Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

කොන්ඩච්චියේ ගිහියන්ට
දානය රැගෙන ගිය හිමිවරු

‘පිරිකර පූජාව’ භික්ෂූන් උදෙසා ගිහියන් විසින් සිදු කෙරෙන්නකි. එහෙත් දානමය පින්කමකට පැමිණි හිමිනමක විසින් ගම්වැසි ගිහියන් වෙත පිරිකර පූජා කළ අපූරු පුවතක් නැගෙනහිර පළාතේ, මන්නාරම කොන්ඩච්චිය සිංහල ගමෙන් ඇසෙයි.

29.03.2017  |  
මන්නාරම දිස්ත්‍රික්කය
හිමිවරුන් දනට වඩින අයුරු

එය සාම්ප්‍රදායික පිළිවෙත් අභිභවා ධර්මයේ සැබෑ අරුත් මතු කර ගැනීමට වෙර දැරූ කාරුණික භික්ෂුවක පිළිබද කතාවක් පමණක් නොවේ. තිස් වසරක බිහිසුණු යුද්ධය විසින් පීඩාවට ලක්කළ ගැමි ප්‍රජාවක වර්තමාන ජීවන තතුද හෙළි කරන කතාවකි.

දානය පිරිනැමුණේ මීට තෙමසකට පෙර මියැදුණු ප්‍රේමතිලක හෙට්ටිආරච්චි වෙනුවෙනි.

යුද්ධයේදී ගම්බිම් අහිමි වූ කොන්ඩච්චිය වැසියන් නැවත පදිංචියට පැමිණෙන්නේ 2014 වසරේදීය. දෙවසරකට වැඩි කලක් ගතව ඇතද ඔවුන්ගේ ජීවන තතු දුක්බරය. ප්‍රේමතිලකගේ තුන් මාසයේ දානයට නියමිත කල එළඹෙන විට කොන්ඩච්චිය සිංහල ගම අගහිගවලින් පිරී තිබිණි. දානයට අවශ්‍ය කළමනා සපයාගැනීම මෙන්ම භික්ෂූන් වැඩමකරවීම, පිරිකර පිදීම, පිංකමට පැමිණෙන අසල්වාසීන්ට සංග්‍රහ කිරීම ආදී කටයුතු සම්භාරය වෙනුවෙන් වියදම් දැරීමේ හැකියාවක් ප්‍රේමතිලකගේ බිරිද-‍ප්‍රේමාට නොවීය. ඇයට උපකාර කිරීමට තරම් වත්කමක් සෙසු ගැමියන්ටද නොවිණි.

ඇය සිය දුෂ්කරතාව ගැන අනුරාධපුර සාම විහාරාධිපති විලච්චියේ විමල හිමියන්ට පැවසුවාය. තමන් වහන්සේ සියලුම දේ රැගෙන වඩින බවත්, ගමේ අය දානය උයා පිළිගැන්වීම පමණක් කිරීම ප්‍රමාණවත් බවත් උන්වහන්සේ කාරුණිකව පැවසූහ.

 විමල හිමියෝ දහම් දෙසමින්
විමල හිමියෝ දහම් දෙසමින්

දානයට කළමනා කල් තියා යැවූ උන් වහන්සේ, ප්‍රේමතිලක වෙනුවෙන් පුදන්නට අටපිරිකරක්ද තමන්ට හා සාමණේර හිමිවරුන්ට ලැබුණු තවත් පිරිකරද රැගෙන නියමිත දින දානයට වැඩම ‍කළහ. දානය වැළදීමෙන් අනතුරුව චාරිත්‍රය වන්නේ ගිහියන් විසින් භික්ෂූන්ට අට පිරිකර ඇතුළු සෙසු පිරිකර පිදීම වුවද, මෙහිදී සිදු වූයේ අනෙකකි.

එම ගම්මානයේ එදා මෙදාතුර මිය ගිය සියලු දෙනාට පිං අනුමෝදන් කර, ධර්මය දේශනා කළ විමල හිමියෝ ගමේ ළමුන්ට පොත්පත් පෑන් ආදී පාසල් උපකරණ බෙදා දුන්හ. ඒ ගමේ අසල්වාසී දෙමළ හා මුස්ලිම් ගම්වල දරුවන් වෙතද පෑනක් පැන්සලක් හෝ පිරිනැමීමට එහිමියන් අමතක කළේ නැත.

දෙමළ හා මුස්ලිම් ගම්වල දරුවන් වෙතද පෑනක් පැන්සලක් හෝ පිරිනැමීමට එහිමියන් අමතක කළේ නැත.
දෙමළ හා මුස්ලිම් ගම්වල දරුවන් වෙතද පෑනක් පැන්සලක් හෝ පිරිනැමීමට එහිමියන් අමතක කළේ නැත.

නායක හිමියන් සමග එම දානයට වැඩම කළ බෝගහවැවේ ගුණරතන, මීකුඹුක්වැවේ වනරතන හා ජයසිරිපුර සාරද යන සාමණේර හිමිවරු තමන්ට පිරිකර ලෙස ලැබුණු පාසල් උපකරණ රැගෙන විත් තිබිණි. උන් වහන්සේලාද ගුරු හිමියන් අනුව යමින් ඒවා ගැමි දරුවන් වෙත ‍පිරිනමා, පිරිත්නූල්ද බැඳ ආශිර්වාද කළහ.

මේ අපූරු දානමය පිංකමෙන් පසු, නාහිමියෝ තමන් විදින දුෂ්කරතා ගැන ගැමියන් සමග සාකච්ඡා කළහ. නැවත පදිංචියේදී රජයෙන් ඉඩම් හා නිවාස ආධාරයක් හැරුණු වෙනත් කිසිදු පහසුකමක් ඔවුන්ට ලැබී නොතිබිණි.

දැඩි ආහාර හිගයකින්, පානීය ජල හිගයකින් මෙන්ම පොදු පහසුකම් වලින්ද, රැකියා වියුක්තියෙන්ද ඔවුහු පීඩා විදිති.

‘‘ පවුල් 79ක පිරිසක් මේ ගමේ ඉන්නවා. අපට පදිංචියට පර්චස් හතළිහක ඉඩමක් ලැබුණාට ජීවත් වෙන්න විදියක් නෑ. මේ හැමෝම මූදු යන අයට හවුල් වෙලා හෝ කුලී වැඩ කරලා ජීවත් වෙනවා.

සාමණේර හිමිවරුන් ගැමියන්ට ආහිර්වාද කර පිරිත් නූල් බැඳීම
සාමණේර හිමිවරුන් ගැමියන්ට ආහිර්වාද කර පිරිත් නූල් බැඳීම

අපට රජයේ සාමාන්‍ය ක්‍රමවේදය විදියට වගාවට ඉඩම් කෑල්ලක්වත් ලැබුණොත් තමා හරි.” එම ගම්මානයේ පදිංචි ආනන්ද ප්‍රේමරත්න පැවසුවේය.

අනුලා කුමාරි පැවසුවේ, මේ බොහෝ දෙනාට ආදායම් මාර්ගයක් නොමැති බැවින් සති කිහිපයකට වරක් විලච්චිය ප්‍රදේශයට ගොස් සිය ඥාතීන්ගෙන් හාල් පොල් ආදිය රැගෙන එන බවයි.

‘‘අපිට දෙන්න තරම් ඒ අයටත් නෑ. අනෙක විලච්චියට බස් තුනකින් යන්න ඕනෑ. මෙහෙ හාල් කිලෝඑකක් රුපියල් සීයක් විතර. කොහොම හරි එහෙ ගිහන් මොනා හරි ගෙනැත් කාලා ජීවත් වෙනවා. මේ ජිවිතේ කිසි තේරුමක් නෑ.‘‘ යි ඇය කීවාය.

සංජුලා කුමුදුනී පවසන්නේ අනාගත පරපුර පවා මේ ඉරණමෙන් ගළවාගැනීමේ වැඩපිළිවෙළක් නැති බවයි.

කොන්ඩච්චිය සිංහල ගමේ දසුනක්
කොන්ඩච්චිය සිංහල ගමේ දසුනක්

‘‘ තියන ඊළඟ ලොකුම ප්‍රශ්නය ළමයින්ට යන්න ඉස්කෝලයක් නැති එක. ඉස්කෝලේ තියනවා නම් මේ හැමෝම ගම දියුණුකරගෙන ඉන්නවා. අපි ඉල්ලන්නේ ජාති තුනේම අයට සමගි පාසලක් හදලා දෙන්න කියලා‘‘

පානීය ජල හිගයෙන් ඔවුහු තදින්ම පීඩා විඳිති. බීමට සුදුසු ජල සැපයුමක් ලබා දෙන ලෙසත්, වගාවට ළිං හාරා දෙන ලෙසත් ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.

මෙම ගැමියන්ගේ ගැටලුවලට විසදුම් ලබාදීම සම්බන්ධයෙන් මුසලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගෙන් විමසීමක් කළෙමු. ඔවුන් පැවසුවේ ඒ වෙනුවෙන් කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයෙන්ද එම කාර්යාලයට දැනුම් දීමක් කර ඇති බවකි. දුෂ්කර පෙදෙසක ජන පිරිසක්, බලධාරීන් නොදැන අප්‍රසිද්ධියේ දුක් විදීම තේරුම් ගත හැකිය. එහෙත් ඒ දුක විදින්නේ රටේ ඉහළම පුරවැසියාද දැනුවත්ව නම්, එය බරපතළ තත්ත්වයක් නොවේද?