Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

මරණය රජ කළ බිමක
ජීවිතය සොයා ගිය මිනිස්සු

යුද්ධයෙන් පරාජිතයන් මිස වීරයෝ බිහි නොවෙත්, යුද්ධයකින් පසුව වීරයින් බිහි වීමට පුළුවන. මේ මරණය රජ කළ බිමක ජීවිතය දිනූ එවන් වීරයින් හා වීරවරියන් ගැන කතාවකි.

19.06.2018  |  
මුලතිව දිස්ත්‍රික්කය

රැයක් එළි වන තුරු නගර බොහෝ ගණනක් පසු කරමින් වෙහෙසකර චාරිකාවක යෙදුණු අපි, උදා අරුණලු පැතිරෙද්දී ගමනාන්තයට පැමිණ සිටිමු. මේ, ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ මුලතිව් නගරයට නුදුරු පුලියඩි හන්දියයි. මාන්කුලම්-මුලතිව් ප්‍රධාන මාර්ගයත්, පුලියන්කුලම් මාර්ගයත් එකට මුණගැසෙන්නේ එහිදීය.

දෙම‍ළ බසින් ‘පුලි’ යනු සියඹලාය. හන්දියට ඒ නම දුන්, සියවස් කිහිපයක් වත් පැරණි යැයි සිතිය හැකි යෝධ සියඹලාව නිසොල්මන්ව අරුණලු පහස විඳිමින් සිටින්නී, බියකරු කිසිවක් නෑසූ-නොදුටු පරිද්දෙනි. එහෙත් ඇගේ සිරුර තුළ වෙඩි උණ්ඩ සිය දහස් ගණනක් කා වැදී තිබෙනවා වන්නට පුළුවන.

”මෙයාට කතා කරන්න පුළුවන් වුණා නම්, කියාවි මොනවද සිද්ධ වුණේ කියලා.” මුලතිව්හි අපේ ගමන් සගයා, සියඹලාව පෙන්වමින් කීවේය. ඔහු අදහස් කළේ, තිස් වසරක යුද්ධය හා එහි අවසන් අදියරේදී සිදු වූ බිහිසුණු සිදුවීම්ය.

සියඹලාව සෙවණේ සිට හාත්පස නෙත් යොමා බලන්නෙකුට පෙනෙන්නේ මැනවින් තැනූ මං මාවත් හා ගොඩනැගිලිද, මිනිසුන්ගේ විවිධ ජීවනෝපාය මාර්ගද සහිත අර්ධ නාගරික පෙදෙසක ලකුණුය. එහෙත් ඒ සියල්ලෙහි ඉතිහාසය, හරියටම වසර අටකි. මේ යෝධ සියඹලාවත්, විනාශයෙන් බේරුණු එවැනි මහ ගස් කිහිපයකුත් හැරුණු විට, වසර සිය ගණනක් තිස්සේ මිනිසුන් මහ පොළොව මත ගොඩනැගූ සියල්ල ඒ ගැටුම අවසන් වන විට මහපොළොවට සමතලා වී තිබුණේය. මරණයෙන් දිවි ගලවාගත්තවුන්ට ඉතිරි වී තිබුණේ ඇඳිවත පමණි.

“ඇත්තටම මොනවද සිද්ධවුණේ?” ගමන් සගයා ඊට පිළිතුරක් දුන්නේ නැත. තමන් මුණගස්වන කිසිවකුගෙන් ඒ ප්‍රශ්නය නොඅසන බවට කල් තියාම ඔහු අප ගිවිසවාගෙන තිබිණි. සැබැවින්ම අප බොහෝ දුර ගෙවාගෙන සොයා ආවේද විනාශයේ කතාන්දරය නොවේ. මහා විනාශයකින් පසුව, ඇඳිවතට පමණක් උරුමකරුවන් වූ මිනිසුන් හා ගැහැනුන් සමූහයක් යළි ජීවිතය සොයාගැනීමේ කතන්දරයයි.

/ සෙල්වමලර්

“පිටි කිලෝ දෙකකින් තමයි මේ ගමන පටන්ගත්තෙ!” පුදුකුඩුඉරිපුවේ ඉලන්කුමාරන් සෙල්වමලර් මහත්මිය, ප්‍රසන්න සිනවහකින් මුව සරසාගෙන පැවසුවාය. ‘මේ ගමන’ යැයි ඈ අදහස් කළේ, එදා සිට මේ දක්වා තමන් ගොඩනගාගත්, අපේ ඇස් ඉදිරිපිට ඇති සියල්ලය. ඇගේ ගෙවත්තට ඇතුළු වන තැන අලුතින් ඉදි වූ සුදු පැහැති තාප්පයද, ඒ මත රැඳවූ ‘අභිෂ් කර්මාන්තායතනය’ යන අරුත් දෙන අභිමානවත් නාම පුවරුවද, තාප්පයෙන් ඇතුළු වූ විට පළමුව හමුවන කර්මාන්තායතන ගොඩනැගිල්ල සහ ඒ පිටුපස ඇති නිවසද ඒ වදන් දෙකට ඇතුළත්ය.

ඇගේ නිෂ්පාදනාගාරයේ, උතුරට ආවේණික බැදුම් වර්ගද ඇතුළුව නිෂ්පාදන වර්ග 13ක් නිපැදවෙයි. මාන්කුලම්, මල්ලාවි, යාපනය හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල මේ නිෂ්පාදන බෙදාහැරෙන අතර ඒවාට ඇත්තේ සපුරාලීමට අපහසු තරමේ ඉල්ලුමකි. පේදුරුතුඩුව වඩේ, මුරුක්කු, මයියොක්කා බැදුම, මිස්චර් ආදිය ඒ අතරින් වඩාත් ජනප්‍රියය. දැනට මේ ව්‍යාපාරයේ 13දෙනෙක් සේවය කරති. විශ්වමඩු ප්‍රදේශයේ මේ නිෂ්පාදන අලෙවි කරන ඔවුන්ගේම වෙළෙඳසැලකි. මුළුතැන්ගෙයි සිට බෙදාහැරීම දක්වාත්, ඉන් ඔබ්බටත්, සියලුම කටයුතු මෙහෙයවන්නී සෙල්ලමලර්ය. ඒ හැම අදියරකම කටයුතු, මුලදී ඇය කළේ තනිවමය.

 ”මුලින්ම හැදුවෙ පගෝඩා. මම බයිසිකලෙන් ගිහින් ඒව කඩවල්වලට දැම්මා. එතකොට තව ජාති නැද්ද කියල මුදලාලිල අහනවා. ඉතින් මම තව තව ජාති හැදුවා, හරිගියා…” ඇය පවසන්නීය. දැන් වාහනයක්ද ඇය සතුය. ඇගේ එකම පුත්‍රයා එමගින් බෙදාහැරීම් කටයුතු කරයි.

/

ඇගේ ගමන මේ වන විට සම්මානයටද පාත්‍ර වී තිබේ. පසුගිය කාන්තා දිනය නිමිත්තෙන් කාන්තා ව්‍යවසායිකාවන් වෙනුවෙන් පැවැත්වූ සම්මාන ප්‍රදානයේදී උතුරු පළාතේ දෙවන ස්ථානයත්, දිස්ත්‍රික්කයේ පළමු ස්ථානයත් ඇයට හිමි විය. එහි අපූර්වත්වය වන්නේ, සම්මාන ලැබීම දක්වා පැමිණි ගමනට රජයේ කිසිදු අනුග්‍රහයක් නොවීමය. ඇගේ ප්‍රාග්ධනය වී තිබුණේ, ක්ෂුද්‍ර මූල්‍ය ණය සපයන ආයතනයකින් වරින් වර ලබාගත් ණය මුදල්ය.

 ”යුද්දෙන් අවතැන්වෙලා ඉඳල ආපහු එනකොට මහපොළොව විතරයි ඉතුරුවෙලා තිබුණෙ. ටකරන් මඩුවක් හදාගෙන මුල ඉඳල පටන්ගත්තා.” ඇය දුෂ්කරම අතීතය සිහිපත් කළාය.

සෙල්වමලර්ගේ ව්‍යාපාරයේ රැකියාව කරන සියලුම දෙනා කාන්තාවන්ය. යුද්ධය නිසා විවිධාකා‍රයෙන් පීඩාවට ලක් වූවන් ඒ අතර සිටිති. ඇගේ බලාපොරොත්තුව ජීවිතය ගොඩනගන්නට වෙර දරන කාන්තාවන්ට තවදුරටත් සහාය වීමයි.

”තව මාස දෙකකදී වැඩපොළ තව ටිකක් ලොකු කරනවා. එතකොට තවත් 15 දෙනෙකුට රස්සා දෙන්න මට පුළුවන්. ගෑනු අය තමයි බඳවගන්නේ” ඇය පැවසුවේ ආඩම්බරයෙනි.

/ රාජේන්ද්‍රන්- ගජේන්ද්‍රිනී

මුල්ලියාවලයි ප්‍රදේශයේ අතුරු මාවතක් ඔස්සේ ගමන් කළ අපි, උතුරේ සංස්කෘතික ලක්ෂණ පිළිබිඹු කරන අලුත් නිවසක ගෙමිදුලේ නතර වුණෙමු. රාජේන්ද්‍රන් ගජේන්ද්‍රිනී මහත්මියත්, ඇයගේ ස්වාමිපුරුෂයා වන ඩබ්ලිව්. රාජේන්ද්‍රන් මහතා හා ඔවුන්ගේ පුතුන් දෙදෙනාත් ඒ නිවසේ වෙසෙති.

කලක් ත්‍රිකුණාමලයේ පදිංචිව සිටි ඔවුන් මුල්ලියාවලයි හි පදිංචියට පැමිණ ඇත්තේ 2002 වසරේය. ජාත්‍යන්තර ආධාර ආයතනයක අනුග්‍රහයෙන් ඉදි වුණු නිවසක් ඔවුන්ට හිමි ව තිබිණි. ගොවිතැන හා සත්වපාලනය ඔවුන්ගේ ජීවන වෘත්තිය විය.

2008 දෙසැම්බර මාසය වන විට උග්‍ර යුද ගැටුම් හමුවේ ඔවුහු අතින් ගෙන යා හැකි යමක් හැර අන් සියල්ල අත්හැර පලා ගියහ. මාස 6ක් තිස්සේ තැන් තැන්වල ගෙවූ අවතැන් දිවිය කෙළවර වූයේ වව්නියාව ආනන්ද කුමාරස්වාමි සුබසාධක කඳවුරෙනි. ඔවුන් යළි සිය ගමට පැමිණෙන්නේ 2010 මැයි 13වැනිදාය.

“ගම දාල යනකොට පවුල් 148ක් ගමේ පදිංචිවෙලා හිටියා. එයින් මුලින්ම ආපහු ආවෙ අපි. ඒ එනකොට අපේ ගෙවල් දොරවල්, බඩුමුට්ටු මොනවත් තිබුණෙ නෑ. පස්සෙ ජාත්‍යන්තර ආධාර ආයතනයකින් රු. 3,25,000ක් හම්බවුණා. ඒකෙන් තමයි ගේ ටිකක් හදාගත්තෙ. ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයකින් රු. 50,000ක් අරගෙන කුකුළු ෆාම් එකක් පටන්ගත්තා. ඒක සාර්ථක වුණා. ඉන් පස්සෙ ලක්ෂ 3ක ණයක් අරගෙන ගේ ඉතිරි ටික හදාගත්තා. ආණ්ඩුවෙන් කියල කිසි දෙයක් ලැබිල නැහැ.” රාජේන්ද්‍රන් පැවසුවේය. ඔවුහු සත්වපාලනයට අමතරව ගොවිතැනෙහිද නිරත වෙති. අස්වනු සමයේ වී මිලට ගෙන අලෙවි කිරීම ආදී ව්‍යාපාර කටයුතුවලද රාජේන්‍දන් අත ගසා ඇත. දුෂ්කර වුවද ඔවුන්ගේ ජීවිත සෙමෙන් ගලා යන්නේය.

/ සදීෂ්වරන්- තාරණී

දැඩි අව් රශ්මිය පරිසරය දවමින් තිබිණි. ඒ බව නොදැනෙන පරිද්දෙන් උද්‍යෝගයෙන් වැඩෙහි නිරත දෙදෙනෙකි. ඒ, සදීෂ්වරන් තාරණී සහ තංගරාසා සදීෂ්වරන්ය. මුලතිව්හි තන්නිරූට්ටු බටහිර ප්‍රදේශයේ පිහිටා තිබෙන මේ බ්ලොක්ගල් වැඩපොළේ පරිපාලකයින්, සේවකයින් මෙන්ම හිමිකරුවන්ද ඔවුන්මයි.

මුළු වැඩපළටම තිබුණේ උපකරණ දෙකක් පමණි. ඒ සරල ලෝහ අච්චුවක් සහ සවලකි. බ්ලොක් ගල් 4ක් නිපදවිය හැකි මේ අච්චුවට බදාම පිරවීමටත්, ඒ බදාම මිශ්‍රණය කවලම් කර සකස් කර ගැනීමටත් සවල භාවිත වෙයි. ඒ හැරුණු විට අවශ්‍ය වන්නේ සමතල මිදුලක් සහ ශ්‍රමය පමණකි.

”දෙන්නට එකතුවුණාම දවසට බ්ලොක් ගල් 500ක් විතර හදන්න පුළුවන්.” සදීෂ්වරන් පැවසුවේය. බ්ලොක් ගල් නිෂ්පාදනයට අවශ්‍ය වන වැලි, ගල්කුඩු සහ සිමෙන්ති යන අමුද්‍රව්‍ය තුනම මිල දී ගත යුත්තේ බැහැරිනි. ශ්‍රමයේ වටිනාකම හැර අනෙකුත් වැය අඩු කළ විට බ්ලොක් ගලකින් රු. 6ක පමණ ලාභයක් ලැබිය හැකිය. ඒ අනුව දල වශයෙන් ඔවුන්ගේ දෛනික ඉපැයීම රු. 3000කි.

“අපි‍ට 2009දි ගම දාල යන්න වුණා. අපි හිටියේ සෙට්ටිකුලමෙ මැණික් ෆාම් කඳවුරේ. 2010දි ආපහු එනකොට ගේ වත් බඩුමුට්ටුවත් කිසිම දෙයක් තිබුණෙ නෑ. රාජ්‍ය නොවන සංවිධානකින් ගේ හදාගන්න රු. ලක්ෂ පහමාරක් ලැබුණා. තව, ජීවන මාර්ගයක් හදාගන්න රු. 25,000ක් ලැබුණා. ඒ විදියට තමයි යන්තම් ඔළුව උස්සගත්තේ…” තාරණී පැවසුවාය.

සදීෂ්වරන්- තාරණී යුවළට දියණියන් දෙදෙනෙකි. අවුරුදු 7ක් හා 9ක් වසසැති ඔවුන් අයත් වන්නේ යුද්ධයෙන් පසුව ඉපැදුණු පරපුරටය. ඔවුන්ට යහපත් අනාගතයක් උදා කර දීම, ගිනි අව් රශ්මිය නොතකා ගඩොල් කපන දෙමාපියන්ට පමණක් තනිව කළ හැක්කක් නොවේ. එහෙත් ඔවුහු වෙර දරති.

 

/

පාර්තීවන්

පුලියඩි හන්දියෙන් පුලියන්කුලම් පාරට හැරුණු තැනම, වම් අත පැත්තේ ඇති ‘කේ.පී.එස් ටිම්බර්’ ලී වෙළෙඳසැලේ හිමිකරු, 27 හැවිරිදි කුණබාලසිංහම් පාර්තීවන්ය. ඉරූ දැව, දැව භාණ්ඩ මෙන්ම ‘හාඩ්වෙයාර්’ උපකරණද අළෙවි කෙරෙන එය නැඟී එන ව්‍යාපාරයකි. ඒ පිටුපස ඇති කතාව, උතුරේ පශ්චාත් යුද කාලීන තරුණ පරපුරේ අපේක්ෂාවන් පිළිබඳ අපූරු සාදෘශ්‍යයක් බඳුය.

පාර්තීවන්ගේ පිය පරපුරේ අය ප්‍රකට වඩු කාර්මිකයන්ය. නිවස ආශ්‍රිතව පවත්වාගෙන ගිය ව්‍යාපාරය යුද්ධයෙන් අවතැන්වීමත් සමඟ බිඳවැටිණි. දක්ෂ වඩු කාර්මිකයකු වූ ඔහුගේ සොහොයුරාද බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට එතෙර විය. උතුරේ බොහෝ තරුණයන්ට මෙන් පාර්තීවන්ට තිබුණේද කෙසේ හෝ විදේශගත වීමේ සිහිනයයි. ලොකු මුදලක්ද වැය කොට ගුවනින් මොරොක්කෝව දක්වා ගියද, ඉලක්කය වැරදී ගියේය.

”යනකොට ගියේ මෙහේ ඉඳල වැඩක් නෑ කියලා. ඒත් ආපහු එද්දි මට හිතුණා ඇයි අපි අපේ රට දාල යන්නෙ, මේ ‍රටේ ඉඳගෙන කොයිතරම් දේවල් කරන්න තිබුණද කියලා. ඒ ඇවිත් තමයි මේ ව්‍යාපාරෙ පටන්ගත්තෙ. දැන් මම 5දෙනෙකු‍ට රස්සාව දීල තියෙනවා. ඉදිරියේදි මට පුළුවන් තවත් රස්සාවල් දෙන්න.” ඔහු කීවේය. දැන් ඔහු සාර්ථක ව්‍යාපාරිකයකු මතු නොව, උපන් බිමට ආදරය කරන්නෙකි.

“අයියට පුළුවන් දැන් මාව ඕස්ට්‍රේලියාවට ගෙන්නගන්න. ඒත් මම යන්නෙ නෑ.”

සහාය- ටී. නඩරාසා | ඡායාරූප- ප්‍රසාද් පූර්ණාමාල් ජයමාන්න

13total visits,3visits today