Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

කංකෙඳිරියකින් ඔබ්බට නොගිය
මඩකළපුවේ සංහිඳියාව

සංහිඳියාවේ අගය රටකට දැනෙමින් පවතින යුගයක මඩකළපුවේ වැසියෝ සංහිඳියා පොද වැස්සක් අයදිමින් බලා සිටිති. ඒ, සුහදතාව නැතිවුණු තැන අත්වන සෙතක් නැති සේ ම සෑම ජනවර්ගයක ම වුවමනා සැපිරීමෙන් රටට අත්වෙන්නේ මහත් සෙතක් බව ඔවුන් අත්දැකීමෙන් ම අවබෝධ කොට ගෙන ඇති නිසාවෙනි.

23.10.2018  |  
මඩකලපුව දිස්ත්‍රික්කය

මඩකළපුව නගරයට ආසන්නයේ පිහිටි  නාවක්කුඩා නගරයේ සංචාරක හෝටලයක් පවත්වාගෙන යන සින්නතම්බි විජිධරන් වයස අවුරුදු දාසය වනවිට එනම් 1987 සිට 1989 දක්වා එල්.ටී.ටී.සංවිධානයේ ළමා සොල්දාදුවකු ලෙස කටයුතු කර එවකට ඉන්දියානු සාම සාධක හමුදාවට ද එරෙහිව සටන් වැදුණු අයෙකි.තම සංවිධානය පිළිබඳ කලකිරුණු ඔහු නීතී විරෝධී ගමන් බලපත්‍රයකින් රැකියාවක් සඳහා සවුදි අරාබියට මුලින්ම විදේශගතවන ඔහු අවසානයේ නවතින්නේ එංගලන්තයේ පුරවැසිභාවය ද හිමිකරගෙනය. සිය මවුබිම දකින්නට හා විඳින්නට ඇති ආශාව නිසාම නැවත මඩකළපුවට පැමිණෙන විජිධරන් සංචාරක හෝටලයක් ආරම්භ කරන්නේ පූර්ණ සාමය සංහිඳියාව සිය ගම්බිම්වල ද පැළපදියම් වනු ඇතිය යන්න අරමුණු කොටගෙන ය. විජිධරන් පවසන්නේ වෙනත් පළාත්වල දකින්නට ඇති සංහිඳියා යාන්ත්‍රණය මඩකළපුවේ ක්‍රියාත්මක වීම නොපෙනෙන බව ය. ඊට හේතුව ලෙස ඔහු දකින්නේ ඔවුන් නියෝජනය කරන, ඔවුන්ගේ සිතුම් පැතුම් තේරුම් ගන්නා කිසිවකු  එහි නොමැති බවය.

“කම්කරුවෙක් විදිහට විඳින්න ඕන හැම දුකක්ම මං පිටරටදී වින්දා. මට ඕන වුණේ සල්ලි හම්බකරල ඒ සල්ලි නැවත මගේ රටේ ආයෝජනය කරල හොද පුරවැසියෙක් විදිහට ජීවත් වෙන්න. මං මගේම සංචාරක හෝටලයක් ආරම්භ කළා. අද වෙනකොට මගේ හෝටලයට සිංහල, දෙමළ, මුස්ලිම් දේශීය පිරිස් වගේම විදේශිකයනුත් එනවා. මඩකළපුවේ පදිංචි දහඅට දෙනෙකුට මං හෝටලයේ රස්සාවල් දීල තියෙනවා. මට අවශ්‍යයි දෙසීයකට තුන්සීයකට රස්සාවල් දෙන්න. මගේ ළඟ ඒ සදහා සැලසුම් තියෙනවා. ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්නට ගැළපෙන පරිසරයක් මඩකළපුවේ තවම නෑ‘ යි විජිධරන් කියයි.

සංහිදියා යාන්ත්‍රණය පිළිබඳ මඩකළපුවේ ජනතාව දැනුම්වත්කිරීමේ කිසිදු වැඩසටහනක් මේ පළාතේ න්‍රියාත්මක වෙන්නේ නෑ. සංහිඳියා යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන රජයේ හෝ වෙනත් ආයතන මඩකළපුවට එනවානම් මං සම්පූර්ණයෙන්ම ඔවුන්ට වුවමනා පහසුකම් සලසනවා ‘ යැයි විජිධරන් පවසන්නේ ළමා සොල්දාදුවකු ලෙස ඔහු ගත කළ කඨෝර දිවිය ද මතකයට නඟා ගනිමිනි.

‘මං දැක්කා සුහදතාව නැතිවුණු තැන අපේ රටට වෙච්ච විනාශය. සෑම ජනවර්ගයකටම සමාන අයිතිවාසිකම් ලබාදීමෙන් මේ රටට අත්වෙන්නේ විශාල වාසියක්.” යි ඔහු කියයි.

මඩකළපුව දිස්ත්‍රික් සිවිල් සංවිධාන එකමුතුවේ සභාපති එස්.මාමංගරාජා මහතාට සංහිඳියාව පිළිබඳ ඇත්තේ අපූරුතම මතවාදයකි. “සංහිඳියාව අපේ රටට අත්‍යාවශ්‍ය දෙයක් යැයි මුළු රටම දන්නා බවක් මා සිතන්නේ නෑ. මඩකළපුවේ ජනතාවට සාමය සංහිඳියාව අත්‍යාවශ්‍ය බවයි මගේ අදහස. මඩකළපුවේ සමස්ත ජන්දදායකයින් සංඛ්‍යාව ලක්ෂ තුනහමාරක් විතර වෙනවා. මෙයින් දෙලක්ෂ අසූහතර දහසක් විතර ද්‍රවිඩ ජන්දදායකයන්. හැත්තෑ නවදාහක් විතර මුස්ලිම් ජන්දදායකයන්. ඉතිරි සුළු පිරිස මංගලගම ඇතුළු අවට ඉන්න සිංහල පිරිස. මේවනවිට මඩකළපුව දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව නියෝජනය කරමින් ඇමතිවරුන් තුන්දෙනෙක් පත්වෙලා ඉන්නවා.ඔවුන් ඉතාම ඉහළින් ඔවුන්ගේ ජනතාවට සේවය කරනවා. ඒක අගය කළ යුතුයි. දෙමළ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉන්නෙ තුන්දෙනයි, ඔවුනුත් ඉන්නෙ විපක්ෂයේ. ඔවුන්ගේ අදහස් යෝජනා හැමවෙලාවේම මතු වන්නේ විරෝධාකල්ප ලෙසයි. ඒ නිසා  මඩකළපුවේ දෙමළ ජනතාව හුදෙකලා වෙලා. සංවර්ධන කමිටු රැස්වීමකවත් නායකත්වය ද්‍රවිඩ අයෙකුට නැහැ.මේ තත්වය තුළ ද්‍රවිඩ ජනතාවගේ සිතුම්පැතුම් තේරුම් නොගැනීම නිසා සංහිඳියාව සම්බන්ධ නොයෙකුත් ව්‍යාකූලතා ඇතිවෙලා. අපේ අදහස්, යෝජනාවලට ඇහුම්කන් දෙන්න මේ නිසා කවුරුවත් නැහැ.‘ යි ඔහු කියයි.

විජිධරන් හා විනෝදරාජ්

මේ රටේ ස්ථිර සංහිදියාව ඇතිකරන්න නම් පාර්ශව කරුවන් හයකගේ දායකත්වය එයට ලැබිය යුතු වෙනවා. පළමු පිරිස සිංහළ ද්‍රවිඩ මුස්ලිම් සාමාන්‍ය ජනතාව. දෙවැන්න සියලුම ජාතීන් නියෝජනය කරන දැඩි මතධාරී පිරිස්. තෙවැන්න සියලුම දේශපාල පක්ෂ නියෝජනය කරන දේශපාලකයන්. සිවුවැන්න සියලුම ජාතීන් නියෝජනය කරන ඩයස්පෝරාව.

පස්වැනියට තමිල්නාඩු දේශපාලඥයන් ඇතුළු මධ්‍යම රජයේ ක්‍රියාකාරීන්. මොකද ඔවුන් ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය මුල්කරගෙන දේශපාලන වාසි ගන්නවා. ඔවුන්ට මෙහේ ප්‍රශ්න වැඩිවෙන තරමට වාසියි. ඒ නිසා ඔවුනුත් මිට හවුල්කර ගතයුතුයි. හයවැන්න තමයි මේ ක්‍රියාවලියේදී වඩාත්ම වැදගත් වෙන්නේ බෞද්ධ රටක මහා සංඝරත්නය.මහා සංඝරත්නයේ තීන්දු තීරණවලට සෑම කෙනෙක්ම ගෞරව කරනවා.

මේ පාර්ශවකරුවන්ගේ සාකච්ඡා සම්මන්ත්‍රණ අවසානයේ මතු වන තීන්දු තීරණ මේ රටට ඉතාම වැදගත් වේවි. යුද්ධය පැවතුණු කාලයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සටන්කළේ වෙනම රාජ්‍යක් වෙනුවෙන්. දැන් යුද්ධය අවසන්වෙලා අවුරුදු නවයක් විතර ගතවෙලා මුලු රටම සන්සුන් වුණත් සංහිඳියා ක්‍රියාවලියේ උපරිම ප්‍රතිඵල අත්කරගන්න තවම අපි සමත්වෙලා නැහැ. රජයේ මැදිහත්වීමෙන් අත් කර ගෙන තිබෙන ප්‍රගතිය හා යහපත් ප්‍රතිපල ගැන මඩකළපුවේ සිදු වන සංවාදය අවමයි.”

මඩකළපුව දිස්ත්‍රික්කය සංචාරක කටයුතු මෙන්ම කෘෂිකාර්මික කටයුතු සදහාද වඩා ප්‍රසිද්ධියක් ඉසිලුවද සංහිදියාව සන්නිවේදනයේ පවතින දුර්වලතා හේතුවෙන් කෘෂිකාර්මික හා ව්‍යාපාරික කටයුතු වලදී ඔවුන්ගේ අස්වනු අලෙවිකිරීම තුලදි අනෙක් දිස්ත්‍රික්කවලට සාපේක්ෂව ගැටලු රැසකට මුහුනදීමට සිදුව ඇතැයි මඩකළපුව නගරයට නුදුරෙන් පිහිටි ඌරනී ගම්මානයේ වෙසෙන  කුඩා පරිමානයේ ව්‍යාපාරිකයෙකුවන අර්සරත්නම් විනෝදරාජ් පවසන්නේ තම ප්‍රශ්නවලට සාධාරණ විසඳුම් දෙනවා යනු සියලු ජනයා අතර බැඳීමක් ඇතිවීම බවයි.‘මං හිතන්නේ ඒ බැඳීම තමයි නියම සංහිදියාව‘ යැයි ඔහු කියයි.

‘දේශපාලනඥයන් තමයි සංහිඳියාව ඇතිකරන්න අවශ්‍ය මූලික අඩිතාලම දැමිය යුත්තේ. එතකොට තමයි එතනින් පහළට එය ක්‍රියාත්මක වන්නේ. කොළඹදී සාකච්ඡාකරන දේවල් මඩකළපුවෙදී බිම්මට්ටමෙන් ක්‍රියාත්මක නොවීමයි අද සිදු වන්නේ. මා යෝජනා කරන්නේ සිංහල වගේම දෙමළ අය අතර බිම්මට්ටමේ සංහිඳියාව පිළිබඳ කතිකාවතක් ඇති විය යුතු බවයි. නිරන්තරවම එකිනෙකාගේ භාෂාව සහ සංස්කෘතිය පරිහරණය කිරීමේදී ඉන් සංහිදියාව ඇතිවෙනවා. ජනතාව මිශ්‍ර‍වෙන තරමට සංහිඳියාව ගොඩ නැඟෙනවා. යුද්දෙට කළිං මේ පිළිබඳ ලබපු අත්දැකීම් අපිට තියෙනවා.‘ යි ඔහු කියයි.

කමලදාස් හා මාමංගරාජා

සංහිදියාව පිළිබදව තොරතුරු ග්‍රාමීය මට්ටමෙන් දැනගැනීමට ඇති නොහැකියාව   අපිට විශාල බාධාවක්වෙලා තියෙනවා. නිළධාරීන් අපේ ගම්වලට එන්නේ නැහැ. අපේ ගම්වල ඕන තරම් ඉන්නවා සංහිදියාව කියන්නෙ මොකක්ද කියල දන්නේ නැති අය. සුලුවෙන් හරි මෙහෙම තොරතුරු දන්නේ ඉදල හිටල හරි පත්තර බලන නිසා.රටේ වෙනත් පළාත්වල සංහිදියා වැඩසටහන් ගැන අපි දැනගන්නේ පුවත්පත්වලින්. මඩකළපුවේ සංහිදියා රාජ්‍ය යාන්ත්‍රණය මීට වඩා ශක්තිමත් නොවුනහොත් සිදුවන්නේ මහා විනාශයක්.ඒ විනාශය කොයි තරම්වෙයිද කියල දන්නේ  උඩ ඉන්න දෙවියෝ විතරයි.”

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම ගුරුවරයකු ද වන ගුරු උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ වර්තමානයේදී මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් සංහිඳියා කාර්යාංශයේ ඒකාබද්ධ ලේකම් ලෙස කටයුතු කරන වර්ණකුලසිංහම් කමලදාස් පවසන්නේ මෙවැනි අදහසකි.

“ දෙදහස් හතරේ ඇතිවුනු සුනාමිය මහා විනාශයක් ගෙනාවා. සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම එකතුවෙලා එදා එකිනෙකාට උදව් කළා. ඒ කාලේ මෙහෙම සංහිඳියාව ගැන අපි දැනගෙන හිටියේ නැහැ. ඒත් හැමෝම එකිනෙකාට පුළුවන් විදිහෙන් උදව් කළා. කෑම බීම  ඇදුම් පැළඳුම් හුවමාරුකර ගත්තා.

අදවෙනකොට ඒ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්වෙලා. සංහිඳීයාව අවශ්‍ය අදටයි. සංහිඳියාව වෙනුවෙන් ආණ්ඩුව විශාල මහන්සියක් දරනවා. ඒත් මේ සම්බන්ධයෙන් මඩකළපුවේ කිසිම දෙයක් සිද්ධවන්නේ නැහැ.

ජාතීන් අතර සංහිදියාව නංවන්න, භාෂා ගැටලුව විසඳන්න ස්ථිරසාර විසඳුම් අවශ්‍යයි. අතීතය අමතක කරල අනාගතය ගොඩනගන්න හැමෝම එකතුවුණේ නැත්නම් නැගෙනහිර පළාතටම අත්විඳින්න වෙන්නෙ අයහපත ම විතරයි” යැයි කමලදාස් කියයි.