Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

පස මිතුරු කඳවුරු දෙකක් යා කළ
සංහිඳියාවේ පෙම් පුවතක්

 දශකයකට පෙර මේ යුවළ එකිනෙකාට වෛර  කළ දෙදෙනෙකි. වසර කීපයකට පසු යුද්ධයේ නිමාවත් සමඟ ඔවුහු පෙම්වතුන්  බවට පත්වූහ. ඉනික්බිති සිවිල් ආරක්ෂක භටයා සහ හිටපු එල්ටීටීඊ සෙබළිය රන් හුයෙන් බැඳිණි. දැන් ඔවුහු එක් පෙරමුණක සිට දිවි සටනේ නියැළෙති.

08.11.2018  |  
කිලිනොච්චි දිස්ත්‍රික්කය

“අපේ දුවට ජාතිකත්වයක් නැහැ.” ප්‍රසූත නිවාඩුවේ පසුවන හිටපු එල්ටීටීඊ සෙබළිය සුබ්‍රමනියම් ගෞරි මලර් පවසන්නීය. “ඇය ශ්‍රී ලාංකිකයෙක්” යුද සමයේ චතුරංග සහ ගෞරි විරුද්ධ පාර්ශ්වවල සොල්දාදුවන්ය. අද  ඔවුන් විවාහ වී ඇති අතර ඔවුන්ගේ දියණිය සරලව ම හඳුන්වන්නේ ශ්‍රී ලාංකික කියා ය.

ගෞරි සිවිල් ආරක්ෂක බළකායේ සෙබළකු වූ සිය සිංහල සැමියා සහ ඔවුන්ගේ අලුත උපන් කිරි කැටි දියණිය සමඟ වෙසෙන්නේ මේ වනවිට අක්‍රියව පවතින එල්ටීටීඊයේ ප්‍රධාන නගරය බවට පත්ව තිබූ   කිලිනොච්චියේ විශ්වමඩු ප්‍රදේශයේ ය. ඇය පවසන්නේ ඇගේ දියණියට ආගමක් ද නැති අතර තීරණ ගැනීමට තරම් වයසකට ආ විට තෝරා ගැනීමේ නිදහස ඇයට තිබෙන බවයි.

ගෞරි පවසන්නේ “අපි දැන් බහු ජාතික, බහු ආගමික සහ බහු සංස්කෘතික පවුලක්” කියා ය.

බහු සංස්කෘතික පවුලක්

දශකයකට පෙර මේ යුවළ එකිනෙකාට වෛර  කළ දෙදෙනෙකි. එක් අයකු ත්‍රස්තවාදී පහරදීම්වලින් සිය ගම ආරක්ෂා කරන අතර අනෙක් කෙනා ත්‍රස්තවාදය පරාජය කිරීමට පෙළ ගැසී එන ආරක්ෂක පෙරමුණේ සොල්දාදුවන්ට එරෙහිව ඉදිරියෙන්ම සිට සටන් වදියි. වසර කීපයකට පසුව යුද්ධයේ නිමාවත් සමඟ ඔවුහු පෙම්වතුන්  බවට පත්වූහ. සිවිල් ආරක්ෂක භටයා සහ හිටපු එල්ටීටීඊ සෙබළිය 2014දී රන් හුයෙන් බැඳිණි.

“අපි එකිනෙකා සමඟ සටන් කළා වුණත්, මා ඇය මුලින්ම දුටු දිනයේ ඇගේ  කිසිදු වෙනසක් දුටුවේ නැහැ” යයි පවසන්නේ 28 හැවිරිදි රොෂාන් චතුරංග ජයතිලක වන ගෞරිගේ සැමියා ය.

වවුනියාවට කිලෝමීටර හයක් දුරින් වූ ඉරට්ටපෙරියකුලම් නම් සිංහල ගම්මානයෙන් පැමිණි චතුරංග සිය පියාගේ අඩි පාරේ යමින් සිවිල් ආරක්ෂක හමුදාවට සෙබළකු ලෙස 2008 වසරේ බැඳුණේ, එල්ටීටීඊ ප්‍රහාරවලින් තම ගමත් අවට ගම්මානයත් රැක ගැනීම සඳහා ය.

තර්ජිත ගම්මාන කීපයකට මැදිව ඔහුගේ ගමේ ජීවත් වූ සමහර ගොවි පවුල් නිරන්තර එල්ටීටීඊ ප්‍රහාරවලට බියෙන් සිටි අතර, එහි බහුතරයක් ළමයින් මෙන්ම චතුරංග ද පැවැති ආරක්ෂක තත්ත්වය මත ඉගෙන ගත්තේ 10 පන්තිය දක්වා පමණි.

“එල්ටීටීඊය අවට ගම්වලට පහර දෙද්දීත් මිශ්‍ර පවුල්වලින් මට යාළුවෝ බොහෝ දෙනකු හිටියා වගේම අපි අතර කිසිම ජාති භේදයක් තිබුණේ නැහැ” චතුරංග සිහිපත් කරන්නේ, ඉරට්ටපෙරියකුලමේ මාර්ග බාධකයේ පොලිස් ස්ථානයේ වසර දෙකක් ද, ඉන් පසු සිවිල් ආරක්ෂක බළකාය මඟින් පවත්වාගෙන ගිය සෝගම් සහ එළවළු ගොවිපොළේ වසර දෙකක්ද සේවය කෙරූවකු වශයෙනි.

කිලිනොච්චියේ නව විහිදුම්කරණය නිසා සිවිල් ආරක්ෂක බළකායේ නව ප්‍රධාන කාර්යාලය විශ්වමඩු හි ඉදිවුණු අතර, සිවිල් ආරක්ෂක බළකායෙන් මෙහෙයවන විශාල ගොවි පළේ  අධීක්ෂකයකු ලෙස ලද පත් වීම 2012 වසරේදී චතුරංගගේ ඉරණම වෙනස් කිරීමට හේතු විය.

එක දෙමළ වචනයක් හෝ කතා කිරීමට නොහැකි නව අධීක්ෂකවරයාට හෙක්ටයාර 25ක් විශාල ගොවි පළේ සේවකයන් සමඟ සන්නිවේදනය කිරීම සඳහා පරිවර්තිකාවක පත් කරන ලදී. ඇය ගෞරී නම් වූ අතර චතුරංගට සේවකයන් සමඟ අදහස් හුවමාරු කිරීමට සහාය වෙමින් දෙමළ බස ඉගැන්වීමටද සමත් වූවාය.


එක දෙමළ වචනයක් හෝ කතා කිරීමට නොහැකි නව අධීක්ෂකවරයාට හෙක්ටයාර 25ක් විශාල ගොවි පළේ සේවකයන් සමඟ සන්නිවේදනය කිරීම සඳහා පරිවර්තිකාවක පත් කරන ලදී. ඇය ගෞරී නම් වූ අතර චතුරංගට සේවකයන් සමඟ අදහස් හුවමාරු කිරීමට සහාය වෙමින් දෙමළ බස ඉගැන්වීමටද සමත් වූවාය.

“අපි ආදර සම්බන්ධයක් පටන් ගත්තා. ගෞරිගේ ගෙදරින් ආශිර්වාද ලබා ගත්තා. මං සිවිල් ආරක්ෂක බළකායට බැඳිලා අහිංසක ගම් වැසියන් කපා කොටා මරා දමා, ඔවුන්ගේ දේපළ විනාශ කළ එල්ටීටීඊ ප්‍රහාරකයන්ට විරුද්ධව සටන් කළා තමයි, ඒත් දෙමළ මිනිසුන් සමඟ වෛරයක් තිබුණේ නැහැ. අපි දෙමළ ගම්මානවල වැසියන් සමඟ එකට කටයුතු කරලා ඔවුන් සමඟ හොඳ බැඳීමක් ඇති කර ගෙන තිබුණා” චතුරංග සිහි කරයි.

යුද සමයේ හැදී වැඩීම

ගෞරි ඇයගේ නැන්දණිය සමඟ පුත්තලමේ ජීවත් වූ අතර පැවතුණු ගැටුම්කාරී තත්ත්වය මත ඇයට පාසල් යා හැකි වූයේ 8 ශ්‍රේණිය දක්වා පමණි. යුද්ධයේ උච්ඡතම අවස්ථාවේ එල්ටීටීඊයට සිය මානව සම්පත්වල බලය හීන වෙමින් යද්දී ගෞරි ඇතුළු සිය ගණන් නව යොවුන් වියේ ගැහැනු ළමයින් සහ පිරිමි ළමයින් එල්ටීටීඊයේ බලහත්කාරී බඳවා ගැනීම්වල ගොදුරු බවට පත් විය.

මඳ පුහුණුවකින් පසු මේ යෞවන යෞවනියන් යොදවා තැබුණේ  මුලතිව් ප්‍රදේශයේ හමුදාව වේගයෙන් වටලමින් යන එල්ටීටීඊ පාලනයට යටත්ව තිබූ භූමි ප්‍රදේශවල සෙබළුන්ට එරෙහිව පෙරමුණේ සටන් කිරීම සඳහා ය. ගෞරී පවසන ආකාරයට එල්ටීටීඊය සිය ප්‍රචාරක ව්‍යාපාරය දියත් කළේ සිංහල මිනිසුන් හා සිංහල සෙබළුන් පිළිබඳ වෙනස්ම චිත්‍රයක් මවමින්, ඔවුන් දෙමළ ජනයා මරා දමන, තරුණියන් දූෂණය කරන, දරුවන් කෑලි කෑලිවලට කපා දමන පිරිසක් බව පවසමිනි.

“ඇය අනෙක් පිරිස සමඟ පුත්තලමට ගිහින්  සටන් විරාම ප්‍රදේශයේදී තමන්ගේ පවුලේ අය සොයා ගත්තා. පස්සේ හමුදා සෙබළුන්ට යටත් වුණා.” චතුරංග කීවේ ය.

පවුල් දෙකේම සාමාජිකයන් මොවුන් දෙදෙනාට ආශීර්වාද කළ ද චතුරංග පවුලේ එකම පුතා වූ නිසා ඔහුගේ මවගේ ආශීර්වාදය ලැබීමට තරමක් ප්‍රමාද විය.

“මට මේ සම්බන්ධය නතර කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ, මොකද මං අවුරුදු දෙකක් විතර ඒ අයගේ ගෙවල් දොරවල්වල ගිය නිසා ඒ ගොල්ලන්ගේ ඥාති මිත්‍රාදී සියලු දෙනා වගේම ගමේ අය අපි කසාද බඳින්න ඉන්න බව දැනගෙන හිටියා. ඒ නිසා අම්ම විරුද්ධ වුණත් මං මෙයාව අපේ ගෙදර එක්කගෙන ආවා. අපි අපේ කසාදේ ලියාපදිංචි කළා. දවස් දෙකකට පස්සේ මගේ තාත්තා අපට ගෙදර එන්න කියලා කිව්වා. එතකොට අපේ අම්මා ගෞරිව ඉතා ආදරෙන් පිළිගත්තා.” චතුරංග කීවේ ය.

පවුල් හවුල් වීම

ගෞරිගේ මාපියන් මෙන්ම සහෝදරියන් ද ඔහුට බොහෝ ළෙන්ගතු බව ඔහු පවසයි. ගෞරිගේ පවුලේ නෑ හිතමිතුරන්ගෙන් හෝ ගමේ අහල පහළ උදවියගෙන් සිංහල සොල්දාදුවකු සමඟ විවාපත් වීම පිළිබඳ කිසිදු විරෝධයක් ඇයට එල්ල වූයේ නැත. ” අපි දෙදෙනාම අපේ ආගම් දහම්වලට සංස්කෘතීන්ට ගෞරව කරනවා. අපි අපේ ආගමික උත්සව සමරනවා වගේම බුදු රජාණන් වහන්සේත් හින්දු දෙවිවරුනුත් අදහනවා.” ගෞරි පැවසුවා ය.

“මං පුත්තලමේ සිටි නිසා මම සිංහල අය ගැන හොඳට දන්නවා. අපි දෙගොල්ලො අතර කිසි වෙනසක් මම දකින්නේ නෑ. අපේ පවුල් දෙකේම අය අපේ දුවට ආදරේට කියන්නේ ‘සුදු අම්මා’ කියලා. ඒ වගේම මගේ ස්වාමි පුරුෂයාට අපේ අම්මලා කතා කරන්නේ ‘පුතා’ කියලා.” හමුදාවට යටත් වූ පසු පුනරුත්ථාපනය කෙරුණු ඇය පවසන්නී ය.

ගෞරීගේ වැඩිමහල් සොහොයුරිය, එල්ටීටීඊයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක වූ අතර ඇය එල්ටීටීයේ හිටපු සොල්දාදුවකු සමඟ විවාපත්ව දරුවන් තිදෙනා ද සමඟ කිලිනොච්චියේ පදිංචිව සිටින්නී ය. ඇයගේ වැඩිමල් සොහොයුරකු එල්ටීටීඊය මඟින් බලහත්කාරයෙන් දුන් අණකට අනුව භාණ්ඩ ප්‍රවාහනය කරමින් සිටියදී ෂෙල් වෙඩි ප්‍රහාරයකට හසුව මරුමුවට පත් වුණේ ය. ඔහුගේ සිරුර සොයා ගැනීමට නොහැකි වූ නිසා ඔහු ලැයිස්තුගත කෙරුණේ අතුරුදහන් වූවන්ගේ නාම ලේඛනයේ ය. ගෞරිගේ පවුලේ සාමාජිකයන් තවමත් බලා සිටින්නේ කවදා හෝ ඔහු ආපසු එතැයි යන අපේක්ෂාවෙනි.

“පවුලේ කෙනෙක් අතුරුදහන් වුණා කීවාම හිත හදාගෙන ජීවත් වෙන එක ලේසි දෙයක් නෙවෙයි. අපි නිතරම ඉන්නේ ඔහු ආපසු දකින බලාපොරොත්තුවෙන්. අපිට ඔහුගේ අවසන් කටයතුවලට අදාළ වතාවත් ටිකවත් කරන්න බැරි වුණා ඔහුගේ දේහය නොදුටු නිසා. මං මගේ අය්යාව මතක් වෙලා අඬන හැම මොහොතකම චතුරංග මගේ ළඟින් ඉඳන් මාව අස්වැසුවා.” ඇය සොවින් යුතුව පැවසුවා ය.

“අපිට අපේම ගෙයක් හදා ගන්න ඕනා. පුංචි වාහනේකුත් ගන්න ඕනා. ඒ වගේම අපේ පවුල සම්පූර්ණ වෙන්න තව බබාලා දෙන්නෙක් හදන්නත් ඕනා. මට ඕනා අනාගතේ චතුරංගට උදව් කරන්න පුළුවන් පුතෙක් බිහිකරන්න. එයා හරිම හොඳ කෙනෙක්.” ගෞරි පැවසුවේ තම සැමියා පිළිබඳ ය.