනෑවේ ධනපාල

බිහිසුණු ඛේදවාචකයකින් පසුව ඉතිරි වූ සියල්ලන්ම ගම හැර යද්දී, ඔහු එහිම නතර විය. ඔහුගේ කතාව තනි පුද්ගලයකුගේ අත්දැකීම් පිළිබඳ කතාවක් පමණක් නොවේ. යුද තර්ජිත ගම්මාන සිය ගණනක වැසියන්ගේ සමස්ත ඉරණම පිළිබඳවද කතාවකි.

09.02.2018  |  
අනුරාධපුර දිස්ත්‍රික්කය

ගේ දොර භවභෝග සියල්ල කටු පඳුරුවලින් වැසී ගොසිනි. ගම වන දුර්ග ගිරි දුර්ග හා ජල දුර්ග වලින් ලෝකයාට වෙන් කර ඇත. සිය දෑස් ඉදිරි පිටදී මියැදුණු ප්‍රියයන්ගේ ශෝකාලාපය පිරුණු වනාන්තරය මැද ඇත්තේ අඳුර හා කර්කශ බවය. ඒ මැද තම සියලු අපෙක්ෂාවන් හා කැපවීම්ද ත්‍රස්තවාදයෙන් ගිලගනිද්දී නොසැලී තිස් වසරක් තිස්සේ තනියම දරා සිටි මිනිසෙක් අදත් සේරුනෑව ජනපදයේ සශ්‍රීකත්වය උරගා බලන්නේය.

එච්.එම්. අර්නෝලිස් හෙවත් ධනපාල මුදලාලි නම් ඒ අපූරු පුද්ගලයා, ත්‍රස්තවාදයෙන් අඛණ්ඩව බැට කෑ හොරොව්පොතාන සේරුනෑව ගම්මානයේ අග-මුල යාකරන නාරටියක් බඳුය.

ඒක්තරා රාත්‍රියක, ඔහුට උරුම තිස්වසරක් පැරණි පැල්පතේ මිදුලේ, ගිනි මැළයකින් දුරුතු සීතල තවමින් ඔහු ඒ අපූරු කතාව සිහි කළේය. ඒ කතාව වසර හැටක් ආපස්සට ඇදී යයි.

අලුතින් ඉදි වූ ජනපදය

හොරොව්පොතානට නැගෙනහිර පළාතෙන් යාවුණු කඳුගැට පෙළක් අසබඩ තැනූ ‘සේරුනෑව වැව’ අශ්‍රිතව ජනපදයක් ගොඩනැගීම ඇරඹුණේ 1950 දසකයේදීය. ධනපාල දකුණු පළාතේ සිට හොරොව්පතානට එන්නේ එම භූමිය හෙළි පෙහෙළි කළ කොන්ත්‍රාත්කරුවන්ගේ සේවකයකු ලෙසිනි. පසුව ඔහු, හෙළි කළ බිමෙහි මායිම් සලකුණු කළ මිනුම්දෝරුවන්ට මග පෙන්වන්නෙකු හා ආරක්ෂාව සපයන තුවක්කු කරුවෙකු ලෙස දවසකට රුපියල් 5ක වැටුපට සේවය කළේය. රජයේ උප ඒජන්ත බලල්ල මහතා යටතේ නව ජනපදයේ ගොවි පවුල්වලට ඉඩම් බෙදා දෙද්දී තනිකඩයෙක් වූ ධනපාලටද ඉඩමක් ලැබිණි.

අත්හැර දැමුණු ගොඩනැගිලි

පරංගියාවාඩිය, දියතිත්තවැව හා නබඩවැව ආදී ගම්වලින් පැමිණි ගොවි පවුල් මහ සේරුනෑව ජනපදයට හිමිකම් කීය. මේ සැමගේ ජීවන මට්ටම ඉතාම ප්‍රාථමික විය. ඒ වග ධනපාලගේ බසින් කියන්නේ නම්, ‘ගෙදරක පොල්ගෙඩියක් බිඳෙන්නේ කලාතුරකිනි.’ කෑවේ වේලක් ඇර වේලකි. ජීවනෝපාය දඩයම මුල්කරගෙනය. මේ හැමෝටම පිහිට වුණේ තුවක්කුකරු වූ ධනපාලය. ඔහු අටවාගත් පැල්කොටය ගමේ කේන්ද්‍රස්ථානය විය. නිලධාරීන්, ආගන්තුකයන්, දිය පිපාසිත වූවන්, දුක් කරදරවූවන් ආදී හැමෝම ගොඩවදින්නේ එතැනටය.

වයස අවු 28දී එම පෙදෙසෙහිම මිතුරකුගේ නැගණියක හා විවාහ වූ ඔහු, නිවෙසක් තනාගෙන අලුත් ජීවිතයක් ඇරඹුවේය. ඔවුන්ට පුතුන් දෙදෙනෙකු හා දියණියන් දෙදෙනෙකු ලැබිණි. අසූ ගණන් වන විට ගමේ පදිංචිව සිටි පවුල් ගණන 38කි. 1987 මාර්තු 23වැනිදා ඔවුන්ගේ ජීවිතවල සාමකාමී සමය අවසන් විය.

බිහිසුණු දවස

23වැනිදා නබඩවැවට කොටි පැනලා කඩයක් කැඩුවා. ඒකේ තිබිච්චි බඩු මුට්ටු රත්තරං වාගේ වටිනා දේවල් අරන් ගියා. පහු වෙනිදා ඒ ගැන විභාග කරන්න ආව පොලිස් ජීප් එකට වෙඩි තිව්වා. කස්තුරි කියන ඕ අයි සී මහත්තයාටයි ඒ එක්කලා හිටපු සිරිල් කියන ග්‍රාම නිලධාරී මහත්තයටයි වෙඩි වැදුණා. ඒත් ඒ රියැදුරා වාහනේ නොනවත්වා ඉස්පිරිතාලෙට අරන් ගිහින් පොලිසියේ මහත්තයාව බේරා ගත්තා.
ඊ ළඟ දවසේ ගමට කොටි ඇවිත් දඹ ගහ ළඟ සිරිසේන කඩේ ළඟදි 26 දෙනෙක් වෙඩි තියල මැරුවා. එදා ඉරිදා දවසක්. මගේ දුව රමණියි අපේ ගෙදරම හැදී වැඩුණු දිස්නා දුවයි දෙන්නා තව ළමයි කණ්ඩායමකුත් එක්ක කන්තලේ වැව හදනවා බලන්න ගිහින් හිටියේ. ළමයි දැකලා නෑ ඩෝසර් යන්ත්‍ර වලින් වැව් හදනවා. ඒක බලන්න ආසා නිසා මම යන්න දුන්නා. ගමන කිලෝ මීටර් 10ක් වගේ දුරයි. දරුවෝ 21දෙනෙක්, වැඩිහිටියෙක් එක්ක පයින් ගියේ. ආපහු එන ගමන් කුඩා සේරුනෑව වැවේ හොරොව්ව ළඟදී, ගමට ගහලා ආපහු යන කොටින්ට මේ දරුවො මැදි වුණා. උන් ඒ ළමයි 21 දෙනාම මැරුවා. මගේ රමණි දුවත්, දිස්නා දුවත් මට නැති වුණා.”

සේරුනෑව වෙල්යාය

මේ බිහිසුණු සිදු වීමෙන් පසු, ඉතිරි වූ සියල්ලෝම ගම හැර ගියහ. අමු සොහොනක් බඳු ගමෙහි වේදනාබර මතකය දරාගෙන, ධනපාල පමණක් නතර විය. තනියට හිටියේ ඔහුගේ ගව රංචුව පමණි. වසරක පමණ කාලයකට පසු නැවතත් ඔහුට බිහිසුණු ඉරණමකට මුහුණපෑමට සිදු විය.

ප්‍රාණ ඇපයට

කොටි කණ්ඩායමක් ඔහුගේ වාඩියට කඩා වැදුණේ, ඔහුගේ පුතා වූ ගුණරත්න හා තවත් තරුණයෙකුද ඔවුන්ගේ ග්‍රහණයට රැගෙනය. හමුදාවෙන පලා ගොස් කොටි සමග එක් වූ සෙබළෙක්ද ඒ සමග විය. ඔවුහු ධනපාලගෙන් රු. ලක්ෂ දෙකහමාරක කප්පමක් ඉල්ලා සිටියහ. ඔහු වාඩිය තුළම ප්‍රාණ ඇපයට ගෙන, මුදල් සොයාගෙන ඒමට ඔහුගේ පුතා සහ අනෙක් තරුණයා පිටත් කර යැවූහ.
තරුණයෝ මේ පුවත කියා දන්නා හඳුනන අයගෙන් උදව් ඉල්ලූහ. ඔවුන්ට මුලින්ම පිහිට වුණේ සහිදු නමැති මුස්ලිම් ව්‍යාපාරිකයෙකි. සහිදු, ගුණරත්නට ලක්ෂ එහකහමාරක්ම දුන්නේය. ඉතිරි ගණන සහිදු හා ගුණරත්න එක්ව හොරොව්පොතානේ සිංහල හා මුස්ලිම් ව්‍යාපාරිකයින්ගෙන් එකතු කළහ. ඊ ළඟ අභියෝගය කොටින්ට මුදල්දීමට යාමය. සහිදු ඊට ඉදිරිපත් වූයේ තම ජීවිතය පරදුවට තබමිනි. ඔහු කළ පරිත්‍යාගය, ධනපාලගේ හිතේ නොමැකෙන අයුරින් සටහන් වී තිබේ.

”පහුවදා පුතයි සහිදුයි එනවා දැක්කා. එක කුකුලක් ඉස්සරහට තියනවා. ආයෙ පස්සට ගන්නවා. මරණ බයෙන්. ඒත් මාව බේරාගන්න තියන උමවනාව නිසා ආවා. මට ඒ මනුස්සය ගැන පුදුම ගෞරවයක් තියන්නේ. මේ මනුස්සකම් නිසාම පස්සේ කාලේ සහිදු මහත්තයා පළාත් සභාවේ මන්ත්‍රී කෙනෙක් වුණා.”

මුදල් දුන් විට ඔවුන්ට නිදහස ලැබිණි. ඔවුන් එතැනින් පිටත්ව ගමට යද්දී රාසික් නැමති ව්‍යාපාරිකයාද ලක්ෂ හතරක මුදලක් රැගෙන කැලෑවට එමින් සිටියේය. දෙපිරිස දියතිත්තවැවේදී හමු වී සෙනෙහසින් වැළඳගත්හ.
”ධනපාල අයියා අපි ඔයාව බේරාගන්න සල්ලි අරන් එන්නේ” රාසික් කීවේය.
”සහිදුට පිං සිද්දවෙන්ඩ මං බේරුණා…ඔයාටත් බොහොම පිං රාසික් මුදලාලි” යි ධනපාල කීවේය. පසුව තමා සතු මී ගවයින් විකුණා ධනපාල මේ ණය බේරූ නමුත්, ඔහුගේ හදවත තවමත් ඔවුන්ට ණය ගැතිය.

තෙවැනි ප්‍රහාරය

එතෙකිනිදු ධනපාල සිය ගම හෝ ජීවිකාව අත්හැරියේ නැත. ගොවිතැනත් ගවපාලනයත් අඛණ්ඩව සිදුකළේය.
නැවත 2001දී ඔහුගේ සේරුනෑව කුඹුරේ වාඩියට කොටි ප්‍රහාරයක් එල්ල විය. ඔහුගේ පුතා , බෑනා ඇතුළු කිහිපදෙනෙක් වාඩියේ සිටි අතර පැන දිවූ ඔවුන්ට කොටි වට කර චෙඩි තැබූහ.

ඒ තුන්වැනි සිදුවීමෙන්ද ධනපාල ගම අත්හැරියේ නැත. පුරන්කුඹුරු අස්වද්දමින්, ගව පාලනය කරමින් එහිම රැඳී සිටියේය. ආනඔලොන්දාව නැමති වැව යටතේ විශාල කුඹුරු යායක් අඳේට වගා කරන ඔහු අද දක්වාම මේ කැලෑවේ තනිව දිවි ගෙවයි. ඔහුගේ ඉලක්කය තමා මෙන්ම අනෙක් අයට සේරුනෑවේ සාරවත් ගොවි ජීවිතයක් ලබා දීමය. එදා මෙන්ම අදත්, අඳුනන නාඳුනන කොයි කාටත් ඔහුගේ පැල්පත විවෘතය.

ගම තිබූ තැන්වල කැලෑව පීරා යන රජයේ නිලධාරීන්

දැන් වාතාවරණය යහපත් බැවින් ගම අත්හැර ගොස් සිටි අනෙක් ගැමියෝද සේරුනෑවට ගොස් තමන් සතුව තිබූ වගාබිම් අස්වැද්දීමේ උත්සාහයක නිරතව සිටිති. සේරුනෑව කොටසේ තිබූ ගෙවල් කිහිපයක වරිච්චි බිත්තිවල කණු අන්දර ගස් අතරින් මතුව පෙනේ. පාසල කටු අකුලකට යට වී ඇත. ධනපාලගේ පැලනම් අදත් පවතී. විදුලිය නැතත් එහි කෑමෙන් බීමෙන් අඩුවක් නැත. එහෙත් දියතිත්ත වැවේ සිට මේ ස්ථානයට යාමට ට්‍රැක්ටරයකින් හෝ යතුරු පැදියකින් මිස වෙනත් වාහනයකින් යාම අසීරුය.

යළි ගොඩනැගීම

යුද්ධය නිම වූ දා සිට ගම්මුන්ගේ ඉල්ලීම මේ ගම නැවත ගොඩනගා වාරි මර්ග ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසය.
ඒ ඉල්ලීම වෙනුවෙන් අවධානය යොමුකළ තිදෙනෙකි. ඒ අනුරාධපුර මහ දිසාපති ආර්.එම්.වන්නිනායක, දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද හා හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩබලන සැලසුම් සහකාර අධ්‍යක්ෂ ප්‍රියංකර නවරත්න යන මහත්වරුය.

ඔවුන්ගේ උත්සාහය සේරුනෑව වැවේ වාන හා ඇළවේලි තනා දීමය. ගම නැවත ගොඩනැගීම ගැන දෙවතාවක් සිතන්නට සිදු වන බව දිසාපතිවරයා පවසයි.
‘‘ ගම් දීර්ඝ කාලයක් වල් බිහි වෙලා තිබුණේ. ඒ කාලය තුළ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ප්‍රදේශය රක්ෂිතයක් ලෙස ගැසට් කරලා. ඒ නිසා නැවත ගෙවල් හදන්න අමාරුයි. අනෙක අද කාලේ හැටියට යටිතල පහසුකම් විඳලා පුරුදු වෙච්ච මේ අය එදා වගේ දුෂ්කරතා විඳින්නෙ සූදානම් නෑ. ඒත් ඒ ගැන මතුවට හිතන්න ඉඩ තියලා පුරන් වුණු කුඹුරු වගා කරන්න අවශ්‍ය වාරි ජලය ලබාදීම වෙනුවෙන් ඇළ වේලි පද්දිතිය අලුත්වැඩියා කරන්න ව්‍යාපෘතියක් අරඹන්න මම උපදෙස් දුන්නා‘‘

ධනපාල සේරුනෑවට පය ගැසූ වසර පනහකට පෙර දවස මෙන්ම අව් -වැසි- සීතල, දුර්ග, අලි වලස් බිය අදත් සේරුනෑවේ ඇත. පනස් වසරක් මේ උවදුරු සමග ගැටුණු ධනපාල ගතින්වත් සිතින්වත් වියපත්බවක් නොපෙන්වයි. ඇත්තේ උත්සාහයයි. ඒ බව නිලට හැරුණු බණ්ඩි ගොයමින් පෙනේ. ධනපාල අදත් ‘ධනපාල‘ මිස වත්කම්න්ද අධිෂ්ඨානයෙන් ද දුප්පත් නැත.