Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

දෙමළෙන් කතාකරන - සිංහලෙන් උත්තර දෙන
සංහිඳියා ගම නීරාවිය

තුණ්ඩු ඇදීමෙන් තෝරාගත් ජනයාට ඉඩකඩම් පවරා දුන්, වර්තමානයේදීත් අරගල ගැටුම්වලින් තොරව දිවි ගෙවන මිශ්‍ර ජනාවාසයක් වන නීරාවිය අනුරාධපුර ශුද්ධභූමියට යාබදව පවතින ජාතීන් අතර සංහිඳියාව මනාව පෙන්නුම් කරන්නකි.

02.10.2018  |  
අනුරාධපුර දිස්ත්‍රික්කය
සංහිදියාවෙන් ඉදිවන මුත්තුමාරි අම්මාන් කෝවිල

අනුරාධපුර පූජා භූමියේ මීට වසර විසිහතකට පමණ ප්‍රථම පදිංචිව සිටි සිංහල හා දෙමළ පවුල් දහසකට ආසන්න පිරිසකට තම උපන් බිමෙන් පිට වන්නට සිදු වූයේ පූජා භූමි සංවර්ධන වැඩසටහන නිසා ය. අනුරාධපුර ඓතිහාසික අටමස්ථානයට අයත් භූමිය ක්‍රමානුකූලව සකස්කිරීම අරභයා මෙතෙක් සිය පරම්පරාවෙන් පැවත ආ ඉඩකඩම් සියල්ල අතහැරයෑමට ඔවුනට සිදුවිය. එවකට ගම්උදාව වැඩසටහන යටතේ මෙම පවුල් අනුරාධපුරෙයන් ඈත බැහැරව පදිංචිකරවීමට විවිධ පිරිස් උත්සාහ දැරුවද ජනාධිපතිවරයාව සිටි හා ගම්උදාව වැඩසටහෙන් නිර්මාතෘ වූ දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා ඊට තදින්ම විරුද්ධ විය. ඒ මහතා, ජනවර්ගය කුමක් වුවත් පරම්පරා ගණනක් අටමස්ථානය පිස එන සුළඟින් පෝෂණය වු මෙම පිරිස ඒ හා සමාන දුරකින්ම පදිංචි කළයුතු බවට දැඩි තීරණයක එල්බ සිටියේය. මෙම පිරිස තිසාවැවට යාබද නීරාවිය ගමේ පදිංචිකරවීම මේ අනුව සිදු විය. නීරාවිය ගම අද වනවිට දෙමළ – සිංහල සංකලනයෙන් යුත් සැබැවින්ම නූතන අනුරාධපුරයේ සංහිඳියාවේ ගමකි.

“බෙදී වෙන්වී ඉන්නවාට වඩා එකමුතුවෙන් එකට ජීවත්වෙන එක අපි වගේ දුප්පත් මිනිස්සුන්ට ලැබෙන ලොකුම දේව වරමක් “. මෙසේ පවසන්නේ නීරාවිය ගමේ පැරණිතම සාමාජිකයකු වන නීරාවිය ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ උපසභාපති කන්දසාමි තම්බො මහතායි.

“ මං ඉපදුණේ අනුරාධපුරේ. අපි මුලින්ම පදිංචිවෙලා හිටියේ අනුරාධපුර පූජාභූමියේ කුරුණෑගල හංදියේ ඇල්ලකට්ටුව පාරේ. ඒ ඉඩම් අයිතිවෙලා තිබුනේ මයිල්වාගනම් මහත්තයට. ද්‍රවිඩ අය තමයි සම්පූර්ණයෙන්ම හිටියේ. අසූහතරේ ගම්උදාව එනකොට පූජාභූමිය සංවර්ධනය කරන්න යනකොට අපි හිටපු තැංවලින් අයින්කරන්න තීරණය කළා.අපි හිතුවා අපිට ගොඩක් දුර යන්නවෙයි කියල. අපිට සල්ලි නැහැ ලොකුවට ගෙවල් හදන්න.”

“ප්‍රේමදාස මහත්තය බොහොම හොද තීරණයක් අරගෙන නීරාවිය ගමට අපිව අරගෙන ආවා. අපිට විශාල වෙනසක් දැනුණේ නැහැ අපි හිටපු පරිසරයත් එක්ක. අපි ඇල්ලකට්ටුවේ ඉන්නකොට වගේ නෙවෙයි නීරාවියට ආපුවාම අපේ අසල් වැසියෝ වුණේ සිංහල අය. ඒකෙන් අපි හැමෝටම අනිකාගේ භාෂාව ඉගෙනගන්න පුළුවන් වුණා. අපි අතරේ හුවමාරු වෙන අදහස් තේරුම්ගන්න පුළුවන් වුණා. අද වෙනකොට අනුරාධපුරේටම තියෙන එකම මුත්තුමාරි අම්මාන් කෝවිල තියෙන්නේ අපේ ගමේ විතරයි. කෝවිලේ උත්සවයේ වැඩි වැඩ කොටසක් කරන්නේ අපේ ගමේ සිංහල අය. කටු ගහල පෙරහැරේ යන්න කාවඩි නටන්න පූජාව ලෑස්තිකරන්න හැම දෙයකටම මුල්වෙන්නේ අපේ ගමේ සිංහල අය. ඒ අය අපිත් එක්ක දෙමළෙන් කතාකරනවා අපි සිංහලෙන් උත්තර දෙනවා.”


“අපි සිංහල දෙමළ කියල භේදයක් නැහැ. පන්සලේ උත්සවයක්නම් මෙහේ දෙමළ අය හැමෝම ඇවිත් උදව් කරනවා. කෝවිලේ උත්සවයට රතුබත් උයන්න නටන්න ගයන්න එන්නේ අපේ ළමයි.”

“ දෙමළ පාසලක් තියෙන්නේ අනුරාධපුර නගරේ. විවේකානන්ද පාසලට යන්න දුර නිසා අපේ ළමයි යන්නේ නීරාවියේ තියෙන දේවානම්පියතිස්ස ඉස්කෝලෙට. සිංහල භාෂාවෙන් තමයි ඉගෙනගන්නේ. අපේ අලුත් පරම්පරාවට හොදට සිංහල – දෙමළ භාෂාව ලියන්න කියන්න පුළුවන්. නීරාවියේ ලොකු සල්ලිකාරයෝ නැහැ. ඒත් හොද අදහස් හොද හදවතක් තියෙන මිනිස්සු ඉන්නවා.”

හේවා මාස්මුල්ලගේ ජිනසේන නීරාවිය දේවානම්පියතිස්සපුර ගම්මානයේ පදිංචි විවිධ සමිති සමාගම් හා තිසාවැව සුරැකීමේ සංවිධානයේ ප්‍රබල ක්‍රියාකරුවෙකි. අසූව දශකයේදී නගර හා ග්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුවේ සේවකයකු ලෙස කටයුතු කර ඇති ජිනසේන පවසන්නේ ජාතීන් අතර සමගිය පිළිබඳ සැබෑ උදාහරණ දකින්න වුවමනා නම් නීරාවියට පැමිණෙන ලෙස ය.

” අසූ හතරේ පණ්ඩුලගම ගම්උදාව වැඩසටහන යටතේ පූජාභූමිය සංවර්ධන කටයුතු ඇරඹුණා. මං ඒ කාලයේ පදිංචිවෙලා හිටියේ බැස්ටියන් විශ්‍රාම ශාලව ඉදිරිපිට. සිංහල අය විතරයි එහේ හිටියෙ. අවුරුද්දකට සැරයක් මල්වතුඔය ගලනවා. අපි අනාථ වෙනවා.”

“මෙහෙම ඉන්නකොට අපිට නීරාවියේ දේවානම්පියතිස්සපුර පදිංචිකරවනවා කියලා ආරංචිවුණා. නිලධාරීන් ඇවිත් සමීක්ෂණය කරල එක්දහස් නවසිය අනූ එකේ ජනවාරි මාසයේ නීරාවියේ ඉඩම් එක්දහස් හයසිය තිස්හයක් කට්ටිකරල තුණ්ඩු දාල තමයි ඉඩම් භාර දුන්නේ. තුණ්ඩුදාපු වැඩෙන් වුණේ පූජාභූමියේ වෙන්වෙලා හිටපු සිංහල – දෙමළ අය නීරාවියේදී එකට එකතු වීමයි. ඒ ගම සම්පූර්ණයෙන්ම මිශ්‍ර ගමක් බවට පත්වුණේ එහෙමයි. අද අපේ ළමයි එකම පිට්ටනියක එකට සෙල්ලම් කරනවා ජාති ආගම්භේද නැතිව. දෙමළ ළමයි වැඩිපිරිසක් ඉ‍ගෙනගන්නේ දේවානම්පියතිස්ස විදුහලේ. පහුවුණු යුද්ධෙ කාලෙදී අපේ ගමට ප්‍රශ්න ආවා. අපේ දෙමළ සහෝදරයන්ගේ නෑදෑ ළමයි කිළිනොච්චිය වවුනියාව වගේ පළාත්වලින් ඇවිත් මෙහෙ නැවතිලා හිටියා. ආරක්ෂක අංශ ඇවිල්ල ප්‍රශ්න කරද්දී අපේ යාළුවන්ටත් ගැටලු මතුවුණා. අපි මැදිහත්වෙලා ආරක්ෂක අංශවලට කරුණු කාරණා පැහැදිලි කරල තමයි මෙහෙ දෙමළ අය බේරගත්තෙ. මං අදත් ආවේ කෝවිලේ උත්සවය සංවිධානය කරන්න. අපි සිංහල දෙමළ කියල භේදයක් නැහැ. පන්සලේ උත්සවයක්නම් මෙහේ දෙමළ අය හැමෝම ඇවිත් උදව් කරනවා. කෝවිලේ උත්සවයට රතුබත් උයන්න නටන්න ගයන්න එන්නේ අපේ ළමයි.”

කන්දසාමි තම්බො, හේවා මාස්මුල්ලගේ ජිනසේන හා රෙංගසාමි මංගලා

රෙංගසාමි මංගලා, කෑගල්ල ගංගොඩ ගම්මානයේ ඉපිද හැදීවැඩී විවාහයෙන් පසුව නීරාවිය ගමේ පදිංචියට පැමිණි කාන්තාවකි. දෙවියන් පිළිබඳ අසීමිත විශ්වාසයක් ඇති ඇය පවසන්නේ පන්සලට ගොස් සිදුකරන වැඳුම් පිදුම් හා කෝවිලට පැමිණ සිදුකරන වැඳුම්පිදුම් එක සමාන බවය.

”පන්සලේ හැම පෝයකටම උත්සව තියෙනවා .අපි හවසට පන්සල් ගිහින් හදුන්කූරු පත්තුකරල වැඳල එනවා. කෝවිලේ උත්සවයකට වැඩිපුරම එන්නේ සිංහල කාන්තාවෝ. මුත්තුමාරි අම්මාන් කෝවිල ගැන එයාලට තියෙන්නේ පුදුම විශ්වාසයක්. අපේ කෝවිල හදාගන්න සිංහල හැමෝම අපිට උදව් කරනවා. සල්ලි එකතුකරන්න අනුරාධපුර නගරෙට අපි යනකොට එයාලත් අපිත් එක්ක එනවා. ලොකු සල්ලිකාරයෝ නැතිවුණත් ඒ හැමෝම පුළුවන් විදිහට කෝවිල හදාගන්න මුදල් දෙනවා. කෝවිලේ උත්සවය දවස් දහයක් තියෙනවා. ගිනි පාගන්න වේල් කරත්තේ අදින්නෙ ඔක්කොම කරන්නෙ සිංහල අය.

මගේ දරුවෝ දෙන්නෙක් ඉගෙනගත්තේ කෑගල්ලේ. බාල දුව ඉගෙනගත්තේ මෙහේ දේවානම්පියතිස්ස විදුහලේ. එයාට සිංහල – දෙමළ ඉංග්‍රීසි හොදට ලියන්න කියවන්න පුළුවන්. දැං අධ්‍යාපනය හමාර කරල ඉන්නේ රස්සාවක් බලාපොරොත්තුවෙන්. අපිට දෙමළ සිංහල කියල කිසිම භේදයක් නැහැ. ඒකට හේතුව හැමෝටම භාෂාව හොඳට පුළුවන් වීම. ඒ ගැන සැකයක් ඇතිවෙන්නේ නැහැ. කොස්ගෙඩියක් කැඩුවත් බෙදාහදාගෙන තමයි කන්නේ. ලෙඩක් දුකක් වුනත් අපි එකට එකතුවෙනවා. අපිට සමිති සමාගම් තියෙනවා මුදල් අතමාරු ගන්නවා කිසිම ප්‍රශ්නයක් නැතිව. දුප්පත්වුණත් අපි හැමෝම සන්තෝෂයෙන් එකට ජීවත්වෙනවා. අපිට කියන්න තියෙන්නේ අපි හැමෝම එකට හිටියොත් අපි හැමෝටම දිනන්න පුළුවන් කියන එක.