Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

කඩවුණු පොරොන්දු හා අහිමි වු අවස්ථාවලින්
මාධ්‍ය ප්‍රතිසංස්කරණ මුද්‍රා තබලා

මැයි 03 වන දිනට යෙදුණු ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් පසුගිය 02 දින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද ප්‍රසිද්ධ දේශනය හා විද්වත් හමුවේ දී ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයයේ ජනසන්නිවේදනය පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය එම්.ජේ.ආර්.ඩේවිඩ් මහතා විසින් පවත්වන ලද දේශනය ඇසුරින් මෙම ලිපිය සැකැසිණි.

12.05.2018  |  
කොළඹ දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව බොහෝ උත්සාහයන් ගෙන ඇතත්, එම උත්සාහයන් සාර්ථකත්වයට වඩා ළං වන්නේ අසාර්ථකත්වයේ ඉමටය. මෙම අසාර්ථතකත්වය සෙසු සාධක රැසක් හා සංකලනයේ දි මාධ්‍ය ව්‍යූහය තුළ ව්‍යාධි ජනක තත්වයක් ඇති කොට තිබෙන බව නිගමනය කිරීම අසාධාරණ නොවේ. කඩවුණු පොරොන්දු හා අහිමි වු අවස්ථාවලින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ අතීතය මුද්‍රා තබා ඇත. මෙම කෙටි සටහනේ අරමුණ මේ අසතුටුදායක අතීතය හා වර්තමානය හරහා නැවුම් මං පෙතක් ඔස්සේ ඉදිරියට පිය නැඟීමට කෙරෙන යෝජනාවකි. මෙම යෝජනා බෙහෙවින්ම පුද්ගලානුබද්ධව සහ ආත්මීය එකක් වන බැවින් එය විවාදයට බඳුන් විය හැකිය.

1.1 මාධ්‍ය ප්‍රතිසංස්කරණ හා දේශපාලන න්‍යාය පත්‍ර‍

මාධ්‍ය ප්‍රතිසංස්කරණ සැමවිටම මැතිවරණ කාල සීමාවන් හි දි දේශපාලන න්‍යාය පත්‍රයේ  ඉහළ තැනක් ගනී. මෑත අතීතයේ අත්දැකීම වී ඇත්තේ පක්ෂ භේදයකින් තොරව මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව පොරොන්දු මැතිවරණ වේදිකාවල නිදැල්ලේ පියා සලන බවය. මෙම පසුබිම හමුවේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ අතීතය දෙස කෙටි විමසුමක නිරතවීම යෝග්‍ය යැයි සිතේ.

මාධ්‍ය ප්‍රතිසංස්කරණ උත්සාහයන් 1963-2018

/

සමස්තයක් වශයෙන් ගත් කල මාධ්‍ය ප්‍රතිසංස්කරණ උත්සාහයන් කනගාටුදායක ලෙස අසාර්ථික වි ඇත. වඩාත්ම කනගාටුදායක වන්නේ යම් යම් දේ නොකර සිටිමට දුන් පොරොන්දු පවා මාධ්‍ය නිදහස වෙනුවෙන් ලබා දුන් ඉඩ ප්‍රස්තා ලෙස සැලකීමට මෙම සමාජය දුප්පත් වී තිබීමය.

2015 පොදු අපේක්ෂකයාගේ ප්‍රධාන උද්යෝග පාඨය වුයේ අප ජනමාධ්‍යවේදීන්ට පහර දෙන්නේ හෝ මරා දමන්නේ නැත යන්නයි. 2000-2015 කාලය අතරතුර අඩුම වශයෙන් ජනමාධ්‍යවේදීන් එකොළොස් දෙනකු මරා දමා ඇති අතර තවත් බොහෝ දෙනා තර්ජනයට ලක් වී හෝ පැහැර ගැනීමකට හෝ ලක් වී ඇත. විද්යුත් මාධ්‍ය ආයතන ගිනිගෙන හෝ විනාශ කර ඇත. දැනට ජනමාධ්‍යවේදීන්ට පහර දීම් නතර වී ඇතත් එය සම්පුර්ණයෙන්ම පාලනය වි නැත.

මාධ්‍යවේදීන් ඝාතනය කිරීමට හෝ පැහැර ගැනීමට උල්පන්දම් අන් අය තවමත් නිදැල්ලේය. ව්‍යවස්ථාමය පෙරමුනේ තොරතුරු දැනගැනිමේ පනත සම්මතවිම වැදගත් ජයග්‍රහණයකී.

විද්යුත් මාධ්‍ය නියාමනය පිළිබඳව යම්කිසි කටයුත්තක් සිදුවන බවට දැනගන්නට තිබේ. ඒ හැරුණ විට වඩාත් ප්‍රගතිගාමී මාධ්‍ය නීති පණවා ගැනිමට හෝ ලිහිල් කිරීමට ඇති කළ පනත් අසාර්ථක වී ඇත. මාධ්‍ය ආයතනය සහ පුහුණුවේ ප්‍රමිතිය ප්‍රශ්න කටයුතු තත්වයක තිබේ.

මාධ්‍ය හසුරුවා ගැනිම පිළිබඳව මුලික කටයුතුවත් කිරීමට අසමත් සමාජ වාතාවරණයක ඉහළ මට්ටමේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ සිදු නොවන්නේ යැයි මැසිවිලි නැගීමේ අර්ථයක් තිබේද?

පශ්චාත් නිදහස් ශ්‍රී  ලංකාවේ දේශපාලන කළමනාකරුවන් දුර්වල සහ ආත්මාර්ථකාමී පිරිසක් බවට මතයක් තිබේ.  මෙවැනි තත්වයක් හමුවේ ඔවුන් ගෙන් ප්‍රගතිගාමී මාධ්‍ය ප්‍රතිසංස්කරණ බලාපොරොත්තු වීම අර්ථවත්ද යන්න නැවත මතුවන ප්‍රශ්නයකි.

සමස්තයක් ලෙස මාධ්‍ය ප්‍රතිසංස්කරණ යනු සිවිල් සමාජය විසින් ආණ්ඩුව වෙත බාර දෙනු ලබන යෝජනාවලියකි. මෙම යෝජනාවලිය ආණ්ඩුව වෙත  බාර දුන් පමණින් එය ඉටු වෙතැයි සිතීම යථාර්ථවාදි වන්නේද?

දිගින් දිගටම අසමත් පිරිසකට මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිලිබඳ යෝජනා බාරදී ඒවා ඉටු නොවන තැන විකල්ප මං පෙත් ගවේෂණය නොකිරිම කොතෙක් තාර්කිකද?

නිසැක වශයෙන්ම විකල්ප මංපෙත් ගවේෂණය කිරීමට හාත්පස ඇති යථාර්ථිය, දැනුවත් මාධ්‍ය විද්‍යාර්ථියාට පෙළඹවීම් නොකරන්නනේද?  එසේ කිරීමේ දී මාධ්‍ය ප්‍රතිසංස්කරණ සාර්ථකත්වයේ ඉමට වඩා අසාර්ථකත්වයේ ඉමට නැඹුරුවීමට බලපාන්නේ ද විමර්ශනය කළ යුතුව ඇත.

1.2 අසාර්ථකත්වයට බලපෑ හේතු

මාධ්‍ය ප්‍රතිසංස්කරණ සාර්ථක නොවීමට බල පෑ හේතුව පිළිබඳ සිදු කළ විමර්ශනයකදී පහත සඳහන් කරුණු ඉදිරිපත් කළහ.

# මාධ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු නොවේ. එය බාහිර බලපෑම් මත කෘත්‍රිමව ජනනය කළ උද්යෝගය නිසා මතුවන ක්‍රියාකාරිකමකී.

# මාධ්‍ය ප්‍රතිසංස්කරණයට අදාළ ගැටලු පිළිබඳව ප්‍රමාණවත් ලෙස විශ්ලේෂණය නොකෙරේ. ඒ වෙනුවට අහඹු ලෙස තෝරා ගත් ගැටලු විවිධ පාර්ශව විසින් තමන්ට අභිමත ලෙස ඉදිරිපත් කෙරේ.

# මාධ්‍ය ප්‍රතිසංස්කරණ යනු යම්කිසි සිදුවිම් මාලාවකට දක්වන ප්‍රතිචාර මිස අදාළ කරුණ ගැඹුරින් ග්‍රහණය කර ගන්නා ක්‍රියාවලියක් නොවේ. දැනට සංස්කරණය වන මාධ්‍ය ප්‍රතිසංස්කරණ යල් පැන ගොසිනි. මාධ්‍ය පරිසරය බරපතළ ලෙස  වෙනස් වී ඇති අතර සමාජ මාධ්‍ය සහ අභිසරණය වැනි ක්‍රියා මෙම මාධ්‍ය ප්‍රතිසංස්කරණවලින් ආවරණ නොවේ.

# ප්‍රගතිගාමී මාධ්‍ය ප්‍රතිසංස්කරණවලට සුදුසු වටපිටාවක් නැත. උදාහරණ ලෙසට මාධ්‍යවේදීන්ගේ වෘත්තීය පුහුණුවේ අඩු තරමින් ප්‍රගතිගාමී ප්‍රතිසංස්කරණ කිරීමේ දුෂ්කරතා මතු කර ඇත.

# මාධ්‍ය කර්මාන්තය යනු සැබෑ ලෙසින්ම කර්මාන්තයක් නොවේ. දුෂිත ප්‍රාග්ධන හිමිකරුවන් මාධ්‍ය ප්‍රතිසංස්කරණවලට සංවේදී නොවෙයි.

# විද්යුත් මාධ්‍ය ආයතනවලට ඉතා ලිහිල් සහ අක්‍රමවත් කොන්දේසි මත බලපත්‍ර නිකුත් කොට ඇත. එවැනි පරිසරයකදී ඔවුන් මාධ්‍ය නියාමනයට එරෙහි වීම පුදුමයට කරුණක් නොවේ.

# විද්යුත් මාධ්‍ය නීතිරිති මඟින් නියාමනය කිරීමට උත්සාහ කිරීම යල්පැන ගිය අභ්‍යාසයකි. මාධ්‍ය ප්‍රතිසංස්කරණ මීළඟ මාධ්‍ය රැල්ල කළමනාකරණය කිරිම දක්වා යොමුවේ. මෙහි දී සුසමාදර්ශක වෙනසක් සිදුවිය යුතුව ඇත. මාධ්‍ය නිෂ්පාදකයා නොව මාධ්‍ය පාරිභෝගිකයා වෙත අවධානය යොමු කළ යුතුව ඇත.  මාධ්‍ය කළමනාකාරණය සිදුවිය යුත්තේ මාධ්‍ය සාක්ෂරතාවය හා උද්දේශක ක්‍රියාවලියකි.

# මාධ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ ප්‍රමුඛතා පිළිබඳ වැටහීමක් තිබිය යුතු අතර වෙනස් කිරීම සඳහා මාර්ග සැලැස්මක් තිබිය යුතුය.

# මාධ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශකරුවන් අතර අනොන්‍ය විශ්වාසය හා ගැටලු බිහිව ඇත.

# මාධ්‍ය ප්‍රතිසංස්කරණ ගැන කථා කරන ඇතැම් ක්‍රියාධරයන් ගේ සංවිධානවල විශ්වසනීයත්වය පිළිබඳ ගැටලු ඇත.

# ජනමාධ්‍යවේදීන් ගේ පුහුණුවේ ඇති අඩුපාඩු නිසා ඇතැම් අය තුළ මාධ්‍ය ප්‍රතිසංස්කරණ විරෝධී අදහස් මතු ව ඇත.

මෙම  ලැයිස්තුව තවත් දිර්ඝ විය හැකිය.

1.3– ඉදිරි මඟ

පවතින තත්වය හමුවේ අප සියලු මාධ්‍ය ප්‍රතිසංස්කරණ අතහැර දමා වෙළෙඳ පොළ සමාජ බලවේගවලට හා කර්මාන්තයට රිසි ලෙස සහ ස්වයං සිද්ධව පවත්වා ගෙන යාමට ඉඩ දෙන්නේද?

එසේත් නැත්නම් මාධ්‍ය ප්‍රතිසංස්කරණ යථාර්ථයක් බවට පත් කර ගැනිම සඳහා වඩාත් වෙහෙස වි ක්‍රියාකාරි වෙමුද?  නැතහොත් තාක්ෂණික නවෝපාදනයට ඉඩ දී ඒ අනුව මාධ්‍ය න්‍යාය පත්‍ර හා භාවිතය පවත්වා ගෙන යාමට ඉඩ දෙමුද?

1.4 සුසමා දර්ශක වෙනස

ඉහතින් නැගු ප්‍රශ්නවලට පිලිතුරු අප විසින්ම සොයා ගත යුතුය. එහෙත් මේ අවස්ථාවේදි කෙරෙන්නේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ එළඹුම  වෙනස් කිරීමට යෝජනා කිරීමයි.

යෝජනාව සරල කර කියතොත් මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව රේඛීය එළඹුමකින් බැහැර වී සංකිර්ණතාවය පිළිබඳ එළඹුමකට යොමුවන ලෙස යෝජනා කෙරේ.

රේඛීය එළඹුමකදි කෙරෙන්නේ කළින් තිරණය කළ ඉලක්කයක් අත්පත් කර ගැනීම වෙනුවෙන් ක්‍රමෝපායික ලෙස වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමයි. සංකිර්ණතාවය පිළිබඳ එළඹුම බහුවිධ අවස්ථාවන්ට හා බහුවිධ න්‍යායත්මක ප්‍රදේශවලට සහ ක්‍රියාවලිට සමාජයේ මතුවන යථාර්තයන්ට ඉඩ සලසයි.

සංකිර්ණතාවය පිළිබඳ අවස්ථාවකදී අර්බුදකාරී ව්‍යුහයන් සම්මුතිකවත් ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යයනය කෙරේ. අපිළිවෙළ තුලින් පිළිවෙළ ඇති වන ආකාරය විග්‍රහ කෙරේ.

යම් ක්‍රියාවලියක් තුළ එකිනෙකට ස්වාධීන වූ බව පෙනෙන ක්‍රියාකාරිකයින් පොදු අරමුණක් වෙනුවෙන් එකතු කර ගැනීමේ වැඩ පිළිවෙළක් ඇති කර ගත හැකිය. අදාළ තත්වයන් ඇති වු විට එකිනෙකට ස්වාධීන හා පරස්පරව ක්‍රියාත්මක වන පාර්ශවකරුවන් හට කෙටි කාලීන ව හෝ දිගු කාලිනව අරමුණු ජය ගැනිම සඳහා එකතු විය හැකිය. එසේම අවසන් ඉලක්කය අපැහැදිලි හා අනපේක්ෂිත එකක් විය හැකි බව සංකිර්ණතාව පිළිබඳ එළඹුම පිළිගනී.

මුලිකාංග පහක්

1.5- මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ අවධානය යොමු කරන මෙම යෝජනාවේදී මුලිකාංග පහක් සංකිර්ණතා පිිළිබඳ එළඹුමක් ඔස්සේ කළමනාකරණය කර ගත හැකි ආකාරය යෝජනා කෙරේ.

  • න්‍යායාත්මක හා ව්‍යවස්ථාමය රාමු
  • මාධ්‍ය සාක්ෂරතාවය හා මහජන අවකාශය
  • තාක්ෂණික සංකිර්ණ්‍යය
  • මාධ්‍ය කර්මාන්තයේ ක්‍රියාකාරකම් හා ප්‍රතික්‍රියා
  • ඉහත සඳහන් මුලිකංග හතරේ සමස්ථයික ක්‍රියාකාරිත්වය

සංකීර්ණතා ප්‍රවේශයක් ඔස්සේ මතු කළ ක්‍රියාවලියන් ගෙන් මතුවන ප්‍රතිඵලයෙන් පාර්ශවකරුවන් ගේ ඕනෑ එපාකම් තරමක් දුරට හෝ පිරිමසාලිය යුතුය. පාර්ශවකරුවන්ට එකට ක්‍රියාත්මක වීමට අවකාශයක් නිර්මාණය වන අතර අවශ්‍ය වූ විටෙක වෙන්ව ක්‍රියාත්මක වීමේ අවකාශයක් ද පැවැතිය යුතුය.

පාර්ශවකරුවන් අතර ඇති අසමානකම් නව ප්‍රපංච හා සංසිද්ධීන් මතු කරන නිර්මාණාත්මක අවකාශයක් ලෙස සැලකිය යුතුය. මෙම නිර්මාණාත්මක අවකාශය තුළ ඇතිවන ආතතීන්  කළමනාකරණය  කර ගැනීමේ හැකියාවක් තිබිය යුතුය. මෙම ආතතිදායි තත්වයක්  නෛසර්ගික හෝ අයහපත් තත්වයක් ලෙස සැලකිය යුතු නැත.

මාධ්‍ය ප්‍රතිසංස්කරණ  පිළිබඳ සරල රේඛීය එළඹුමකට සාපෙක්ෂකව සංකිර්ණතාව පිළිබඳ එළඹුමක් අභියෝගාත්මකය. ගතිකය. ශ්‍රීලංකික සමාජය එවැනි ගතික හා අභියෝගාත්මක එළඹුමකට සුදානම්ද? අවම වශයෙන් ශ්‍රීලංකාවේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ සතුටුදායක ලෙසින් ඉටු නොවන බව පවසන පිිරිසක් මෙම ගතික අභියෝගය බාර ගැනීමට සුදානම් ද?