Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

වෙනස නොපිළිගැනීම
මේ හැම දේකට ම මුලයි

සුරාජ් ලෙස හඳුන්වන සාමාන්‍ය තරුණයෙකු වන ඔහු විශේෂ කෙනකු බවට පත් වන්නේ යල් පිනූ ඇතැම් මතවාද කරපින්නාගත් අයට පමණි. සුරාජ්ගේ සමලිංගිකභාවය අද වන විට ඔහුගේ පවුලට හෝ මිතුරු මිතුරියනට කිසිදු ගැටලුවක් ව නොපවතියි. ඔහු පිළිබඳ පවුල තුළ වන අවබෝධය සුරාජ්ට දැනෙන්නේ ද සැනසීමකි. ඒ සැනසීම දෙදරා යන්නේ තවමත් සුරාජ්ලා පිළිගන්නට සූදානම් නොවන සමාජය හමුවේ ය.

12.07.2018  |  
කොළඹ දිස්ත්‍රික්කය

LGBTIQ ප්‍රජාව සමාජයෙන් කොන් කර සිටින අයිතිවාසිකම් අහිමිව සිටින අපේම මිනිසුන් පිරිසක් වන අතර ජීව විද්‍යාත්මකව ඇති වූ වෙනස්වීම් මත ඔවුන්ට අසමාන ලෙස සැලකීම කිසි ලෙසකින්වත් පිළිගත නොහැකි කරුණක් බව සුරාජ් කියයි. මේ සුරාජ් සමඟ LGBTIQ ප්‍රජාව සම්බන්ධ ශ්‍රී ලාංකික සමාජයේ පවතින අදහස් පිළිබඳ කතාබහකි.

පවතින සමාජ සම්මතයට වෙනස් දෙයක් වෙනවා කියලා දැනුණෙ කවදද? කොහොමද?

පොඩි කාලෙ මට කිසි දෙයක් උගන්නන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ කාලෙ ගෙදරින් මට නංගී මල්ලී කියලා කතා කරනවා. ඉස්කෝලෙදි මට වෙනත් නම් කියනවා. පස්සෙ තමයි ඇත්තටම දැනගත්තේ ඒ වචනවල තේරුම මොකක්ද කියන එක. පොඩි කාලෙ ඉඳන් මට පිරිමි ළමයින් ගැන කැමැත්තක් තිබුණා. ඉස්කෝලේ හැමදාම මම ආස කරන ශිෂ්‍ය නායකයෙක් හිටියා. එහෙම වෙනසක් දැනුනත් කවදාවත් මං අනිත් මිනිස්සුන්ගෙන් පිටස්තර කෙනෙක් කියලා මට දැනුනේ නැහැ.

ඇත්තටම මට මේක දැනෙන්න පටන් ගත්තේ ඕ ලෙවල්වලින් පස්සෙයි. අනිත් අයට වෙන විදිහකට වෙද්දි මට මෙහෙම වෙන්නෙ කොහොමද කියලා හිතුණා. මං හැදී වැඩුණේ රෝමානු කතෝලික පරිසරයක. අට වසරේ මගේ එක් අච්චු පොතක පොතක තිබුණා ඇඟිලි සළකුණ දාපු පාඩමක්. ඒකෙ මාතෘකාව තිබුණෙ ‘මම කවුද’ කියලයි. ඒ නිසා මේ ගේ කතන්දර දැනගන්න ඉස්සෙල්ල පොඩි කාලෙ ඉඳන්ම අපි හැමෝම වෙනස් පුද්ගලයො නේද කියන එක මට හොඳටම කා වැදිලා තිබුණු දෙයක්. මා තුළ මා හොයා ගැනීම හරහා මට මගේ වෙනස පිළිගන්න පුළුවන්කම ලැබුණා.


අපේ ප්‍රජාව තුළත් තියෙන ප්‍රශ්නයක් තමයි තමන්, තමන් පිළිගන්නෙ නැතිකම.

සමාජයේ ප්‍රශ්න, විවේචන, නීතිමය ප්‍රශ්න හැම දෙයක්ම අපි සම්බ‍න්ධයෙන් තියෙන එක ඇත්ත. හැබැයි මේ වගේ පරිසරයක් තුළ මට මං වෙලා ජීවත් වෙන්න පුළුවන් වුණ එක පුදුම නිදහසක්. හෙට මැරුණත් මං කිසි දෙයක් හිරකරගෙන නැහැ වගේ දෙයක් මට දැනෙනවා. ඒ වගේම මේක අති විශේෂත්වයක් විදිහට මට අද වෙනකනුත් දැනෙන්නේ නැහැ. සමාජයට ගියාම මං ‘ගේ‘ කියල කවදාවත් කියන්නේ නැහැ. එහෙම අවශ්‍යතාවක් නැහැ මං ‘ගේ‘ කියලා හඳුන්වා දෙන්න. මං සුරාජ් එච්චරයි. මොකද මං කාගෙන්වත් ඔයාගේ ලිංගිකත්වය මොකක්ද කියලා අහන්න යන්නෙ නැහැ නෙ. අම්මගෙ නංගිලා සේරම සිංහල. හැබැයි ඒ ගොල්ලන්වත් කවදාවත් මගෙන් අහලා නෑ ඔය ‘ගේ‘ කතන්දර. අපේ අම්මා බැරිවෙලාවත් කිව්වොත් මෙයාගේ වයසේ අනිත් කට්ටියත් බැඳලා කියලා මගේ පුංචි තමයි අම්මට බහින්නේ උගේ පාඩුවේ උඩ ඉන්න දීපං කියලා. ඒගොල්ලෝ දැකලා තියෙනවා මගේ ජීවිතය තුළ මං මා අඳුනගෙන තියෙනවා කියලා.

මේ ගැන ඔබේ අම්මා තාත්තා මොකද කියන්නෙ?

මගෙ ඩයරි එකේ ඉස්සර මං හැමදේම ලියනවා. පළවෙනි පෙම්වතා හම්බ වෙලා ඉඳිද්දි මගේ අම්මා ඩයරිය කියෙව්වා. අම්මා එක මගෙන් ඇහුවා. අපේ තාත්තා හවස ගෙදර එනකොට අම්මා ඕක එක දෙක කරලා කියනවා කියලා මං දැනගත්තා. ඒ නිසා අම්මා කියන්න ඉස්සෙල්ලා මං තාත්තට කියන්න ඕනි කියල හිතුවා. මගේ තාත්තා බර්ගර් ජාතිකයෙක්, අම්මා සිංහල. මං තාත්තට ඇත්ත කතාව කිව්වා. මම තාත්තට කිව්වා ‘I think I am a gay‘ කියලා. පළවෙනි දවසේ රෑ තමයි හරිම ටෙන්ෂන්ම දවස වුණේ. මගේ ජීවිතේ පළවෙනි වතාවට සියදිවි නසාගන්න කියන අදහසක් ඇති වුණේ එදායි. කොට්ටේ යට මං පිහියක් හංගගෙන හිටියා. ඒ බය, හැඟීම මට විස්තර කරන්න අමාරුයි. මේ දේ වුණේ 1997 දියි. එතකොට මට වයස අවුරුදු 18 යි. තාත්තා මට ඇවිල්ලා කිව්වා බඳින්න කියලා. ආපහු මේක දැනගත්තොත් ගෙදරින් එළවනවා කිව්වා.


විවාහය කියන්නෙ නීතිමය බැඳීමක් විතරයි.

මගේ පල්ලියේ යාළු අක්කා කෙනෙක් හිටියා. එයාගෙ තාත්ත වාමාංශික පැත්තට බර කෙනෙක්. ඊළඟ දවසේ මං ගියේ අංකල්ගේ ගෙදරට. ඒ ගිහින් අඬද්දි අංකල් මට කිව්වා, ‘පුතා අඬන්න එපා ඔයා හිතනවා නම් ඔයා කරන්නේ වරදක් කියලා අපි ඔක්කොම වැරදි කාරයෝ.‘ ඒ මනුස්සයා එහෙම කියපු එක හොඳයි. මොකද මට මෙහෙම වෙච්ච නිසා අද මට ලොකු නිදහසක් දැනෙනවා.

විවාහ වෙන්න කැමතිද?

විවාහය කියන්නෙ නීතිමය බැඳීමක් විතරයි. අපි බලන්නෙ ඒක නෙවෙයි. ආත්මීය සහ ශාරීරික බැඳීමක්. තාම විවාහ වෙන්න හිතලා නැහැ. එහෙම දැනිලත් නැහැ. දරුවෙක් ගැන අවශ්‍යතාවක් ඇති වෙලා නැහැ. ඉස්සරහට ඇති වෙයිද දන්නෙත් නැහැ. පිරිමි ළමයි ගෙදරට ඇවිත් අපි එක කාමරේ ඉන්නවා. ගෙදරින් කිසිම බාධාවක් නැහැ.

සමාජයෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද?

දණ්ඩ නීති සංග්‍රහයේ 365, 365 A 399 වගේ වගන්ති ඉවත් කරන්න හෝ සංශෝධනය කරන්න කියන එකයි අපේ ප්‍රධාන ඉල්ලීම. මේක යටත් විජිත කාලේ ආපු හරිම යල්පැන කියපු නීතියක්. ඒ කාලෙ බයිබලය මත පදනම්ව ඇති වූ නීති. වෙනත් කෙනෙකු විදිහට පෙනී සිටීම කියන වරදයි මේකට අහු වෙන්නේ. සංක්‍රාන්ති ලිංගිකයකුට වෙනත් අයකු විදිහට පෙනී සිටීම කියන එක වැරදියි. ඒ නීතිය අදහස වුණේ සමහර පුද්ගලයෝ වෙස්වලාගෙන යම් යම් අපරාධවලට සම්බන්ධ වීම කියන අර්ථයෙන්. සංක්‍රාන්තික ලිංගිකයකුට එක කොහෙත්ම බලපාන්නේ නැහැ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මේ සම්බන්ධ ප්‍රතිපාදන ඇති කරලා අපටත් ආරක්ෂාවක් දීලා තියෙනවා නම් අනෙකුත් අසමාන නීති පසුව වෙනස් කරගන්න පුළුවන්.

34total visits,6visits today