Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

කදිරේශන් කෝවිලේ දෙවියන් රකින
අනුරපුරේ බොදුනු අත්වැල

සංහිඳියාව යනු දේශපාලන වේදිකාවල මැතිරෙන වදනකින් ඔබ්බට ගිය අරුතකින් සපිරි වදනකි. කදිරේශන් කෝවිලේ දෙවියන් රකින අනුරපුරේ බොදුනු අත්වැල එයට හොඳම ප්‍රායෝගික උදාහරණයකි.

22.04.2017  |  
අනුරාධපුර දිස්ත්‍රික්කය
අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටා ඇති පැරනි කදිරේශන් කෝවිල

මළහිරු බසිනා යාමයත් සමඟ අනුරාධපුර නගරය මැදින් වැටි ඇති ජයන්ති මාවත දිගේ ඇවිදයන බොහෝ දෙනෙකුගේ ගමන බාල වෙන්නේ ඒ අවටින් ඇසෙන ඝන්ටාර නාදය හමුවේය. දෙවියන්ගේ පිහිට පතා යාතිකා කරන ස්ත්‍රෝත හඩ සිකුරාදා දිනවල  වඩාත් තීව්‍රව ඇසෙන අතරම දෙවියන්ගේ පිහිට පමණක්ම නොව මෙහි සිදුවන්නේ කුමක්දැයි යන කුතුහලය මත එහි ගියවිට දකින්නට ලැබෙන්නේ හින්දු ආගමික දෙවිවරුන්ගේ ආශීර්වාදය ලබා ගැනිම සදහා සංවරව පෙළගැසී සිටින බහුතරයක් සිංහල බෞද්ධයන්ය. අනුරාධපුර නගරයේ වෙසෙන උගත් බුද්ධිමතුන් වෘත්තිකයන් ව්‍යාපාරිකයන් දුගී දුප්පතුන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන් පේළිගැසී අයාචනා කරන්නේ තමන්ටද දේව ආශීර්වාදය ලබාදෙන ලෙසය.

දෙවියන් කෙරේ ඇති විශ්වාසය

යුද සමයේ දැඩි භීතියටත් කම්පනයටත් පත්ව සිටි අනුරාධපුර නගර වාසීන් යුද්ධය අවසන් වීමත් සමග ලැබූ අත්දැකීම් ප්‍රකාර යළිත් එවැනි තත්වයකට නොයාමට යත්න දරන්නේ දැඩි කැපවීමෙනි. එහි එක් පැතිකඩක් ලෙස සතියකට අවම වශයෙන් එක් වරක් හෝ කදිරේශන් කෝවිලට පැමිණ ආශීර්වාද ලබා ගන්නේ දෙවියන් කෙරේ ඇති විශ්වාසය මත මිස කිසිවකුට අභියෝග කිරීමට නොවේ. දශක තුනක වර්ගවාදී යුද්ධයක් අවසන් වී වසර අටක් නික්ම යන මොහොතක  ජාතික සංහිඳියාව දලුලමින් මහා වෘක්ෂයක් බවට පත්වීමේ පෙරමග සලකුණු  දක්වන මනා නිදර්ශනයක් ලෙස කදිරේශන් කෝවිල නැඟී සිටියි.

අහස උසට දිස්වන මහා ස්ථූප මෙන්ම වෙහෙර විහාර හා බෞද්ධයන්ගේ ජීවමාන බුදුන් හා සමානව වැඳුම් පිදුම් ලබන ජය ශ්‍රී මහා බෝසමිඳුන් වැඩවසන ශුද්ධ භූමිය පෙනෙන මානයක හින්දු ආගමානුකූල කෝවිල් සම්ප්‍රදායට වැඳුම් පිදුම් කරන සිංහල බෞද්ධයන් අනුරාධපුරයේ සිටීම සැබවින්ම ජාතීන් අතර සහජීවනය දක්වන කැඩපතක් වැන්න.

අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමි අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙන්ම රට පුරාවටම විවිධ සමාජ ආගමික සහජීවනය උදෙසා කටයුතු කරන හිමිනමකි. ඈත අතීතයේ සිට හින්දු භක්තිකයන් හා බෞද්ධයන අතර ඇති සහජීවන පිළිබඳ උන්වහන්සේ දරන්නේ මෙවැනි අදහසකි.

ප්‍රධාන කුරුක්කල් ඥානචන්ද්‍රන් පූජකතුමා සහ නුගේතැන්නේ පඤ්ඤානන්ද නා හිමි

‘අනුරාධපුර කියන්නේ පුදුම නගරයක්. අවුරුදු එක්දාස් පනහක ලිඛිත ඉතිහාසයක් තියෙනවා එය බෞද්ධ රජවරුන් පාලනය කළ බවට. එක්දාස් නවසිය පනස්අට වෙනකොට අනුරාධපුර පූජාභූමි සංවර්ධන වැඩසටහන ඇරඹෙන තෙක්ම මේ හින්දු කෝවිල තිබුණේ ශ්‍රීමා බෝධියේ නැගෙනහිර වාහල්කඩ ඉදිරිපිට. පූජා භූමිය වටේම පදිංචිවෙලා හිටියේ සිංහල දෙමළ මුස්ලිම් පවුල්. මේ හැමෝම සහජීවනයෙන් ජීවත් වුණා.

අතීත සහජීවනය

විවිධ හේතු ඈත්වෙන්න සිදුවුණත් මේ දෙගොල්ලම අතරේ හදවත් තුළ ඒ අතීත සහජීවනය රැඳිල තිබුණ. අසූපහේ කලබලවලදී දෙමළ මිනිස්සුන්ට අපිව දාල යන්න සිදුවුණා. අපේම සිංහල මිනිස්සු පුදුම විදිහට දෙමළ අයව ආරක්ෂා සහිතව වවුනියාවට පිටත් කරන්න කැපවෙලා කටයුතු කළා. කවුරුන් කොහොම කළත් සිංහල දෙමළ සහජීවනය නැතිකරන්න හැදුවට ඒක තාවකාලික ක්‍රියාවක් විතරයි. මේකට හොඳම උදාහරණය තමයි මේ පන්සල ඉස්සරහ තියෙන කදිරේශන් කෝවිල. තනිකරම සිංහල බෞද්ධයන්ගේ උනන්දුවෙන් කැපවීමෙන් තමයි කෝවිල අද තියෙන තත්වයට දියුණුවෙලා තියෙන්නේ.‘

අනුරාධපුර වැනි ‍බෞද්ධ නගරයක නගර මැද කෝවිල් සංකීර්ණයක් පවත්වාගෙන යෑම පහසු කාර්යක් නොවේ. අක්කර හතරක භූමි ප්‍රමානයක පිහිටුවා ඇති කදිරේශන් කෝවිල හෙවත් කතරගම දේවාලය මෙන්ම ඊට යාබදව ඇති ගණපති කෝවිල අද වන විට සම්පූර්ණයෙන්ම පිරී පවතින්නේ සිංහල බෞද්ධ බැතිමතුන්ගෙනි.වර්තමානයේ මෙම කෝවිල්වල භාරකරු මෙන්ම ප්‍රධාන පූජකවරයා ලෙස කටයුතු කරන කුරුක්කල් දේශමාන්‍ය ආචාර්ය ඥානචන්ද්‍රන් පූජකතුමා අනුරාධපුරයේ හින්දු කොවිල් සංස්කෘතිය හා ඒවටා බැදී ඇති සිංහල දෙමළ සහජීවනය පිළිබද දැක්වූයේ මෙවැනි අදහසකි.

‘අපි දන්න විදිහට අපේ මේ කෝවිලේ ඉතිහාසය දහඅටවැනි සියවස දක්වා පරණයි. මුලින්ම මේ කෝවිල තිබුණේ උඩමලුව ඉස්සරහ මාවඩිය කියන තැන. ඒකියන්නේ අඹගස් ගොඩක් තියෙන තැනක.

කෝවිලේ ආගමික වතාවත්වල නිරත සිංහල බෞද්ධ පිරිසක්

ඒ වෙනකොට උඩමලුව වටේම සිංහළ දෙමළ මිනිස්සු පදිංචිවෙලා හිටියෙ. පස්සේ අනුරාධපුර නව නගර සංවර්ධන වැඩසටහන එනකොට ඒ කියන්නේ එකදාස්නවසිය හැටේදී වගේ අනුරාධපුර නගරය මැද මේ කෝවිල පටන්ගත්ත. හිටපු දිසාපතිවරුන් වගේම නගරාධිපතිවරුන් මේ කෝවිලට හරියට උදව් කරල තියෙනවා.ඒ කාලෙත් ලොකුවට පූජාවන් උත්සව පවත්වල තියෙනවා. කොහොම හරි අසූහතේදී ජාතිවාදී කෝලාහල එනකොට අනුරාධපුර නගරයේ හිටපු දෙමළ රජයේ සේවකයන් වගේම කෝවිලේ පූජකයන් ගුවන් මගින් යාපනයට ගෙනිච්චා ආරක්ෂාවට.එයින් පස්සෙ කෝවිල කැලෑවට ගියා.පස්සෙ අපිට ආරංචිවුණා අනුරාධපුරේ සිංහල මිනිස්සු මේ කෝවිල ආරක්ෂා කරන්න ගොඩක් මහන්සිවුණා කියල.

අපි කොහොම හරි කෝවිල හදමු

අනුරාධපුරේ ඒවෙනකොට හිටපු සිංහල දිසාපතිවරයා වගේම හිටපු කතානායක කේ.බී.රත්නායක මහත්තයා ගොඩක් මහන්සිවෙලා තියෙනවා මේ ඉඩම වගේම කෝවිල ආරක්ෂා කරන්න. විවේකානන්ද දෙමළ මහා විද්‍යාලයේ අනුශාසක විදිහට එතුමා කටයුතු කරල තිබුනු බව අපි දැනගත්තේ ඒ මහතා මියගියාට පස්සෙ. දෙදාහ අවුරුද්ද වෙනකොට අපි ආපහු කෝවිල පටන් ගන්න කටයුතු කළා. ඒ වුණත් අපිට මුදල් තිබුණෙ නැහැ කෝවිල පවත්වාගෙන යන්න. කපුරු පැකට් එකක් ගන්න සල්ලි තිබුනේ නැහැ. පාලක සභාව හිටියට ආදායමක් නැති නිසා ඒ අයත් නිහඩවෙලා හිටියෙ. මේ වෙලාවේදී අනුරාධපුර නගරයේ සිංහල මිනිස්සු භාරගත්තා කෝවිල හදන්න. ඒ වගේම අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයන්  අපිට උදව් කළා. කෝවිල ඉස්සරහම ඉන්න ජයන්ති පංසලේ හාමුදුරුවෝ නිතරම ඇවිල්ල අපේ දුක සැප හොයල බලල අපිට උදව් කළා. දෙදාහෙ අවුරුද්දෙ ඉදං දෙදාස් අට වෙනකම් කෝවිල පවත්වගෙන යන්න ප්‍රශ්න ගොඩකට අපිට මුහුණ දෙන්න සිද්ධවුණා. ඒවුණත් අපිගැන දැනගෙන හිටපු නිසා හමුදාව පොලිසිය ආණ්ඩුවේ නිලධාරීන් වගේම අනුරාධපුරේ ඉන්න හොදම සිංහල බෞද්ධයෝත් අපිට උදව් කලා. සාමි අපි කොහොම හරි කෝවිල හොදට හදමු කියල. ඇත්තටම ඒ වචන මට විශාල ශක්තියක් වුනා. මට පුඵවන් විදිහට යාපනේ ඉන්න මගේ පිරිසගෙනුත් උදව් ගත්ත. රුවන්වැලිසෑයේ නායක හාමුදුරුවො, මිරිසවැටියෙ නායක හාමුදුරුවො කෙළින්ම අපිට සම්බන්ධවෙලා උදව් උපකාර කලා. අදටත් අපිට යම් ප්‍රශ්නයක් වුණොත් මේ හාමුදුරුවරු අපිට උදව් කරනවා.

2011 පළවෙනි වතාවට අපිට පුලුවන් වුනා කුම්භාභිෂේක මංගල්‍ය ආගමානුකූලව පවත්වන්න. ආණ්ඩුව මැදිහත්වෙලා රුපියල් ලක්ෂ පහළවක් විතර වටින වේල්එක ලැබුන මූලස්ථානයේ තැන්පත්කරන්න.මේ ලොකු ජයග්‍රහනයක් වුනා අපිට. යාපනේ ඉදල ලොකු පූජකවරුන් සහභාගිවූනා.   මේ හැම දෙයකටම මුල්වුනේ බෞද්ධයෝ. මොකද අදවෙනකොට අනුරාධපුර නගර සීමාවෙ ඉන්නෙ හින්දු පවුල් පහළවක් විතර.නමුත් දෙමළ අය ඉන්නවා නගරෙන් පිටත්.මේ දැන් දකින්න තියෙන පිළිම වහන්සේලා ඔක්කෝම පූජා කලේ සිංහළ බෞද්ධ අය.දැනට යාපනේ විදුලිබල මණ්ඩලයේ සේවය කරන ගුණතිලක මහත්තයා රුපියල් ලක්ෂ දහතුනක් වියදම්කරල විෂ්නු ,ලක්ෂ්මි පිළිම වඩම්මල වසන්ත මණ්ඩපය හදල දුන්න.ඒ වගේම මේ තියෙන සියලුම දේව පිළිම පරිත්‍යාග කලේ බෞද්ධයෝ. යාපනෙනුත් පිළිම කිහිපයක් ලැබුනා.

අතීතයේදී සිදුවුණු වැරදි

අතීතයේදී සිදුවුනු වැරදි හින්ද අපි හැමෝම දුක්වින්ද. ඒ වුනත් මේ අයගේ හදවතට කතාකරල ඇහුවොත්  හදවතේ කොහේහරි තැනක හැංගිල තියෙනවා ජාතීන් අතර සහජීවනය සංහිදියාව. දෙමළ සිංහළ අයට අලුතින් කියල දෙන්න දෙයක් නැහැ සහජීවනය ගැන.දැං ඉන්න පරම්පරාව බොහෝම බුද්ධිමත්. අවශ්‍යෙවලා තියෙන්නේ මේ අදහස් යෝජනා දැනගන්න වේදිකාවක් නැතිඑකයි. මම උත්සාහ ගන්නේ බිදුනු සිත් සුවපත්කරල ආයෙ කිසිදවසක මේවගේ තත්වයක් උදානොවන විදිහට කටයුතු කරන්නයි.ඒ සදහා අනුරාධපුරේ ඉන්න හැමෝම ජාති ආගම් කුලභේදයෙන් තොරව මට උදව් කරනවා.ඒක මට ලොකු ශක්තියක්.

කිලෝමීටර 36ක වපසරියක් තුළ සමස්ත ජනගහනය එක්ලක්ෂවිසිදහසක පමණ ප්‍රමාණයක බහුතර සිංහළ බෞද්ධ ජනපදනමක් ඇති  නගරයක ඇති ප්‍රධානපෙළේ හින්දු කෝවිලේ උත්සව අවස්ථාවල දකින්නට තිබෙන්නේ අපූරු දර්ශන පෙළකි. කිරිබත් රසකැවිලි වඩේ සෑදීම සදහා සියලු අත් උදව්දෙන්නේ බෞද්ධයන්ය. ආහාර පිළියෙල කරන්නේ හින්දු භක්තිකයන්ය. මේ සියල්ලන් එක්ව අදවන විට අතීතය අමතකකර දමා සියලු ආගම්වලට ගරුකරමින් සහජීවනය ගොඩනගන්නට බලවත් වෙහෙසක් දරමින් සිටී.

 

 

 

 

.