Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

සංහිඳියාව ගොඩනඟන ආයතන
වැඩ කරන්නෙ වෙන වෙනම

‘සංහිඳියාව’ ගොඩනැගීම වෙනුවෙන් රජය විසින් ආයතන 4ක් පිහිටුවා තිබේ. මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්න පවසන්නේ ඒවා අතර කිසිදු සංහිඳියාවක් නැති බවයි.

12.10.2016  |  
කොළඹ දිස්ත්‍රික්කය
මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්න

කැලණිය සරසවියේ දර්ශන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්න සාමය ගොඩනැංවීම සහ ප්‍රතිසන්ධානය සඳහා වූ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂවරයා ලෙස ද 2003 වසරේ සිට කටයුතු කරයි.

‘සංහිඳියාව’ යන්න මේ වන විට නිතර අසන්නට ලැබෙන වචනයක්. ඔබ එය අර්ථ දක්වන්නෙ කොහොමද?

මේ වචනය භාවිත වෙන්නෙ නියම අර්ථයෙන්මද කියන එක ගැටලූවක්. අපි reconciliation වෙනුවටයි සංහිඳියාව කියන වචනය භාවිත කරන්නේ. නමුත් සංහිඳියාව කියන්නේ වෙනත් ජන වර්ගයක නැතිනම් ආගමික කොට්ඨාසයක වෙනස්කම් පිළිගෙන, ඒ වෙනස්කම් පෝෂණයට ඉඩ දෙමින්, මතු වන ගැටුම් අහිංසාවාදී ක්‍රමවේදවලින් විසඳා ගැනීමයි. ‘සංහිඳියා සමාජයක්’ කියන්නේ ඒ ඔස්සේ අප අවසානයේදී ඇති කර ගන්නා සමාජයක්. මේ මොහොතේ පවතින තත්ත්වයේදී reconciliation යන්නට වඩාත් සුදුසු වන්නේ ‘සමඟි සන්ධානය’ කියන වචනයයි. මොකද, බෙදී වෙන් වෙලා පවතින සමාජයක් තමයි නැවත එකතු කෙරෙමින් පවතින්නේ. පළමුව සමාජය තුළ සමඟි සන්ධානයක් ගොඩනඟන්න ඕනේ. දෙවැනි පියවර තමයි සහජීවනය. එම ක්‍රියාදාමය තුළින් තමයි අපි අවසානයේදී සංහිඳියාව තියෙන සමාජයකට ඇතුළු වෙන්නෙ.

රට තුළ සංහිඳියාව ගොඩනැගීම මේ රජයේ ප්‍රධාන පොරොන්දුවක්. ඒ සම්බන්ධයෙන් මෙතෙක් ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් සෑහීමකට පත් වෙන්න පුළුවන්ද?

රාජ්‍යය මෙම කර්තව්‍යය බරපතළ ලෙස බාර අරගෙන තිබෙන බවක් මට පේන්නේ නැහැ. සංහිඳියාව ගොඩනැඟීම සඳහා ආයතන කිහිපයක් පිහිටුවා තිබෙනවා. ජාතික භාෂා, ජාතික සහජීවනය සහ ජාතික සංවාද අමාත්‍යාංශය හරහා විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්. දැනට එය ක‍්‍රම ක‍්‍රමයෙන් සිදු කෙරෙමින් පවතිනවා. චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියගේ සභාපතිත්වයෙන් සංහිඳියාව සඳහා ජාතික එකමුතුව (National Unity of reconciliation) කියලා ආයතනයක් තියෙනවා. ෆවුසි අමාත්‍යවරයා යටතේ ජාතික ඒකාබද්ධතා පිළිබඳ අමාත්‍යාංශයෙත් කොටසක් තියෙනවා. මේ සියලූ කණ්ඩායම් වෙන වෙනම තමයි වැඩ කරන්නේ. ඒ අය අතර අන්තර් සම්බන්ධතාවක් ගොඩනැඟී නැහැ වගේම ඔවුනොවුන් අතර යම් තරඟකාරීත්වයකුත් තිබෙනවා. එම නිසා දැන් මෙය බරපතළ කාරණාවක් වශයෙන් තේරුම්ගෙන ජනාධිපතිතුමා යටතේ හෝ අගමැතිවරයා යටතේ ක්‍රියාත්මක වන්නක් බවට පත් විය යුතුයි. අගමැතිවරයා යටතේ තිබෙනවා නම් කාර්යක්‍ෂමව එතන වැඩ කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අගමැතිතුමා යටතේත් සංහිඳියාව සඳහා වන විශේෂ කාර්ය බලකායක් හදලා තියෙනවා. මේ හැමෝම ඒකාබද්ධ කරලා දැවැන්ත ජාතික වැඩපිළිවෙළකට යනවා නම් තමයි උතුරේ ජනතාවට විශ්වාසයක් ගොඩනැෙඟන්නේ.
/jayantha_seneviratne22

උතුරට ගිහිල්ලා සංහිඳියාව ගැන අහද්දී ඔවුන් මුලින්ම අහන ප‍්‍රශ්න වගයක් තියෙනවා. අපේ අතුරුදන් වූ අය කෝ කියලා අහනවා. අපේ ඉඩම් පිළිබඳ ගැටලූ රැසක් තිබෙනවා. ජීවනෝපාය පිළිබඳව ගැටලූ තියෙනවා. මානසික රෝගී තත්ත්වයට පත් වෙච්ච විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් සුවපත් කිරීම සඳහා විශාල වැඩපිළිවෙළක් අවශ්‍යයි. දකුණේ කරන ප‍්‍රතිසංස්කරණ තවම උතුරේ ජනතාවට දැනිලා නැහැ. ඔවුනට දැනෙන විදිහේ වැඩපිළිවෙළක් දියත් කළ යුතුයි.
ආණ්ඩුව යම් යම් පියවර අරගෙන තියෙන එක ගැන සතුටු වෙනවා. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපිත කිරීම ඉතාමත් වැදගත්. ඒත් තවම මුදල් ප්‍රතිපාදන වෙන් කර නැහැ. මේවා හෙමින් සිද්ධ වෙන්නේ. උතුරේ ඉඩම් විශාල වශයෙන් අත්පත් කරගෙන තිබෙනවා. ඉහළ නිලධාරීන්ගේ සුඛ විහරණයට ඔවුන්ගේ කර්මාන්ත හා ව්‍යාපාර සඳහායි, එම ඉඩම් යොදාගෙන තියෙන්නෙ. ඒවා ජනතාවට ලබාදීමත් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. හැබැයි එම අවශ්‍යතාවය දකුණේ ජනතාව තුළින්ම ගේන්න පුළුවන් නම් ඉතාම හොඳයි.

ජන මතය තිබෙන්නෙ එම අවශ්‍යතාවන් ඉටු කිරීමට විරුද්ධව නම් ආණ්ඩුවට එතැනට යන්න දුෂ්කරයි නේද?

නමුත් දේශපාලන බලය තිබෙන්නෙ ආණ්ඩුවට. ඒ නිසා ජනතාව සූදානම් කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍යයි. 1990දී හිරෙන් නිදහස් වන නෙල්සන් මැන්ඩෙලා එම වර්ෂයේදීම Convention for a Democratic Front කියලා සම්මේලනයක් හැදුවා. එමඟින් තමයි විශාල වශයෙන් එරට ජනතාව මෙහෙය වූයේ මෙවැනි ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා. එම නිසා ජනතාව පෙළඹවීමක් අවශ්‍ය වෙනවා. එය කළ යුතු වෙන්නේ රාජ්‍ය බලය තියෙන අයයි. එය නොකිරීම සඳහා හේතු තිබෙන්නට පුළුවන්. මේ ආණ්ඩුවේ සංයුතිය ගත්තහමත් විශාල වශයෙන් ජාතිවාදී කොටස් සිටිනවා. මධ්‍යස්ථ කොටස් සිටිනවා. මේ ප්‍රශ්නය ගැන සංවේදී මැති ඇමැතිවරු ගණනාවකුත් සිටිනවා. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සංවේදීව ඉන්න එක ගැන සතුටුයි. මේ වෙනුවෙන් වැඩ කරන සිවිල් සංවිධානවලට කැඳවීමක් කරලා ඔවුන්ගේ ශක්තිය, දැනුම, අත්දැකීම රාජ්‍යයේ කටයුතුවලට ලබාගත යුතු වෙනවා. එවැනි දේවල් හරියාකාරව කෙරෙන බවක් පේන්න නැහැ.

උතුරේ පැවති ‘එළඟු තමිල්’ වැනි ව්‍යාපාරවලින් පේන්නෙ සංහිඳියාව තවත් දුරස් වන බවක් ද?

එම විරෝධතාව සම්බන්ධයෙන් වාසනාවකට දකුණේ විශාල ප‍්‍රචාරයක් ලැබුණේ නැහැ. එක් අතෙකින් එවැනි උද්ඝෝෂණ පැවැත්වෙන එක හොඳයි. එය ආයුධ සන්නද්ධව කරන ලද දෙයක් නොවෙයි. උතුරේ සිවිල් ජනතාව සහ ඔවුන් නියෝජය කරන දේශපාලනඥයො එකතු වෙලා කරපු විරෝධතාවක්. එවැනි වැඩසටහන්වලින් දකුණට පොඩි තෙරපීමක් එනවා. මේ මොහොත වන විට උතුරේ වැන්දඹුවන් බවට පත් වූ කාන්තාවන් දස දහසකට වැඩි ප්‍රමාණයක් සිටිනවා. රණවිරුවන් ගේ බිරින්දෑවරුන් ආරක්‍ෂා කරගැනීම සඳහා රණවිරු අධිකාරිය තියෙනවා. උතුරේ ස්ත්‍රීන්ට මොනම ආයතනයක්වත් නැහැ. කුඩා ආදායම් මාර්ග තුළින් තමන්ගේ ජීවිත රැකගන්න ඒ අය උත්සාහ කරනවා. ඔවුන්ගේ කතාවලට සවන් දුන්නහම ඒවා මහා ඛේදවාචකයන්. මේ ගැන කඩිනම් වැඩපිළිවෙළක් අවශ්‍යයි. එම ජනතාවගේ ගැටලූ සම්බන්ධයෙන් එවැනි වැඩසටහන් දියත් වෙද්දී දකුණේ ජනතාවගේ ඇස් ඇරෙනවා.

ඇත්තටම සිද්ධ වෙන්නෙ ඒ පැත්තෙ ජාතිවාදීන් මෙවැනි ව්‍යාපාර දියත් කරනවා කියලා දකුණේ ජාතිවාදී මත අවදි වීමයි…?

එය එදා සිටම පැවති දෙයක්. නමුත් එම කාරණා සම්බන්ධයෙන් බොහොම සංවේදීව සලකා බැලීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් මාධ්‍යයටත් වගකීමක් තිබෙනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න ගියත් දකුණේ කෑගහනවනේ. මොන විසඳුම දෙන්න ගියත් මේ කණ්ඩායම් එදත් කෑගහුවා අදත් එහෙමයි. මේ ආණ්ඩුවට එය ලොකු තර්ජනයක් වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ.

ජාතික ප්‍රශ්නයට විසඳුම කෙසේ විය යුතුද?

රාජ්‍ය හමුවේ මේ මොහොතේ විශාල අභියෝග දෙකක් තියෙනවා. එකක් තමයි පූර්ව ගැටුම් සමාජයේ එනම් යුද්ධය ඇති වීමට හේතු වූ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම. ඊළඟට යුද්ධය නිසා මතු වූ ඛේදවාචක රාශියකුත් තිබෙනවා. මේවාට සමබරව විසඳුම් ලබා දිය යුතුයි. ජාතික ප්‍රශ්නය සඳහා බලය බෙදීම පිළිබඳව එදා සිටම කතිකාවතක් තිබුණා. එම කතිකාවත යළි පණ ගැන්වීම අවශ්‍යයි. උතුරු නැඟෙනහිර විශේෂ තත්ත්වයක් ලෙස සලකා බලලා බලතල බෙදා ගැනීමේ ක්‍රියාවලියකට රාජ්‍යයට යන්නම වෙනවා. එවැනි අසමමිතික බලතල බෙදා හැරීමක් කරන්න බැරිනම් සමාන බලතල බෙදා හැරීමකින් එම ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය යුතු වෙනවා.

බුද්ධාගම රාජ්‍ය ආගම වශයෙන් තිබීම, වෙනත් ආගම් අදහන පිරිසට ඇති කරන බලපෑම කෙබඳුද?

මම විශ්වාස කරන අන්දමට රාජ්‍ය අනාගමික විය යුතුයි. ආගම කියන එක මිනිස්සුන් ගේ පුද්ගලික දෙයක් බවට පත් කරගන්න ඕනේ. මෙය හැත්තෑ දෙකේ ව්‍යවස්ථාව විසින් ඇති කරන ලද අර්බුදයක්. ඒ කාලේදී සිංහල, බෞද්ධ ජනතාව බුද්ධාගම රාජ්‍ය ආගම කරන්න කියලා ඉල්ලූවේ නැහැ. නමුත් එදා ජනතාව සතුටු කිරීම සඳහා තමයි එවැනි වගන්තියක් අන්තර්ගත කළේ. දැන් එය ඉවත් කරගත නොහැකි තත්ත්වයක් තියෙන්නේ. රාජ්‍ය ලෞකික රාජ්‍යයක් ලෙස තිබිය යුතුයි. නැතිනම් අන්‍ය ජාතීන් සහ ආගමිකයන් රාජ්‍යයට සමෝධානය කරගැනීමේ දී අර්බුද මතු වෙන්න පුළුවන්.

/මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්න

ප‍්‍රධාන පක්‍ෂ දෙකේ එක් වීම ජනවාර්ගික ප‍්‍රශ්නය විසඳීම පහසු කර තිබෙනවද? අවුල් කර තිබෙනවද?

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත පාර්ලිමේන්තුවේදී සම්මත වුණේ ඒකච්ඡන්දයෙන්. එමඟින් පේනවා පක්‍ෂ දෙක එකතු වීමේ විශාල වාසියක් තිබෙන බව. එම වාසිය ඉදිරියට ගෙන යෑම අවශ්‍යයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අයගේත් එක්සත් ජාතික පක්‍ෂයේ අයගේත් දැක්ම එකිනෙකට වෙනස්. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ උදවිය තාමත් වැඩවසම් යුගයේ ජීවත් වෙනවා. එක්සත් ජාතික පක්‍ෂයේ උදවිය නව ලිබරල් යුගයක දැන් ජීවත් වෙනවා. එවැනි තත්ත්වයක් තිබුණත් පක්‍ෂ දෙකම සාධනීය තැනකට ඇවිත් තියෙනවා. එම නිසා පක්‍ෂ දෙක එකතු වීම අලූත් දේශපාලන සංස්කෘතියක් ඇති කරගැනීම සඳහා රාජ්‍ය පැවති ඛේදනීය තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා වාසියක් වෙනවා.

ජාත්‍යන්තර වශයෙන් මේ වන විට ලංකාව ඉන්නේ මොන වගේ තැනකද?

ජාත්‍යන්තර වශයෙන් ආණ්ඩුව විශාල පිළිගැනීමකට ලක් වෙලා ඉන්නවා. ජාත්‍යන්තරය ආඩම්බර වන කාරණාවක් තමයි රජය ප්‍රජාතන්තී‍්‍රකරණය සඳහා ශිඝ‍්‍රයෙන් ඇදී යනවා කියන එක. ඊළඟට ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිපත්තියක් රාජ්‍යය තුළ ඇති කරගෙන යනවා කියන එක. ප්‍රජාතන්තී‍්‍රකරණයේදී ප‍්‍රධාන වශයෙන් සැලකිය හැකි මානව අයිතිවාසිකම් සහ රාජ්‍යයේ යහපාලනය යන කාරණා බොහෝ දුරට ස්ථාපනය වෙලා තියෙනවා කියන කාරණා නිසා ජාත්‍යන්තර වශයෙන් රාජ්‍යයට විශාල පිළිගැනීමක් ලැබිලා තියෙනවා. පසුගිය ණය ගෙවීමේ බරපතළ ප්‍රශ්නයකට ආණ්ඩුව මුහුණදී සිටියත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන ආණ්ඩුවට ණය දෙන්න සූදානම් වෙලා ඉන්නවා. මේ තත්ත්වය තව දුරටත් ආරක්ෂා කර ගත යුතුයි.

ඡායාරූප : http://www.jdslanka.org අනුග්‍රහයෙනි.