Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

වෙනම රටක් වෙනුවෙන් සටන් කළ පිරිස්
අද ඉල්ලන්නේ යහපත් දිවියක්

හිටපු කොටි සොල්දාදුවන් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන් කළ නමුත් අද වන විට ඔවුන්ට අවශ්‍ය කරන්නේ වෙනම රාජ්‍යයක් නොව, ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට අභිමානයෙන් ජීවත්වීමට ඉඩප‍්‍රස්තා සැලසෙන පරිදි ඔවුන් පෝෂණය කළ හැකි ස්ථාවර ආදායම් උත්පාදන මාර්ග බව ක්‍රියාවෙන්ම පෙන්වා දුන් හමුදා නිලධරයකුගේ කතාවයි මේ.

02.07.2018  |  
මුලතිව දිස්ත්‍රික්කය

රැකියා වියුක්තිය සහ ජීවනෝපායන් යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා මූල්‍ය ආධාර නොමැතිවීම හේතුවෙන් උතුරේ දෙමළ තරුණයන් යටි අරමුණු ඇති පුද්ගලයන්ට රැවටීමට ලක් වන්නේ නම් ප‍්‍රතිසන්ධාන ක‍්‍රියාවලියට බාධාවක් වනු ඇතැයි මුලතිව්, කිලිනොච්චි සහ යාපනයේ පිහිටි සිවිල් ආරක්ෂක බළකායේ (CDF)හිටපු අණදෙන නිලධාරී ලූතිනන් කර්නල් රත්නප‍්‍රිය බණ්ඩාර කියයි.
‘කුසගින්නේ සිටින පුද්ගලයකු කිසිවක් අවබෝධ කර ගන්නේ නැත” යැයි ඔහු අප සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසූයේ දිස්ත‍්‍රික්ක තුනේ ජනතාව සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමිනි.
කිලිනොච්චි නගරයේ ජනතාව සංවිධානය කළ ඉතා සුවිශේෂී සමුගැනීමේ උත්සවයක දී විවිධ වර්ණයන්ගෙන් විචිත‍්‍රවත් වූ මල් මාලාවක් ගෙල පැළඳීමෙන් අනතුරුව මෙම යුද හමුදා නිලධාරියා හිටපු කොටි සොල්දාදුවන් සිය උර මතින් රැගෙන යාම බොහෝ දෙනෙකු විමතියට පත් කළ අපූර්ව අවස්ථාවක් විය.
වසර පහකටත් වැඩි කාලයක් ඔවුන් වෙනුවෙන් සේවය කිරීමෙන් අනතුරුව පසුගිය සතියේ දී මෙම නිලධාරියාට ඔහුගේ නිල බළකාය වන සිංහ බළකා මූලස්ථානයට සේවා මාරුවක් ලැබිණි. ඔහුගේ සේවා මාරුව පිළිබඳ තරුණ මහලු සියලුම දෙනා ඉතාම සංවේගයට පත් කළ සමුගැනීමේ අවස්ථාවේ ඡායාරූප සහ වීඩියෝ පට සමාජ මාධ්‍ය තුළ ඉතා ශීඝ‍්‍රයෙන් ජනප‍්‍රියත්වට පත් විය.
ඔහු පැවසූ පරිදි අධ්‍යාපනය ඉහළ නැංවීම, රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ විනෝදාස්වාද පහසුකම් සැපයීම ප‍්‍රතිසන්ධානය සඳහා වූ මූලික අවශ්‍යතා වේ.

ප‍්‍රජා නායකත්වයක අවශ්‍යතාව

වසර 30කටත් වැඩි කාලයක් හමුදා නායකත්වයක් යටතේ පාලනය වී එල්ටීටී සංවිධානයේ ප‍්‍රධාන බළකොටු ප‍්‍රදේශයක් වූ කිලිනොච්චි මහ මුලතිව්වල සිය ගම්මානවල නැවත පදිංචි වූ මෙම ජනතාවට ඔවුන්ගේ ප‍්‍රශ්න අවබෝධ කර ගත හැකි ප‍්‍රජා නායකත්වයක අවශ්‍යතාවක් තිබිණි.
‘ශ‍්‍රී ලංකා හමුදාවේ සොල්දාදුවෙක් ලෙස මා ඔවුන්ට එම නායකත්වය ලබා දුන්නා” ලුතිනන් කර්නල් රත්නප‍්‍රිය බණ්ඩාර පැවසීය.
සිවිල් ආරක්ෂක බළකායට දෙමළ ජනතාව බඳවා ගැනීම බොහෝ දෙනෙකුගේ විවේචනයට භාජනය වී, දෙමළ ජනතාව හමුදාවට බැඳෙන්නේ නැති බවට ඇතැමුන් අභියෝග කරන කාලයක දී ඔහු සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට දෙමළ සොල්දාදුවන් 3,500කට අධික සංඛ්‍යාවක් බඳවා ගැනීමට හැකි විය. එමඟින් ඔවුන්ට දෛනික සුළු වේතනයක් වෙනුවට මාසික වැටුපක් ලබා ගැනීමේ අවස්ථාව උදා විය. අද වන විට සිවිල් ආරක්ෂක බළකාය වැඩිම ඉල්ලුමක් ඇති රාජ්‍ය ආයතනය වන අතර සිවිල් ආරක්ෂක බළකායට බැඳීම සඳහා අවස්ථාවක් අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනයේ සිටින තරුණ තරුණියන් සංඛ්‍යාව 15,000කට අධිකය.
යාපනය හැරුණු කොට කිලිනොච්චියේ සහ මුලතිව්වල ජනතාවගෙන් 70%කට වැඩි පිරිසක් ඉන්දීය සම්භවයක් ඇති වතු දෙමළ ජනතාව වන බැවින් ඔවුන් පහත් කුලයේ දෙමළ ජනතාව වන බවට සලකනු ලබයි.

/

‘කුලය මෙම දිස්ත‍්‍රික්ක දෙකේ ඇති බරපතල ගැටලුවක්. නමුත් මගේ කාර්යාලයේ දොරටු සියලූම දෙනාට විවෘත තිබුණා. ඔවුන්ගේ කුලය සහ ජන වර්ගය කුමක් වුව ද මා ඔවුන්ට එකසේ සලකා ගරුකළා. පළමුව අපි සියලුම පෙර පාසල් සිවිල් ආරක්ෂක බළකාය යටතට ගෙන, පෙර පාසල් ගුරුවරුන් පුහුණු කර, පාසැල් දරුවන්ට අතිරේක පන්ති පවත්වා ළමයින් අතර අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමට උත්සාහ කළා‘යැයි ඔහු පැවසූයේ විවාහ ගැටලු ඇතුළු සිය දුක්ගැනවිලි සඳහා සහන ලබා ගැනීමට දිස්ත‍්‍රික්ක දෙකේ සතර දිග් භාගයෙන් පැමිණි ජනතාව නිසා සිය කාර්යාලය කුඩා උසාවියක් බවට පත් වූ ආකාරය සිහිපත් කරමිනි.
දිස්ත‍්‍රික්ක තුනේ ජනතාවගේ සංස්කෘතිය, ජීවන රටාවන්, ආහාර පුරුදු, චර්යාවන්, ආගම සහ චාරිත‍්‍ර අධ්‍යයනය කිරීමත් සමඟ ඔහු තමා සහ උතුරේ ජනතාව අතර තිබූ පරතරය නැති කිරීම පිණිස දකුණු ඉන්දීය පුද්ගලයකුට ගැළපෙන ඇඳුම් ඇඳීමෙන් සිය බාහිර පෙනුම වෙනස් කර ගත්තේය.
‘ විශ්වාසය, ආයුධ රහිත බව, අවංකභාවය සහ මේ ජනතාවගේ හදවත් සහ සිත් දිනා ගැනීම සඳහා කැපවීම ප‍්‍රවර්ධනය කළ ‘එක් පවුලක්’ යන සංකල්පයක් අපි යොදා ගත්තා” යැයි ලුතිනන් කර්නල් බණ්ඩාර පැවසීය.
වසර 30කට ආසන්න කාලයක් එල්ටීටී පාලනය යටතේ ජීවත් වූ ජනතාවගෙන් 90%කට වැඩි, විශේෂයෙන්ම කිලිනොච්චිය සහ මුලතිව් ප‍්‍රදේශවල ජනතාව එල්ටීටී සංවිධානයට ඉතා දැඩි ලෙස සම්බන්ධව සිටිය ද සිවිල් ආරක්ෂක බළකාය කිසිදිනක ඔවුන්ගේ අතීතය හාරා බැලූවේ නැත.

රැකියා අවස්ථා නිර්මාණය

‘මා ඔවුන් විශ්වාස කරන බවට හැඟවීම සඳහා කිසි දිනෙක අවියක් රැගෙන ගියේ නෑ.ඔවුන්ගේම ජනතාවගේ නොසැලකිල්ලට භාජනය වූ ඔවුන් සිය අතීතය අමතක කර අභිමානය අපේක්ෂාවෙන් සිටිනවා. අප ඔවුන් සිවිල් ආරක්ෂක බළකායට බඳවා ගෙන ඔවුන්ට මූල්‍යමය වශයෙන් ආධාර කිරීම පිණිස අපේ පෞද්ගලික සබඳතා භාවිතා කළා. නමුත් ඔවුන්ට දිගු කාලීන සහයෝග අවශ්‍ය වේලාවයි මේ.” ඔහු අවධාරණය කළේය.
ඔවුන් වෙනුවෙන් රැකියා අවස්ථා නිර්මාණය කිරීම පිණිස උතුරේ කර්මාන්ත හෝ ස්වයං-රැකියා ව්‍යාපෘති ස්ථාපිත කරන ලෙසට ඔහු ධනවත් දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කළේය.
/

ඔවුන්ට චිත‍්‍රපට ශාලා සහ ක‍්‍රීඩාංගණ වැනි විනෝදාංශ කටයුතු අවස්ථා ද අඩු බවට ඔහු පැවසීය.
‘දිස්ත‍්‍රික්ක දෙකේම එකදු චිත‍්‍රපට ශාලාවක් නොමැති අතර ක‍්‍රීඩාංගණ ද වල්බිහිවී ඇත. බොහොමයක් මාපියන්ට ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් සැහැල්ලූ පන්දුවක් හෝ මිල දී ගැනීමට නොහැකියි. ළමයින් ක‍්‍රීඩාංගණ කෙරෙහි ආකර්ශනය කර ගැනීම සඳහා කිසිදු ක‍්‍රීඩා කටයුත්තක් හෝ නොමැතියි. වැඩි පිරිස නීතිවිරෝධී මත්පැන් පානය කරන අතර ඇත්තේ මිල අධික මත්පැන් අලෙවි කරන බලපත‍්‍රලාභී සුරාසැල් එකක් පමණක් නිසා නීතිවිරෝධී මත්පැන් ඉතා සුලබව ලබා ගත හැකියි” ඔහු කියයි.

සාමාජීය ප‍්‍රශ්න

ලූතිනන් කර්නල් බණ්ඩාරට අනුව මෙම තත්ත්වය මතට ඇබ්බැහි වූ සංඛ්‍යාව, සොරකම ඉහළ යාම, පවුල් ආරාවුල් සහ පවුල්වල මූල්‍යමය අර්බුද වැනි ගැටලු රාශියක් නිර්මාණය කර ඇති අතර මේ හේතුවෙන් ගතානුගතික දෙමළ සංස්කෘතිය තුළ සාමාජීය ප‍්‍රශ්න රැසක් මතු කර ඇත.
එක් කාලයක දී අවි අතට ගත් තරුණ ප‍්‍රජාව, අරමුණක් නොමැති අකර්මණ්‍ය තත්ත්වයට පත් කිරීමෙන් සැඟවුණු අරමුණු ඇති බලවේගවලට ඔවුන් පහසුවෙන් නොමඟ යැවීමට හැකියාව ඇති කරවන බවට ඔහු පැවසීය.
‘හිටපු කොටි සොල්දාදුවන් මෙයට වසර නමයකට පෙර වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන් කළ නමුත් අද වන විට ඔවුන්ට අවශ්‍ය කරන්නේ වෙනම රාජ්‍යයක් නොව, ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට අභිමානයෙන් ජීවත්වීමට ඉඩප‍්‍රස්තා සැලසෙන පරිදි ඔවුන් පෝෂණය කළ හැකි ස්ථාවර ආදායම් උත්පාදන මාර්ගයි.” ලූතිනන් කර්නල් බණ්ඩාර තවදුරටත් කියයි.

23total visits,6visits today