Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

‘සිත්තම්පලම්‘ සමඟ දවා අළු කළ
සොඳුරු මිනිස්කම

ජනවර්ග රැසක තරුණ තරුණියන් රොද බැඳි සොඳුරු තැනක් වූ අනුරාධපුර සිත්තම්පලම් සිනමාහල ගිනිබත් වනු දැකීමට නගරයේ පොදු මහජනයා අකැමැති වුවත් ජාතිවාදි සුළුතර පිරිසකගේ වුවමනාව ඉෂ්ඨකරමින් සිත්තම්පලම් ශාලාවේ තිරයත් පුටුපෙළත් වහලත් ඇතුළු සුන්දර ශාලා ගැබ ගින්නට නතු විය. ඉන් දවා අළු කෙරුණේ ඒ ගොඩනැඟිල්ල ම පමණක් නොවේ.

01.08.2018  |  
අනුරාධපුර දිස්ත්‍රික්කය

සීනුව නාද විය.විදුලි පහන් දැල් විණි.පියවි ලෝකයට පැමිණි සුමනා හා මිතුරියන්ට පෙනුණේ රිදී තිරයෙන් බැස ආ බවට සිතිය හැකි කඩවසම් තරුණයෙකි. සේවකයින් දහ පහලොස් දෙනෙක් හිස නමා යන පාලකයෙක් මෙන්ම සිනමාහල් හිමිකරුගේ අනුප්‍රාප්තික පුත්‍රයා ද වන උස මහත සුකුමාල දේහධාරී, රන් පැහැ ඡවි වර්ණයකට උරුමකම් කියන මේ තරුණයා කිසිදු ආඩම්බර කමකින් තොරව කට පුරා සිනාසුණේ ය.තරුණියෝ ද ඔහුගේ සිනාව පතා සිටියා මෙන් පෙරළා සිනා සුණෝ ය.ඒ ලැජ්ජාමුසුව ය.

‘‘ කොහොමද ෂෝ එක හොඳ ද? ඔයා කෝපරේටිව් එකේ නේද වැඩ කරන්නේ?‘‘ තරුණයා ඇසුවේ ය.

‘කොහොමද  දන්නේ?‘ ඇය ඇසුවා ය.

‘ඇයි?  හැදාම මෙතනින් යනවා අපට පෙනෙවානේ‘ ඔහුගේ පිළිතුර විය.අනෙක් තරුණියෝ ඒ කතාවට උසුළු විසුළු කළෝ ය.

‘ලබන සතියේ අලුත් චිත්‍රපටියක් එනවා. මට කලින් කියලා එන්න. සීට් වෙන්කරලා තියන්නම්‘

ඔහු යෝජනා කළේය.ඒ එක්දහස් නවසිය හැත්තෑ අටේ දවසක ය. ඒ දෙබස සිත්තම්පලම් සිනමා හලේ රිදී තිරයේ ඇඳුණු කොටසක් නොවේ. සිනමා හලේ ටිකට් කවුන්ටරය අසල සජීවි වූ නිමේශයකි.

දහස් සංඛ්‍යාත නාගරික ප්‍රජාවේ මහජනතාව,නිලධාරින් මෙන්ම,ප්‍රධාන ජනවර්ග තුනේම තරුණ තරුණියන්  මුණගැහෙන සතුටු සිනා පිරි සොඳුරු තැනක් වූ සිනාමාහල් අතර සිත්තම්පලම් ජනප්‍රියම තැන විය.එහි කළමනාකාරීත්වය දැරූ ජනප්‍රිය තරුණයා සෙල්වරාජා ජයරාම් ය. ඔහුගේ සිත් ගත් ඇය සුමනා සුරවීර ය.

එදා තිරයකට නැගුණ චිත්‍රපටයක මෙන්ම කළමනාකාර  ජයරාම් හා සුමනා සුරවීර ආදරයෙන් බැඳුණෝ ය.

ඒ කතාව තුළත් විවිධ බාධා හා අකුල් හෙළීම් නොඅඩුව තිබුණත් දුෂ්ඨකම් සියල්ල පරදා වීර චරිතය වන ජයරාම් විවාහය ජයගත්තේ ය.

විධිමත්ම සිනමාහල

ස්ථිර ගොඩනැගිල්ලක අංග සම්පූර්ණව තැනූ උතුරුමැද පළාතේ විධිමත්ම සිනමාහල වූයේ සිත්තම්පලම් ය. සිත්තම්පලම් ඉතිහාසය 1830 දක්වා දිවෙයි.එවකට අනුරාධපුර පැරණි නගරයේ එය තිබුණි.අනුරාධපුර නව නගර සැලසුම දියත් වූ 1958 දී පැරණි නගරයේ ව්‍යාපාරික ස්ථාන ඉවත් කර රජය ඒ වෙනුවට නව නගරයෙන් ඉඩම් ලබා දුන්නේ ය.එහි හිමිකරු එස්.එන්.සිත්තම්පලම් මහතාට විකල්ප ඉඩමක් හිමිවූයේ අනුරාධපුර පොලිසිය පිටුපස නිදහස් අලංකාර නිස්කලංක තැනකය. පූජා නගරයත් නව නගරයත් යාවන මෙම ස්ථානය රංග ශාලාවකට හෝ සිනමාහලකට උචිතම තැනක් විය.

මෙම ස්ථානයේ ඉතා අලංකාර හා කල්පවතින මනා සැලැස්මකින් යුතුව විධිමත් සිනමා හලක් ගොඩනැගීමටසිත්තම්පලම් මහතාගේ වැඩිමහල් සොයුරුගේ මඟ පෙන්වීම ලැබිණි. ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවෙක් මෙන්ම අනුරාධපුර පුරපති ද විය. මේ ස්ථානයට භූමියේ අයිතිවාසිකම් කියන්නට අද යුගයේ මෙන්  පොරකෑමක්  එදා නොවුණි. එවකට අනුරාධපුර සංරක්ෂණ මණ්ඩලයේ සභාපති වූ නිශ්ශංක විජේරත්න මහතා පෞද්ගලිකවම ඉඩම පෙන්වා අක්කර එකකුත් පර්චස්  53ක මෙම ස්ථානය  ලබා දුන් නිසා සිත්තම්පලම් මහතා ඉතා සතුටින් ව්‍යාපාරය ඇරඹුවේ ය.

උතුරුමැද පළාතේ විධිමත්ම සිනමාහල වූයේ සිත්තම්පලම් ය.

මුල් යුගයේ මෙහි සිලෝන් තියටර්ස් සමාගමේ චිත්‍රපට මෙහි ප්‍රදර්ශනය විය. පසුව චිත්‍රපට සංස්ථාවේ චිත්‍රපට ප්‍රදර්ශනය විය.

‘‘ඒ කාලේ ඉතාම සුන්දරයි. මිනිස්සු හරිම සමගියෙන් හිටියේ. මේ නගරයේ සිංහල දෙමළ ද කියලා වෙනසක් තිබුණේ නෑ. අපේ පවුල් අතරත් ඒතරම්ම විවාහයට ගැටලු වුණේ නෑ.ඒත් පස්සේ කාලේ ඇතිවෙච්චි රටේ ප්‍රශ්න තමා අපට කරදර දුන්නේ‘‘

සිංහල මිතුරන් විශාල පිරිසක්

ජයරාම් මහතා පවසන්නේ එසේ ය. සිත්තම්පලම් මහතා සිංහල මිතුරන් විශාල පිරිසක් ආශ්‍රය කළ වෙහෙර විහාරස්ථානවලට උපකාර කළ ගුණවන්ත කෙනෙකු වූ බව ජයරාම් මෙන්ම නගර වැසියෝද සිහිකරති.

ඇතැම් පන්සල් වලට ආධාර මුදල් අවශ්‍ය වූ විට දි සිත්තම්පලම් මහතා චිත්‍රපට සංස්ථාවෙන් කෙනාමිලේ චිත්‍රපට ලබාගැනීමට හාමුදුරුවන්ට උදව් කර තමාගේ වියදමින් සිනමා ශාලාවේ  ඒවා ප්‍රදර්ශනය කර ආධාර මුදල් රැස්කරගැනීමට අවකාශ ලබාදුන් බව ජයරාම් සිහිකරයි.

1980 දසකයේ දී සිංහල හා දෙමළ ජාතින් අතර සිත් පළුදු වන සිදුවීම් රාශියක් ඇති විය.කළු ජූලිය ඉන් ප්‍රධාන ය. යාපනයේ ඇති වූ සිද්ධින් මෙන්ම අනුරාධපුරයේද ඇති වූ ජාති වාදී ගැටුම් අනුරාධපුර දෙමළ ව්‍යාපාරිකයින්ට ද බලපෑවේ ය. පොලිසිය අසලම තිබූ සිත්තම්පලම් සිනමාහලට ද කඩාවැදුණු ප්‍රකෝපකාරී පිරිසක් එයට ගිනි තැබූවෝ ය.සේවකයෝ ජීවිත රැකගැන්මට පලාගියහ.ගින්න නිවන්නට ප්‍රමාණවත් පහසුකම් ද එවකට නොවී ය.

සිනමාහල  ගිනිබත්වනු දැකීම

සියල්ලන්ම සාමයෙන් එකතු වූ සිත්තම්පලම් සිනමාහල  ගිනිබත්වනු දැකීමට නගරයේ පොදු මහජනයා අකැමැති වුවත් ජාතිවාදි සුළුතර පිරිසකගේ වුවමනාව ඉෂ්ඨකරමින් සිත්තම්පලම් ශාලාවේ තිරයත් පුටුපෙළත් වහලත් ඇතුළු සුන්දර ශාලාගැබ ගින්නට නතුවිය.

ජයරාම් සිත්තම්පලම් මහතාගේ දරු කමට තනාගත් පුත්‍රයා   ය. සිත්තම්පලම්ගේ බිරිය තංගරත්නම් මහත්ම්ය ජයරාම්ට මෙන්ම නගරයේ කාටත් ආදරණීය මවක වූවා ය. ඇය ඇස් වෙදකමින් රෝගීන් සුවපත් කළා ය. ඇයට හැමෝම සිත්තම්පලම් අම්මා යන නම භාවිත කළහ.සිත්තම්පලම් මහතාගේ ඇවෑමෙන් පසු සිනමා හලේ කටයුතු භාර වූයේ ජයරාම්ටය.

1980 වන විට සිත්තම්පලම්  වෙද අම්මා ද  ජීවිතයෙන් සමු ගෙන තිබූ නිසා ජාතිවාදීන්ගෙන් එල්ලවන ප්‍රශ්න හමුවේ ජයරාම් හා සුමනා යුවළ ඉතා ප්‍රවේශමෙන් ජීවත්වුහ. දෙමළ නිවෙස්වලට ද ජාතිවාදීන් තර්ජන ඇති කළ නමුත් ජයරාම් සිංහල දෙමළ කොයිකවුරුන් අතරත් ජනප්‍රිය චරිතයක් වූයෙන් සිනමාහල ගිනි බත් කළාමෙන් ඔහුට හානි කරන්නට නොහැකි විය. ඔහු අදත් සිත්තම්පලම් අසලම නිවසක පදිංචිව සිටී. තමනට අහිමි වූ චිත්‍රපට ශාලාවත් කළමනාකරණ තනතුරත් වෙනුවට ඔහු අද ගොවිතැන් කර දිවිගෙවයි.

නොමිනිස්කමේ සටහන්

අවුරුදු 33ක් තිස්සේ සිත්තම්පලම් ශාලාවේ ගිනිගත් බිත්ති නොමිනිස්කමේ සටහන් සංකේතවත් කරමින් නගරය මැද නැගී සිටී. ඒවා ගරා නොවැටී තිබෙන්නේ ඒ මත වැවී ඇති පරපෝෂිත දැවැන්ත වෘක්ෂයන් හේතුවෙනි. රිදී තිරය දිස්වුණු වේදිකාවේද මහා රූස්ස ගස්වැල් වැවි ඇත්තේ බදන්නටත් බැරි තරම් විශාලවට ය. වේදිකාවේ හුඹස් ය. බැල්කනිය දිස්වන්නේ මහා ශෝකාලාපයක් දරා ගත් වේදිකාවක් ලෙසිනි. බොක්ස් නැරඹුම් මැදිරිවල වවුලෝ පිරී සිටීති. ශාලා ගැබ ලඳු කැලෑවකි.ඉඩමේ කොටසක් අල්ලාගත් අය අයිතිවාසිකම් තහවුරු කරගන්නට හදති. අවට අනවසර ගොඩනැගීම් පිළීබඳ ශෝකී දසුන් පැතිර පවතී.

ශාලා ගැබ හා බැල්කනියේ වත්මන් තත්ත්වය පෙන්වන ඩබ්ලිව්. ඒ. ජයසේන මහතා

ජයරාම් හැත්තෑ හයවන වියට පත්ව සිටී. සුමනා බණ පොත්වල ඇලී දවස ගෙවයි. ඇය ඉඳ හිට නගරයට යන්නේ රෝගාතුර වූ විට බෙහෙත් ගැනිමට පමණි.

‘‘අපි එතනින් යනවා.ඒත් හැරිලාවත් බලන්න අපි කැමති නෑ.අතීතය මතක් වෙද්දී දුකයි.‘‘ ජයරාම් කියයි. තමන් පෙමින් බැඳුණු  සිනමා හල ඇතුළට යන්නට මේ දෙදෙනාටම වේදනාව පිරුණු ආශාවක් ඇත. එහෙත් වසර තිස් තුනක් ගිය තැන ද තමාට තවමත් මේ ස්ථානට ලබාගැනීමට පිහිටක් නැති නිසා ඔහු සිටින්නේ මහත් කලකිරීමෙනි.

‘‘ මට අද අවසරය ලැබුණොත් හෙට ඉඳලා ආයෙත් සිනමා හල ගොඩ නගනවා. මැරන්න කලින් ආයෙත් අනුරාධපුරට ලස්සන සිනමාහලක් හදා දෙනවා‘‘

76 වියේ පසුවන ජයරාම්ගේ අධිෂ්ඨානය එයයි.

මිහිරි මතකය

නාගරිකයන් සැමටම සිත්තමපලම් ගැන ඇත්තේ මිහිරි මතකයකි. ඒත් අමිහිරි මතකයන් මැදින් යළිත් මිහිරි සිහිනයක් දකින ජයරාම්ට දිනෙන් දිනම සිදුවන්නේ තවත් සිත කළකිරවන සිද්ධීන් අසන්නට දකින්නට ය. මේ නිසා බොඳ වී යන බලා පොරොත්තුව හමුවේ ඇතුළට පාතබන්නට සිතට වාරු නති බව ඔහු කියයි.

අදත් මේ ගොඩනැගිල්ල බලා ගන්නේ එවක කම්කරුවෙකු ලෙස සිනමා හලේ කටයුතු කළ ඩබ්ලිව්. ඒ. ජයසේන මහතායි.ළමා කාලයේ දී සිනමාහලට ආ ඔහු අද 65 වියේ සිටී. ඔහු අදටත් තමාගේ ගම් පෙදෙස වූ කුරුණෑගලට නොගොස් තනිකඩයකුව මේ නටබුන් ඉඩමේ අට්ටාලයක් යට සිටින්නේ යළිත් සිනමා හල පටන්ගන්නා දවස එනතුරු ය.

එදා මෙරට සෑම සිනමාහලකම නම ලියැවී තිබුණේ ඉංග්‍රිසි බසිනි.සිංහල බසින් ලියූ එකම සිනා ශාලාව සිත්තම්පලම් ය.සිත්තම්පලම් යුවළ ඒ තරමටම සිංහල ජනයාට සමීප ය. ජාතිවාදී මත වලින් තොර ය. අවුරුදු 33ක් පුරා සිනමාහල මහ ගණ කැලෑවක් බවට පත් වුව ද මේ අලංකාර අකුරු පෙළ අදටත් මහ මගට සිනාසේ. නගරවාසීන් ඒ නමට තවමත් ආදරේ ය. ජයරාම් සුමනා ආදරයත් ඒ වගේයැයි හැඟේ. ඔවුන් ද නගරය හැර දා නොගොස් බලා සිටින්නේ තමන්ගේ ආදරයේ උල්පත මෙන්ම හිමිකම වන සිනමා ශාලාව නැවත තමනට ලැබෙන තුරු ය.