Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

තල් කොළ පොල් කොළ එකට තියා වියන
යාපන සරසවියේ සංහිඳියා කලාලය

2016 වසරේ යාපනය සරසවියේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමක් පාදක කර ගෙන ජාතිවාදී මත සමාජගත කරන්නට දෙපාර්ශවයේම අවස්ථාවාදී දේශපාලනඥයන් දැරූ උත්සාහය ව්‍යර්ථ වූයේ එහි සිංහල හා දෙමළ සිසුන් අතරේ වූ සංහිඳියාව නිසා ය. මේ ඒ ගැන නැඟෙන යාපනය විශ්ව විද්‍යාලය සෙවණේ සංහිඳියාවෙන් කල් ගෙවන සිංහල – දෙමළ සිසුන් හා සිසුවියන් ගේ හඬයි.

04.07.2018  |  
යාපනය දිස්ත්‍රික්කය

‘’දෙමළ යාළුවොත් එක්ක එකතු වෙලා කැම්පස් එකේ අපි අද ඉන්න විදිහ බැලුවහම එයාලා වෙනම ජාතියක් කියලා අපිට කොහොමටවත් හිතෙන්නේ නැහැ’’

යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන තමාරා වදන් ගළපන්නේ බොහෝ සෙයින් හැඟුම්බරවය. නොනවතින ලෙස රුධිරය ගැලූ බිමක් මත දෙපයින් සිටගෙන සිය අව්‍යාජ අදහස් නිර්භයව කියන්නට තරම් යාපනය විශ්ව විද්‍යාලය ඇයට ධෛර්යය ලබා දී තිබෙන බව ඉන් හැඟෙයි.

උතුරේ සහ දකුණේ ගැටුම් නිසා වැඩිපුරම ප්‍රශ්නවලට මුහුණ දුන්නේ වේදනා වින්දේ සිංහල හා දෙමළ තරුණ තරුණියන් බව නොරහසකි. යුද්ධය නිසා අහිමි වූ තරුණ ජීවිත දස දහස් ගණනකි. යුද්ධය නිසා අධ්‍යාපනය අහිමි වූ කඩාකප්පල් වූ තරුණ තරුණියන්ද විශාල ප්‍රමාණයකි. ඒ සමඟම යළි තරුණ අසහනයක් ඇති කරන්නට උත්සාහ කරන ඇතැම් දේශපාලන බළල් අත් රටේ තරුණ පිරිස් සිය ජාතිවාදී අතකොලු බවට පත් කරගන්නට දරන්නේ ද අපරිමිත උත්සාහයකි. මේ සියල්ල අතරේ වඩා ප්‍රබුද්ධ හා විවෘත මනසකින් පවතින තත්වය දෙස බැලිය හැකි තරුණ පිරිසක් රටේ ඉන්නා බවට යාපනයේ සිදු කළ සංචාරයකදීඅපට හොඳින්ම වැටහිණි. ඒ ඔවුනගේ පැසසුම්සහගත විචාරශිලිභාවය හේතුවෙනි.

 30 වසරක යුද බිම

තමාරා කුමාරසිරි යාපනය විශ්ව විද්‍යාලයට එන්නේ 2016 වසරේදීය. 2014 උසස් පෙළ විභාගයට පෙනී සිටින ඇය යාපනය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයට ඇතුළත් වෙන්නට වරම් ලබයි. වසර 30ක් යුද්ධය පැවති ප්‍රදේශයක සිය මව පියා ඇතුළු පවුලේ අයගෙන් ඈත්ව අධ්‍යාපනය ලබන්නට තමාරා එවන්නට ඇගේ පවුලේ උදවිය මුලදී එතරම් කැමැත්තක් නොදැක්වූහ. ඇගේ ගම් පළාත මහනුවරය. කුඩා කළ සිටම තමාරා හැදී වැඩෙන්නේ බෞද්ධ පදනමක් සහිත පවුල් පරිසරයක වීම මෙයට බලපෑ මූලික හේතුවකි.
‘පවුල්වල අයට විතරක් නෙවෙයි යාපනයට එන එක ගැන මටත් තිබුණෙ පොඩි සැක සහගත බවක්‘තමාරා කියයි.

‘’කැම්පස් එකේ අපිව රෙජිස්ටර් කරන්න එන දවසෙත් ආපහු එක්කගෙන යන තත්වයක තමයි අම්මලා හිටියේ. බලෙන් වගේ ඇවිත් තමයි රෙජිස්ටර් වුනෙත්. අපි මෙහෙට එද්දී තිබුණු තත්ත්වය මීට වඩා වෙනස්. යාපනය කියන්නේ යුද්ධය තිබුණු පැත්තක්. ඒ නිසා ඇත්තටම අපි මුලදී හිටියේ බයෙන්. හැබැයි කැම්පස් එකේ දෙමළ යාලුවෝ ආශ්‍රය කරන්න පටන් ගත්තට පස්සේ ඒ බය නැත්තටම නැති වෙලා ගියා’’

භාෂාව ගැටලුවක් නෙවෙයි

ජාතීන් අතර හොඳ සන්නිවේදනයක් පවත්වාගෙන යන්න භාෂාව යනු අනිවාර්ය සාධකයකි. කළමනාකරණ පීඨයේ ඉගෙනුම ලබන නිලුමි සේනාරත්න පවසන ලෙස සරසවියේ දෙමළ මිතුරන් සමඟ මිත්‍ර සබඳතා වැඩි කරගන්නට ඔවුන්ට භාෂාව ගැටලුවක් නොවිණි.

‘’මුලදී නම් හොස්ටල් එකේදී වුණත් හරිම අමුතුයි. අපි කියන එක එයාලට තේරෙන්නේ නෑ, එයාලා කියන එක අපිට තේරෙන්නේ නෑ. පොදු භාෂාව විදිහට මුලදී අදහස් හුවමාරු කරගත්තේ ඉංග්‍රීසි භාෂාවෙන්. පස්සේ පස්සේ වචන දෙක තුන අල්ලාගෙන එයාලත් ටික ටික සිංහල කතා කරනවා. අපිත් ටික ටික දෙමළ කතා කරනවා. දැන් අපි අතර කිසිම සන්නිවේදන ප්‍රශ්නයක් නැහැ.’’

චලනි, තමාරා, නිලුමි

යාපනය විශ්ව විද්‍යාලයේ උගන්නා සිංහල සිසුන් ප්‍රමාණය මේ වන විට වැඩි වී තිබෙනවා. සිසුන් පවසන ලෙස සමහර පන්තිවල සිංහල සිසුන් ප්‍රමාණය සියයට පනහකි. නේවාසිකාගාර කාමරවල නවාතැන් දෙන්නෙ සිංහල සිසුන් දෙදෙනකු හා දෙමළ සිසුන් දෙදෙනකු ඇතුළත් වෙන ලෙසිනි. සිංහල සහ දෙමළ ශිෂ්‍යයින් අතරේ මිත්‍රත්වය වර්ධනය වෙන්නට එය හොඳ පියවරක් බව කාගේත් අදහස ය.

‘’කොළඹ රුහුණේ ඉන්න ළමයින්ට වැඩිය ලොකු අත්දැකීමක් ජාතීන් එක්ක අපි ලබනවා කියලා හිතෙනවා. මේ මිනිස්සු ගැන තිබුණු ආකල්පය ඇත්තටම සිංහල ළමයෙක් විදිහට වෙනස්. හැබැයි දැන් වෙද්දී එයාලා අපිට වඩා තින්කින්ග් වලින් ඇඩ්වාන්ස් වෙන්න ඇති.’’

චලනි දිනුෂිකා තෙන්නකෝන් ඊට ඌනපූර්ණයක් එකතු කරමින් උතුරේ ජනතාවගේ අදහස්වලට ගෞරවයක් ලබා දුන්නාය. චලනිත් යාපනය විශ්ව විද්‍යාලයට 2017දී ඇතුළත් වුණු ශිෂ්‍යාවකි.

උතුරේ ජනතා අදහස්

තමාරා නැවතී සිටින්නේද යාපනයේ දෙමළ පවුලක් සමඟ ය.

‘’අදත් අපි නැවතිලා ඉන්නේ දෙමළ අයගේ ගෙවල්වල. අපි එයාලා මුහුණ දුන් ප්‍රශ්නවලට මුහුණ දුන්නා නම් අපි එයාලව මෙච්චර සහෝදරත්වයෙන් බාර ගනීවිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මගේ කවුරුවත් මට අහිමි වෙලා නැහැ. හැබැයි මගේ කාමරය එකට බෙදාගෙන ඉන්න මිතුරියට එයාගේ ඇස් ඉදිරිපිටදීම එයාගේ අය්යලා දෙන්නම සිංහල මනුස්සයෙක් අතින් මැරිලා. එයා කියනවා තමාරා මට ඔයා මගේ සහෝදරියක් කියලා පිළිගන්න පුළුවන්. අමතක කරන්න බැරි අර අමිහිරි අතීතය විතරයි කියලා. ඇය එහෙම හිතුවත් එච්චර දුරට හිතන්න මට නම් බැරි වෙයි.’’

දකුණේ විශ්ව විද්‍යාලවල නම් අවුරුද්දේ වැඩි දවස් ගණනක් සිදු වන්නේ අඬ දබර, සණ්ඩු සරුවල් ඇති කර ගැනීම ය. අනතුරුව සරසවිය වසා නිවාඩු දීම ය. යාපනය විශ්ව විද්‍යාලය දෙසින් එවන් සිද්ධි වාර්තා වීම අවම ය. 2016 වසරේ දී යාපනය සරසවියේ සිදුවූ එක් අවාසනාවන්ත සිදුවීමක් නිසා ජාතිවාදී මතයක් සමාජගත කරන්නට දෙපාර්ශවයේම අවස්ථාවාදී දේශපාලනඥයන් උත්සාහ දැරූ බවට සිසු සිසුවියෝ චෝදනා නඟති. සිංහල හා දෙමළ සිසුන් අතරේ වූ අඩදබරය ඉක්මණින් නිමා වීම එගිනි නිවෙන්නට හේතු විය.ඒ ගැන චලනි ගැළපුවේ වචන කිහිපයක් පමණි.

‘’ඒ සිද්ධියේදී ගහගෙන ප්‍රශ්නේ ඉවර වුණා. වෙනත් දකුණෙ කැම්පස් එකකදි වගේ තමයි. චුට්ටක් මරා ගත්තා. ඊට පස්සේ ප්‍රශ්නේ ඉවරයි. ලොකුවට ගියේ නැහැ’’

දකුණේ විග්‍රහය

විවිධ කාලවලදී උතුර ගැන සිදු කෙරෙන නොයෙක් අන්දමේ විග්‍රහ දකුණේ අහන්නට ලැබෙයි. අවියක්, මරාගෙන මැරෙන ඇඳුමක් ආරක්ෂක අංශ විසින් සොයා ගත්තද දකුණේ ඒ ගැන පුවත් මැවෙන්නේ අත්තටු ලැබුණු විලසිනි. මේ ප්‍රචාර නිසා කොටි නැවත ඔසවලාද? යුද්ධයක් නැවත එයිද? බෝම්බ පුපුරයිද වැනි නා නා විධ ප්‍රශ්න සහ තැති ගැනීම්වලට දකුණේ ජනතාව ලක් වෙයි. යාපනය සරසවියේ අධ්‍යාපනය ලබන මේ සිංහල සිසු සිසුවියන්ගේ දකුණේ වෙසෙන මා පියන් ද අනිවාර්යයෙන්ම මෙවැනි පුවත් නිසා බියට පත් වීම ස්වභාවික ය. ඒ ගැන චලනි දිනුෂිකා පවසන්නේ මෙවන් අදහසකි.

‘’සිංහල කියලා ඉස්සර හුඟක්ම කැම්පස් එකේ හිටියේ හමුදාවේ අයනේ. අපි ගිහින් කියන දේවල් එක්ක තමයි අපේ ගෙවල්වල අය, ගම්වල අය ඇත්ත තත්ත්වය දැන ගන්නේ. මාධ්‍යවලින් වුණත් ඇත්ත තත්ත්වය මිනිස්සු අතරට යන්නේ නැහැ. අපෙන් අහල පහළ අය අහනවා මොකද දැන් යාපනේ තත්වය? දැන් ප්‍රශ්න නැද්ද කියලා. අපෙන් අහද්දී මෙහෙ තියෙන ඇත්ත තත්වය අපි ඒගොල්ලන්ට කියනවා. ඒත් ඒගොල්ලන්ට ආරංචි වෙන්නේ වෙන දේවල්. ප්‍රවෘත්ති වල කියන්නේ එක දෙයක් එයාලට ආරංචි වෙන්නේ තවත් දෙයක්. ඒත් අපි කියන දේවල් එක්ක ඒගොල්ලෝ ඇත්ත මොකක්ද කියලා දැන ගන්නවා’’

සිංහල සිසුන්ට මෙන්ම දෙමළ සිසුන්ටත් දකුණේ මිනිසුන් ගැන තමන්ගේ ආකල්ප වෙනස් කරගන්නට සිංහල සිසුන් හා මුහු වීම අනිවාර්යයෙන්ම ලොකු පිටුබලයක් වනු ඇත. කෙසේ වෙතත් සිංහල දෙමළ භේදයකින් තොරව මේ සිසුන් එකිනෙකා අතර දකින්නට ලැබුණේ සහෝදර ප්‍රේමයකි.

/

තුෂියන්තන්

සහෝදර ප්‍රේමය

තුෂියන්තන් යාපනය විශ්ව විද්‍යාලයේ කලා අංශයේ අධ්‍යාපනය ලබන දෙමළ ශිෂ්‍යයෙකි. ඔහු පවසන්නේත් සිංහල සිසුන් ගැන මුලදී තිබූ ආකල්පය ඔවුන් ඇසුරු කිරීමෙන් පසුව වෙනස් වූ බවය.

‘’අපි හිටපු ප්‍රශ්නත් එක්ක සමහරවිට වැරදි අවබෝධ හුඟක් තිබුණා. සිංහල සිසුන් එක්ක වුණත් එකට ඉන්න මුලදී කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් පස්සේ අපිට තේරුණා ඒ අයත් මානුෂීය හැඟීම් තියෙන බොහොම අහිංසක අය කියන එක. ඇත්තටම අපි අතර කිසිම බේදයක් නැහැ. කව්රුහරි අපිව බෙදා වෙන් කරන්න හැදුවත් එහෙම කරන්න බැරි බැඳීමක් තමයි අපි අතර තියෙන්නේ.’’

දැනුම වැඩියෙන් ලැබෙද්දී පවුරු පදනම් බිඳ වැටෙමින් මනුෂ්‍යත්වයට ඉඩක් ලැබෙනවා යන කියමන මේ විශ්ව විද්‍යාල සිසුන්ගෙන් සනාථ වන්නේ අපූරුවටය. යහපත් රටක් නිර්මාණය කරන්නට ඔවුන්ගේ මේ අදහස් ඉමහත් දායකත්වයක් සපයනු නො අනුමාන ය.

12total visits,4visits today