Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

දෙදරා ගිය බිත්තිවලට යටවුණු
වෑකන්ද මහල් නිවාස ජීවිත

මේ කතාව කොන්ක්‍රීට් වනාන්තරය මැද ඉදි වූ රූස්ස ගහකොළින් වැසුණු ගොඩනැඟිල්ලක් සහිත හරිත නගරයක් ගැන නොවේ. නොසලකා හැරීම හේතුවෙන් මරණ වරෙන්තුව අත දරා දිවි ගෙවන කොළඹ කොම්පඤ්ඤ වීදියේ වෑකන්ද මහල් නිවාස සංකීර්ණය හා එහි වෙසෙන්නන් ගැන ය.

13.07.2018  |  
කොළඹ දිස්ත්‍රික්කය

‘‘ මං යන්නේ නම් කොළඹ ලොකු ඉස්කෝලෙකට.ඒ ඉස්කෝලෙට ලස්සන ලොකු ගෙවල්වල ඉඳලා එන අය තමා ගොඩාක් ඉන්නේ. මට නම් ඉන්නේ අහවල් වත්තේ කියලා කියන්න ලැජ්ජයි. මොකද අනෙක් අය මට විහිළු කරනවා කුණු ගොඩේ ඉන්න ළමයා කියලා. ඒක දරා ගන්න අමාරුයි. අපට අලුතින් හොඳ ගෙවල් හම්බ වෙනවා කියලා කතාවක් තියනවා. එහෙම වුණොත් නම් හොඳයි. එතකොට කවුරුවත් ආයේ මට ‘කුණු ළමයා‘ කියලා කියන්නේ නැති වෙයි‘‘ පැවැසූවේ කොළඹ කොම්පඤ්ඤ වීදියේ වෑකන්ද විතානගේ මාවතේ මහල් නිවාස සංකීර්ණයේ පදිංචි දිනුක දම්සර සිසුවා ය.

දිනුක 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. දිනුක වැනි ළමයින් තවත් විශාල පිරිසක් මේ නිවාස වල සිට විවිධ මට්ටමේ පාසල් වලට යති. ඔවුන් හැම දෙනෙක් පාහේම පාසලේ දීත් සමාජයේ දීත් මේ කුණු කතාව අසති. ඔවුනට කුණු නාමයක් පටබැඳෙන්නේ දෙදරා කඩා වැටෙන්නට ඔන්න මෙන්නව ඇති ඔවුන්ගේ තට්ටු නිවාස වල ඇති සනීපාරක්ෂක මට්ටම අනුව ය.මේ කුණු ජීවිතයෙන් මිදෙන්නට සාමූහිකව යත්න දරණ සිංහල දෙමළ මුස්ලිම් පවුල් සියගණක් මේ වන විට වාසය කරන්නේ මරුවා සමඟ ය.

කොම්පඤ්ඤ වීදියේ වෑකන්ද නිවාස යෝජනා ක්‍රමයේ ජීවත් වන පවුල් 114 කට අයත් 700ක පිරිසක් මේ වන විටත් ගෙවමින් සිටින්නේ අන්ත අසරණ ජරාජීර්ණ ජීවිතයකි. 1947 වර්ෂයේ ඉදිකර තිබෙන මෙම නිවාස යෝජනා ක්‍රමය වෙනත් ඉදිකිරීම් හේතුවෙන් නිවාස අහිමි වන පවුල් සඳහා වෙන් කරන ලද නිවාස යෝජනා ක්‍රමයකි. නිවාස සංවර්ධන අධිකාරියට අයත් සහාධිපත්‍ය කළමනාකරණ ආයතනය මඟින් නඩත්තු කටයුතු සිදු කළ මෙහි කිසිදු නඩත්තු කටයුත්තක් 2003 වසරෙන් පසුව සිදු කර නොමැත.


මෙහි වෙසෙන ජීවිත වසාගෙන ඇත්තේ වල් පැළ වලිනි.

පැරණි තට්ටු නිවාස පෙළ බිත්ති මත පැළ වී බූවල්ලෙකු මෙන් බිත්ති දොර ජනෙල් සියල්ල වසාගෙන ඒ ගස් වැල් අහසට නැග ඇත. ඇතැම් බෝ පැළවල මුල් තට්ටු තුන හතරක් උස ගොඩනැගිලි වල කොංක්‍රීට් කණු බොල්කරවා බිත්ති දෙදරවා දිය කාන්දු ඇති කරවා තිබේ.

දෙදරා ගිය බිත්ති හා කොංක්‍රීට් නිවාස කට්ටල ඇතුළේ මුලුතැන් ගෙවල් නානකාමර ආදියේ බෝගස්වල මුල් මතුව තිබේ. ඒ තැන්වල කපරාරුව ගරා වැටුණු පසු නැවත බදාම තවරා විනාශය වසන් කර ගන්නට ඒ ගෙහිමියන් දරා ඇත්තේ අපමණ උත්සාහයකි.කපරාරු ගරා වැටුණ තැන් මහල් ගොඩනැගිලි ඇතුලේ මෙන් ම පිටපැත්තේ ද කොතරම් ඇතත් ඒ දසුන් ඇසට හුරුවීම නිසා පදිංචිකරුවන්ට දැන් ඒවා නොපෙනන සේ ය.

බට පුපුරා කාන්දුවන අප ජලය හා අවහිර වු ජල මාර්ග

බට පුපුරා කාන්දුවන අප ජලය හා අවහිර වු ජල මාර්ග නිසා දිය රැඳුණු තැන් දුඟද පමණක් නොව මදුරුවන් ද ඇති කරන තිප්පොලවල් ය. ගරා වැටන දෙබොක්කාවල් අහුමුලු ආදිය අස්සේ පිරී ඇත්තේ හිස් බීර බෝතල්, අරක්කු බෝතල්, විසි කළ සිගරැට් පෙට්ටි ආදියයි. මේ තැන් හරස් කරගෙන මතින් නිදිකිරන ජීවිත අමුත්තෙකුට ගෙන දෙන්නේ බියකි.

ඔවුන් කෙරෙන් නිකුත්වන අනාරක්ෂිත බව ගණනකට නොගෙන සිටින්නට ඒ අසල කෙළිදෙලෙන් දඟලන ළමා ළපටියෝද නව යෞවනියෝ ද බිය නොවෙති. අමුත්තෙකු පැමිණෙන විට ඇස් ලොකුකර බලන, නිරන්තරව ත්‍රස්තව සිටින මේ මත් ජීවිත බිය ගන්වාගෙන එහි පුරවැසියෝ කළ හැකි වෙනත් යමක් නැති නිසා සියල්ලට ඔරොත්තු දී සිටින සැටියකි.

‘‘ රාමලාන් අවුරුදු කාලේ ආණ්ඩුවේ මැති ඇමති තුමාලා ඇවිත් අපට කිව්වා, අවුරුද්ද ඉවර වෙච්චි ගමන් අපිව අලුත් තැනකට ගෙනිහිල්ලා පදිංචි කරලා, ඊට පස්සේ මේ ගරා වැටෙන ගොඩනැගිල වෙනුවට අලුතින් හදලා දෙනවා කියලා.ඒ අයම කීවා ඔයාලා මේවගේ ඉන්න බය නැද්ද? මේවා කඩා වැටිලා ඔයාලා මැරුණොත් ඉවරයි. මෙහෙම ඉන්නඑපා. ඉක්මනට යන්න ලෑස්තිවෙන්න ඕනෑ කියලා, අපිවත් බයකළා.

/

රාමලාන් ඉවරවෙලා දැන් බොහෝම කල්.ඒත් ඒ කියපු අය දැන් ඒ ගැන කතාවක් නෑ. මේ ගෙවල් කොයි වෙලාවෙ කඩා වැටිලා අපි සේරමලා යටවෙයිද කියලා අපි පුදුම බයකින් ඉන්නේ.මේ පුංචි දරුවොත් අරන් අපි වෙන කොහෙ යන්නද? මෙහෙ දාලා ගිහිල්ලා අපට වෙන තැන්වල ජීවත්වෙන්න ක්‍රමයකුත් නෑ. අපිට තියන එකම විකල්පය මේ ගෙවල් අලුතින් හදන එක යි.මගේ ගෙදරත් බිත්ති පුපුරලා හොඳටම.නාන කාමරේ නාන ගමන් කොංක්‍රිට් කෑලි ගැලවිලා ඇඟට වැටෙනවා.කාට නම් කියන්නද? ඒත් බයේ ගැහී ගැහි හරි මේකෙම ඉන්න වෙනවා.‘‘ යි කියූ ඇය එම්.කේ.යූ. සල්මා (71) මහත්මිය යි.

ඇගේ දියණියන් දෙදෙනෙකු,බෑනා හා විවාහපත් දියණියගේ දරුවන් ඇතුළු දස දෙනෙක් මේ මහල් නිවාසයක,කුඩා කාමර දෙකක් තුළවෙසෙති. ඒ නිවසේ ද වැසිකිළිය හා මුළුතැන්ගෙය එකම තලයකින් යා වී අත.

ගෙබිම දියසීරාව නවතින්නේ නැත. දිරා ගිය අබලන් දොර ජනෙල් මේ සියල්ල තවත් ළං කර යි. ඉවුම් පිහුම් කෑම නෑම,නින්ද ස්වයං රැකියාව හා මළ ගෙය හා මගුල් ගෙය ආදී සකලවිධ චාරිත්‍ර ඉටු කරන තැන ය. නිදන ඇඳ ආහාර තිබිමට, බඩු මුට්ටු ගොඩගැසීමට හා දරුවන් පොත පත කියවීමට ද යොදා ගැනේ.
මේ ගොඩනැගිල්ලේ ආයු කාලයෙන් අඩක් එහි සිරව ජීවිතය ගෙවා අපමණ අත්දැකීම් ඇති සල්මාට සිය ජීවිතයේ අවසන් සමය හෝ අලුත් පිරිසිදු ආරක්ෂිත නිවසක ගෙවන්ට ඇත්තේ තද බල ආශාවකි.

‘‘ අපි තාම බලාගෙන ඉන්නවා,මේ බිල්ඩිම කැඩිලා වැටෙන්නට කලින් අලුත් තැනට ගෙනියාවී කියලා. අපිත් ආසයි මනුස්සයෝ වගේ ජීවත් වෙන්න.ඈත පළාතක ඉන්න පිළිවෙළට ජීවත්වෙන කෙනෙකුට ඇවිත් අපිව බලලා යන්න පුළුවන් ගෙයක් දොරක් තිබුණොත් කොච්චර ලස්සන ද? ඒත් දැන් දැන් මේ කාමර අස්සේ ඉන්න පුදුම බයක් දැනෙන්නේ. හැම තැනම කොංක්‍රිට් කම්බි පෑදිලා,සිමෙන්ති පුපුරලා. අපි මේ අපායෙන බේරාදෙන්න කියලා රජයෙන් ඉල්ලනවා ‘‘ යන්නසල්මාගේ පැතුමයි.

මේ මහල් නිවාස වල අති අවදානම නිසා හට ගත් මරණ බිය නිසා තමන් අද වුව දරුවන් සමඟ විතානගේ මාවත හැර යාමට සූදානම් බව එහි පදිංචි ආර්.වඩිවේලම්මා පැවැසුවා ය.රජය පොරොන්දු වූ පරිදි තාවකාලික වාසස්ථානයක් ලබා නොදීම නිසා දරුවන්ගේ ජීවිතවල අනාගතය ගැන තමා වැළපෙන බව ඇය කීවාය. වඩිවේලම්මා සිටින ගෘහ ඒකකයේ ඇගේ සොයුරියන් තිදෙනෙක්,ඔවුන්ගේ දරුවන්, ඇගේ සැමියාද පුතාද වෙති. දෙදරා යන කොංක්‍රීට් කනු දෙස සෑම තත්පරයකමදෑස් යොමාගෙන සිටින බව ඇය කියයි.

‘‘ මගේ මහත්තයා රස්සාව විදියට වාහනයක් පදවනවා. පුතා කුළියට ත්‍රීවිලරයක් පදවනවා. මගේ ගෙදරත් ඇතුළේ සේරම බිත්ති පුපුරලා. ඒ බිත්තිවල එළියේ වැවිලා තිබෙන බෝගස් වල මුල් ගේ ඇතුළටම ඇවිදින් කපරාරු ගැලවිලා වැටෙනවා. අපි කිප වරක්ම බිත්ති අලුත්වැඩියා කරලා තින්ත ගාලා බැලුවා.ඒත් මුල් නිසයි, වතුර කාන්දුවයි නිසා අවපාට වෙලා ගැලවිලා යනවා.‘‘යනුවෙන් වඩිවේලම්මා කීවා ය.

සියලු ජාතීන් ජිවත්වන පවුල් 120ක් පමණ මේ මහල් නිවාසවලට අයත් ය. මහල් නිවාස වල බිත්ති සපුරාම කැලැවක් බවට පත්ව තිබේ. ඒ දශක ගණනාවක් පුරා සෙමෙන් වූ ක්‍රියාවලියකි. කුඩා වල්පැළ හටගන්නා විට ඒවා උදුරාදමා නඩත්තු නොකිරීම එක් හේතුවකි. ඒවා ආරම්භක අවස්ථාවේ ගැලවිමට නොහැකි වුයේ අවට ඇති කුඩා ගෙවල්වලින් අවහිර වූ නිසා ය.ඒ නිවාස අනවසරයෙන් හැදූ ඒවා ය. එවැනි ස්ථාන වල පවුල් හැටක් පමණ ජීවත්වෙති.

ජනෙල් සියල්ල වසාගෙන ඒ ගස් වැල් අහසට නැග ඇත.

ගොඩනැගිලි සේම මෙම අයගේ ජීවිත ද වල් වැදී ඇති සෙයකි. නාගරීකරණය මැද අතරමං වු මේ එදිනෙදා ජීවිතයට යමක් සොයා කැම
හැරුණ විට මේ යට හෙටක් ගැන බලා පොරොත්තුවක් හෝ සිතිමේ අවශ්‍යතාවයක්ද නොවේ.පාසල් යන දරුවන් සංඛ්‍යාවට වඩා නොයන සංඛ්‍යාව වැඩි බව මාපියොම කියති. විදි වෙළඳාම්, බස්නැවතුම්පොළවල කරන ජංගම වෙළඳාම්, විවිධකාරයේ ස්වයංරැකියා හා සුළු වෙළඳාම් මේ අයට ආදායමක් ගෙන දේ.උපයන මුදලින් සියයට අසූවක්ම මත්වීට යොදාගැනීම ඇතැමුන්ගේ සිරිත බව මේ පවුල් ගැන අධ්‍යයනය කරන සංවිධාන පවසයි.ඒ වැඩිහිටියන් දරුවන්ගේ අධ්‍යාපන, ආහාරපාන,හා ආරක්ෂාව යන වුවමනාවන් සොයා නොබනල බව ද ඒ සමික්ෂකයෝ කියති.

ඉතා සුළු පිරිසක් යම් අධ්‍යාපනයක් ලබා හෝ වෙනත් ස්ථානවල අය විවාහවීමෙන් යම් උසස් ජීවන මට්ටමක් මෙන්ම රජයේ රැකියා අවස්ථා සලසාගෙන ජිවත් වන අයුරු දැකිය හැක. සවස 4ත් 5ත් අතර කාලයේ දී රැකියා නිම වි ආපසු නිවස බලා එන ඇතැම් කාන්තාවන් නාසය අල්ලගෙන මුහුණ වසාගෙන අවට නොබලා වේගයෙන් මහල් නිවාස වෙත ඇදෙන අයුරු දක්නා ලැබේ. ඒ වෙත දහසක් ඇස් යොමු වි ඇති සැටියකි. ඔවුන්ට ජීවිත ආරක්ෂාව හා දරුවන්ගේ අනාගතය ගැන වැඩියෙන් දැනේ.

මෙම ජන කණ්ඩායම් වෙනුවෙන් පෙනී සිටින කොළඹ දිස්ත්‍රික් මානව හිමිකම් සංවිධාන නිලධාරියෙකු වන එම්.එම්. තස්ලින් මහතා කියා සිටින්නේ මෙම මහල් නිවාස කඩා ඉවත්කර නැවත ගොඩනඟන තුරු මෙම ජනතාව තාවකාලිකව පදිංචි කිරීමට තිබු අසල විකල්ප මහල් නිවාස සංකීර්ණය රජය විසින් වෙනත් ආයතනයකට පැවරීමෙන් එය ද අහිමි ව ඇති බව ය.දැනට මාදම් පිටියේ ඉදිවන නිවාස සංකීර්ණවල වැඩ නිමකිරීමෙන් පසු මෙම අයට තාවකාලික පදිංචියට අවස්ථාව සැලසෙන බව දැනගන්නට ඇතියි ද ඔහු කියයි. මොවුන් තාවකාලිකව පදිංචිකිරීමට යෝජිත වූ අසල මහල් නිවාස ගොඩනැගිල්ල ආරක්ෂක විද්‍යාලයයට ලබා දීම නිසා මෙම කටයුතු ප්‍රමාද වූ බව ද ඔහු සඳහන් කරයි.

‘‘සිංහල දෙමළ මුස්ලිම් හැමෝම ඉතාම සමගියෙන් මෙහෙ ඉන්නේ.ඒ අය අතර ගැටුම් නෑ. මේ හැමෝම හොඳ තැනකට ගියානම්, එහෙමත් නැත්නම් හොඳට මේක හැදුණානම් තවත් ආදර්ශමත්ව සාමයෙන් ඉඳියි.‘‘ යි හේ කීය.

මේ සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වරයාගෙන් කරන ලද විමසිමේ දී ඔහු කියා සිටියේ මෙම සියලු කටයුතු නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන වැඩසටහන මගින් ඉටු කිරීමට ඇති ව්‍යාපෘති බැවින් මහ නගර සභාව ඒ ගැන විශේෂ යමක් කීමට නොදන්නා බවකි. නාගරික සංවර්ධන අධිකාරියේ මෙම ව්‍යාපෘතිය භාර නිලධාරීන් සම්බන්ධ කරගැනීම අසීරු වන අතර එහි වෙබ් අඩවියේ මේ සම්බන්ධයෙන් ඇති පසුබිම සඳහන් විය. ඒ තොරතුරුවලට අනුව කොළඹ නගරයේ ජන ගහනයෙන් සියයට පනහක ජිවත්වන්නේ පැල්පත්, මුඩුක්කු හා අවතැන්ව පරණි මහල් නිවාසවල බව දැක්වේ.මේ ස්ථාන භූමි ප්‍රමාණය අනුව කොළඹ නගරයෙන් සියයට නවයකි.

යෝජිත නව නිවාස ඒකකයක්

මෑත දි කරන ලද සමීක්ෂණයකට අනුව නාගරික සංවර්ධන අධිකාරිය මෙම ජනතාව ප්‍රජා පවුල් ඒකක 1499ක 68 812ක් පමණ පුද්ගලයන් ජීවත් වන බව සොයාගෙන ඇත. එම පිරිසට නිසි සෞඛ්‍ය සම්පන්න පරිසරයක්,මානව වාසස්ථාන,ජලය, විදුලිය හා සනීපා රක්ෂාව ආදි පොදු පහසුකම් සඳහා නිසි ප්‍රවේශයක් නොමැති බව සමීක්ෂණයෙන් හඳුනාගෙන තිබේ.නව නගර සැලසුම අනුව ලොව පිළිගත් නාගරීක සැලසුම් තත්ත්වයන්ට අනුව මෙම අයට නිදහස් ජිවන පරිසරයක් හා ඉහළ ප්‍රමිතියේ පහසුකම් සැපයිම යෝජිත බව ද වෙබ් අඩවියේ සඳහන්කර තිබේ.

මෙම තත්ත්වයන් සැලකිල්ලට ගෙන නාගරික සංවර්ධන අමාත්‍යංශය කොළඹ හා තදාසන්නයේ නව නිවාස ඒකක 60, 000කින් යුත් ආරක්ෂිත වාසස්ථාන තැනිමට කඩනම් පියවර ගන්නා බව ද දැක්වේ.
යෝජිත නව නිවාස ඒකකයක් නිදනකාමර දෙකක්,පැන්ට්‍රි දෙකක්,නාන කාමරයක් හා සඳළුතයක් ඇතුළුව වර්ග අඩි 400කින් යුතුව ඉදිකිරීමට සැලසුම් කර තිබේ.ජලය විදුලිය හා අපවහන පද්ධතින් ඇතුළුව මනා සැලැස්මක් ඒ සඳහා ක්‍රියාත්මක කිරීමට ද අධිකාරිය අපේක්ෂා කරයි. එහෙත් කුමන කලකින් මේවා තනා නිමකර දෙන්නේ ද,නැතහොත් මේ ගරාවැටෙන ගොඩනැගිල්ලේ පදිංචිකරුවන් ඉවත් කරන්නේ කවදා ද යන්නට පිළිතුරු එහි ද සඳහන් නොවේ.

වීඩියෝ: සහන් අනුරාධ බස්නායක ගෙනි.

137total visits,17visits today