Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ඉරුණු තැන් මසා ගන්නට අවස්ථාව ලැබුණු
කොවිඩ් -19ට එරෙහි සටන

දෙකෝටි විසි ලක්ෂයක් ජනයාගේ ජීවිත මාරක ව්‍යයසනයකින් මුදා ගැනීම උදෙසා ඇඳිරිනීතිය පැනවීමේ සිට බොහෝ සීමා කිරීම් සිදුකරන්නට ශ්‍රී ලංකා රජයට සිදුව තිබේ. අගනුවර ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජනයාට මේ සීමා කිරීම් බරපතල ලෙස දැනෙමින් තිබියදී තවමත් කිසියම් බවභෝගයක්, ආහාරයක් එකිනෙකා අතර හුවමාරු කරගැනීමට අවස්ථාව තිබියදී පවා ග්‍රාමීය ජනයාටත් එතරම්ම සැහැල්ලුවක් නොදැනේ.

27.03.2020  |  
බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය

දොරකඩ සිටගෙන සිටි කෙසඟ මිනිසා අත පන් මල්ලකි. “මහත්තයා පොල් ගෙඩි දෙකක් තියෙනවා රුපියල් හැත්තෑව ගාණෙ දෙන්නම් ගන්නවාදැ”යි හෙතෙම ඇසීය. ඇඳිරි නීතිය පැය කිහිපයකට ඉවත් කළ විගස කීයක් හෝ සොයාගැනීමේ අටියෙන් මඟට බට ඔහු කාගේ හෝ ගෙවත්තක පොල් මුරයක් කඩා නැවත යන්නේ  සුලු කුලියට අමතරව ලද පොල් ගෙඩි දෙකද, පොළොස් ගැටයක්ද මා හට අලෙවි කර රුපියල් එකසිය අනූවක් උපයා ගත්තේය. රුපියල් දෙසියයක ඉතුරු මුදල ගෙවන්නට තමන් සතුව තිබූ කොස් පලුවකින් තරමක ඉරුවක්ද කපා මා හට දුන්නේය. “මක්කරන්නද මහත්තයා. ඇඳිරි නීතිය අහක් කරපු හැටියෙ පාරට බැස්ස, මාලු කන්ඩ අලකොළ ටිකකුත් කඩාගෙන යන ගමන” ගෝලීයව ව්‍යාප්ත වෙන කොරෝනා වසංගතය මැඩලීමට ගන්නා ලද ක්‍රියාමාර්ගයක් ලෙස පැනවූ ඇඳිරි නීතිය දින තුනකට පසු තාවකාලිකව ඉවත් කර පැය කිහිපයකට පසුව තවත් දින කිහිපයක් ජීවත්වීම සඳහා සොච්චමක් උපයාගෙන යමින් සිටි ඔහු බලංගොඩ රත්ඕවිට ගස් කුමාර ය.

දෙකෝටි විසි ලක්ෂයක් ජනයාගේ ජීවිත මාරක ව්‍යසනයකින් මුදා ගැනීම උදෙසා ඇඳිරිනීතිය පැනවීමේ සිට බොහෝ සීමා කිරීම් සිදුකරන්නට ශ්‍රී ලංකා රජයට සිදුව තිබේ. අගනුවර ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජනයාට මේ සීමා කිරීම් බරපතල ලෙස දැනෙමින් තිබියදී තවමත් කිසියම් බවභෝගයක්, ආහාරයක් එකිනෙකා අතර හුවමාරු කරගැනීමට අවස්ථාව තිබියදී පවා ග්‍රාමීය ජනයාටත් එතරම්ම සැහැල්ලුවක් නොදැනේ. ඒ එදිනෙදා කුලියක්මලියක් සිදුකොට ජීවත් වූ සහ සුලු පරිමාණ ව්‍යාපාරවල නිරත වූ ජනයාගේ ආදායම දින කිහිපයක් තිස්සේ අහිමිව ඇති නිසාය. නමුත් මේ කිසිම තැනැත්තෙකු රජය විසින් ඇඳිරි නීතිය පැනවීම හෝ වෙනත් සීමා කිරීම් සිදු කිරීම හෙළා දකින්නේද නැත. ඒ මේ සියලු පියවරවල අරමුණ තමන්ගෙත් සෙසු අයගේත් ජීවිතාරක්ෂාව තහවුරු කිරීම බව ඔවුන් වටහා ගෙන ඇති බැවිනි.

එස්. රාජන් රත්නම්

තුඹගොඩ හන්දියේ කුඩා සැලූනයක් පවත්වා ගෙන යන කරණවෑමියෙකු වූ එස්. රාජන් රත්නම් තෙදිනකට පසු සිය කතුරු දැලිපිහි අතට ගෙන තිබුණත් පැමිණ තිබුණේ ගැණූම් කරුවන් තිදෙනෙකි. ලද මුදල කරණවෑමියන් දෙදෙනෙකු අතර බෙදා ගත යුතුය. නැවත සැලූනය විවෘත කිරීමට සිදුවන්නේ තුන් දිනකට පසුය. ඔහු හමුවේ ඇත්තේද පහසුවෙන් විසඳිය නොහැකි ප්‍රහේලිකාවකි. “ටිකක් අමාරුයි තමයි මේ විදිහට කරගෙන යන්න. හැබැයි අපිට තව මාසයක්වත් අල්ලගෙන ඉන්න වෙනවා. නැත්තං රට අමාරුවේ” රට ගැන කල්පනා කරන මේ දමිළ ජාතික කරණවෑමියා පවසන්නේ අසීරු අවස්ථාවේ තමන් වැනි එදිනෙදා මුදලක් උපයාගන්නා ජනයාට ආහාර සලාකයක් හෝ ලබාදිය හැකිනම් දැනෙන පීඩනය අඩු බවයි.

ඔහුට තරම් ආර්ථික අපහසුවක් නැති මොහොමඩ් ඉක්බාල්ද සිය තීන්ත කඩය ඇඳිරි නීතිය ඉවත් කළ පැය කිහිපයේදී විවෘත කර තිබුණි. එහෙත් මේ කිසිම පාරිභෝගිකයෙක් තීන්ත මිළදී ගන්නා සමයක් නොවේ. ව්‍යසන විරහිත කාලයක් වී නම් සිංහල අවුරුද්ද ආසන්නයේ ඔහුගේ බිස්නස් සරු වීමට ඉඩ තිබුණි. දැන් සියල්ල කණපිට පෙරළී තිබියදී ඉක්බාල් පවසන්නේද, සියලු දෙනාගෙ ජීවිත වෙනුවෙන් ඉවසන්නට සිදුවන බවයි. ඔහුට අනුව මේ ජාති ආගම් ආදී වශයෙන් බෙදී සිටි මනුෂ්‍යයා පරීක්ෂා කිරීමේ මොහොතයි.

බලංගොඩ වෙසෙන මාලු ව්‍යාපාරිකයෙකු වන අනුර ජයසේකර ලද අවස්ථාවේ වැඩිපුර මාලු ටිකක් විකුණා ගැනීමට වෙහෙසෙයි. ඒ අත්උදව්කරුවන් සිවු දෙනෙකුටද ජීවනෝපාය සැළසිය යුතු නිසා ය. වැල්ලකරයේ සිට රැගෙන එන මසුන් තොග ලැබෙන අවස්ථාවේ විකුණා ගත නොහැකි වුවහොත් මහා පරිමාණ ශීතාගාර පහසුකම් නැති ඔහු වැනි සුලු වෙළෙන්දන් තවත් අපහසුවට පත්වෙයි. එබැවින් ඔහු ඉල්ලා සිටින්නේ ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරන දිනයේ වැඩිපුර පැය කිහිපයක් ආහාර මිළදී ගන්නා ජනයා හට ලබාදෙන ලෙසයි. ඔහුට අනුව එමගින් තදබදයද තරමක් අඩු කරගත හැකිය.

සිමෙන්ති ගඩොල් නිෂ්පාදන කර්මාන්තය

දින කිහිපයක් තිස්සේ වසා දමා තිබූ තිස්ස ආනන්දගේ සිමෙන්ති ගඩොල් නිෂ්පාදන කර්මාන්තයද ඇඳිරි නීතිය ඉවත් කළ පැය කිහිපයේදී විවෘත කර තිබුණේ කම්කරුවන් හත්අටදෙනෙකුට ජීවනෝපාය සපයා ගැනීමටය. මේ වැනි දින කම්කරුවන් කෙරෙහි අවධානයෙන් කටයුතු කිරීම සියලුම ව්‍යවසායකයන්ගේ වගකීමක් බවද තිස්ස ආනන්ද අවධාරණය කරනවා. කොරෝනා ව්‍යසනයෙන් සමස්ත සමාජය ගැලවා ගැනීමට ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහයට දිරිදීමක් ලෙසයි ඔහු එය දකින්නේ.

කලුකඩ වෙළඳාම

වෛරසයෙන් සමාජය මුදාගැනීමේ අවශ්‍යතාව ප්‍රබල ලෙස දැනෙමින් තිබියදී සමාජ දේහය සූරාකෑමෙන් සහ මාෆියාවන්ගෙන් ගලවා ගැනීමේ අවශ්‍යතාවද තදබල ලෙස දැනෙමින් තිබේ. දින කිහිපයකට ඉහතදී ඔන්ලයින් ඇණවුම් භාරගෙන භාණ්ඩ බෙදාහරින ව්‍යාපාරයක් පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීමට ලක් විය. කප්රුක නමින් සිය වෙළඳ ව්‍යාපාරය පවත්වා ගෙන යන ඔවුන් ඒ අවස්ථාවේ පාරිභෝගිකයාට කටුඉඹුලක්ව තිබුණේ විස්මයජනක මිළ ගණන් නිසාය. රජය රුපියල් සියයකට මිළ නියම කළ මාලු කෑනයක් ඔවුන්ගේ ගෙනැවිත් දීමේ මිළ අනුව රුපියල් පන්සිය පනහක් විය.

පිටකොටුව මැනිං වෙළඳපොලටද කඩා වැදී එහි වෙළෙඳුන්ට තර්ජනය කිරීමටද ආණ්ඩුවේ බලධාරීන්ට සිදුවිය. මැනිං ව්‍යාපාරිකයෝද සොච්චම් මුදලකට ගොවීන්ගෙන් මිළට ගන්නා එළවලු තොග ඉතා ඉහළ මිළකට නැවත අලෙවි කරමින් සිටියහ. මේ මාෆියාවේ තරම පාරිභෝගික සේවා අධිකාරිය එහි කඩා පනින අවස්ථාවේ එළවලු අලෙවි වෙමින් පැවති ඉතා ඉහළ මිළ ගණන්වලින් පෙනී යයි. මේ මිළ ගණන් පිළිබඳව මැදහත්ව සිතන්නට නම් අඩුම තරමේ එළවලු හා සෙසු ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ගොවි ජනයාටවත් සාධාරණ හා නියමිත මිලක් ලැබිය යුතු වුවත් හපුතලේ වෙළෙන්දෙකුට සිය බෝංචි තොගය අලෙවි කළ ගොවියෙකුට කිලෝවට ලැබී තිබුණේ රුපියල් 15 බැගින් වන සොච්චම් මුදලකි. ඒ අඩුම තරමේ බෝංචි කිලොවක් නිපදවන්නට රුපියල් 100කවත් නිෂ්පාදන පිරිවැයක් දරන්නට වන පසුබිමකය.

වීදි වෙළෙන්දෙක්

මේ තත්ත්වය තුළ ගොවිතැන් සඳහා යන ගොවීන්ට සහ එළවලු, පළතුරු ප්‍රවාහනය කරන පිරිසට ඇඳිරිනීතිය අවහිරයක් නොවන තැනට වගබලා ගන්නා බව රජය ප්‍රකාශ කළේය. එසේම නිෂ්පාදන රජය මගින් මිළදී ගෙන අලෙවි කරන ක්‍රමවේදයක් ඇති කිරීමට යෝජිත බවද මාධ්‍ය හමුවලදී ප්‍රකාශයට පත් විය. එවැනි වැඩපිළිවෙලක් ඉදිරියේ වී අස්වනු නෙළනවිටද ක්‍රියාත්මක වීම ඉතා වැදගත් වේ. ඒ අතර ධීවර ජනයාද තමන්ගේ දුක්ගැනවිලි ඉදිරිපත් කරමින් කියා සිටියේ රජය මුහුදු යාමේ අවසරය ලබාදී තිබුණත් ඉන්ධන සපයා ගැනීමේ අපහසුව හා අලෙවිකරගැනීමේ ගැටලු තමන්ට පවතින බවයි. මේ සම්බන්ධයෙන් ඩග්ලස් දේවානන්දා ඇමතිවරයා දැනුවත් කර නිසි ක්‍රියාමාර්ග ගන්නා බව ඇමති බන්දුල ගුණවර්ධන මාධ්‍ය අමතා ප්‍රකාශ කළේය. ඔහුට අනුව මෙවැනි ගැටලු විසඳීම සඳහා හිටපු ඇමතිවරයෙකු වන බැසිල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් කාර්ය සාධක බලකායක් පත්කරනු ලැබ ඇත. කෙසේ වෙතත් දකුණේ ධීවරයින්ට සිය මත්ස්‍ය අස්වැන්න විකුණා ගැනීමට බාධා එල්ල වෙද්දී මීගමුවෙන් වාර්තා වූයේ මාලු මිළ ගණන් හිතුමතයේ ඉහළ දැමූ මාෆියාවකි.

ඇත්තට තැන දෙමු

වෛද්‍ය නිහාල් අබේසිංහ ප්‍රජා වෛද්‍ය විශේෂඥයෙකි. දකුණු සහ පෙරදිග ආසියාව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශකවරයා ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මාධ්‍යවේදීන් කණ්ඩායමක් සඳහා සංවිධානය කර තිබූ අන්තර්ජාල සැසියකට සම්පත් දායකයා ලෙස එක්ව සිටි ඔහු මෙවැනි ව්‍යසනයක් කළමනාකරණය කරගැනීමේදී තොරතුරු සම්පාදනයේ වැදගත්කම අවධාරණය කළේය. විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සහ ඇතැම්විට සාම්ප්‍රදායික මාධ්‍යවලින් පවා ව්‍යාජ තොරතුරු ඉදිරිපත්කිරීම අවදානම තීව්ර කරන අතර තත්ත්ව කළමනාකරණයේදී බාධාකාරී වන බව ඔහු පෙන්වා දුන්නේය.

වෛද්‍ය නිහාල් අබේසිංහ

ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි පිළිගත් ආයතන සහ අදාල රටෙහි නිල ආයතන ඉදිරිපත් කරන දත්ත ඔස්සේ පන්නරය ලබමින් සිය හඹායෑම් සිදුකරන මෙන් පැවසූ වෛද්‍ය නිහාල් අබේසිංහ සඳහන් කළේ ඒවා මාර්ගෝපදේශ විය යුතු බවයි.  ඇතැම්විට තොරතුරු පරස්පර විය හැකිය. එවිට මූලාශ්‍ර සංසන්දනය කිරීම  හා බහුවිධ මූලාශ්‍ර භාවිතාකිරීම කළ හැකිය. සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැරෙන වෛරසය මෙන්ම ඉක්මනින් පැතිරෙන ව්‍යාජ හා අතිශයෝක්ති සහගත පුවත් බරපතල අවධානමක් බැවින් කරුණු නිරවද්‍යතාව පිරික්සන්නන්ට මේ මොහොතේ කළ හැකි කාර්ය ඉහළය. එසේම වෛද්‍ය අබේසිංහට අනුව අධිකතර බිය උපදවන අතිශයෝක්ති වාර්තා කිරීමද වළකා ගත යුතු අනතුරුදායක තත්ත්වයකි.

නොනැසෙන මනුස්සකම්

ඇතැම් මහා පරිමාණ සමාගම් ව්‍යසන අවස්ථාවේ හොද්ද බොර කරගන්නට උත්සාහ ගනිද්දී දිවයින පුරා මනුස්සකම දොරේ ගලන අවස්ථාද වාර්තා විය. ඇඳිරි නීතිය පැනවූ මුල්ම දිනයේ බණ්ඩාරවෙල එළවලු තොග වෙළෙඳුන් තමන් සතු එළවලු තොග ජනයා වෙත බෙදා දෙන අන්දම දකින්නට ලැබුණි.  ජනතාවට දෙන්නට තමන් සතු කිසිවක් නැති බව දුටු එක් කාරුණික මිනිසෙක් ගස්වල පැසී තිබෙන කොස් කඩා රථයක පටවාගෙනවිත් ජනයාට බෙදාදෙන සංවේදී ඡායාරූප සමාජ මාධ්‍යවල සංසරණය විය. සමාජ මාධ්‍ය පරිශීලකයෝ ඔහුගේ වෑයම කප්රුක ව්‍යාපාරිකයා ජනතාව සූරා කෑම සමග සසඳා තිබුණි. ඒ අතර ඇතැම් ප්‍රදේශයක ජනයා පිසූ ආහාර රැගෙන පාරට ආවේ අසරණ වූ යාචකයන් සහ වීදි සුනඛයන්ගේ කුසගින්න නිවන්නටය. වසරකට ඉහත මුස්ලිම් ජනයා හා විරසකව ගිනිදැල් ඇවිල ගිය බමික නැවත මල් පිපෙන අන්දම විදහා දැක්වූ උදාහරණද විය. ඇතැම් මුස්ලිම් පල්ලියකින් වියළි ආහාර පාර්සල් බෙදා දුන්නේ සියලු වාර්ගික ජනයා ආවරණය වන අන්දමටය. බෞද්ධ භික්ෂූන් වහන්සේ සහ මුස්ලිම් මවුලවිවරුන් එක්වී වෛරසයෙන් ගැලවීමට පැළඳිය යුතු යැයි වෛද්‍යවරුන් උපදෙස් දී තිබෙන මුව ආවරණ මසන දසුනක සේයාරුවක්ද සමාජ මාධ්‍යයේ සංසරණය විය.

එවැනි සේයාරුවකට යොදා තිබූ කැප්ෂනය වූයේ “බොහෝ ඉරුණු තැන් මසන මහණකම” යන්නයි. ඒ කැප්ෂනයේ අර්ථය ගැඹූරින් වටහා ගැනීමට නිසි මොහොතද මෙයයි. සැබවින්ම මෙය ඉතා දුෂ්කර අවස්ථාවකි. එහෙත් කොවිඩ් 19 භේද නොසලකන බැවින් ලංකා සමාජයට මේ ලැබී ඇත්තේ බොහොමයක් ඉරුණු තැන් මසා ගන්නට ලැබුණු අවස්ථාවකි.