Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ඇතුළත් ගිනි-පිටත් ගිනි අැති
කලාපේ

නිදහස් වෙළෙඳ කලාපයේ ශ්‍රමිකයන් මුහුණපාන ගැටලූ ගැන නිරන්තරයෙන් ජනමාධ්‍යවල අවධානය යොමු වූ කාලයක් තිබිණි. එහෙත් දැන් එවැනි තොරතුරු පළ වන්නේ කලාතුරකිනි. එහි අදහස ඔවුන්ගේ ගැටලූ විසඳී ඇති බවද?

09.06.2017  |  
ගම්පහ දිස්ත්‍රික්කය
වී. ආශා

”කලාපේ අපිව ආමන්ත්‍රණය කරන්න විශේෂිත වචන පාවිච්චි කරනවා. අපි දිහා බලන්නේ වපර ඇහෙන්. ඒත් අපිට ගෙවන්න සිද්ධවෙලා තියෙන ඇත්ත ජීවිතේ මොන වගේද කියල ගොඩක් දෙනා දන්නෙ නැහැ’’
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවිකාවක වන රෝහිණී වීරසිංහ, දිගු කතාවකට මුල පුරමින් පැවසුවාය.

දිවයිනේ නන් දෙසින් පැමිණ, ඉතා දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දෙමින් රැකියාව කරන වෙළෙඳ කලාපයේ ශ්‍රමිකාවන්ගේ ගැටලූ ගැන බාහිර සමාජයෙහි අවධානය මෙන්ම අවබෝධයද අල්පය.
‘‘වැඩපළදි වගේම බෝඩිමේදිත් මගතොටේදිත් විවිධ හිංසනවලට අපිට ලක්වෙන්නට සිදුවෙනවා. මගේම සොහොයුරියක් මේ මෑතකදී එවැනි අත්දැකීමකට මුහුණ දුන්නා. ඉතිං මෙවැනි ආකල්ප තියෙන මිනිස්සුත් එක්ක, ඒ වගේ පරිසරවල ජීවත්වෙන්න අපිට අමුතුවෙන්ම ඉගෙන ගන්න සිද්දවෙලා. ඒ වගේ මිනිස්සුන්ට, ඒ වගේ සිදුවීම්වලට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා දැනුවත්වෙන්නත් අපිට සිද්දවෙලා.” එහිදී ඇය අදහස් කළේ, කලාපේ ශ්‍රමිකාවන් සුලබ ලෙස මුහුණපාන ලිංගික හිංසනයයි.

ගුණරත්න මැණිකේ
‘පිටස්තරයෝ’

කලාපේ ශ්‍රමිකාවන් මුහුණ දෙන ගැටලූ, සේවා ස්ථානය තුළ හා ඉන් පරිබාහිර වශයෙන් දෙයාකාරය. මූලික වෘත්තීය අයිතිවාසිකම් හෝ අහිමි වැඩපොළ පරිසරය මෙන්ම ඉතා අඩු පහසුකම් සහිත ලාබ නවාතැන් හා ඒ වටා ගොඩනැගුණු සංස්කෘතියද එකිනෙකට නොදෙවෙනි ලෙස ඔවුන් පීඩනයට ලක් කර තිබේ. ප්‍රදේශයට සංක්‍රමණිකයන් වූ ඔවුන්ට පදිංචි ස්ථානවල ඡන්දය සඳහා ලියාපදිංචියක් නොමැති අතර නියං සමයේ හා ගංවතුර කාලවල වතුර බෙදීම, සහනාධාර ලබාදීම ආදී තැන්වලදී පවා ඔවුන් වෙනස් ලෙස සැලකුම් ලබන බව රෝහිණී පවසයි.
”හැම අවුරුද්දේම දෙතුන්පාරක් ඇති වන ගංවතුර කාලෙදි අපේ නවාතැන්වලට වතුර ලැබෙන්නේ නැහැ. පහුගිය නියං කාලෙදිත් එහෙමයි. සහනාධාර ඇතුළු හැම ආධාරයක් ම ලැබෙන්නේ ඒ ඒ ප්‍රදේශවල නිත්‍ය පදංචි අයට විතරයි. සංක්‍රමණිකයින් වෙච්ච අපට කිසිවක් ලැබෙන්නෙ නැහැ. මේ පළාත්වල ඉන්න දේශපාලකයෝ අපි දිහා බලන්නේ නැහැ මොකද අපේ ඡන්දයක් ඔවුන්ට ලැබෙන්නේ නැති නිසා.”
‘‘ඒත් අපි ගොඩක් දෙනා ගමට යන්නෙ අවුරුද්දට දෙපාරයි. එහෙම බැලූවොත් අපි මෙහේ තමයි ස්ථිර පදිංචිය’’ ඇය නගන තර්කය පහසුවෙන් බැහැර කළ නොහැකි එකකි.

වෘත්තීය ජීවිතය

කිලෝමිටර 275 ක පමණ දුරකතර ගෙවා පොළොන්නරුවේ සිට කළාපේ රැකියාව කරන්නට පැමිණි ගුණරත්න මැණිකේ මේ වන විට මැදිවියද ඉක්මවා ගිය මවකි. බියගම නිදහස් වෙළෙඳ කලාපයට අයත් ආයතනයක ආරක්‍ෂක නිලධාරිනියක ලෙස 2007 දී සේවයට බැඳුණු ඇය, ”තනතුරු පටි තුනක්” දක්වා ආරක්‍ෂක තනතුරේ උසස්වීම්ද ලැබුවාය.
බියගම නිදහස් වෙළෙඳ කලාපයේ පමණක් මෑන්පවර් හෙවත් කොන්ත‍්‍රාත් සේවා ක්‍රමය ක්‍රියාත්මක කරන ආයතන (ඒජන්සි) 12කට වඩා පවතින බව සඳහන් කළ ඇය, එම ආයතන හරහා සම්බන්ධ වන 1500කට වඩා අධික කාන්තා සේවක පිරිසක් තමන් සේවය කරන ආයතනයේ රැුකියාව සඳහා පැමිණෙන බවත්, වෘත්තීය අයිතිවාසිකම් කිසිවක් නොමැතිව ඔවුන් දැඩි පීඩාකාරී තත්ත්වයක් යටතේ සේවයේ යොදවා ඇති බවත් පැවසුවාය.
ඇයගේ ඇස් ඉදිරියෙහි සිදු වූ අක්‍රමිකතාවක් පිළිබඳව සිය ඉහළ නිලධාරියාගෙන් විමසා සිටි වරදට ඇයට සත් වසරක සේවාකාලයක් සපරා තිබූ රැකියාව අහිමි විය.
ඊට එරෙහිව නඩු මඟට යොමු වූ ඇය අවසානයේ සිය කණකර පවා උගස් කරමින් නඩුවට වියදම් කළාය. ජීවත් වීමට මගක් අවශ්‍ය නිසා නැවත වරක් මෑන් පවර් ආයතනයක් හරහා රැකියාවක් ලබාගැනීම ඇයට සිදු වී තිබේ.

රෝහිණී වීරසිංහ

තිස් වසරක යුද්ධය නිම වීමත් සමග උතුරු හා නැගෙනහිර පළාත්වල රැුකියා විරහිත තරුණ තරුණියන් සැලකිය යුතු පිරිසක් වෙළෙඳ කලාපයේ රැකියා සොයා පැමිණියහ. කලාපයේ ශ්‍රමිකයින් මුහුණපාන පොදු ගැටලූවලට අතිරේකව, භාෂාව සම්බන්ධයෙන් අතිරේක පීඩනයකට ලක් වීමට ඔවුන්ට සිදු වී තිබේ.

භාෂා ප්‍රශ්නය

වී. ආශා ප්‍රකාශ කළේ භාෂා ප්‍රශ්නය වැඩපොළේදී මෙන්ම ඉන් පිටතදීද දැඩිව බලපාන බවයි.

”කල්පිටියේ ඉඳලා වැඩට ආව සහෝදරියකට ලයින් එකේ වැඩකරපු සුපර්වයිසර් බැනලා තිබුණා. නමුත් එයා දන්නේ නැහැ මොනවටද බැන්නේ කියලා. අපිට සිංහල තේරෙන්නේ නැහැ. අපේ මැනේජර්ස්ලාට, සුපර්වයිසර්ස්ලාට, සික්රූම් එකේ නර්සර්ස්ලාට දෙමළ තේරේන්නේ නැහැ. ඒ වගේමයි ආයතනය අපෙන් ලබාගන්න වැඩවල ප්‍රමාණයට අපට වැටුප් ගෙවන්නේ නැහැ. අපේ වැටුප් පත්‍රිකාව තිබෙන්නෙත් ෙදමළ භාෂාවෙන් නොවෙයි.”
එපමණක් නොව, භාෂාව ඔවුන්ගේ බැංකු කටයුතුවලදීද ගමනාගමනයේදීද ඔවුහු බොහෝ දුෂ්කරතාවලට මුහුණ දෙති. ඔවුන් නවාතැන්ගෙන සිටින ප්‍රදේශවල ඔවුන්ගේ ආගමික කටයුතු කරගැනීමටද නිසි පහසුකමක් නැත.
දෙමළ සේවකයින්ට, සිංහල ශ්‍රමිකයින්ට වඩා අඩු වැටුප් ගෙවීමේ තොරතුරක් සම්බන්ධයෙන් ඔවුන් දන්නා බවත් ඇතැම් අවස්ථාවලදි රැකියා ආයතන තුළදී ඔවුන් ඉලක්ක කරගනිමින් නිෂ්පාදන ඉලක්කයන් ලබාගෙන සිංහල දෙමළ සේවකයින් අතර ගැටුම්කාරිත්වයක් මතුකිරීමට පාලක පක්‍ෂය ගන්නා උත්සාහය නිසා සංහිඳියාවට හානිකර තත්ත්වයන් මතුවන අවස්ථාද ඇති බවත් ඩා බිඳු සාමූහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි පවසයි.

නොවිසඳුණු ගැටලූ
චමිලා තුෂාරි

‘ඩා බිඳු’ සාමූහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි සඳහන් කරන අන්දමට, මේ වන විට කටුනායක වෙළෙඳ කළාපය ආශ්‍රිතව රැකියාව කරන සංක්‍රමණික ශ්‍රමික සංඛ්‍යාව 42,000කි. ඉන් 22,000ක්ම කාන්තාවන්ය. ඔවුන්ගෙන් බහුතරය ග්‍රාමීය ප්‍රදේශවල සිට පැමිණි අය බවත්, වයස අවු. 18-30 අතර අවිවාහක කාන්තාවන් බවත් ඇය පෙන්වා දෙයි. වෙළෙඳ කලාපයේ සේවය සඳහා පැමිණෙන ශ්‍රමිකාවන්ගෙන් සීයට 70ක තරම් පිරිසක් වසර 5කට අඩු කාලයකදී සේවය හැර යති. සංක්‍රමණික ජීවිතයේ දුෂ්කරතා, අඩු වැටුප්, ඒකාකාරි වැඩ පරිසරය, දරන්නට බැරි අධික වැඩ ප්‍රමාණ, විවාහය සහ ඒ තුළින් ඇතිවන අනෙකුත් ප්‍රතිඵල මෙන්ම කලාපේ රැකියාව සඳහා සමාජයේ ඇති අඩුතක්සේරුව ඇතුළු තවත් කරුණු ඊට හේතුකාරක ලෙස හඳුනාගෙන තිබේ.

1978දී ලංකාවේ පළමුවැනි නිදහස් වෙළෙඳ කලාපය කටුනායකදී ආරම්භ වු අතර මේ වන විට රටපුරා නිදහස් වෙළෙඳ කලාප 12ක් බිහි වී තිබේ. ඒවායේ, ඇගලූම් ක්‍ෂේත‍්‍රයේ පමණක් 285,000ක පමණ ශ්‍රම බලකායක් සේවය කරන බවත් වර්තමාන ආණ්ඩුව යටතේද වෙළෙඳ කලාප කිහිපයක්ම මේ වන විට උතුරු නැගෙනහිර පළාත්වලද අරඹා ඇති බවත් චමිලා තුෂාරි පවසයි.
මෙකී කලාපවල ශ්‍රමිකයින් විසින් 2016 වසරේදී අපනයන ආදායම ඩොලර් මිලියන 4884ක් ලබාදී ඇති නමුත් කම්කරුවාගේ අයිතින්, සුබසාධනය වෙනුවෙන් කිසිදු අවධානයක් නැති බවට ඇය චෝදනා කරයි.
”කම්කරුවෝ දන්නෙත් නැහැ ඔවුන්ගේ දාහදියෙන් ශ්‍රමයෙන් මේවගේ විශාල ආදායමක් මේ රටට ඔවුන් ලබාදෙනවාද කියලා. ලංකාවේ ප්‍රධාන විනිමය උපයන මාර්ගයක් තමයි මේ ඇගලූම් නිෂ්පාදනය”
මේ වන විට ඇගලූම් ක්‍ෂේත්‍රය තුළ 30,000ක රැකියා ඇබෑර්තු පවතින බවත් එවැනි පුරප්පාඩු ප්‍රමාණයක් තිබියදීත් මෙවැනි ආදායමක් උපයන්නේ, අහිංසක කම්කරු ශ්‍රමිකයින්ගෙන්  අධික නිෂ්පාදන ධාරිතාවක් ලබාගනිමින් බවත් ඇය පෙන්වා දෙයි.
”තමන්ගේ විවේක කාලය අහිමිකරගෙන, කෑම පැය විනාඩි 10 දක්වා සීමාකරගෙන තමයි මේ විශාල නිෂ්පාදන ධාරිතාව ඔවුන් ලබාදෙන්නෙ. මේ ශ්‍රමිකයින් අතර බහුතරය කාන්තාවන්. බහුතරය සංක්‍රමණික ශ්‍රමිකයින්. 2009 කම්කරු දෙපාර්තුමේන්තුව කරපු සමීක්‍ෂණයක වාර්තා වෙනවා වෙළෙඳ කලාපයේ සියයට 62ක් කාන්තාවන් රක්තහීනතාවයෙන්  පෙළෙනවා කියලා. දීර්ඝකාලීනව රැකියා කිරීම නිසා හන්දිපත් අමාරුව, පපුවේ ආමාරුව, කොන්දෙ අමාරුව සහ වායුසමනය කළ ශාලාවල දීර්ඝකාලිනව සිටීම නිසා හිසරදය හා සෙම අමාරු යනාදී සෞඛ්‍ය පීඩාවන්වලට මුහුණ දී සිටින බව එම වාර්තාවේ සඳහන් වෙනවා.”

වෙළෙඳ කලාපයේ කම්කරුවන් මුහුණපාන ගැටලූ ගැන ගැඹුරින් අවධානයට ලක් කරන ‘ජනතා සංවාද මණ්ඩපයක්’පැවැත්වීමට ‘ඩා බිඳු සාමූහිකය’ මෙවර කටයුතු කළේය.

ජීවත්වීමට සරිලන වැටුප් ප්‍රමාණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ චමිලා කියා සිටියේ අවම වැටුප ලෙසට රුපියල් 48,720/- ක් ලැබිය යුතුව තිබුණද, කලාපය තුළ අවම වැටුප ලෙස රුපියල් 13,500/- ක් පමණක් බවය. ඔවුන් රැකියාව සඳහා මේ ප්‍රදේශතුළ ජීවත්වීමට දරන වියදම, ඉපැයීමෙන් සියයට 60ක් පමණ වන බවද ඇය පවසයි. ‘‘වියදමට සරිලන වැටුපක් සකසා ගන්නට නම් ඔවුන් ප්‍රසාද දීමනා, නිෂ්පාදන ඉලක්ක දීමනා, පැමිණිමේ දීමනා සහ අතිකාල දීමනා වැනි දිරි දීමනා ලබාගැනීම සඳහා වෙහෙස මහන්සි වෙලා ශ්‍රමය වැයකරන්න සිදුවෙනවා. මේ සඳහා පැය 12 සිට 14 දක්වා මහන්සි වී සේවය කරන්නට සිදුවෙනවා.”
‘මැයි දිනය’ කම්කරුවාගේ දිනය වුවත්, විවිධ දේශපාලන පක්ෂ තම තමන්ගේ ශක්තිය පෙන්වීමට මැයි දිනයත් කම්කරු ජනතාවත් යොදාගැනීම වසරක් පාසා සිදු වෙයි. මේ තත්ත්වයට විකල්පයක් ලෙස, වෙළෙඳ කලාපයේ කම්කරුවන් මුහුණපාන ගැටලූ ගැන ගැඹුරින් අවධානයට ලක් කරන ‘ජනතා සංවාද මණ්ඩපයක්’පැවැත්වීමට ‘ඩා බිඳු සාමූහිකය’ මෙවර කටයුතු කළේය.