Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

ජාත්‍යන්තරය ජය ගත්
විවිධත්වයේ ආදර්ශය

අතීතයේ සිට අද දක්වාම ගල්කඩපතන වැසියන් විවිධත්වයට මෙන්ම අන්‍යයන්ට ගරු කිරිමට පුරුදු පුහුණුව සිටිති. එයට අඩිතාලම වැටී ඇත්තේ ඔවුන් ශිල්ප හැදෑරූ විදු පියසිනි.

28.02.2019  |  
නුවරඑළිය දිස්ත්‍රික්කය

“මම ඉස්කෝලෙ ගියේ සූරියගහපතනට. ඒක මිශ්‍ර පාසලක්. ඒ දවස්වල පහට විතරයි පන්ති තිබුණේ. සිංහල දෙමළ අපි ඔක්කොම ඒ ඉස්කොලේ එකට ඉගෙන ගත්තේ. සිංහල මාධ්‍ය ළමයින්ටත් දෙමළ මාධ්‍ය ළමයින්ටත් වෙන වෙනම හෝල් දෙකක් තිබුණා. අපේ ප්‍රින්සිපල් සිංහල. දෙවෙනියා දෙමළ. අපි සෙල්ලම් කළේ, තරගවලට ගියේ එකට. ඒ දවස්වල ඉඳලම අපි අතරේ කිසිම බෙදීමක් තිබුණේ නැහැ. ඒක හරි ලස්සන පුදුම ඉස්කෝලයක්. දැනුත් ඒ විදිහමයි. දෙගොල්ලොම එකට ඉගෙන ගන්නවා.”

අතීතයේ සිට අද දක්වාම ගල්කඩපතන වැසියන් විවිධත්වයට මෙන්ම අන්‍යයන්ට ගරු කිරිමට පුරුදු පුහුණුව සිටිති. එයට අඩිතාලම වැඩි ඇත්තේ ඔවුන් ශිල්ප හැදෑරූ විදු පියසිනි. එදා සිට අද දක්වාම ගල්කඩපතන වැසියන් අකුරු කරන පාසල සූරියගහපතන විදුහලයි. එය කෙතරම් අපූරු පාසලක්දැයි එහි අකුරු කළ, හන්දිය ආසන්නයේ දිවි ගෙවන සූරසේන මහතා අපට පැවසුවේය.

/

එදා අද මෙන් ගල්කඩපතන හන්දයේ කඩ සාප්පු නොතිබුණු අතර හන්දියට ආසන්නයේම ඇති සූරියගහාපතනේ තිබූ සන්දේකඩේ නම් වෙළද සැල සියල්ලන්ගෙම අවශ්‍යතා සපිරූ වෙළද සැලයි. “ඒ දවස්වල අඹලියද්දේ හිටපු අය තමයි ගල්කඩපතනට ඇවිත් පදිංචි වුණේ. 1962දි විතර තමයි ගමට පාර කැපුවේ. එත් එකක්ම තමයි හන්දියත් හැදුණේ. ඒ දවස්වල සූරියගහපතන තමයි ප්‍රදාන කඩවීදිය තිබුණේ. අනෙක් පහසුකම් ටිකත් තිබුණා. ඒ දවස්වල රූපහට බස් එකට සත පහයි.” සූරසේන මහතා වැඩිදුරටත් පවසයි.

විවිධත්වයේ ආදර්ශය

පවුල් තුන්සිය හැට දෙකක් දිවි ගෙවන ගල්කඩපතන හන්දිය ආශ්‍රිත ගම්මනයේ සිංහල බහුතරයක් මෙන්ම හින්දු සහ ඉස්ලාම් භක්තිකයින් සැලකිය යුතුපිරිසක්ද දිවි ගෙවති. වලපනේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ වතු ආශ්‍රිතව ඇති විශාලතම වපසරියකින් යුත් ග්‍රාම නිලධාරි වසමද වන්නේ ගල්කඩපතනයි. එසෙම අද වන විට ගල්කඩපතන ගම්වාසීන් ජාත්‍යන්තර වෙළද පොළට ජයගැනීමට පවා සමත් වී සිටී.

පසුගිය තෙවසරක පමණ කාලයක් තුළ ගම්මානයේ විවිධත්වය, සංවර්ධනය සදහා මෙන්ම ජාත්‍යන්තරය ජයගැනීම සඳහාද යොදා ගැනීමේ පෙර ගමන්කරු වන්නේ මෙම ගම්මානයේ ග්‍රාම නිලධාරීවරයා වන චමන්ද කුෂාන්ත මහතායි.

“මගේ උපන්ගම මේක. මම දැන් අවුරුදු තුනක් විතර අපේ ගමේ වැඩ කරනවා. අපේ ගමේ අය ඉස්සර ශුද්‍ර මූල්‍ය ණය උගුලට අහුවෛලා හිටියේ. දවසක් අපේ ප්‍රාදේශය ලේකම්තුමා කිව්වා ගම සංවර්ධනය කරන සැලැස්මක් ගැන. මම ඒ විදිහට අපේ ගම සැලසුම් කළා. ගමේ ඉන්න හැම ජාතියකම, හැම ආගමකම අය මේකට සම්බන්ධ කර ගත්තා. ගමේ කෝපි, මල්, බිම්මල් වගාවන් වගේම කිරි, මී මැසි පාලනය, පරිසර හිතකාමී බෑග් නිෂ්දානයත් පටන් ගත්තා. ජනාධිපතිතුමාගේ ග්‍රාම සංවර්ධන වැඩසටහනින් අපි අපේ ගමට ලක්ෂ හැට දෙකක් ඉල්ලුවා. අපි කිව්වා අපිට ඒ මුදල දුන්නොත් අපි අවුරුදු පහකින් ඒ ගාණ ලක්ෂ දෙසිය හැට දෙකක් කරනවා කියලා. ඒකට අපි ව්‍යාපෘති වර්තාවක් දුන්නා.

ආදර්ශ ගම්මානයක්

දැන් අපිට ඒ සල්ලි හම්බවෙලා තියෙන්නේ. අපි ආදර්ශ ගම්මානයක් විදිහට අපේ ගම සංවර්ධනය කරනවා. එකට දිසාපතිතුමාගේ ඉදලා හැමෝම උදව් කරනවා. අපේ අරමුණ තමයි තව ටික කලකින් ලොකයටම ආදර්ශයක් දෙන, උපරිම ආර්ථික සංවර්ධනයෙන් වගේම අනෙක් අංශවලිනුත් සංවර්ධනය වුණ ගමක් නිර්මාණය කරන එක. අපි ඔක්කොම අත්වැල් බැඳන් ඉන්න නිසා අපිට එක කරන්න පුළුවන් කියලා මම හිතනවා.” ග්‍රාම නිලධාරිවරයා උද්යෝගිමත්ව පවසයි.

/

ගල්කඩපතන හන්දිය ආසන්නයෙ දිවි ගෙවන සින්තාමරේ, ගම්මනයේ කිරි ගොවි සමිතියේ ක්‍රියාකාරී සමාජිකාවකි. ඇය එම වැඩපිළිවෙළ ගැන මෙසේ විස්තර කළාය. “චන්දානි අක්කලාත්, විජේසිංහ අයියාලාත් එකක මමත් කිරි ගොවි සමිතියේ වැඩ කරනවා. මටත් කිරි දෙන්නු ඉන්නවා. අපි ගමෙන් දවසකට කිරි ලීටර් සීයක් විතර එකතු කරනවා. දැනට අපිට කිරි ශීත කරන්න වගේම යෝගට් කර්මාන්ත ශාලාවක් පටන් ගන්න ඔනේ මැෂින් ටික දිලා තියෙනවා. එත් ඒකට පොදු ඉඩමක් නැති ප්‍රශ්නේ තියෙන්නෙ. ගමේ ඉන්න හැමෝම වගේ සහෝදරයෝ වගේ එකට ඉන්නෙ, එකට වැඩ කරන්නෙ. ඒකයි අපේ ගමටත් කිරි උතුරනවා වගේ හරියන්නෙ.”

රටට මී පැණි බෙදන සමන්

ගල්කඩපතන ගම්මානයේ මී මැසි පාලනයද ජයටම සිදු කරනු ලබන අතර ගම්මාන පුරා පවතින සොඳුරු පරිසරය මෙන්ම මලින් බර වූ ගස්වැල් මීමැස්සන්ට උචිත පරිසරයක් නිර්මාණය කරන්නට සමත්ව ඇත. “අපේ ගමේ මී මැසි ජනපද දෙසීයක් විතර තියෙනවා. අපි එකපාරකට මී පැණි බෝතල් දෙසිය හතළිහක් විතර ගන්නවා. අපෙන් තමයි ආයුර්වේදෙය මී පැණි ගෙනියන්නෙ. අපි පැණි බෝතලයක් රුපියල් දෙදාහට දෙන්නේ. මෙකට හොඳ ඉල්ලුමක් තියෙනවා. ගමේ හැම ගෙදරකම වගේ මී පෙට්ටියක් තියෙනවා.” මී පැණි නිෂ්පාදනයේ නියුතු සමන් මහතා පවසයි.


මෙම ගම්මානයේ සරුවට වැඩෙන කෝපි මේ වන විට ජපාන වැසියන්ගේ ප්‍රියතම පානයක් බවට පත්ව තිබේ. ඒ, මේ වන වට ගල්කඩපතන ගම්මානයේ නිෂ්පාදනය වන කොපි ගල්කඩපතන හන්දිය හරහා ජපානය දක්වා යන නිසාය.

ජපානයේ කියෝතෝ සමාගමේ නියෝජිතයින් හා ගල්කඩපතන උඩරට රන් කෝපි නිෂ්පාදකයින්ගේ සංගමයේ ලෙකම්තුමිය ජනපති ඉදිරියේ ගිවිසුම් ගතවූයේ රන් කෝපි ජපානයට යවන්නටය. අවට ගම්මානවල මෙන්ම ගම්මානය අවට වතුකරයේ කෝපි පැළ ලක්ෂයක් සිටුවීම මොවුන්ගේ අභප්‍රාය වී ඇති අතර මේ වන විටත් ඔවුන් කෝපි ජපානයට අපනයනය කරයි.

ග්‍රාම නිලධාරී චමින්ද කුෂාන්ත

කෝපි මෙන්ම තවත් බොහෝ ධාන්‍යවර්ග මෙන්ම පළතුරු වර්ග විජලනය කළ හැකි, රුපියල් ලක්ෂ හතළිහකට වඩා වටිනා අති නවීන උපකරණ කට්ටලයක් මේ වන විට ගල්කඩපතන ගම්මානයට ලැබී ඇති අතර එය සවි කොට කර්මාන්ත ශාලාවක් වශයෙන් පවත්වාගෙන යෑමට තම කඩය පරිත්‍යාග කොට ඇත්තේ මෙම ගම්මානයේ වාසය කරනු ලබන මීරා සයිබු බදුර්දින් මහතා විසිනි. “අපේ පරම්පරාවේම අය ඉන්නේ මේ ගමේ. මම කෝපි වගාව වගේම මී මැසි පාලනය, මල්වගාව එහෙමත් කරනවා. මේ ගමේ මේ තියෙන සහෝදරත්වයට, එකමුතුකමට මම ගොඩාක් ආදරෙයි. ඒකයි කෝපි ෆැක්ටරිය දාන්න මගේ කඩේ දුන්නෙ. ඒ වගේම ගමේ සංවර්ධන ව්‍යාපෘති ගොඩාක් තියෙනවා ඒ හැම එකකටම අපි වගේම දෙමළ අයත් එකතු කරගෙන තියෙනවා. ඇත්තටම තව ටික කාලෙකින් මේ ගම ලෝකෙටම ආදර්ශයක් වෙනවා.

විවිධත්වයයි සංවර්ධනයයි

ගමේ ඉන්න හැමෝම ගමේ සංවර්ධනයට යොදාගෙන ගමට අවශය සියලු දේ ගමේම නිෂ්පාදනය කර ගන්න එක තමයි අපේ අරමුණ එකට ගමේ ඉන්න හැම ජාතියකම, ආගමකම ඉන්න හැමෝම අපි දැනටමත් එකතු කරගෙන තියෙනවා. අපිට රජයෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා ඒ වැඩේ කරන්න. අපි දැනට ගමේ ලක්ෂ හයසිය හැට දෙකක විතර වියදමින් පානීය ජල ව්‍යාපෘතියක් කරලා තියෙනවා. ඒ ව්‍යාපෘතියේ ජල ටැංකිවලට අවශ්‍ය ඉඩම් පවා පරිත්‍යාග කළේ ගමේ මිනිස්සු. මම හිතනවා අපිට බොහොම කෙටි කාලෙකින් ලෝකෙටම ආදර්ශක් දෙන්න පුළුවන් ගමක් අපිට නිර්මාණය කරන්න පුළුවන් වෙයි කියලා. ගම්මානයේ සංවර්ධන නිලධාරිනී නදීකා චාන්දනි රණසිංහ මහත්මිය පවසයි.

/මේ වන විට ගල්කඩපතන හන්දියෙන් මහනුවර දක්වා බස් රථයක්ද ධාවනය වන අතර හන්දිය අවට මාර්ග පද්ධතිය තරමක් සංවර්ධනය වී ඇත. 2015 වසරේ ආරම්භ කරනලද මාර්ගසංවර්ධන ව්‍යාපෘතිය අතර මග නවතා දමා ඇති මුත් හන්දියෙන් ප්‍රවේශ වන ගම්මානයේ ඇත්තන් නම් තම විවිධත්වයෙන් ලොවම ජය ගනිමින් සිටියි.