Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

මායිම් තුනී කළ
සහජීවනයක අසිරිය

බණ්ඩාරවෙල, ඇල්ලේ, වෙලංගහ අරාවේ එක් පවුලක් පවුලක ජීවන වෘත්තාන්තය පසුබිම් කරගත් මේ ලියමන, මිශ්‍ර වාර්ගික පරිසරයක නිරායාසයෙන් ගොඩනැගෙන සංහිඳියාව පිළිබඳ අව්‍යාජ නිදර්ශනයකි.

19.09.2017  |  
බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය
ශශිකුමාර හෂිනි මධුභාෂිණී

”මිනිස්සු නිකං බොරුවට සණ්ඩුසරුවල් කරගන්නේ. දැන් බලන්න අවුරුදු 48ක් වෙනවා අපි මේ ගමේ පදිංචියට ඇවිත්. එදා ඉඳල අද වෙනකම් කිසිම කරදරයක් ප්‍රශ්නයක් නැතිව අපි ජීවත් වෙනවා. මේ වටේම ඉන්නේ සිංහල අය. හරියට නෑයෝ වගෙයි.”
වක්කඩ කැඩුවා සේ සුපිරි සිංහලෙන් කියාගෙන කියාගෙන ගියේ ගෝවින්දසාමි ඉන්ද්‍රානි ය. ඕ 55 වියැති මිත්තණියකි. ඈ සමීපයේ දැවෙටෙමින් සිටී යෞවනිය ශශිකුමාර හෂිනි මධුභාෂිණී ය. බණ්ඩාරවෙල නගරයේ ඔරලෝසු කාර්මිකයෙකු වු මාරප්පන් සදාසිවම්, ගෝවින්්දසාමි ඉන්ද්‍රානිගේ ස්මිපුරුෂයා හෙවත් මධුභාෂිණිගේ සීයාය. මාරප්පන් සදාසීවම් මීට මාස හය හතකට පෙරාතුව, දිවියෙන් සමුගෙන ඇත.

වෙලංගහ අරාව-සොඳුරු ගම

ඇල්ල මංසන්ධියේ සිට වෙලංගහ අරාව, මොවුන්ගේ සුන්දර ගම් පියස ය. ගල් පඩි මතින් සහ කඩතොලූ වූ ගල් කැබලි ඇතිරුණු පටු ගුරු පාරවල්ද පුංචි පුංචි දිය කඩිතිද පසු කර ගිය කල, මාරප්පන් සදාසිවම්ගේ නිවහන හමුවෙයි. ඇල්ල මංසන්ධියේ සිට කිලෝ මීටර එකහාමාරක් පමණ නැතහොත් පැය කාලක් පමණ ඇවිද යා යුත්තේ මේ මාර්ගය ඔස්සේය.
ඉන්ද්‍රානි වෙලංගහ අරාවේ පදිංචියට ආ අයුරු පහදයි.
”මගේ මහත්තයාගේ තාත්තා සී.ජී.ආර් එකේ (දුම්රිය දෙපාර්තමේන්තුවේ) අඹේවෙල තමයි වැඩකරලා තියෙන්නේ. පස්සේ එයාට  මාරුවක් ලැබිලා ඇල්ලට. ඒ නිසා තමයි මෙහේ පදිංචියට ඇවිත් තියෙන්නේ. මගේ මහත්තයත් ස්කෝලේ ගිහිල්ලා තියෙන්නේ් ඇල්ල සිංහල ආදර්ශ විදුහලට.”
ඇයි එයාලා දෙමළ වෙලත් දෙමළ ස්කෝලෙකට යන්නේ නැතිව සිංහල ස්කෝලෙකට ගිහිං තියෙන්නේ ?
”මේ පළාතට තිබිලා තියෙන්නෙත් දැනට තියෙන්නෙත් ස්කෝල දෙකයි. ඒ තමයි දෙමෝදර සවුදම් දෙමළ මහ විද්‍යාලයයි, තුනේ කණුවේ තියෙන නිවුබර්ග් දෙමළ මහ විද්‍යාලයයි. මෙහෙ ඉඳලා දෙමළ ස්කෝලෙට ගොඩාක් දුරයි. සිංහල ස්කෝලෙ තමයි ළඟ, ඒ නිසා තමයි තාත්තලා සිංහල ස්කෝලේ තෝරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපේ පරම්පරාවෙත් ළමයි ගියේ මේ සිංහල ස්කෝලෙටම තමා.

සිංහලෙන් ඉගෙනුම- දෙවන පරපුරටත්

එතකොට මධුභාෂිණිගේ තාත්තා?

ඉන්ද්‍රානි සමීපයේ දැවෙටෙමින් සිටී යෞවනිය ශශිකුමාර හෂිනිය

”ඔව් මෙයාගේ තාත්තයි, තාත්තගෙ අක්කල දෙන්නයි තුන්දෙනාවම අපි යැව්වේ ඒ සිංහල ස්කෝලෙට තමා.”
භාෂාව ප්‍රශ්නයක් වුණේම නැද්ද? කියා ඇසුවිට ගෝවින්දසාමි ඉන්ද්‍රානිගේ පිළිතුරු ඉතා සරල මෙන්ම වටිනා එකක් විය.
”අනේ නැහැ. ළමයි ආසාවෙන් ඉගෙන ගත්තා. අපිත් බොහෝම කැමැත්තෙන් තමයි සිංහල ස්කෝලෙට යැව්වේ.”
‘‘සිංහල භාවිතයේ මොකද්ද ඔච්චරටම තියෙන විශේෂත්වය?’’
”මේ ගමේ වැඩිපුරම දෙනා සිංහල. මේ වටේම හිටියෙත්, දැන් ඉන්නෙත් සිංහල අය තමයි වැඩිපුරම. දැන් ඉන්නේ දෙමළ පවුල් 04යි. සිංහල පවුල් 35ක් විතර ඉන්නවා. ඉතිං අපි හිතුවා සිංහල ඉගෙනගත්තම ඒක හොඳයි කියලා. සිංහල අයත් එක්ක හොඳින් ඉන්න පුළුවන්නෙ එතකොට. අනික අපේ පවුල්වල අය ගොඩක් දෙනා සිංහල අයව තමයි කසාද බැඳලා තියෙන්නෙ.” යැයි ගෝවින්දසාමි ඉන්ද්‍රානි එකසීරුවට කියාගෙන ගියාය.
තමන්ගේ ජන්මය දෙමළ වුවද සිංහලයන් හා මිශ්‍ර වීමටත් සිංහල භාවිතයේ යෙදෙන්නටත්, ඒ වෙනස තුළ සතුටක් භුක්ති විඳින්නටත් සී.ජී.ආර් එකේ සේවය කළ සිය මාමණ්ඩියගේ  මනා කැමැත්තක් තිබුණු බව පැවසූ ඉන්ද්‍රානි, ඒ නිසාම සිය දරුවන්ද සිංහල පාසැලට යවා අධ්‍යාපනය ලබාදීමට කැමති වූ බවත්් සිය වැඩිමහල් පුත‍්‍රයා වන ශශිකුමාර සදාශිවම් සිය දෙවන කසාදය කරගෙන ඇත්තේද දකුණේ ඇඹිලිපිටියේ සිංහල යුවතියක සමඟ බවත් කීවාය.

මවක වූ මිත්තණිය

සුප්පයිය්යා වලර්මදි හා ශශිකුමාර සදාශිවම්ට දාව 2001 වසරේ දෙසැම්බර් මස 29 වෙනිදා කොළඹදී ශශිකුමාර හෂිනි මධුභාෂිණි ඉපදුණි. දෙමළ මාපිය යුවලකට ඇය ඉපැදුණද නම් තැබුුවේ සිංහල නම්ද සමඟින්ය. වයස අවුරුදු දෙකේදී පමණ හෂිනිට මවගේ සෙනෙහස අහිමි විය. එබැවින්, ‘අම්මා’ යැයි ඇය ආමන්ත්‍රණය කරන්නේ සිය මිත්තණියටය.


පාසැලේද සමාජයේද හෂිනිගේ සියලූ කටයුතුවලට අම්මාගේ අවශ්‍යතාව නොපිරිහෙළා ඉටු කරමින් සිය කුසහොත් දරුවකුට ලෙසම තමන් සිය මිනිබිරියට අම්මා වන්නී ගෝවින්දසාමි ඉන්ද්‍රානිය.

අවුරුදු 48ක් තිස්සේ සිංහල මිනිස්සුන්ගේ ඇසුරේ තම පරපුරේ ජීවිත ගෙවී ගිය ආකාරය පිළිබඳව ඇයට ඇත්තේ ඉතාම තෘප්තිකර මතකයකි. සිංහල අසල්වැසියාගේ ආදරය, සහයෝගය වැඩිපුරම ලැබුුණු ආසන්නම දිනය මීට මාස කිහිපයකට පෙර සිදු වූ සිය ස්වාමිපුරුෂයාගේ අවමගුල බවද ඇය සිහි කළාය.
”83 සිංහල දෙමළ කෝලහලය තියෙද්දිත් අපිට කිසිම කරදරයකට මුහුණ දෙන්න සිද්දවුණේ නැහැ, මොකද මේ ඔක්කොම සිංහල මිනිස්සු, පවුල් හතරක් වෙච්ච දෙමළ අපිව හොඳට බලාගත්තා. අපිට පොඩි හරි බයක් දැනුණේ නැහැ.”

හෂිනි-තෙවැනි පරපුරේ සාක්ෂිය

සිංහල දෙමළ සිය හදවත්වල උතුරා යන ඒ සෙනෙහස පිළිබඳව තවදුරටත් තහවුරු කරමින් ගෝවින්දසාමි ඉන්ද්‍රානිගේ මිණිබිරිය, ශශිකුමාර හෂිනි තම අත්දැකීම් පැවසුවාය.
”අපේ නම් දාලා තියෙන්නෙත් සිංහල නම් එක්ක කලවමට. මමත් හරිම කැමතියි සිංහල චාරිත්‍රවලට, ඒ සංස්කෘතියට. දෙමළ යාළුවෝ වගේම ස්කෝලේ හොඳම යාළුවොත් සිංහල අය. මගේ පන්තියේ අවිශ්කාගේ හොඳම යාළුවත් මම. අවිශ්කයි මමයි දෙන්නම එකම දවසෙ තමයි ස්කෝලෙට ඇතුළු වුණේ. එදා ඉඳලා අද වෙනකම් යාළුකම එකයි.”
”අපි ජාතියෙන් දෙමළ. ඒ වුණාට ඉගෙන ගන්නේ සිංහලෙන්. ආගමට ඉගෙන ගන්නේ බෞද්ධ දර්ශනය. ඒ නිසා දෙමළත් දන්නවා, සිංහලත් දන්නවා. ජීවත්වෙන්නෙත් සිංහල අය එක්ක. ඒ නිසා ඒ චාරිත‍්‍ර දන්නවා. අනික අපි කෝවිල් යනවා වගේම පන්සලටත් ගිහිං වඳිනවා. වැඩිපුරම යන්නෙත් පන්සලට. ස්කෝලෙදි සම්පුර්ණයෙන්ම බෞද්ධාගමේ විදියට වඳින්නේ. ගෙදරදි වදින්නේ හින්දු දෙවියන්ට. අපේ ජීවිතේ හැම දෙයක් එක්කම ”සිංහල” බැඳිලා පවතිනවා. ඒ නිසා අපි හොඳ සහයෝගයක්, ආදරයක්, සතුටක් අත්දකිනවා.” හෂිනි මධුභාෂිණි පැවසුවාය.
ඇයගේ සිහිනය, අනාගතයේදී වෛද්‍යවරියක වීමය.
”ලෙඩ රෝගවලින් පීඩාවිඳින මිනිස්සුන්ට සුවයක් මෙන් ම සැනසීමක් දෙන්න මම හරිම කැමැත්තෙන් ඉන්නේ.”

ඇල්ල මහ විද්‍යාලයේ වර්තමාන විදුහල්පති ඩබ්ලිව්. බී. ගුණසේන මහතා

 

අවිෂ්කා-හොඳම මිතුරිය

”මගේ යාළුවා ගැන මම හොඳටම දන්නවා. හෂිනි කියන්නේ හැම වෙලාවෙම හිනාවෙලා සතුටින් ඉන්න කැමති කාගෙවත් හිත රිද්දන්න කැමැති නැති, හමෝම සතුටින් ඉන්නවා දකින්න කැමැති, හමෝටම උදව් කරන්න කැමති යාළුවෙක්. හෂිනි මගේ පළමුවෙනි පන්තියෙ ඉඳලම හොඳම යාළුවා. අපි දැන් ඕ ලෙවල්. ඒ යාළුකම දැන් ගොඩාක් ශක්තිමත්.” යැයි කීවේ හෂිනි මධුභාෂිණි ගේ හොඳම යාළුවා වූ ඇල්ල, යහල්වෙල අවිශ්කා ඩිලානිය. ඇය සිංහල ශිෂ්‍යාවකි.
අවිශ්කලාගේ-මධුභාෂිනිලාගේ මේ සංහිඳියාව පිළිඳව සතුටු වන තවත් පුද්ගලයෙකු වූයේ ඔවුන් අධ්‍යාපනය හදාරන ඇල්ල ආදර්ශ පාසැල හෙවත් ඇල්ල මහ විද්‍යාලයේ වර්තමාන විදුහල්පති ඩබ්ලිව්. බී. ගුණසේන මහතාය. ඔහු එහි සේවයට පැමිණ වසර 08කි. දරු දැරියන් 371ක් දෙනා අකුරු කරන සිය සිංහල බෞද්්ධ පාසැලේ දෙමළ දරු දැරියන් සිටින්නේ 10 දෙනෙකු වැනි ඉතාම අල්පයක් වුවද පාසැලේ් ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වන්නේ දෙමළ ශිෂ්‍යාවක් බවද ඔහු පැවසුවේය. එම තෝරා ගැනීමේදී පාසැලේ කිසිදු ගුරුවරයෙකුගෙන් හෝ පාසැලේ සිටින එකම භික්ෂූන්වහන්සේගෙන් හෝ කිසිදු විරෝධයක් පළ නොවූ බව ද විදුහල්පතිවරයා සතුටින් ප්‍රකාශ කළේය.

සංහිඳියාවේ පාසල

”මේ දරුවන් දිහා බලනකොට අපිටත් දැනෙන්නේ හරිම සන්තෝසයක්. ඔවුන් එක බත්පත බෙදාගෙන හරිම ආදරයෙන්් ජීවත් වෙනවා. එකමුතුකම, ආදරය, සහයෝගය මම මේ දරුවන්ගෙන් අත්දැකලා තියෙනවා. කිසිම බේදයක් නැහැ. පාසැලටත් ආදරෙන් කටයුතු කරනවා. ඒක මම දකින්නේ සැබෑ සහජීවනයක ලක්‍ෂණ විධියටයි. ඒ නිසා ඔවුන්ගේ අනාගතය හරිම සුන්දර වේවි.” විදුහල්පතිවරයා පැවසීය.