Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

මඟහැරුණු පිටු - යළි කියවන
උසස් පෙළ පන්තියේ අම්මා

යුද්ධය ඔවුන්ගේ ළමා වියද යෞවනයද අහිමි කළේය. තාරුණ්‍යයේ හොදම දවස්ද සැලසුම් නැති පශ්චාත් යුද සමය විසින් අහිමි කරමින් තිබේ. වැඩිහිටි දිවිය හෝ ඔවුන්ට හිමි විය යුතු නැද්ද?   ‘‘මම 2009 අවුරුද්දේ උසස් පෙළ ලියලා විශ්වවිද්‍යාලයට යන්න ලකුණු ටිකයි මදි වුණේ. විභාගේ ලියන කාලේ තදින්ම යුද්දෙ තිබුණා. ඒ නිසා ඉගෙනගන්න බාධා වුණා. ඒ වෙච්ච පාඩුව නිසා […]

04.07.2016  |  
යාපනය දිස්ත්‍රික්කය
ජීවිතයේ අයිතිය සොයන එකම කෙනා නිමල විජිතා විය හැක.

යුද්ධය ඔවුන්ගේ ළමා වියද යෞවනයද අහිමි කළේය. තාරුණ්‍යයේ හොදම දවස්ද සැලසුම් නැති පශ්චාත් යුද සමය විසින් අහිමි කරමින් තිබේ. වැඩිහිටි දිවිය හෝ ඔවුන්ට හිමි විය යුතු නැද්ද?

 

‘‘මම 2009 අවුරුද්දේ උසස් පෙළ ලියලා විශ්වවිද්‍යාලයට යන්න ලකුණු ටිකයි මදි වුණේ. විභාගේ ලියන කාලේ තදින්ම යුද්දෙ තිබුණා. ඒ නිසා ඉගෙනගන්න බාධා වුණා. ඒ වෙච්ච පාඩුව නිසා මට රස්සාවක් නෑ. මම දැන් ආයෙම උසස් පෙළ ලියන්න ඉගෙන ගන්නවා” යාපනය නාවන්තුරෙයි ගම්මානයේ පදිංචි, විසි හය හැවිරිදි නිමල විජිතා පැවසුවාය.

නාවන්තුරෙයි ගම අසල කලපුව ධීවර බෝට්ටුවලින් පිරී ඇත.
නාවන්තුරෙයි ගම අසල කලපුව ධීවර බෝට්ටුවලින් පිරී ඇත.

නාවන්තුරෙයි ධීවර ගම්මානය අසල කලපුව ධීවර බෝට්ටුවලින් පිරී ඇත. ජැටිය මත දිවා කාලයේ සරුංගල් යවන ළමා ළපටියෝ ය. මද්දහනේ සරතැස නිවා ගන්නට- මූදු යන කණ්ඩායමේ පිරිමි පොල්ගස් සෙවණකට වී  නිමක් නැති සාකච්ඡාවලය. තහඩුවලින්, පොල්අතුවලින් හා ඇස්බැස්ටස් කෑලිවලින් සෙවිලිකරගත් නිවාසවල අයිතිය මූදටය. ඒ එක ගෙදරක සිට ජීවිතයේ අයිතිය සොයන එකම කෙනා නිමල විජිතා විය හැක.

සිතුම් පැතුම් වලින් පමණක් ඇය අනෙක් අයගෙන් ටිකක් වෙනස්වන්නේ කලක් ඇය කොළඹ අගනුවර සැරි සරා ඇති බැවින් ලෝකය දැක ඇති නිසා විය හැකිය. මේ නිසාම උතුරේ තරුණ ජීවිත වල අරුත සොයා ගිය හෝරාවක මේ විමසුමට ඇයවම තේරිණි. ඒ ටිකක් හෝ සිංහල ඉංග්‍රීසි දන්නා කෙනාද ඇයම බැවිනි.

දිය-ගොඩ කුලී රැකියා

තාමත්  (පාසලක් නැති) උසස් පෙළ ශිෂ්‍යාවක නමුදු දැන් විජිතා සිව් හැවිරිදි පුතෙකුගේ මවකි. උපතින් උරුම රස්සාව කරන සැමියා බෙනඩින් නිර්මල යි. මූදු ගොස් එන එක් දිනකදී බෙනඩික්ට රුපියල් දෙදහසකට ආසන්න මුදලක් ලැබේ. මීට වඩා ලොකු කරන්න බැරි මේ පුංචි පවුලට මාසෙකට කෑමට පමණක් වැය වන මුදල 15,000ක් පමණ වෙතැයි විජිතා  ගණන් හදා ඇත. මාසෙක වියදම් බලන විට පනස්දාහකට ආසන්න ය. උපයන්නේ විසිපන්දාහකි. ශේෂය පුරවන්නේ කුලී වැඩක් කිරීමෙනි. ඈ ඒ වග කැඩුණු සිංහල බසින් මෙසේ මිමිණුවාය. ‘‘මාසෙකට කන්න බඩු ගන්න පහළොස්දාහක් ඕනෑ. දැන් නම් ප්‍රශ්නයක් නෑ.මේ ගෙවල් ඉඩම් අපිට නෑ…මූද නිසා රජයේ…හොඳ ලෑන්ඩ් එකක් ගන්න ආසයි…ඒකනේ රස්සාවක් ගන්න පාඩම් කරන්නේ”

රැකියා වියුක්තිය යාපනය අර්ධද්වීපය පුරාම පාහේ තිබේ
රැකියා වියුක්තිය යාපනය අර්ධද්වීපය පුරාම පාහේ තිබේ

බෙනඩික් මෙන්ම මේ ගමේ මූදු යන හැම දෙනාම පාහේ මසුන් අල්ලන්නේ කුලියටයි. ඒ කවුරුවත් ජීවිතය වෙනුවෙන් අනාගත ආයෝජනයක් කරන්නේවත් විනෝද ගමනක් යන්නේ වත් නැත. එහිදී හමු වූ රාසයියා නල්ලදරන් මහතා රා මදින්නෙකි. හැට හතර විය ඉක්ම වූ ඔහු තාම කොළඹ ගොස් නැත. අනෙක් තරුණ ජීවිතවල තත්ත්වයද ඊට වඩා වැඩි වෙනසක් නැත. විජිතාගේ සිහින අතර දරුවා නගරයේ පාසලකට යැවීම, රැකියාවක් මෙන්ම ගොඩ බිම මැදින් ඉඩමක් ගැනීමද වේ. ඒ සඳහා ධීරවර කර්මාන්තයත් රජයේ රැකියාවත් හැරුණ විට වෙනත් විකල්ප ජීවනෝපායක් ගැන ඒ කවුරුත් නොදනිති. හේතුව මේ කලපු ආශ්‍රිත ගම්මමානවලට ස්වයං රැකියා හෝ කර්මාන්ත ශාලා වැඩසටහන් නොපැමිණීමයි. එමෙන්ම එම කර්මාන්ත ඇති පළාත්වලට මේ අයද නොයෑමයි. මේ නිසා හටගෙන ඇති රැකියා වියුක්තිය යාපනය අර්ධද්වීපය පුරාම පාහේ තිබේ. පලාලි ප්‍රදේශයෙන් ඔබ්බෙහි පිහිටි නැවත පදිංචි කිරීම් සිදුවන වලලායි ගම්මානයේ දී මෙවැනිම බොහෝ දෙනෙකු හමු විය.

දවසට රු. 165යි

එම ගම්මානයේ ඒ. සුදාජිණි(30) වැඩ කරන්නේ ඉදිකිරීම් සම්බන්ධ කම්හලකය. ඇගේ දිනක වේතනය රුපියල් 165කැයි ඇය පැවැසුවාය. තත්ත්වය එබඳු නිසා පුද්ගලික ආයතනවල රැකියා ගැනද මේ තරුණ පිරිස නොසිතති.

සමහර තරුණ ජීවිත විරැකියාවෙන්ම වියපත්ව ගොසිනි
සමහර තරුණ ජීවිත විරැකියාවෙන්ම වියපත්ව ගොසිනි

‘‘මගේ මහත්තයා මාලු අල්ලන්න යනවා.මට රස්සාවක් නෑ. රස්සා ගන්න ඉස්කෝලේ ගියා මදි. සරණාගත කදවුරු විස්සක විතර හිටියා. ඉස්කෝල හයකට විතර ගියා. ඒ අතීතය නිසා දැන් මෙහෙම නිකම්ම ඉන්නවා” යැයි කී ඇය පුෂ්පරාණිය. ඇයද වයසින් අවුරුදු තිහකි. මේ ගමේ බොහෝ දෙනාගේ පවුල්වල අය කපිර් ප්‍රහාර වලින්, කොටි සංවිධානය පැහැරගෙනයාමෙන් හෝ යුද්ධය නිසා වූ විපත්වලින් ජීවිතක්ෂයට පත්ව ඇත. පලාලි ප්‍රදේශයේ ඇති තවත් අවතැන් කදවුරු තුනක දීම, නිකරුණේ වියැකී යන තරුණ ජීවිත දක්නා ලැබේ. සමහර තරුණ ජීවිත විරැකියාවෙන්ම වියපත්ව ගොසිනි.

‘පොදු ඇසකින් නොබලන්න’

රැකියා ප්‍රශ්නය රටේම පොදු ප්‍රශ්නයකි. එහෙත් ඒ ගැන පොදු ඇසකින් නොබලන්නැයි යාපනයේ සිවිල් සමාජ නියෝජිතයෝ කියති. රාජ්‍ය නොවන සංවිධාන එකතුවේ සභාපති ඒ. ගුණපාලසිංහම් මහතා පවසන්නේ යුද්ධය පැවැති විසි හය වසරක කාලයේ වූ අසාධාරණ කම් නිසා මේ තරුණ ජීවිත වල‍ට සිදු වූ හානිය මුල සිටම සිතා බලා සාධාරණයක් ඉටු කළ යුතු බවයි. ඒ සදහා ජනතාවට කඩිනමින් ඉඩම හිමිකම් ලබාදීම, ස්වයං රැකියා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා ස්වයං රැකියා පුහුණුව ආදී යෝජනා රැසක් ඔහු  කියයි. මේ සම්බන්ධයෙන් යාපනය දිසාපති කාර්යාලයේ නිලධාරින්ගෙන් කළ විමසුමේ දී ඔවුන් කියා සිටියේ මුල් කාලයේ තල් ආශ්‍රිත, ඉස්සන් වගාව ආශ්‍රිත හා ප්ලාස්ටික් වැනි කර්මාන්තවලට අදාළ යම් කර්මාන්ත වැඩපිළිවෙළක් පැවැතියත් දැන් එවැන්නක් නොමැති බවකි.

K.Meyiyalahi
විජිතලාගේ, පුෂ්පරාණිලාගේ කතා තල් අරණේම යටගැසීම බරපතළ අපරාධයකි

යුද්ධය නිමා වී දැන් හත් අවුරුද්දකි. උතුරු පළාතේ වැසියන් විවිධ බලවේග හරහා රටට ලෝකයට දෙන පණිවිඩය තුළ සැඟවුණ මේ විජිතලාගේ, පුෂ්පරාණිලාගේ කතා තල් අරණේම යටගැසීම බරපතළ අපරාධයකි: අසාධාරණයකි.

‘‘ මම බොරැල්ලේ නෑදෑ ගෙදරක හිටියා අවුරුදු තුනක්. එහෙ රස්සා තියනවා. කසාද බදින්න ආයේ මෙහෙ ආවා. ඉගෙන ගන්න තමයි උත්සාහය. නැත්නම් මේ බබාටත් මූදු යන්න තමා වෙන්නේ.” ඒ නිමල විජිතා කී සැටිය. නාවන්තුරේ තල්ගස් අතර ඒ හඩ රැව් දෙමින් තිබේ. පිළිතුරු පැමිණිය ‍යුත්තේ බොහෝ ඈත සිටය.