Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

වාර්ගික රේඛාවෙන් නොබෙදුණු
ටොරින්ටන් වෙළෙඳුන්ගේ මනුස්සකම

වාර්ගිකත්වය නමැති බෙදුම් රේඛාවෙන් දෙපළු කළ නොහැකි ඔවුන්ගේ ස්නේහවන්ත මිත්‍රත්වය දිදුළයි. ඒ මහනුවර ටොරින්ටන් ෂොපිං කම්ප්ලෙක්ස් නමැති චතුරස්‍රාකාර බසාරයයි. මේ බසාරයේ අලෙවිකරන්නේ රෙදිපිළි, විසිතුරුබඩු, සුවඳවිලවුන්, අත්කම් ආදියයි. ඒවා සාපේක්ෂව ලාබ බඩු ය. එහෙත් එහි සිටින වෙළෙඳුන්ගේ හදවත්  මනුස්සකම නිසා බොහෝ බරැති ය.

06.11.2018  |  
මහනුවර දිස්ත්‍රික්කය
මහනුවර ටොරින්ටන් ෂොපිං කම්ප්ලෙක්ස් බසාරය

“එන්න මහත්තයා. ආ නෝනට ඇඳුමක්ද? එහෙනම් නියම තැන තියෙන්නෙ එහා පැත්තෙ. මල්ලි මේ මහත්තයා අපේ කුසුමා අක්කගෙ කඩේට එක්කරගෙන යන්න” සිය සේවකයෙකු ඇමතූ ඔහු “අපේ කුසුමා අක්කා” යන්න බරැති හඬකින් අවධාරණය කළේ ය. හෙතෙම මුසල්මානුවෙකි. ඔහුගේ අතවැසියාද මුසල්මානුවෙකි. ඔවුන්ගේ කුසුමා අක්කා සිංහල ය.

වාර්ගිකත්වය නමැති බෙදුම් රේඛාවෙන් දෙපළු කළ නොහැකි ඔවුනගේ ස්නේහවන්ත මිත්‍රත්වය දිදුළයි. ඒ මහනුවර ටොරින්ටන් ෂොපිං කම්ප්ලෙක්ස් නමැති චතුරස්‍රාකාර බසාරයයි. නගර මධ්‍යයේ ඔරලෝසු කණුව අසලට පැමිණෙන්නකුට පහසුවෙන් ප්‍රවේශ වියහැකි මේ බසාරයේ අලෙවිකරන්නේ රෙදිපිළි, විසිතුරුබඩු, සුවඳවිලවුන්, අත්කම් ආදියයි. ඒවා සාපේක්ෂව ලාබ බඩු ය. එහෙත් එහි සිටින වෙළෙඳුන්ගේ හදවත්  සොඳුරු මනුස්සකම නිසා බොහෝ බරැති ය.


ඔවුන් පවසන්නේ එකිනෙකාගේ ජීවන රටාව හා  සංස්කෘතිය අවබෝධ කරගත් විට මානව ප්‍රේමය උපදින බවයි. එවිට ඔවුන්ට විපත් පැමිණවීමට පිටස්තරයාට නොහැකි බව ය.

එහි හරිහරියට සිංහල හා මුස්ලිම් වෙළෙන්දෝ රැකියාවේ නියැළෙති. ඔවුන්ගේ උත්සාහය එදිනෙදා වියදම සොයාගැනීමටයි. එහෙත් එහි ඇති වෙළඳ තරගය වාර්ගිකත්වය ඉක්මවා යන හෙයින් ම විසිතුරු ය. මුස්ලිම් වෙළෙන්දා තමන් සතුව නැති යමක් වේ නම් සිය පාරිභෝගිකයා සිංහල වෙළෙන්දාට හඳුන්වා දෙන්නේ ය. සිංහල වෙළෙන්දාගේ සිරිත ද එයම ය.

මේ ඇතමෙක් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය වැනි උසස් පාසල්වල අධ්‍යාපනය ලබා මිශ්‍ර ජීවන අත්දැකීම් ලද්දෝ ය. සියලු දෙනා සංස්කෘතික හුවමාරුවේ සතුට භුක්ති විඳිති. සිංහල අවුරුදු සමයේ ද, රාමසාන් උපවාස සමයේ ද සිය අසල්වැසියාට සංග්‍රහ කරති. මහනුවර වෛර ගින්නෙන් දැවෙනවිට ද තම සහෝදරකම් පරිස්සම් කරගැනීමට ඔවුනට පුළුවන් වුණේ එහෙයිනි.  සිංහල වෙළෙඳුන් සිය නිවෙස්වල රැකවරණය ලබන්නැයි මුස්ලිම් සගයනට ඇරියුම් කළේ එහෙයිනි. ඔවුන් පවසන්නේ එක්නෙකාගේ ජීවන රටාව හා  සංස්කෘතිය අවබෝධ කරගත් විට මානව ප්‍රේමය උපදින බවයි. එවිට ඔවුන්ට විපත් පැමිණවීමට පිටස්තරයාට නොහැකි ය.

එක හැළියේ බත් කන්නේ අයියා මල්ලි වාගේ

“අපි අයියා මල්ලි වගේ ඉන්නේ. කන්නෙ බොන්නෙ පවා එකට“ කියන මොහොමඩ් ඉනාෆ් අවුරුදු විස්සක් තිස්සේ ටොරිංටන් ෂොපිං කම්ප්ලෙක්ස් හි ව්‍යාපාර කරන මුසල්මානුවෙකි. ඔහු සිය සිංහල සගයන් හා ප්‍රේමනීය ජීවන අත්දැකීම් හුවමාරු කර ගන්නේය. මහනුවර දිගන වර්ගවාදයේ ගිනි පුපුරක් නිර්මාණය කොට මුළුමහත් නුවර ඒ ගින්නෙන් දැවෙන්නට වනවිට ද ඔවුන් ආරක්ෂිත වූයේ සිය සිංහල මිතුරන් ආරක්ෂක පවුරක් සේම ඔවුන් වට කොට සිටි නිසා ය. “අපිට බයක් දැණුනෙ නෑ එයාලා අපේ වටේට හිටියා හයියට. අපි ගෙවල්වලට ගියාම සැරෙන් සැරේ කෝල් කරලා අහනවා ඔක්කොම හරි නේද? ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්නනම් එන්න අපේ ගෙදරට. මෙහේ ඔයාලට පරිස්සම් කියලා. ඒක තමයි අපේ සහෝදරත්වය‘‘ ඉනාෆ් පවසන්නේ ය.

මොහොමඩ් ඉනාෆ්

මුසල්මානුවන් ගේ ආහාර ප්‍රතික්ෂේප කරන්නැයි අන්තවාදීන් පවසද්දී මහනුවර ටොරිංටන් හි සිංහලයා සිය බත්පතට ඒ අහර මුසුකර ගත්හ. ඔවුන් කමින් සිටි කෑම පංගුවෙන් කටක් දෙකටක් කෑහ. රාමසාන් සමයේ එහි හැමදිනකම ඉෆ්තාර් උත්සව මැවුණේ ය. “අපි රාමසාන් කාලේ නෝම්බි ඇරියම ඒ ගොල්ල මතක් වෙනවා. ඉතිං ආපහු ෂොප්එකට එන්නෙ එයාලටත් කන්න බොන්න මොනවහරි අරගෙන. එයාලත් බලාගෙන ඉන්නවා අපි එනකම්. අපේ යාළුවන්ට කවදාවත් ප්‍රශ්නයක් වුණේ නෑ මුස්ලිම් අයගෙ කෑම“

මොහොමඩ් ඉනාෆ් සහ සියලු මුස්ලිම් ව්‍යාපාරිකයන් ටොරිංටන්හි හි සිය සිංහල අසල්වැසියාට ද වෙළෙදාමේදී සහාය දැක්වීමේ ප්‍රතිපත්තියකට එළඹ සිටිති. ඔවුන් කිසිවිටෙක අපි මුස්ලිම් පිළිවෙතක් අනුගමනය නොකරන හෙයින් තමන් වෙත නොමැති භාණ්ඩයක් නම් එය වෙනත් මුස්ලිම් අයෙකුගෙන් මිලදී ගත යුතු යැයි නොසිතා අසල සිටින සිංහල ව්‍යාපාරිකයාට ද අවස්ථාව ලබා දෙයි. සිංහල ව්‍යාපාරිකයාද ඒ හදවතේ නියමයෙන් බැඳී සිටින්නේ ය.

සුමිත් ප්‍රනාන්දු

සුමිත් ප්‍රනාන්දු අවුරුදු විසි එකක් තිස්සේ ටොරින්ටන්හිහි වෙළඳාම් කරන සිංහල බෞද්ධ තරුණයෙකි. “අපි අතර තියෙන බිස්නස් එකට සීමා වෙච්ච යාළුකමක් නෙමෙයි. මේකට කියන්නෙ එනිටයිම් ෆ්‍රෙන්ඩ්ෂිප් කියලා. අපි හැමවෙලාවෙම එකට ඉන්නවා. මරණෙට මංගල්ලෙට හැම දේකටම. කන්නෙ එක කෑම පංගුව බෙදාගෙන හුඟක් වෙලාවට.“ ඔහුට අනුව පසුගිය භීම සමයේ මුස්ලිම් මිතුරන්ගේ ආරක්ෂක පවුර වන්නට ලැබීම මහත් ගෞරවයකි. “අපි අපේ යාළුවන්ව පරිස්සම් කළා. එයාලගෙන් අහලා බලන්න කාටවත් අපි ඉඩ තිබ්බෙ නෑ ගල්   කැටයක්වත් ගහන්න“ ඒ ස්ථාවරය පිටස්තර මැරයන් සිය මිතුරන් කරා එළඹීම වළක්වා ලී ය.  රාමසාන් සමයේ මුස්ලිමුන් හා උත්සව ශ්‍රීය විඳගන්නට එක් වන සුමිත් සිංහල අවුරුදු භෝජනයට ඔවුන්ටද ඇරියුම් කරන්නේ චිරාගත සිරිතක් ලෙස ය. ඔහු එය සමාන කරන්නේ පරම්පරාගත නෑයින්ට කෑම වේලක් දීමට ය.

වර්ගය දෙවියන්ගෙන් බැහැරය

මොහොමඩ් අර්ශාන් පවසන පරිදි කිසිම මනුෂ්‍යයෙක් වර්ගය මත පදනම්ව වෙන් කළ නොහැකි ය. එසේ කිරීම යුක්ති සහගතද නොවේ. අවුරුදු ගණනාවක් තිස්සේ තමන් සහෝදරත්වයෙන් එක්ව සිටීම රටටම ආදර්ශයක් බව ඔහුගේ දැක්මයි. “ පහුගිය කාලෙ ප්‍රශ්න ඇති වුණා. ඒකට හේතුව වුණේ දෙගොල්ල අතර හිටපු සුළු පිරිසක් වුණු දුෂ්ඨ අයගෙ වැරදි. බෙදීම්වලට හේතුව පටු අදහස්. හැබැයි දෙයියනේ කියලා අපිට කිසිම කරදරයක් වුණේ නෑ. සිංහල අය සෑහෙන්න සහයෝගය දුන්නා අපිට. අපිට ඒ අයගෙ විශ්වාසය තිබ්බා“

මොහොමඩ් අර්ශාන්

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඔහුගේ මිතුරන් නිතර විපරම් කළේ මිතුරාගේ ආරක්ෂාව ගැනය. “පොලිසියේ, හමුදාවෙ යාළුවො නිතර බලන්න ආවා. කරදර නම් බය නම් ඇවිල්ලා එයාලගේ ගෙවල්වල නවතින්න කිව්වා. අනේ සමහරු කෑම උයාගෙනම තමයි අපිව බලන්න ආවෙ“

ඔහුට අනුව ඒ සහෝදරත්වයේ බන්ධනයයි. තමන් ඇතුළු මුසල්මානුවන් ද වර්ගවාදය ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලය යි.

අර්ශාන් සහ සෙසු මුස්ලිම්වරු සිංහලයන්ගේ බණ ගෙවල්වලටද ගොස් අවසන් තත්පරය දක්වා උදව් පදව් කරමින් රැඳී සිටින්නෝ ය. එහි ඇත්තේ විශ්වාසයේ හා සහෝදරත්වයේ ආගමයි.

සහෝදරත්වයේ බන්ධනය

“අපි කවදාවත් බඩු ගන්න එන කෙනෙකුට පිටට යන්න දෙන්නෙ නෑ. දියුණු වෙන්න ඕන මෙතන නේ. ඒකට තියෙන්න ඕන එකමුතුකම. සිංහලද මුස්ලිම් ද කියලා නෑ අපිත් එක්ක ඉන්න හැමෝම දියුණු වෙන්න ඕන“ ඔහුගේ මේ අදහස මුළු රටටම නාභිගත වියයුතු බව ද හේ විශ්වාස කරයි. “රටේම එහෙම වුණොත් අපේ රටත් දියුණු වෙයි“ අර්ශාන් පවසන්නේ එහෙයිනි.

මහනුවර අම්පිටියේ සිට ව්‍යාපාරික ස්ථානයට පැමිණෙන කුසුමා අක්කා ඇතැම් දවසක සියලු මිතුරන්ට ආහාර ද පිස ගෙන එන්නී කා හටත් ප්‍රේමවන්ත සහෝදරියකි. “ අනේ ඉතිං අපේ දුකට සැපට ඉන්නෙ මෙයාලනේ. අපි මොනව බෙදාගන්නද තරහ වෙන්නෙ. කන්නෙත් එකට වෙච්චිකොට“ කුසුමක්කාට අනුව බෙදී වෙන්වීමේ අර්ථය මනුස්සකම හැරයාමයි. එහිලා ඌනපූර්ණයක් එකතු කළේ මොහොමඩ් ඉනාෆ් ය.

“අපි අනිත් අය ගැන තේරුම් නොගත්තම එයාලගේ සංස්කෘතිය ගැන දැනීමක් නැති වුණාම තමයි බෙදිලා ගහ මරා ගන්නෙ. ඉතිං මොකක්ද කරන්න ඕන. අනිකාව තේරුම් ගැනීම ප්‍රශ්න එතැනින්ම ඉවරයි. මෙහේ මේ ටොරින්ටන් එකේ වෙලා තියෙන්නෙ ඒක තමයි“