Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ජීවිත හිණි පෙළ මැද නැවතෙන
අපේ වෘත්තීය අධ්‍යාපනය

වෘත්තීය අධ්‍යාපනය යනු ද්විතීයික අධ්‍යාපනයෙන් අනතුරුව මෙරට තරුණ පිරිස් බොහොමයක් දෙනා ඇදී එන ක්ෂේත්‍රයකි. එය තම අනාගත මං පෙත හෙළි පෙහෙළි කරන මාවතට ප්‍රධාන ආලෝක ධාරාවක් යොමු කරන ප්‍රභවයක් ලෙස අප රටේ පිළිගැනීමකට ලක් ව හමාර ය. මේ එම ආලෝක ධාරාවේ දීප්තිය මොට කරන්නට බලපා තිබෙන හේතු පිළිබඳ විමසුමකි.

25.06.2018  |  
කොළඹ දිස්ත්‍රික්කය

වෘත්තීය අධ්‍යාපනය යනු ද්විතීයික අධ්‍යාපනයෙන් අනතුරුව මෙරට තරුණ පිරිස් බොහොමයක් දෙනා ඇදී එන ක්ෂේත්‍රයකි. එය තම අනාගත මං පෙත හෙළි පෙහෙළි කරන මාවතට ප්‍රධාන ආලෝක ධාරාවක් යොමු කරන ප්‍රභවයක් ලෙස අප රටේ පිළිගැනීමකට ලක් ව හමාර ය. සරසවි අධ්‍යාපනයට වරම් නොලබන ඒ හා සමාන සුදුසුකමින් සපිරි බොහෝ දෙනා අනතුරුව යොමු වන්නේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය වෙත බව නොරහසකි. මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය හොබවන දැවැන්ත රාජ්‍ය, අර්ධ රාජ්‍ය මෙන් ම පුද්ගලික ආයතන ද බොහෝ ය. ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (NAITA), ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට වෘත්තීය අධ්‍යාපනය ලබා දෙන රාජ්‍ය ආයතන අතර ප්‍රමුඛ ය. එය වසරකට විශාල මුදලක් වැය කර සිසුන්ට ජාතික වෘත්තීය සුදුසුකම් (RPL/NVQ)යටතට ගැනෙන ජාතික මට්ටමේ වෘත්තීය පුහුණුව ලබා දීමේ මහඟු මෙහෙයට උර දෙයි.

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණුකිරීම් අධිකාරිය ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට වෘත්තීය අධ්‍යාපනය ලබා දීම පිණිස 2015 වර්ෂයේ දී රුපියල් 714,223,432 ක් ද, 2016 වර්ෂය සදහා 704,551,815 මුදලක් මෙන්ම 2017 වර්ෂයේ 922,828,450 (කෝටි අනූ දෙකකට අධික මුදලක්) ද වැය කර ඇති බව තොරතුරු දැන ගැනීමේ පනත හරහා ලබා ගත් තොරතුරුවලින් සනාථ වෙයි.

13% කටත් වඩා අඩු පිරිසක්

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය මඟින් විශාල මුදලක් වැය කර සිසුන් හට වෘත්තීය පුහුණුව ලබා දුන්නත්, මේ පුහුණුව අවසන් කර විභාග සඳහා පෙනී සිටින්නේත්, පැවරුම්, ප්‍රායෝගික ක්‍රියාකාරකම් හා අනෙකුත් අවශ්‍යතා සපුරමින් තම වෘත්තීයභාවයට අදාළ ප්‍රවීණතාව තහවුරු කර ගන්නේත් 13% කටත් වඩා අඩු පිරිසක් බව ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියෙන් ලත් තොරතුරුවලින් අනාවරණය වේ.

සිය වෘත්තීය අධ්‍යාපනය ලබා ගනු පිණිස ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය තෝරා ගන්නා සිසුනට ජාතික වෘත්තීය සුදුසුකම්(RPL/NVQ)යටතට ගැනෙන ජාතික මට්ටමේ වෘත්තීය පුහුණුව සහතික කෙරෙන, ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් සහිත සහතිකයක් හිමි වෙයි. මේ කාර්යභාරය සපුරා ගන්නට ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය රුපියල් කෝටි 234කට අධික මුදලක් පසුගිය වසර තුන ඇතුළත පමණක් වැයකර තිබෙන බව මේ තොරතුරු සනාථ කරයි.

2015 – 2017 යන වසරවල පූර්ණකාලීන හා අර්ධකාලීන පාඨමාලා සඳහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියට ඇතුළත් වී වෘත්තීය පුහුණුව අවසන් කළ සිසු සිසුවියන් සංඛ්‍යාව 61,652කි. මේ පිරිස අතරින්පුහුණුව අවසන් කර විභාග සඳහා පෙනී සිට ඇත්තේත්, පැවරුම්, ප්‍රායෝගික ක්‍රියාකාරකම් හා අනෙකුත් අවශ්‍යතා සපුරමින් තම වෘත්තීයභාවයට අදාළ ප්‍රවීණතාව තහවුරු කර ගෙන ඇත්තේත් 13% කටත් වඩා අඩු පිරිසක් හෙවත් 8,203 දෙනෙකු පමණකි. ඒ අනුව පුහුණුව අවසන් කළ අයගෙන් සියයට 87ක්ම විභාගයට පෙනී සිට හෝ සිය සහතිකය ලබා ගැනීම සඳහා හෝ සුදුසුකම් සපුරා නැත.

කර්මාන්ත ශිල්පී පාඨමාලා 150ක්

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණුකිරීම් අධිකාරිය, ආධුනිකත්ව ක්‍රමය යටතේ වෘත්තීය පුහුණුව ලබා දෙන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රාජ්‍ය ආයතනයකි. ඒ යටතේ ජාතික ආයතන 04ක්, දිස්ත්‍රික් පුහුණු ආයතන 47ක්, ප්‍රාදේශීය පුහුණු ආයතන 06ක්, අනුබද්ධ පුහුණු ආයතන 14ක් හා විශේෂ පුහුණු ආයතන 10ක් ලෙස වෘත්තීය ක්ෂේත්‍ර 22ක් යටතේ කර්මාන්ත ශිල්පී පාඨමාලා 150ක් පමණ ක්‍රියාත්මක වේ.

මෙම විවිධ පාඨමාලා හදාරන සිසුන් හා සිසුවියන් පාඨමාලාව අවසානයේදී පවත්වන පරීක්ෂණ සඳහා පෙනී නොසිට පාඨමාලාවේ ඉගැන්වීම් කටයුතු අවසන් වූ සැණින් විවිධ රැකියාවලට යාම හෝ එය අත්හැර දැමීම නිසා මේ ආකාරයෙන් විභාග සඳහා පෙනී සිට තම පාඨමාලා සම්පූර්ණ කරන සිසුන් පිරිස අඩු වී ඇති බව ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණුකිරීම් අධිකාරියේ දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානවල කළමණාකරුවෝ පෙන්වා දෙති.

/

මෙරට ප්‍රාථමික පාසල් අධ්‍යාපනය හදාරන බොහෝ සිසුන් (අ.පො.ස.) සාමාන්‍ය පෙළ කඩඉම් විභාගයෙන් පසු අධ්‍යාපනය හැර යාම අද දක්නට ලැබෙන ප්‍රවණතාවකි. ඒ ආකාරයෙන් පාසල් හැර යන සිසුන් මෙන්ම (අ.පො.ස.) සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ අධ්‍යාපන සුදුසුකම් ලබන එනමුදු විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් නොලබන දරුවන් හට ද විරැකියාව තමන් මුහුණ දෙන ගැටලුවක් වී ඇත්තේ රැකියාවක නිරත වීම සඳහා වුවමනා නියමිත වෘත්තීය පුහුණුවක් ඔවුන් සපුරා නොමැතිකමය. එවැනි වටපිටාවක් තුළ සරසවි වරම් නොලබන, උසස් අධ්‍යාපන වරම් අහිමි දරුවන්ගේ නිපුණතා වර්ධනයට දිරි දීම හා අවස්ථා සැලසීමත්, මේ දක්වා පැවති, විසිරුණු වෘත්තීය පුහුණු ක්‍රමවේදය වෙනුවට රැකියා ඉල්ලුමට සරිලන වෘත්තීය පුහුණු ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේත් වගකීම ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියට පැවරුණකි.

වෘත්තීය පුහුණුවේ වත්මන් ප්‍රවණතාව

මේ වගකීම සාර්ථක ප්‍රතිපල ගෙන දෙන්නක් වීමට ජාතික වෘත්තීය සුදුසුකම් (National Vocational Qualification (NVQ) පදනම යටතේ වෘත්තීය පුහුණු ඩිප්ලෝමාධාරීන්, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල උපාධිධා‍රීන්ආදී පිරිස් බිහිවීම සඳහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ විවිධ අංශ යටතේ පුහුණුව ලබන සිසුන් හා සිසුවියන් අදාළ විභාග සඳහා යොමු වීම අනිවාර්ය සාධකයකි. මෙරට වෘත්තීය පුහුණුවේ වත්මන් ප්‍රවණතාව වන වෘත්තීය පුහුණුව ලබන සිසුන් විභාග සඳහා යොමු නොවීම හේතුවෙන් ඔවුන්ට ඉන් ඉදිරියට යාමේ හැකියාව ද අවහිර වී ඇති බව මෙම තොරතුරු මඟින් මනාව පෙනී යන කරුණකි.

මේ සම්බන්ධයන් කරුණු විමසීමේ දී පෙනී ගියේ වෘත්තීය පුහුණුව අවසානයේ දී අදාළ විභාග පැවැත්වීමේ දී සිදු වන ප්‍රමාදය ද ඉහත ප්‍රවණතාව හට ගැනීමට දැඩි සේ බලපා ඇති බව ය. එවන් ප්‍රමාදයක් හමුවේ අදාළ කාල වකවානුවේදී වෘත්තීය පුහුණුව ලැබූ සිසුන් වෙනත් රැකියාවලට යොමු වීම නිසා වෘත්තීය පුහුණු විභාගයට පෙනී සිටීමේ අවස්ථාව මේ අය වෙතින් මඟහැරී යයි.ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය, සිදුවන මෙම විභාග ප්‍රමාදය සම්බන්ධයෙන් ද මනා අවධබෝධයකින් හා අවධානයකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය ය.

අදාළ විභාගවලට පෙනී සිට විභාග සමත් වන සිසුන්ට සහතිකපත් ලබා දීමේ ප්‍රමාදයක් ද ඇති බව සිදු කළ තොරතුරු සොයා බැලීමේදී හෙළි වූ තවත් කරුණකි. සහතික පත්‍ර සැකසීමසඳහා දත්ත වාර්තා, සහතික අංශයට යොමු කිරීමේ ප්‍රමාදය මෙන්ම එම සහතික පත් මුද්‍රණයකිරීමේ පූර්ව කටයුතු වෙනත් ආයතනයන් මඟින් සිදු කෙරෙන බැවින් මේප්‍රමාදය පවතින බව ලබා ගත් තොරතුරුවලින් අනාවරණය වෙයි.

වාර්ෂිකව විශාල මුදලක් වැය කරමින් උසස් නිපුණතාවකින් හෙබි වෘත්තීකයින් බිහි කිරීමට ශ්‍රී ලංකාවේ දරන මෙම උත්සහය මල්පල ගැන්විමට නම් මෙම අඩුපාඩු සකසා ගනිමින් තරුණ තරුණියන් වෘත්තීය පුහුණුවකට පමණක් සිමා නොකර ඉන් ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටා ඉදිරිය බැලීම ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ මෙන්ම බලධාරීන්ගේ ද වගකීමක් වේ.උසස් අධ්‍යාපන අවස්ථා අහිමි වූ තරුණ තරුණියන්ට විධිමත් වෘත්තීය පුහුණුවක් ලබා දීම ඔස්සේ ජාතික වෘත්තීය සුදුසුකම් (National Vocationa Qualification-NVQ) සහිත පිරිසක් බවට පත් කරලීමේ අරමුණ සාක්ෂාත් කර ගත හැක්කේ ඉනික්බිතිව ය.

13total visits,3visits today