Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

සංහිඳියාව පතා එක ම කඳවුරක
සටන් වදින්නෝ

කලක් අවි අතට ගෙන දෙපසකට වී සටන් කළ සුජීවන් හා සමන්ත අද එක ම කඳවුරක, එක ම වහලක් යට සිට සටන් කරන්නේ සාමය සංහිඳියාව හා අනෙකාගේ ජය – පැරදුම සම සිතින් උසුලා ගැනීම සඳහා වන උපේක්ෂාව තම සිත්වල දියුණු තියුණු කර ගනු පිණිස ය.

29.07.2018  |  
යාපනය දිස්ත්‍රික්කය

දාම් පෙතේ ඉත්තෝ එකින් එක කැපෙද්දී තවත් ඉත්තෙක් ඉදිරියට ඇදී යයි. පෙත දෙපැත්තේ වාඩි ලාගෙන සිටින දෙදෙනාම කල්පනා කරන්නේ දිනන්නටය. එක් ඉත්තෙක් බිලිදී අනෙකාගේ ඉත්තන් දෙතුන් දෙනෙකු කපා දමද්දී සුජීවන්ගේ මුවට නැඟෙන්නේ සිනාවකි. අනෙක් අන්තයේ හමුදා නිල ඇඳුමින් සැරසී සිටින සමන්ත ද වැඩි කල් නොයවා එලෙසින්ම කර සුජීවන් දෙස තියුණු බැල්මක් හෙළයි.

කොටින් ගේ බුල්ඩෝසරය ද, ගාමිණි කුලරත්නගේ පිළිරුව ද නිසා යාපනය බලා දකුණේ සිට යන බොහෝ දෙනෙකු අලිමංකඩ නැවතී සිට ඒ දසුන් නැරඹීමට අමතක නොකරති. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන කොටස් නිතර පැමිණෙන නිසා යුද හමුදාව අලිමංකඩ රණවිරු ස්මාරකය අසල ආපන ශාලාවක් ද පවත්වා ගෙන යයි. අධික දුර ගෙවා පැමිණෙන ජනයා මෙම ආපන ශාලාවට ගොස් වෙහෙස නිවා ගැනීම පිණිස තේ කෝප්පයක හෝ පලතුරු බීම එකක රස බලන්නට අමතක නොකරති. ඔවුන් ඉලක්ක කර කරවල ව්‍යාපාරය ආරම්භ කළ සුජීවන් හා හමුදා නිලධාරීන් අතර දැන් ඇත්තේ නොබිඳිය හැකි මිත්‍රත්වයකි.

‘මං දැන් අවුරුදු පහක විතර ඉඳලා මෙතන කරවල විකුණනවා. මුලින් මට සිංහල වචනයක් කතා කරන්න බැහැ.සිංහල ඉගෙන ගත්තේ හමුදාවේ අයගෙන්. මට බිස්නස් කරන්න උදව් කරන්නේ මේ මහත්තුරු. බස් එකක් ආවම මට කෝල් කරලා එන්න කියනවා. වැඩිපුරම මගෙන් බඩු ගන්නෙත් සිංහල අයයි‘ සුජීවන් පවසයි. ඔහුගේ සම්පූර්ණ නම ක්‍රිෂ්ණන් සුජීවන්ය. විසි අට හැවිරිදි (28)  සුජීවන්ගේ පදිංචිය යාපනය අයියකච්චියේ ය.

සුජීවන් කලක් දැන සිටියේ දෙමළ බස පමණකි. සිංහල මිනිසුන් කියන දේ ඔහුට නොතේරිණි. දෙමළ පිරිස් සිංහල ජනතාව ගැන දෙමළෙන් කියූ දේ පමණක් ඔහුට දැනිණි, හැඟිණි. ඔහු ඒවා විශ්වාස කළේ ය, පිළි ගත්තේ ය. 2006 වසරේ පාසල් ගොස් නිවෙසට එනවිට එල්.ටී.ටී.ඊ සංවිධානයේ පැහැර ගැනීමකට ලක්වුණු ඔහු මන්නාරමට රැගෙන ගොස් අවි පුහුණුව ලබා දී සටන් බිමට යැවිණි. මාස හයක් පමණ කොටින් යටතේ සිටි ඔහු, ඔවුන් ගෙන් මිදී පලා ආවේ ය.

යුද්ධය නිමවීමෙන් පසු ඔහු පුනරුත්ථාපන කඳවුරකට යොමු කෙරිණි. එය ඔහුට අලුත් දිවියක් ඇරඹීමට මඟ එළි කළේ ය.

ක්‍රිෂ්ණන් සුජීවන් කරවල අළෙවි කරමින්

‘මං දැන් සාමාන්‍ය  කෙනෙක් විදිහට ජීවත් වෙනවා. බැඳලා අවුරුදු හතරක දරුවෙක් ඉන්නවා ‘ සුජීවන් සිනහ මුවින් පවසයි.

සිංහල ඇතැම් වචන නොදන්නා සුජීවන්ට උදව් කළේ සමන්තය. 12 වැනි විජයබා රෙජිමේන්තුවේ වසර 21 ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබෙන ජගත් සමන්ත කුමාර, නිලයෙන් සාජන් මේජර්වරයෙකි. දෙමළ ජනතාව සමඟ එකට කටයුතු කිරීම නිසාම ඔහුගේ දෙමළ භාෂා දැනුමද ඉහළය. සුජීවන් දෙමළෙන් පවසන ඇතැම් දේ සිංහලයට පරිවර්තනය කළේ සමන්තය.

‘සාමාන්‍යයෙන් මං දවසකට රුපියල් පන්දාහක විතර වෙළෙඳාමක් කරනවා. සති අන්ත, නිවාඩු දවස්වලට මෙතන්ට එන සෙනඟ වැඩියි. ඒ වගේ දවසකට රුපියල් විසි පන්දහක (25000) ක විතර වෙළෙඳාමක් කරන වෙලාවල් තියෙනවා. වැඩිහරියක් මං වෙළෙඳාම් කරන්නේ සිංහල අයට. ඒ අය කවුරුවත් මං දෙමළ නිසා කරවල නොගෙන ඉන්නේ නැහැ.අපි එකම රටේ මිනිස්සු. ජාති,ආගම් බේදා තියාගෙන අපිට එකට ජීවත් වෙන්න බැහැ. දැන් මට සිංහල ටිකක් පුළුවන් නිසා බිස්නස් කරන්න ලේසියි. මං ගොඩක් වෙලාවට බස් එනකල් මෙතන බයිසිකලේ නවත්ත ගෙන ඉන්නවා. ඒ වෙලාවට හමුදාවේ මහත්තුරු එක්ක දාම් අදිනවා.මට සිංහල කතා කරන්න පුළුවන් වුණේ හමුදා මහත්තුරු එක්ක ඉඳලමයි. සිංහල බැරි කාලේ කරවල ගන්න එන සිංහල අයට මං දෙමළෙන් කියන ඒවා පැහැදිලි කරලා දුන්නේ මේ මහත්තුරුයි‘ සුජීවන් පවසන්නේ හමුදාවේ හිතවතුන්ගේ ළෙන්ගතුකම අගයමිනි.

ක්‍රිෂ්ණන් සුජීවන් හමුදා නිලධාරීන් හා දාම් අදිමින්

‘අපි කතා කරන භාෂාව විතරයි වෙනස්. සුජීවන් දෙමළ කියලා අපිට දැනෙන්නේ නැහැ.එයා අපේම කෙනෙක්. කාලයක් උතුර දකුණ වෙන් වෙලා තිබුණේ. උතුරේ අය දකුණට ගියේ නැහැ. දකුණේ අය උතුරට ආවේ නැහැ. දැන් තත්ත්වය වෙනස්. සිංහල මිනිස්සු උතුරටත්, දෙමළ මිනිස්සු දකුණටත් යන්න ඕන. එතකොට තමයි ජාතික සමඟිය ගොඩ නැගෙන්නේ‘ සාජන් මේජර් සමන්ත පවසයි.

යාපනය හා කිළිනොච්චිය වෙන් වන්නේ අලිමංකඩිනි. ශ්‍රීලංකා සිතියමේ ගෙල ප්‍රදේශය ලෙසින් හඳුන් වන සිහින් බිම් ප්‍රදේශයේ පිහිටි අලිමංකඩ මෙරට පළලින් අඩුම ස්ථානයයි. ඒ බිම්කඩ පළලින් කෙතරම් අඩු වුවද එහි වෙසෙන සමන්තලා හා සුජීවන්ලා එක්ව ගොඩනගන සංහිඳියාවේ බිමේ මායිම් අනන්තය තෙක් විහිදී යයි.