Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

විසල් අගනුවර නෙත් යට සැඟවුණු
බම්බලපිටිය දුම්රිය වත්ත

බස්නාහිර පළාත ම උඩු යටිකුරු කරන මෙගා පොලිස් ව්‍යාපෘතියේ වැඩකටයුතු ලහිලහියේ සිදු වෙමින් පවතියි. ඒ අරබයා අහස උසට ඉදි වුණු සුවිසල් ගොඩනැඟිලි දසත සිසාර දිස් වෙයි. මේ කතාව ඒ සෙවණැලිවලට වැසී නොපෙනී පවතින බම්බලපිටිය දුම්රිය වත්තේ පැල්පත් ගැන ය.

10.07.2018  |  
කොළඹ දිස්ත්‍රික්කය

“ මගේ තාත්තා දෙමළ මගේ අම්මා සිංහල. පොඩිකාලේ ඉඳලම දෙමළ සිංහල දෙකම කතාකරපු නිසා මේ භාෂා දෙකම මට පුළුවන් ” යැයි බම්බලපිටියේ දුම්රිය වත්තේ වෙසෙන නිලූකා නිල්මිණි සිනාමුසු මුහුණින් පිළිතුරු දුන්න ද ඒ සිනහව යට රැඳුණු මහා ඛේදවාචකයක් පිළිබඳ කතාවක් අප හමුවේ දිග හැරෙන්නට වැඩි වේලාවක් ගතවූයේ නැත.

අහස උසට ගොඩනැගෙන නවින ගොඩනැගිලි සමූහයක් මැද තවමත් මෙලොවට අනාවරනය නොවූ පැල්පත් කෙතරම් ඇත්දැයි යමෙකු විමසුවහොත් කොළඹ අගනගරයේ එවැනි තැනි නොමැති බවට තර්ක කරනු ඇත. නමුත් ඇත්ත එය නොවේ. බම්බලපිටියේ දුම්රිය වත්ත ලෙස හැදින්වෙන පැල්පත් නිවාස මීට ඇති හොදම නිදසුනකි.

මෙරට ඉංගිරිසි පාලන සමයේදී කොළඹ අගනගරයේ සිට දකුණු පළාත යාකෙරෙන ප්‍රධාන දුම්රිය මාර්ගයේ බම්බලපිටිය දුම්රිය ස්ථානය ඉදි කළ අවස්ථාවේදී දුම්රිය ස්ථානයේ පැවැත්ම සදහා ඊට ඉදිරියෙන් ඇති මහ මුහුදේ රළ පහර වැළැක්වීම සදහා එවකට සිටි සුදු පාලකයෝ විශාල තාප්පයක් වැනි බැම්මක් ඉදි කළහ. මුහුදු කෑමෙන් ගොඩබිම ආරක්ෂා කර බම්බලපිටිය දුම්රිය ස්ථානයට ආරක්ෂාවක් ලබාදීම එහි අරමුණ විය. වර්තමානය වන විට මේ විශාල තාප්පය එක් පසෙක බිත්තියකට පරිවර්තනය කරගනිමින් පැල්පත් සමූහයක් ඉදිවීම වර්තමාන අපිළිවෙළ ජනාවාසකරණයේ අඳුරු පැතිකඩ විදහා දක්වන්නකි. බම්බලපිටිය දුම්රිය වත්ත ලෙස හැදින්වෙන ලෑලි කාඩ්බෝර්ඩ් වැනි දෑ භාවිතයෙන් ඉදි කර ඇති මෙම පැල්පත් සමූහයට ඇත්තේ වසර තිහකට අධික ඉතිහාසයකි.

නිලූකා නිල්මිණි – සිසිර කුමාර

‘අපි මෙහෙට ඇවිල්ල අවුරුදු තිහක් විතර වෙනවා.අපිට අපේ කියල පෙන්නන්න කිසිම දෙයක් නෑ. හැඳුනුම් පත් නැහැ. මේ ළඟදී පොටෝ ගහල තාවකාලික හැඳුනුම්පත් ලබා දුන්නා චන්දෙ නිසා. එදාම හවස ඒවා ආපහු එකතු කර ගත්තා. මේ වත්තෙ ඉන්නවා උප්පැන්න සහතිකයක් වත් නැති මිනිස්සු. අම්ම තාත්ත කවුද කියන්න දන්නෙ නැහැ. උපන්න දවස කියන්න දන්නෙත් නැහැ. විශ්ව විද්‍යාලවලින්, වෙන වෙන තැන්වලින් ඇවිත් අපිව පොටෝ ගහගෙන යනවා. ඒත් මේ වෙනකං වෙච්ච‍ සෙතක් නෑ. හතර වටින්ම පේන්නේ මහ ලොකු බිල්ඩිං. ඒත් අපි ගැන හොයල බලන්න ඒ මහ ලොකු බිල්ඩිංවල ඉන්න කවුරුත් එන්නෙ නෑ‘

නිලූකා නිල්මිණි බම්බලපිටිය දුම්රිය වත්තේ තම සහෝදර ජනතාව පෙළන දුක් දොම්නස් සාරාංශ කරයි.

නූතන බිම්ගෙයි සිරකරුවන් ලෙස දිවි ගෙවන මෙම පැල්පත් නිවාස විසිහතරක සිංහල, දෙමළ හා මුස්ලිම් පවුල් විසිහතරකට අයත් එකසිය පනහක පමණ පිරිසක් දිවිගෙවති. නිවසකට ඇතුළුවීමේ දොරක් හැරෙන්නට වෙනත් දොර ජනෙල් කිසිවක් නැති මෙම පැල්පත් නිවාසවල නිදාගැනීමේ පහසුකම් ඇත්තේ නිවාස කිහිපයක සුළු පිරිසකට පමණි. වැඩිපිරිසක් නිදා ගැනීම සඳහා යොදාගන්නේ කාඩ්බෝඩ් කැබලි හෝ පත්තර පිටු ය.

නදීශා සඳමාලි බම්බලපිටිය දුම්රිය වත්තේ තවත් සාමාජිකාවකි. තමන්ගේ මෙන් ම තම දරුවන්ගේ ද අනාගතය යහපත් වනු දැකීම ඇගේ ද අපේක්ෂාවයි.
මහමුහුදට අඩි දෙකතුනක දුරින් ඇති මෙම නිවාස දිනපතාම මුහුදු රළින් තෙත්වන්නේ කිසිදු හිතක් පපුවක් නොමැතිවය. නිරතුරු නිවෙස්වලට කඩා වදින මුහුදු රැල්ල ද, ඒ සමඟ ම ගෙවල් ඇතුළේ ගොඩ ගැසෙන මුහුදු වැල්ල ද ඇගේ දිවියේ ප්‍රධානතම සතුරන් ය. ඒ තම දරුවනට ඉන් ඇති විය හැකි ලෙඩ දුක් හා රෝගාබාධ සිහිපත් වන කල්හි ය.

නදීශා සඳමාලි

‘මේ වත්තෙ ඉන්න පුංචි දරුවන්ට මේ වටාපිටාව ගැළපෙන පරිසරයක් නෙවෙයි.අපි ආසයි මෙහෙන් පිටවෙලා යන්න. අපි හරි ආසාවෙන් ඉන්නවා අපිටම කියල පොඩියට හරි පහසුකම් තියෙන තැනකට යන්න.අපි ඉල්ලන්නේ අපේ දරුවන්ට පාසල් යන්න පුළුවන් පහසුකම් තියෙන තැනකට අපි ගෙනියන්න කියල. අපිට අඩුවක් නැතුව පොරොන්දු නම් ලැබුණා. ඒ වුණත් ඒ කිසිම පොරොන්දුවක් මේවෙනකම් ඉෂ්ඨ වුණේ නැහැ .කෝච්චි යන එනකොට අපි හරි බයයි පොඩි දරුවන් ඉන්න නිසා. අපේ ප්‍රශ්න කාටවත් තේරෙන්නේ නෑ. ඒවා තේරුම් ගන්න උත්සාහ කරන්නේවත් නැහැ.

යම්තම් වටකරගත් වැසිකිළි සියල්ල මහමුහුදට මුහුණලා ඇති ගල්වැටියේ ඉදිකර ඇති අතර මොවුන්ගේ ප්‍රධානතම ජීවිකාව වී ඇත්තේ කුලීවැඩවල නිරතවීම ය. නැතහොත් කොළඹ නගරයේ තැන්තැන්වල වැටී ඇති කාඩ්බෝඩ් කැබලි එකතුකර අලෙවි කිරීම ය. උපයා ගන්නා මුදලින් ජීවත්වන ඔවුන් මුදල් ඉතිරිකිරිම පිළිබදව කිසිවක් දන්නේම නැත. මිනිසාගේ පැවැත්ම සම්බන්ධ මූලික වුවමනා පිළිබඳ ඔවුනට ඇත්තේ අපිරිමිත බලාපොරොත්තු රැසකි. එනමුදු ඒවා තවදුරටත් සිහින ම පමණකි.

බම්බලපිටිය දුම්රිය වත්තේ වෙසෙන දඩල්ලගේ සිසිර කුමාර තිස් වසරක් පුරාවට මේ දුක අත්විඳි තවත් තැනැත්තෙකි. දිවා කල කුලියක් මලියක් සොයා ගන්නට වෙර දරන ඔහු, රාත්‍රිය මුළුල්ලේ නින්දත්, අඩ නින්දත් අතර දිවි ගෙවන්නේ දිවිය මෙන් ම අවිනිශ්චිත මුහුදේ හැසිරීම ගැන ද විශ්වාස නොකළ හැකි නිසා ය.

විසල් අගනුවර බම්බලපිටියේ දුම්රිය වත්ත

‘මං කුලී වැඩ කරලයි ජීවත්වෙන්නේ. සමහර දවස්වලට අත්උදව් දෙන්න යනවා. සමහර දවස්වලට රුපියල් දාහක් විතර හොයාගන්නවා. ඒ මුදල යන්තම් කන්න බොන්න ඇති. ණය තුරුස් ගෙවල දැම්මාම ඉතිරිවෙන කිසි දෙයක් නැහැ. වැඩිපුරම කරන්නේ ටවුමෙ ඇවිදල කාඩ්බෝඩ් එකතු කරන එක.
අපි වෙන තැනක පදිංචිකරවනවා කියන එක ඇහිල දැං ඇතිවෙලා තියෙන්නේ. පොරොන්දු කියන එකේ සීමාවක් නැහැ.අපිට කිසිම සහනයක් මේවෙනකං කාගෙන්වත් ලැබුණේ නැහැ. අවුරුදු තිහකට වැඩිය කාලයක් අපි ගෙවන්නේ පුදුම දුකක්. හරි හැටියට වැසිකිළියක් නැහැ.බොන්න වතුර ටිකක් නැහැ.ඒ මදිවට රැල්ල ගහල අපේ ගෙවල් තෙමෙනවා.රෑ නිදාගෙන ඉන්නකොට රැල්ල ආවාම පුදුම දුකක් අපේ ජීවිත ගැන හිතෙන්නේ. අපේ වත්තට එක පැත්තකින් පේන්නේ පෝර්ට් සිටිය.අනික් පැත්තේන් මහා ගොඩනැගිලි.මේ දෙක අතරට වෙලා අවුරුදු තිහක් අපිගතකරන ජීවිතය මේ රටේ මහ මිනිස්සුන්ට නොපෙනෙන එක තමයි පුදුමේ.

බම්බලපිටිය දුම්රිය වත්තේ දී අප සමඟ අදහස් පළ කරන්නට ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වූ ඇය
ලොව පැරණිම රැකියාව යැයි සමාජ සම්මත වෘත්තියේ නිරත වන්නියකි. තමන් නිරත වෘත්තිය හෙළි කරන්නට කිසිදු පැකිලීමක් නොදැක් වූ ඇය බම්බලපිටිය දුම්රිය වත්තේ දිවි ගෙවන ජනනතාව පොදුවේ මුහුණ දෙන ගැටලු දෙස බලන්නේ සානුකම්පික දැක්මක් පෙරදැරි කර ගත් ඇසකිනි.

අග මුල නැති මහ මුහුදට නිරාවරණය වූ බම්බලපිටියේ පැල්පත් නිවාස

‘මට වයස අවුරුදු පනස් තුනයි. මට එක දරුවෙක් ඉන්නවා. මනුස්සයා මේ වෙනකොට සිරගතවෙලා ඉන්නේ. මට කරන්න දෙයක් නැති නිසා තමයි මේ රස්සාව කරන්නේ.මටත් නිතරම හිරගෙදර යන්න වෙනවා මගේ රස්සාව නිසා. අපේ වත්ත ගැන මිනිස්සු නොයෙකුත් කතා කියනවා. ඒක හරිම අසාධාරණයි. වත්තේ හැමෝම මංවගේ නෙවෙයි.ඒ අයට ජීවත්වෙන්න වෙන මොනවාහරි කරනවා. මේ මහ නගරේ අපිට උදව් කරන්න කවුරුත් නැති එක තමයි මේ හැම දෙයකටම මුල වෙලා තියෙන්නේ. අපිට තියෙන එකම අයිතිවාසිකම තමයි මරණයක් වුණාම බොරැල්ල කනත්තේ අවසාන කටයුතු සිද්ධකරන්න ලැබෙන එක. කොළඹ නගරෙ ලස්සන කරන්න කතා කරන අයගේ ඇස් අපේ පැත්තට යොමුවේවා කියල තමයි අපිට කියන්න තියෙන්නෙ.‘

බම්බලපිටිය දුම්රිය වත්තේ පැල්පත් අහස උසට ඉදි වුණු සුවිසල් ගොඩනැඟිලිවල සෙවණැලිවලට වැසී නොපෙනී පවතින මොහොතෙක බස්නාහිර පළාත ම උඩු යටිකුරු කරන මෙගා පොලිස් ව්‍යාපෘතියේ වැඩකටයුතු ද ලහිලහියේ සිදු වෙමින් පවතියි. මෙගා පොලිස් ව්‍යාපෘතිය යනු ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන, සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීමේ අරමුණෙන් යුතුව වත්මන් ආණ්ඩුව ඇති කරගත් අභියෝගාත්මක අරමුණක් ලෙස අර්ථ ගැන්වෙයි. සැලසුමකින් තොරව සිදු වුණු නාගරීකරණය නිසා පරිසරය මතත්, නාගරික සේවා සහ පහසුකම් මතත්, ප්‍රදේශයේ භෞතික යටිතල පහසුකම් මතත් ඇති වී තිබෙන තදබදය හා පීඩනය නිසා හට ගන්නා ගැටලුවලට පිළියම් සෙවීම එහි මුඛ්‍ය අරමුණක් සේ පැවසෙයි.අගනගරේ මහා සංවර්ධන ව්‍යාපෘති රැසකට මැදිව බම්බලපිටිය දුම්රිය වත්තේ ජීවිකාව ගෙනයන හඬක් නැති මිනිසුන්ට ජීවයක් ලබා දී, ඔවුන් සමාජයේ හඬක් හිමි පිරිසක් බවට පත්කිරීමට මෙම මෙගා පොලිස් ව්‍යාපෘතිය යටතේ යමෙකුට පිඹුරුපත් සැකසිය හැකිනම් සැබැවින්ම එය නව කොළොම්පුරයේ වර්ණයට ගැළපෙන අලුත් වර්ණයක් සොයාගැනීමක් වනු නොඅනුමාන ය.

 

24total visits,2visits today