Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

සතියේ කතාබහ | දේශපාලන සිරකරුවන් ගැන
දේශපාලන තීන්දුවක් ගත යුතුයි

ආණ්ඩුව කියන්නේ දැන් රටේ දේශපාලන සිරකරුවන් නොමැති බවයි. එසේ නම් ‘දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයක්’ ගොඩනැගී ඇත්තේ ඇයි? එම ව්‍යාපාරයේ ප‍්‍රමුඛ ක‍්‍රියාධරයකු වන මාරිමුත්තු සත්‍යවේල් පියතුමා ඒ ගැන මෙසේ පැහැදිලි කරයි.

23.10.2016  |  
කොළඹ දිස්ත්‍රික්කය
මාරිමුත්තු සත්‍යවේල් පියතුමා

කවුද මේ ‘දේශපාලන සිරකරුවන්’ කියන්නේ ?

මේ සමාජය අපි අපේක්‍ෂාකරන, සාධාරණ සමාජයක් නොවෙයි. ගොඩක් දෙනෙක් නිශ්ශබ්දව බලාගෙන ඉන්නකොට තමන් අපේක්‍ෂා කරන සාධාරණ සමාජය වෙනුවෙන් අරගල කරන මිනිස්සුත් ඉන්නවා. එහෙම ක‍්‍රියාකරනකොට අත්අඩංගුවට අරගෙන සිරගත කළ අය තමයි අපි දේශපාලන සිරකරුවන් කියලා කියන්නේ. 1971දීත්, 1988-89 කාලෙදීත්, දෙමළ ජනතාවගේ කැරැල්ල තුළත්, වර්තමාන දකුණේ විප්ලවීය දේශපාලනය තුළත් අපිට දේශපාලන සිරකරුවන් දකින්න පුළුවන්.

ත‍්‍රස්තවාදී චෝදනා මත අත්අඩංගුවට පත් වූවන් දේශපාලන සිරකරුවන් ලෙස සලකන්න පුළුවන්ද?

මේ හංවඩුව 71දීත්, 89දීත් පාලකයන් වගේම ඒ අයට ගැති මාධ්‍යය විසින් කැරලිකරුවන්ට ලබා දුන්නා. ඒත් අපි අමතක කරන්න හොඳ නැහැ, 1956 ඉඳලම දේශපාලන විසඳුමක් නොදීම නිසා දිග්ගැස්සුණු ප‍්‍රශ්නයක් ශ‍්‍රී ලංකාවේ තවමත් තියෙනවා කියලා. තමන්ගේ අයිතීන් පාගද්දී, වර්ගවාදී කෝලහාල නිර්මාණය කරමින් දිගින් දිගටම ජාතියක් ලෙසම තම සංහාරයට ලක් කරද්දී, ඊට එරෙහිව ඔවුන් කරපු ගාන්ධිවාදී, අහිංසාවාදී විරෝධතා යකඩින්, මුගුරින් තලා දමද්දී සිංහල දේශපාලනය ගැන තිබූණු සියලූම විශ්වාස මුළුමනින් බිඳවැටුණා. අන්න එතකොට තමයි දෙමළ තරුණයන් ආයුධ අතට ගත්තේ. දකුණේ ආණ්ඩු මේ දෙමළ කැරැල්ල මර්දනය කෙරුවේ ලක්ෂ ගණනකගේ ජීවිත බිලිඅරගෙන. කැරලිකරුවන්ගේ නායකයන් බොහොමයක් මරල දැම්මා. තවත් බොහෝ දෙනෙක් අත් අඩංගුවට ගත්තා. මේ අත්අඩංගුවට පත් වෙච්ච අය තමයි දේශපාලන සිරකරුවන් කියන්නෙ.

කැරලිගසන අයව අත්අඩංගුවට ගැනීම වැරැද්දක්ද?

මොන තරාතිරමක කෙනෙක් අත්අඩංගුවට ගත්තත් පැය 24ක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කිරීම තමයි නීතිය. ඒත් මේ අයව අත්අඩංගුවට අරගන්නේ සාමාන්‍ය නීතිය යටතේ නෙමෙයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ. එසේ අත්අඩංගුවට ගන්නා අය බොහෝ කාලයක් රඳවා තබාගන්න, කායික හා මානසික වද හිංසා පමුණුවන්න, අවුරුදු 10-15 වුණත් ඇප නොදී තබා ගන්න ආරක්ෂක අංශවලට හා නීති අංශවලට හැකියාව ලැබී තිබෙනවා. උතුරේ පමණක් නෙවෙයි, 1988-1989 කාලයේ දකුණේ කැරලිකරුවන්ව මර්දනය කළෙත් මේ නීතිය යටතේ. විකල්ප දේශපාලන මතධාරින් මර්දනය කළෙත්, කරන්නෙත් මේ නීතිය යටතේ තමයි. මේ නීතියම මානව විරෝධීයි. සදාචාර  විරෝධීයි. ධර්ම විරෝධීයි.

අනිත් එක, දේශපාලන කැරැල්ලක් කියන්නේ සාමාන්‍ය අපරාධ නීතිය යටතේ නඩු පැවරිය යුත්තක් හෝ ආණ්ඩු තමන්ගේ වාසියට තනාගත්ත PTA වගේ මානව විරෝධී පනතක් යටතේ නඩු පැවරිය යුත්තක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මොකද, ඒක දේශපාලන පීඩනයකට එරෙහිව මතුවෙන පීඩිතයින්ගේ ප‍්‍රතිචාරයක්. 1971 දී නම්, ඒ වෙනුවෙන් විශේෂ අධිකරණයක් පිහිටෙව්වා. ඒත් ඊට පස්සේ එහෙම නැතිව PTA යටතේ, දැඩි මර්දනයකින් කායිකව හා මානසිකව පීඩාවට ලක් කරල, තමන් නොදන්නා භාෂාවකින් ලියපු ප‍්‍රකාශයකට අත්සන් අරගෙන, නඩු පවරලා සිරගත කරනවා. මේ නිසයි දැන් ආණ්ඩුව කියන්නේ දේශපාලන සිරකාරයෝ නැහැ, ඉන්නේ අපරාධකාරයෝ කියලා. නමුත්, අත්අඩංගුවට අරන් ඉන්න අයගේ ඇත්ත විස්තර හොයලා බලපු අය ආණ්ඩුව කියන මේ ප‍්‍රකාශය පිළිගන්නේ නැහැ. ඒක බොරුවක් නිසා.

/Father-Sathivel---2

මොවුන් නිදහස් කිරීම භයානක බවත්, යළිත් වරක් ආයුධ අතට ගන්න ඉඩ තිබෙන බවත් දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට විරුද්ධව නැගෙන තර්කයක්.

මේක රාජපක්ෂ වීරවංශ, ගම්මන්පිල ඇතුළු කණ්ඩායම ගොඩ නගමින් සිටින බොරු භීතිකාවක්. නැගෙනහිර හා තදාසන්න ප‍්‍රදේශවල සිදුවෙච්ච ඝාතන ඇතුළු ඛේදවාචකයන්ට වගකිව යුතුව සිටින කරුණා අම්මාන්, පිල්ලයාන් වැනි අය, දයා මාස්ටර් වැනි අය, කොටි සංවිධානයට නැව් ගණන් ආයුධ සපයන්නට ජාත්‍යන්තරව දායක වුණු කේ. පී. වැනි අය කිසිම නීතිමය ක්‍රියාවලියකින් තොරව, පුනරුත්ථාපන ක්‍රියාවලියකින් තොරව නිදහස් වෙලා ඉන්නවා. ඒ කාලෙදි, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාම සිරකරුවන් 12,000ක් පමණ නිදහස් කරලා තියෙනවා. 2011දී 800ක් පමණ හිටපු කොටි සාමාජික සාමාජිකාවන් බස් රථවලින් කොළඹ, කතරගම ඇතුළු රටේ විවිධ තැන් නරඹන එක්ක ගිහිං ප‍්‍රදර්ශනාත්මකව ඒ මිනිසුන් රටටම පෙන්නලා නිදහස් කෙරුවා. එතකොට ඔය කවුරුවත් කිව්වේ නැහැ ”කොටි නිදහස් කරනවා. බලාගෙනයි. ආයෙත් ආයුධ අතට ගනියි.” කියලා. කොටි සංවිධානයේ තීරණ ගැනීමේ ක‍්‍රියාවලියට සම්බන්ධයක් නොතිබුණු 160ක් පමණ වන අසරණම පිරිසකට එරෙහිව තමයි දැන් මේ විරෝධය එල්ල වෙන්නේ.

ජනාධිපති ප්‍රේමදාස කොටින්ට මුදල් හා ආයුධ දුන්නා, ඉන්දියන් හමුදාව එක්ක සටන් කරන්න. ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජනාධිපති ඡන්දේ වර්ජනය කර ගන්න කොටින්ට විශාල මුදලක් දුන්නු බව කියනවා. මේ ගැන පාර්ලිමේන්තුවේ පවා සාක්ෂි ඇතිව ඇතැම් අය කතා කරලා තියෙනවා. චන්ද්‍රිකා කුමාරතුංගත් විජය ඉන්න කාලේ ඉඳන්ම කොටි සංවිධානෙත් එක්ක රහස් සාකච්ඡා තියලා තියෙනවා. රනිලූත් සටන් විරාමයට පෙර නිල නොවන රහස් සාකච්ඡා පවත්වලා තියෙනවා. ඉතිං මේ ලොකු ලොක්කෝ ඔක්කොම නිල නොවන රහස් ගණුදෙනුවල යෙදිලා තියෙනවා. එහෙම නම් ඒ ඔක්කොම අපරාධකාරයෝ වෙන්න  ඕනේ!

අවුරුදු ගණනාවක් තිස්සේ කොටි පාලනය යටතේ ජීවත් වුණ මිනිස්සු කොටසකට  ඍජුව හා වක්‍රව ඒකට සම්බන්ධ නොවී ඉන්න බැහැ. අනෙක් අතට කොටි බවට පත්වූණේ ඒ අයගෙම දරුවෝ, මුණුපුරෝ, සහෝදර සහෝදරියෝ. ඒ අය ඒ තත්ත්වයට පත්වන්න ආණ්ඩුවලින්, දකුණේ මැරයන්ගෙන්, හමුදාවේ හා පොලිසිවල අයගෙන් සිදුවුණු අකටයුතුකම් ගැන අපට වඩා ඒ අය අත්දැකීමෙන් දන්නවා. අපි හිතන්න  ඕනෙ අපට ඒ අත්දැකීම් ලැබුණා නම් අපි මොකද කරන්නේ කියලා. අපේ තත්ත්වයත් මේ හා සමානමයි.

/Father-Sathiveil

ඔබ කිව්වා, අත්අඩංගුවෙ ඉතිරිවෙලා ඉන්නෙ අසරණම පිරිසක් කියල. කොහොමද එහෙම කියන්නෙ?

අත්අඩංගුවට පත්වෙච්ච ප්‍රධාන පෙළේ නායක නායිකවන් හැමදෙනොම පාහේ නිදහස් වෙලා ඉන්නේ. ඉතිරි අය ඇත්තෙන්ම හරිම අසරණයි. ඔවුන්ට පවරලා තිබෙන අපරාධ නඩු පිළිබඳවත් ලොකු ගැටලූ තිබෙනවා. විස්තර දන්න අය කියන විදියට, ලක්ෂ්මන් කදිර්ගාමර් ඝාතනය පිළිබඳව අත්අඩංගුවට අරගෙන නඩු පවරලා තියෙන්නේ ඒ අසල පිහිඹියා ගහක අත්තක් කපපු කුලී වැඩ කරන වයසක මනුස්සයෙක්. චන්ද්‍රිකා කුමාරතුංග ඝාතනය කිරීමට තැත් කිරීම පිළිබඳව නඩු පවරලා අවු 290 ක සිරදඬුවමක් නියම වෙලා ඉන්නේ අත් අඩංගුවට පත්වෙනකම්ම වවුනියාවෙන් මෙපිටට ආපු නැති කෙනෙක්. ඉතිං මේ අයව එල්ලලා පහර දීලා, නියපොතු ගලවලා, ලිංගේන්ද්‍රියයන් තලලා, වදහිංසා පමුණුවලා අරගන්නවා යැයි  කියන, සිංහලෙන් ලියපු ප්‍රකාශ පදනම් කරගෙන සිද්දවෙන මේ නීතිමය ක‍්‍රියාවලිය ගැන විශාල ගැටලූ තියෙනවා.

දේශපාලන සිරකරුවන් අතර සිංහල අයත් ඉන්නවාද ?

ඔව්, සිංහල අයත් ඉන්නවා, මගේ මතකය හැටියට 12 දෙනෙක් පමණ. ඒ අතරේ එකම පවුලේ අම්මා, තාත්තා, පුතා සහ මස්සිනා කෙනෙකුත් ඉන්නවා. අම්මයි තාත්තයි දැන් වයසයි. මේ අය මාතර ප්‍රදේශයේ. අනෙක් තරුණ අය සියලූම දෙනා හිටපු ඇමති ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ ඝාතනය සම්බන්ධයෙන් සහ නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්ත අය. මොවුන් වැරදිකරුවන් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. කෙසේ වෙතත්, මේ අය 2007, 2009 වසරවල ඉඳලා සිරගත වෙච්ච අය. ඉන්නෙ, වැලිකඩ ප්‍රධාන බන්ධනාගාරයේ සී ආර් සී කියන රැඳවුමේ.

දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරන්න  ඕනේ කියලා ඔබ කියන්නේ ඇයි?

ලංකාව කියන්නේ ප‍්‍රධාන ආගම් කිහිපයකම පහස ලබන රටක්. මේක ධර්මද්වීපයක් කියලත් කියනවා. ඉතිං බුද්ධාගමට අනුව මේක මෛත‍්‍රිය පිළිබඳ කාරණාවක්. ක‍්‍රිස්තියානියට අනුව මේක පේ‍්‍රමය හා දයාව පිළිබඳ කාරණාවක්. ඒ ඔක්කොටම වඩා මේක යුක්කිය හා සාධාරණය පිළිබඳ කාරණාවක්. මේ වගේ දේවල් නිසා දෙමළ ජනතාව සිංහල ජනතාව තව තවත් අවිශ්වාස කරන එක වළක්වන්න බැහැ. සැබෑ සංහිඳියාවකට මේක ලොකු බාධාවක්.

දැනට තිබෙන නීති රාමුව තුළ මේකට විසඳුමක් නැහැ. ඒ නිසා දේශපාලන තීන්දුවක් ගත යුතුයි. ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන 1971 කැරලිකරුවන් නිදහස් කෙරුවේ දේශපාලන තීන්දුවක් අරගෙන. ජනාධිපති රාජපක්ෂ කරුණා අම්මාන්, පිල්ලයාන්, කේ.පී, දයා මාස්ටර් වැනි අය නිදහස් කරන්නෙත් දේශපාලන තීන්දුවක් අරගෙන. එහෙමනම්, ජනාධිපති මෛත‍්‍රීගේ ආණුඩුවටත්  ඒක කරන්න හොඳටම පුළුවන්කම තිබෙනවා. එහෙම නැත්නම් ජනාධිපති මෛත‍්‍රීගේ මෛත්‍රියෙන් වැඩක් නැහැ. ඒ මෛත‍්‍රිය හරහා සිරකරුවන් නිදහස් කරලා සංහිඳියාවට සැබෑ අරුතක් එක්කරන්නට පුළුවනි.

සේයා රූ : මෙලනි මානෙල් පෙරේරා