Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

වෙසක් සඳ යට
පුංචි ආදර කතාවක්

මිශ්‍ර වාර්ගික ප්‍රේමය, අපේ සමාජයට අරුම පුදුම අත්දැකීමක් නොවේ. එහෙත් එවැනි බොහෝ ප්‍රේම කතා, දුෂ්ටයන්ගෙන් ගහන පැරණි ක්‍රියාදාම චිත්‍රපට මෙනි. මේ පුංචි ආදර කතාව ඊට වෙනස්ය. එහෙයින්ම එය සුවිශේෂය.

16.05.2017  |  
අනුරාධපුර දිස්ත්‍රික්කය
දරුසෙනෙහස විඳින චන්ද්රිකලා

˝මිස් කෝල් එකකින් මගේ දෛවය වෙනස් වෙයි කියල මං කවදාවත් හිතුවෙ නැහැ. වතුකරයේ අපේ සම්ප්‍රදාය වුණේ වත්තෙම ඉපදිලා, වත්තේදිම විවාහ වෙලා දරුමල්ලො හදලා, වත්තේදිම මියයන එකයි. නමුත් ඒ සම්ප්‍රදාය වෙනස් කරන්න මට වාසනාව ලැබුණා. ˝

පෙරුමාල් චන්ද්‍රකලා, හැටන් සාමිමලේ හෝල්ටන් වතුයායේ කම්කරු දියණියක ලෙස උපත ලැබූයේ මීට වසර විසි අටකට පෙරය. හැටන් සාමිමලේ දෙමළ මහා විද්‍යාලයෙන් සාමාන්‍යපෙළ විභාගය අවසන් කිරීමෙන් අනතුරුව ඇය, වතුකරයේ බොහෝ දැරියන්ගේ ඉරණමෙහි ලියැවී ඇති ආකාරයටම, හෝල්ටන් වතුයායේ තේ දලු නෙළීමට තම සියුමැලි අතැඟිලි හුරු කර ගනිමින් සිටියාය. තම මාපියන්ගේ බර මඳක් සැහැල්ලු කර, මලනුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම ඇගේ අරමුණ විය. තේ දලු නෙළීමට අමතරව, ලැබෙන සෑම විටකම අසල්වැසි නිවසකට ගොස් කුලියට ඇඳුම් මැසීම ඇගේ භද්‍ර යෞවන දිවියේ තවත් අංගයක් විය. කෙතරම් දුෂ්කර වුවද ඇය, නැවුම් ලෝකයක් පිළිබඳ බලාපොරොත්තු අත් නොහැර දරා සිටියාය.

˝ මං වත්තෙ වැඩ කරන ගමන් ඇඳුම් මැහුවා. මට අවශ්‍ය වුණේ හොඳ පුහුණුවක් ලබා ගන්න.”

ඇගේ ජීවිතය වෙනස් කළ අහඹු සිදු වීම, ඒ අතර සිදු විය.

නාඳුනන ඇමතුම

“දවසක් අපේ ගෙදර තිබුණු හෑන්ඩ් පෝන් එකට ‘මිස් කෝල් එකක්’ ආවා. මම පැය කිහිපයක් බලාගෙන හිටියා ආයෙ ඒ කෝල් එක එයිද කියල. මම අම්මගෙනුත් අප්පගෙනුත් ඇහුවා ඒ නොම්මරය අඳුනනවද කියල. අපේ ගෙදර කවුරුවත් ඒ නොම්මරය අඳුනන්නේ නැති නිසා මම පැය දෙකකට විතර පස්සේ ඒකට කෝල් එකක් ගත්තා. හරි අමුතු පිරිමි කටහඬක් ඇහුණෙ. ඒ පිරිමියා, ‘මට වැරදිල මේ නොම්මරය ගත්තෙ’ කියල සමාව ඉල්ලුව. මං ඒකට ස්තූති කරල ටෙලිපෝන්එක තිබ්බ.”

එය ඉතාම සාමාන්‍ය සිදු වීමකි. දෙදිනක් ගත වන තුරු ඇයටද එහි විශේෂත්වයක් නොවිණි.

චන්ද්‍රකලා – සමන් සිය දරු දෙදෙනා සමඟ

“ඊට දවස් දෙකකට විතර පස්සෙ ඒ නොම්මරයෙන්ම ආයෙත් කෝල් එකක් ආවා. ඒ වෙලාවෙ ගෙදර කවුරුවත් හිටියෙ නැහැ. මම විස්තර ඇහැව්ව. එතකොට කිව්ව අනුරාධපුරයෙන් කතාකරන්නේ කියල. මං දන්නේ නැහැ අනුරාධපුරය තියෙන්නේ කොහෙද කියල. පස්සේ මම අපේ මල්ලිගේ පොතක තිබුණ සිතියමකින් හොයා ගත්ත. ඒ කතාකරපු පිරිමි කෙනා බොහෝම හොඳට සිංහලෙන් කතා කළා. මට තේරුම් ගන්න අමාරු වුණා. මං කීවා මං දෙමළ කියල. එයා කීව ඒකට කමක් නැහැ, ආදරයට භාෂාව ප්‍රශ්නයක් නෙවෙයි කියල. මට එදා පුදුම සන්තෝෂයක් වගේම හරිම අමුත්තක් දැනුණ.˝

හැටන් සාමිමලේ හෝල්ටන් වතුයායේ පෙරුමාල් චන්ද්‍රකලා, අනුරාධපුර තලාව මිහිරිගම ගම්මානයේ පදිංචි සිරිල් සමන් කුමාර හා ප්‍රේමයෙන් බැඳෙන්නේ එපරිද්දෙනි. මෙකී ප්‍රේමය සිය හදවතේ හැරෙන්නට ඇයගේ සියලු ඥාති හිතවතුන්ගෙන් සඟවා ගැනීමට ඇය තීරණය කළාය.

˝ 2006 අවුරුද්දෙ තමයි සමන් අයියව මුලින්ම අඳුරගන්න ලැබුණෙ. සමන් අයිය හරිම අවංකයි. එයාගෙ සියලු විස්තර මට කීවා. එයාට අවුරුදු පහ‍ළොවේදී විතර ස්නායු ආබාධයක් ඇති වුණා කියල කීව. ඒ නිසා ගොඩක් මහන්සිවෙන්න බැහැ කියලත් කිව්ව. සමහර විට එහෙම කියන්න ඇත්තෙ මට තියෙන ආදරයට, මට වෙනත් ආදරයක් තෝරගන්න කියල වෙන්න ඇති. ඒ වුණත් මගේ ආදරයේ වෙනසක් වුණේ නැහැ. මේ කාලෙ වෙනකොට උතුරු නැගෙනහිර යුද්දෙ නිසා, නිතරම ප්‍රවෘත්තිවලින් කියවෙන්නෙම සිංහල දෙමළ ගැටුම් ගැනයි. මේ නිසා අපේ ගෙදරට මේ සම්බන්ධය කියන්න මට කිසිම විදිහක් තිබුණෙ නැහැ. ඒ වුණත් පුළුවන් හැම වෙලාවකම මම සමන් අයියත් එක්ක පෝන් එකෙන් දුක සැප බෙදා ගත්ත. අපි දෙන්නටම උවමනා වුනා අපිව දැකගන්න. ඒත් ඒකට අවස්ථාවක් ලැබුණෙම නැහැ.

පළමු හමුවීම

මෙහෙම ඉන්නකොට මට නිට්ටඹුවේ ගාමන්ට් එකක රස්සාවක් ලැබුණා. මගේ ජීවිතයේ තිබුණු එක ඉලක්කයක් වුණේ මල්ලිට උගන්වන එක. ඒකට අවශ්‍ය මුදල් මේ රස්සාවෙන් හොයාගන්න පුළුවන් වුණා. මෙහෙම ඉන්නකොට දවසක් සමන් අයිය කෝල් කරල කීව එයාගෙ අක්ක රට යනව, ඒ යන ගමන් අක්කලත් එක්ක ඔයාව බලන්න එනව කියල. මේ වෙනකොට අපි අවුරුදු පහක් විතර ප්‍රේම කළේ පෝන් එකෙන්. මට පුදුම සන්තෝෂයක් ඇති වුණා මේ ගැන ඇහුවාම. කිව්ව විදිහටම සමන් අයියලා ආවා මාව බලන්න. මගේ හිතේ මැවිල තිබුණ ඒ රූපය එහෙම පිටින්ම සමන් අයිය ළඟ තිබුණ.”

නව නිවසට මුල්ගල තබන තලාව ප්‍රාදේශීය ලේකම් එන්.එච්.ආර්.නිශාන්ත මහතා

මේ සම්බන්ධයට සමන්ගෙ අම්මල අක්කල විරුද්ධ වුණේ නැද්ද? මෙතෙක් ඇගේ කතාව ඇසූ කවරකුට වුවද නිතැතින්ම නැඟෙන ප්‍රශ්නය එයයි. මන්ද ජන වර්ග දෙකක දෙදෙනෙකු ප්‍රධාන චරිත වන බොහෝ ප්‍රේම කතාවල එය අනිවාර්ය කඩඉමක් වන බැවිනි.

”මට එහෙමම දැනුණේ නැහැ. නමුත් පොඩි පොඩි වෙනස්කම් දැනුණ. මට දුකකුත් ආවා අපි දෙමළ නිසාද මෙහෙම වුණේ කියල. ඒ වුණත් සමන් අයියගෙ රට ඉන්න අක්ක හරිම හොඳ කෙනෙක්, එයා හැම අතින්ම අපිට උදව් කළා. මේ වෙනකොට මගේ අම්ම අප්ප මට විවාහ යෝජනාවක් ගෙනාව හැටන්වලින්ම. මම එදා මගේ සම්පූර්ණ කතාවම අම්මටයි අප්පටයි මල්ලිටයි පැහැදිලි කරල දුන්න. නමුත් කැමැත්ත ගන්න එක ලේසි වුණේ නැහැ. අපේ හින්දු විශ්වාසයට අනුව ආදරයක් අමතක කරල වෙනත් ආදරයක්  සොයා යෑම විශාල පාපයක්. මේ තත්වය පැහැදිලි කරල දුන්නම ඒ අය කැමති වුණා. මගේ නෑදෑයො පුදුම වුණා. සමහරු කැමති වුණා මිශ්‍ර විවාහ අදට ගැළපෙන දෙයක් කියල.

සාමිමලෙන්-මිහිරිගමට

නූතන ප්‍රේමකතාවලට නව අරුතක් ලබාදෙමින් 2011 වසරේදී සමන්ගේත්  චන්ද්‍රකලාගේත් විවාහය සිදුවුණේ  දෙපාර්ශ්වයේ මාපියන්ගේ ආශීර්වාදය ඇතුවයි. හින්දු සංස්කෘතියට අනුව හැටන්හි  පැවති විවාහ උත්සවයෙන් පසුව සමන්ගේ පාර්ශ්වයෙන් තලාව මිහිරිගම ගම්මානයේදී දෙවන විවාහ උත්සවය සිංහල චාරිත්‍රානුකූලව පැවැත්විණි. අද වන විට සමන්-චන්ද්‍රකලා යුවළ දරුවන් දෙදෙනෙකුගේ දරු සුරතල් බැලීමට තරම් වාසනාවන්ත වී සිටිති.

විවාහයෙන් පසුව ඔවුන්ගේ දෙපාර්ශ්වයේ සමීප ඥාතීන් අතර සබඳතා ශක්තිමත් විය. ඉඩක් ලද විට ඔවුහු එකිනෙකාගේ දුක සැප බැලීමට යති.

˝ සිංහල අවුරුද්දට අපි හැටන් ගියා. දවස් කිහිපයක් එහෙ නැවතිල ඉදල ආවේ. දැං මල්ලිටත් රස්සාවක් තියෙනවා. අම්ම අප්ප පුළුවන් වෙලාවට තලාවෙ එනව. අපේ දරුවන්ට හරි ආදරෙයි.  දරුවොත් ඒ වගේමයි ඒ දෙන්නට. සමන්ගේ රට ඉන්න අක්ක අපිට මුදල් අතින් ගොඩක් උදව් කරනවා. අපිට වෙනම ගෙයක් හදාගන්න තලාව මොරගොඩ ඉඩමක අත්තිවාරම දාන්න  මුදල් දුන්නෙ අක්ක. ”

වඩාත් වැදගත් කාරණය නම්, එම යුවළ කෙරෙහි ඔවුන් ජීවත් වන සමාජයෙන් ලැබෙන ප්‍රතිචාරයයි. එය මෙබදු සබඳතා පිළිබදව සමාජයේ ප්‍රකටව ඇති මතවාදයට වඩා හාත්පසින්ම වෙනස් ය.

මිහිරිගම-මිනිස්කම

අපට ඉඩමක් අරන් දෙන්න ගමේ අය හරියට මහන්සි වුණා. තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අක්කර භාගයක ඉඩම ලබා දුන්න. ගේ හදාගන්න සල්ලි නැතුව ඉන්නකොට ගමේ අය මහන්සිවෙලා සමෘද්ධි දෙපාර්තමේන්තුවෙන් ලක්ෂ දෙකක් අරං දුන්න. අපිට විශේෂයක් කරන්න මේ හැමෝම මහන්සි වුණා. මේ ගේ හදන්න සිමෙන්ති අනන්නෙ, ගල් අදින්නෙ, මේ හැම දෙයක්ම කරන්නේ මොරගොඩ මිහිරිගම මගේ සිංහල නෑයෝ.” ඇය එසේ කියන්නේ අප්‍රමාණ සතුටකිනි.

චන්ද්‍රකලාගේ නිවස ඉදිකිරීමට සහාය වන තලාව ගම්වාසීන්

අපට ඇය මුණගැසුණේ වෙසක් පොහෝ දිනයට පෙර දාය. සාමය හා සංහිඳියාව ගැන ගැඹුරුම පාඩම් කියා දුන් බුදුන් වහන්සේගේ දහම කෙරෙහි මුළු ලෝකයේම අවධානය යොමු කරන ‘ජාත්‍යන්තර වෙසක් දිනය’ ලංකාවේදී උත්සවශ්‍රීයෙන් සැමරීමට සැරසෙද්දීය. චන්ද්‍රකලාගේ ආගම හින්දු වුවත්, වෙසක් දිනය වෙනුවෙන් ඇයට තමන්ගේම අදිටනක් තිබිණි.

“මාස දෙකකින් අපේ මේ පුංචි ගේ හදල ඉවර කරනව කියල සමෘද්ධියේ මහත්තුරු වගේම ගමේ අයත් කියනවා. මගේ එකම බලාපොරොත්තුව ගේ හදල ඉවර වුණු ගමන් මහන මැෂිමක් ඇරගෙන ඇඳුම් මහල සමන් අයියට සහනයක් වෙන්න. එයාට කුලී වැඩ හැමදාම කරන්න අමාරුයි, එයාට තියෙන අසනීප තත්වයත් එක්ක. මේ වෙලාවේ ජාති ආගම් භේද නැතුව අපිට උදව්කරන මේ සිංහල ඥාතීන්ට මං ණය ගැතියි. හෙට වෙසක් පෝයට ගමේ පන්සලට ගිහිල්ල මේ හැමෝටම පිං දෙනව.˝