Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

තේ දළුවට කඳුළු ගෙනෙන
ප්‍රාදේශීය සභා පනත

ලංකා දූපතේ ‘තේ‘ වගාව සාරවත් කර ගැනීම සදහා එවක ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍යයන් ළමයින්, ස්ත්‍රීන්, පිරිමින් විශාල පිරිසක් ඉන්දියාවෙන් ගෙන ආවේ තේ වගාවේ කම්කරුවන් ලෙස යෙදවීමට ය. ශ්‍රී ලංකාවේ ‘තේ‘ කර්මාන්යට සිය ජීවිතයම කැප කළ මෙම පිරිසට තවමත් ලංකාව තුළ අනෙක් පුරවැසියන්ට අවම ලෙස හෝ හිමි ගෞරවය, ආරක්ෂාව, ප්‍රතිලාභ ලැබෙන්නේ ද? 150 වස් වියැති Ceylon Tea වංශ කතාවේ ‘හැම ‘තේ කෝප්පයකම යට සැඟවුණු කදුළු කතාවක්‘ තිබෙනවා යයි කියන්නේ ඒ හේතුවෙනි.

27.06.2018  |  
නුවරඑළිය දිස්ත්‍රික්කය

‘’මේ වතුවල පාරවල් හැමදාම තිබුණේ මෙහෙම තමයි. අපි පොඩි කාලෙත් මේ විදිහම තමයි. පාරවල් හදන්න කාටවත් ඕන නැහැ. පුස් බයිසිකලයක් පැදගෙන යන්නෙත් අමාරුවෙන්.’’

හැටන් හි වතු රැකියාවෙහි නිරත සදීෂ් කුමාරි (29) පැවසුවේ ගල් ගැලවී ගිය ලැයිම්වලට යන පාරවල් පෙන්වමිනි. සමහර ලැයිම්වල නල මාර්ග කැඩී බිඳී ගොස් වතුර අපතේ යන නමුත් දීර්ග කාලයක් තිස්සේ ඒවා පිළිසකර වී නැත.

‘’වතුවල පාරවල් තියා තේ වතු සුද්ද කරන්නෙත් නැහැ. කැලෑ වැවිලා. ඒවා සුද්ද කරන්න වෙලා තියෙන්නෙත් අපටමයි.’’සදීෂ් කුමාරි නැවතත් පවසයි.

දර්ශනීය තේ වතු මැදින් ඔබ මොහොතක් ඇවිද ගියේ නම් මේ කර්කශ සත්‍ය දැක ගැනීමට ඔබට අපහසු නොවනු ඇත. තේ වත්ත මැදින් වැටී තිබෙන වතු ජනතාව ජීවත් වන ලැයිම් නිවාස කරා දිවෙන මාර්ගය අඩියක් තබන්නට නොහැකි තරම් අබලන්ය. ඒ ආසන්නයට වාහනයකින් යන්නේ නම් වහනය ගැන බලාපොරොත්තු අත්හැර යා යුතුය. 1948 වසර දක්වා යුරෝපීයයන් නඩත්තු කරගෙන ආ තේ කර්මාන්තය අඟලකින් හෝ ඉදිරියට ගෙනියන්නට සමත්ව නොතිබීම හේතුවෙන් වතු ඇතුළේ ගාල් කරනු ලැබ ඇති මිනිස් ජීවිත විඳිමින් සිටින්නේ අපා දුකකි. අවම වශයෙන් වතු කම්කරුවන්ගේ මූලික අවශ්‍යතාවත් සපුරා දීමට වත්මන් සංවර්ධනය සමත් වී නැත.

‘ඉන්දියා-ශ්‍රී ලංකා වතුකම්කරු‘

සාමාන්‍යයෙන් ගමක පාරක් හදන්නේ, එසේත් නැත්නම් පාරට විදුලිය ලැබෙන්නේත් රාජ්‍ය බලයේ අවසන් අධිකාරි ආයතනය වන ගම සමඟ වඩාත් බද්ධ වී කටයුතු කරන ප්‍රාදේශීය සභාවය. අප කතා නොකළ ද ප්‍රාදේශීය සභා මගින් රටේ ග්‍රාමීය ප්‍රදේශවලට සිදු කරන කාර්යභාරය අති විශාලය.අවාසනාවකට වතු කම්කරු ජනතාවට ප්‍රාදේශීය සභාවෙන් කිසිදු පල ප්‍රයෝජනයක් ලැබී නැති බවට සදීෂ් කුමාරිගේ වදන් සාක්ෂ්‍ය සපයයි. රටේ අනෙකුත් ජනතාව ප්‍රාදේශීය සභා හරහා සිදු කරගන්නා සංවර්ධන කටයුතු කිසිවකට වතුවල ජීවත්වන වතු කම්කරු ජනතාව හිමිකම් නොකියයි.

සිය යෙහෙළියක හා සදීෂ් කුමාරි

මෙසේ වීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ වතු කම්කරු ජනතාව අපේ රටේ ජන කොට්ඨාශයක් ලෙස නොපිළිගෙන සිදුකළ නීති සම්පාදනයන් ය. නිදහස ලැබීමට පෙර මෙරට වතුවල වැඩ කිරීම සඳහා ඉංග්‍රීසි ජාතිකයින් ‘ඉන්දියා-ශ්‍රී ලංකා වතුකම්කරු‘ යන නමින් හඳුන්වා දී තිබූ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඉන්දියාවෙන් මෙරටට ගෙන්වා පදිංචි කරන ලද වතු කම්කරු ජනතාව මේ රටේ පුරවැසියන් ලෙස සැලකීමට බොහෝ දේශපාලන නායකයන් කැමති වූයේ නැත. 1948 වන විට වතු කම්කරුවන් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වන්නට වතු කම්කරු නියෝජිතයන්ට අවස්ථාව හිමි වුවත් වතු කම්කරු ජනතාවට සැබෑ නිදහසක් හිමි වූයේ නැත. වතු කම්කරුවන්ට සැබෑ නිදහසක් හිමි වූයේ 1972 දී ඉඩම් පනත ගෙන ඒමෙන් පසුවය.

1984දී වතු වගාව පුද්ගලීකරණය කිරීමෙන් අනතුරුව රජයට අයත් තේ වතු 99 අවුරුදු බද්දට පුද්ගලික සමාගම්වලට ලබා දුන්නේය. ඒ අනුව වතු කම්කරු ප්‍රජාව ද ඇතුළත්ව තේ වතු ඉඩම් පුද්ගලික ඉඩම් වශයෙන් සලකනු ලැබීය. 1948 සිටම වෙනස්කොට සැලකීමෙන් සහ අසාධාරණයෙන් බැට කෑ වතුකම්කරුවන්ට වතු පුද්ගලික අංශයට පැවරීමෙන් පසුව පැනවූ නීති ද ඉතාම අසාධාරණ ඒවා විය.

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත වතු කම්කරුවන් වෙනස් කොට සලකන තවත් එක් නීතියක් වශයෙන් සැලකිය හැකි ය. මෙම නීතිය අනුව තේ වත්තක් තුළ පාරවල් ඉදිකිරීම හෝ කිසියම් සංවර්ධන කටයුත්තක් සිදු කිරීම නීති විරෝධී ය. වතු කම්කරුවන් ජීවත් වන්නේ වත්ත තුළ පිහිටි ලැයිම් නිවාස තුළ වන අතර ඔවුන් එහි දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රජාවක් වශයෙන් ජීවත් වෙයි. ඔවුන්ගේ ලැයිම් නිවාසවලට යන පාරවල් එරෙහිව හෝ අලුත්වැඩියා කිරීම වත්‍ර හිමි සමාගම් සිදු කරන්නේ නැත. එම පාරවල් පවතින්නේ බෙහෙවින්ම අබලන් තත්ත්වයේය. ප්‍රාදේශීය සභාවට සංවර්ධන කටයුතු සිදු කිරීමට මැදිහත් වීමට හැකියාවක් නොමැති වී තිබෙන්නේ ප්‍රාදේශීය සභා පනතේ සඳහන් මෙම නෛතික ප්‍රතිපාදන හේතුවෙනි. 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ අංක 33 දරණ වගන්තිය පෞද්ගලික දේපල හිමියන්ගේ යහපත සඳහා පාරවල් යන සටහන යටතේ දක්වා ඇත.

පොදු යහපත වෙනුවෙන් ඉදිකිරීම්

ඒ අනුව කිසියම් ප්‍රාදේශීය සභාවක් විසින් ඒ ප්‍රාදේශීය සභාව ඇතුළත පිහිටි යම් වතුයාය එකක හෝ වැඩි ගණනක හෝ යම් කර්මාන්ත, ව්‍යාපාරයක හෝ වැඩි ගණනක අයිතිකරුවන් විසින් කරනු ලබන ඉල්ලීමක් නිසා නොවේ නම් පොදු යහපත වෙනුවෙන් ඉදිකිරීම් හෝ නඩත්තු කටයුතු සිදු කළ නොහැකිය. ප්‍රාදේශීය සභාවකට ද එවැනි නඩත්තු කටයුතු සඳහා ආණ්ඩුවේ මුදල් වෙන් කිරීමට නොහැකි තත්වයක් හමුවේ අහිංසක වතු ජනතාවට සිදුව ඇති අයහපත අමුතුවෙන් කිව යුතු නැත.

පිච්චෙයි සුබ්‍රමනියම් සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. තිලක රාජා

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී උඩ පළාත ප්‍රාදේශීය සභාව සඳහා ස්වාධීන තරුණ කණ්ඩායමක් තරග කර ජයග්‍රහණය කළේය. එහි සභාපතිවරයා විසින් වතුකම්කරුවන්ගේ නිවාස පන්සියයක් සඳහා වතුර ටැංකි ලබාදීමට ප්‍රතිපාදන වෙන් කරන ලදී. එක්සත් ජනතා නිදහස් සන්ධානය මගින් මීට එරෙහිව නඩු පවරනු ලැබුවේ ප්‍රාදේශීය සභා පනතේ මෙම නීතිය පදනම් කරගනිමිනි. අධිකරණ තීන්දුව අනුව ප්‍රාදේශීය සභා පනතේ 33 වගන්තිය පරිදි වතු සඳහා ප්‍රතිපාදන වෙන් කරලීම නීත්‍යානුකූල නොවන බැවින් අදාළ ස්වාධීන කණ්ඩායම සභාපතිවරයා ඇතුළු තවත් මන්ත්‍රීවරු පිරිසක් ධූරවලින් ඉවත් කරන්නට ද ඉහත යෝජනාව හේතුවෙනි.

බොගවන්තලාව මේ මෙෆීල්ඩ් හි ලොක්හිල් වතුයායේ අප කළ සංචාරයකදී ද මේ තත්ත්වය නිරීක්ෂණය කළ හැකි විය. එහි ජනතාව ප්‍රකාශ කළේ වතු ජනතාව ගේ පොදු වුවමනා කේනද්‍ර කර ගත් සංවර්ධනයක් ගැන සිතීම ඉතා අපහසු බවය. අබලන් වී ගොස් තිබෙන පාරවල් පමණක් නොව උතුරා පිටාර ගලා යන අපවිත්‍ර නළ මාර්ග ද වසර ගණනාවකින් සකස් කර නැත.

“මේ බටය කැඩිල අවුරුදු ගාණක් වෙනවා. අපි මේ ගැන කියන්න ඕන හැම තැනකටම කිව්වා. නමුත් කිසිම කෙනෙක් ආවේ නැහැ. අවුරුදු ගානක් රෑ තිස්සේ මේ විදිහට වතුර ගලාගෙන යනවා. දැනටත් ඩෙංගු මදුරුවෝ ඉන්නවා. සත්තු වර්ග බෝ වෙනවා. අපේ ළමයි සෙල්ලම් කරන්නේ මේ තැන්වල. කවුරුවත් මේක හදන්න ආවේ නැහැ.” යි ලොක්හිල් වතුයායේ වතු කම්කරුවකු වන පිච්චෙයි සුබ්‍රමනියම් (55) සඳහන් කළේය.

අහිමි ප්‍රජා පහසුකම්

‘අපි ණයක් අරගෙන තමයි මේ ගෙදර හැදුවේ. සෑහෙන කාලයක් ණය ගෙව්වා. ලයිට් වතුර ගත්තෙත් අපිම තමයි. වත්තේ වැඩ කරලා ලැබෙන සොච්චම් මුදලින් ඕවා කරන්න බෑ’’

මෙම ජනතාව සිය කුඩා ලැයිම් නිවාස ද ඉදි කරගෙන ඇත්තේ ණය මුදල්වල පිහිටෙනි. ඒ හැරෙන්නට ප්‍රජාවක් වශයෙන් ඔවුනට ලැබිය යුතු පහසුකම් කිසිවක් ලැබී නැත. කුමන හෝ ක්‍රමයකින් තමන් ජීවත් වන ප්‍රදේශ සංවර්ධනය වන්නේ නම් සතුටු වන බව ඔවුන් ප්‍රකාශ කරයි.

සංකීර්ණ වචනවලින් තමන්ට එරෙහිව ලියැවී තිබෙන අසාධාරණ නීති රෙගුලාසි පිළිබඳ ව මෙම ජනතාවට වැටහීමක් නැත. නමුත් කුමක් හෝ නිසා තමන් කොන් වී සිටින බව පමණක් ඔවුන් දනී. යන්තමින් හෝ ඔවුන් සිය ජීවිත ගොඩනඟා ගෙන තිබෙන්නේ තේ නෙළා සොයන සොච්චම් මුදලින් ණය මුදල් ගෙවා දැමීමෙනි.

අද වන විට ශ්‍රී ලංකාවේ ඉන්දියානු සම්භවයක් ඇති වතු දෙමළ ජනතාව ලක්ෂ පහළවත් දාහතක් අතර සංඛ්‍යාවක් ජීවත් වේ. නිල සංඛ්‍යාලේඛන අනුව ලංකා දෙමළ යනුවෙන් ලියා පදිංචි වී ඇති ඔවුන් නුවරඑළියේ ලක්ෂ හතරක්, බදුල්ල ලක්ෂ දෙකක්, රත්නපුර ලක්ෂ හතර හමාරක්, නුවර ලක්ෂ දෙකක්, උතුරු නැගෙනහිර ලක්ෂ දෙකක් හා කොළඹ ලක්ෂ එකහමාරක් පමණ වාසය කරයි.

නිත්‍යානුකුල පාර්ශවකරුවන්

කඳුරට ජනතා පෙරමුණේ මහ ලේකම් ඒ. ලෝරන්ස් මහතා පවසන්නේ මෙම ව්‍යාප්තියත් සමඟ ලංකාවේ ජාතින් හතරක් නිත්‍යානුකුල පාර්ශවකරුවන් වශයෙන් පිළිගත යුතු බවයි. ඒ සිංහල, උතුරු නැගෙනහිර දෙමළ, මුස්ලිම්, කඳුරට දෙමළ වශයෙනි.

මෙම නීතිය වෙනස් කිරීම සඳහා ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීමට නියමිතය. දැනටමත් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කර තිබෙන මෙම සංශෝධනය එළැඹෙන මාසයේදී සම්මත කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ වන විටත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කළේය. මෙම නීතිය සංශෝධනය වීමෙන් වතු ජනතාවගේ සංවර්ධන කටයුතු වේගවත් වන බවත් එය ඔවුනගේ දියුණුවට අනිවාර්යයෙන් හේතු විය හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ලැයිම්වල නල මාර්ග කැඩී බිඳී ගොස් වතුර අපතේ

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. තිලක රාජා ප්‍රකාශ කර සිටියේ පනතේ ඇතුළත් වචන කිහිපයක් ඉවත් කිරීමට මෙම ආණ්ඩුවට වසර තුනක් ගත වී තිබෙන බවය. වතු හිමියන්ගේ නොව වතු කම්කරු ජනතාවට සිදුව ඇති අසාධාරණය තේරුම් ගන්නේ නම් රජය මෙම ප්‍රතිපාදනය සංශෝධනය කළ යුතුව ඇතිමුත් කුමන හෝ අදිසි හස්තයක බලපෑමෙන් එම කටයුතු ප්‍රමාද වෙමින් තිබෙන බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක රාජා පවසයි.

‘’මං පාර්ලිමේන්තුවට පත් වුණ හැටියේ මගේ පළවෙනි යෝජනාව වුණේ මේ පනත සංශෝධනය කරන්න ඕනේ කියන එකයි. එම ඉල්ලීම මා කළේ 2015 දෙසැම්බර් මාසයේදී. මාත් ඉන්න මේ රජයට පනතේ වචන දෙකක් සංශෝධනය කරන එක අවුරුදු දෙකක් ගිහිල්ලත් තවමත් කරගන්න බැරි වුණා. හැබැයි රජය නිකන් හිටියෙත් නැහැ. කරගෙන යනවා. නමුත් අතුරුදන් වූවන්ගේ කාර්යාලය, තොරතුරු දැනගැනීමේ අයිතිය පනත වගේ ලොකු නීති පනත් අපි ගෙනාවනේ. අපි ඒවාට සහාය දුන්නා. එහෙමනම් මේ පනත සංශෝධනය කරන්න අපිට සහය දෙන්න ඕනේ.

අදිසි හස්තයක බලපෑම

නීතිපතිතුමා හම්බවෙලා පස්සේ නීති කෙටුම්පත් නිලධාරී වත් හම්බ වෙලා මේකේ කටයුතු කළා. නමුත් අමාත්‍යංශයෙන් කරන කරුණු දැක්වීමත් එක්ක වතු හිමිකරුවන්ගේ අනුමැතියෙන් තමයි එය කරන්න පුළුවන් කියලා කොටසක් නැවත කෙටුම්පතට ඇතුළත් කරලා තිබුණා. පස්සේ මා නැවත ඉල්ලීමක් කළා එක වෙනස් කරන්න. මම දන්නේ නැහැ මීළඟ කෙටුම්පතේ මොනවා තියේවිද කියලා.’’

පළාත් සභා පනත සංශෝධනය කිරීමෙන් පමණක් දීර්ග කාලයක් තිස්සේ වතුකරයේ වෙසෙන ජනතාවට තිබූ ප්‍රශ්න නිරාකරණය වේ යැයි සිතිය නොහැක. යම්තාක් දුරකට හෝ යහපත් ජිවන තත්වයක් පිළිබඳව අපේක්ෂාවක් තැබිය හැක්කේ රටේ සාමාන්‍ය පුරවැසියන් ලෙස ඔවුන් පිළිගැනෙන වාතාවරණයක් ගොඩනැඟීමට කටයුතු කිරීමෙන් පමණකි.

මෙම කතාව adobe sparkසමඟ කියවන්න.

https://spark.adobe.com/page/AB7vDfrTujzBn/

5total visits,3visits today