අපට ඕනෑ පිළිගැනීමයි, නිදහසයි, සංවර්ධනයයි
උතුරෙන් සංවේදී කතාවක්
” යුද්දේ නිසා අපි ගොඩක් බැට කෑවා. අපට ආයෙ යුද්ධ ඕන නැහැ. අපිට ඕනෑ මේ රට සංවර්ධනය වෙනවා දකින්න. ඒ වගේම අපේ අලුත් ජනාධිපතිතුමා අපිව බලාගනියි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. අපිට ඕනෑ පිළිගැනීමත්, නිදහසත්, සංවර්ධනයත් විතරයි”
හැටතුන් හැවිරිදි නඩරාජා සිවමලන් ඕමන්තේ පදිංචිකාරිණියකි. යුද්ධය නිසා සියලු දේ අහිමිවූ සිවමලන් මේ වන විට හිසට හරි හැටි සෙවණක් නොමැතිව ගත කරන්නේ තනිකඩ ජීවිතයකි. භාෂා තුනම හරි හැටි හැසිරවීමේ හැකියාව ඇති සිවමලන් සිවමලන් මට හමු වුණේ ඕමන්තේ සමෟද්ධි බැංකු කර්යාලයේදී ය. මිනිසුන් ගැවසෙන තැන්වලට ගොස් මනි බඩු අලෙවි කිරීම ඇගේ ජීවන වෘත්තියයි.
අහඹු හමුවීමකින් මිතුරු වූ පසු, එකම වඩයක් හා ප්ලේන්ටියක් භුක්ති විඳිමින් අපි දිගු කතාවකට මුල පිරුවෙමු.
“මගේ ජිවිතේ, පවුල විනාශ වුණේ යුද්දේ නිසයි. අම්මා, අප්පා දෙන්නම යුද්දේ නිසා මට අහිමි වුණා. ඒ කාලෙ මට විශ්ව විද්‍යාලෙ වරම් හිමි වුණත් යන්න පුළුවන් කමක් තිබුණෙ නැහැ. මට හොද ගෙයක් දොරක් තිබුණා. ඉඩකඩම් තිබුණා. නමුත් යුද්දෙන් ඒ සියල්ල නැති වුණා. මම කසාද නොබැන්දෙත් ඒ නිසයි. මගේ ගේ දැන් පොළවට සමතලා වෙලා. ඒත් මම කාටවත් වෛර කරන්නේ නැහැ. මට ඉන්න හිටින්න තැනක් නැති වුණාට මම උත්සාහ කරන්නේ රටට, ගමට වැඩක් කරන්න. මම මට පුළුවන් විදිහට සමාජ සේවය කරනවා.”
සිවමලන් තිතක් නොතබා සිය කතාව කර ගෙන ගියාය. ඒ අතර ඉල්ලීමක් ද කළාය.
” ආපහු යන්න ඉස්සරලා මම ඉන්න තැනටත් ඇවිත් යන්න එන්න.”
පසු දින මම ඈ සිටින ස්ථානය සොයා ගියෙමි. “ආයුබෝවන්” කියා මා පිළිගත් සිවමලන් යුද්ධය හේතුවෙන් ඈට උරුම වූ සියල්ල මට පෙන්නුවාය.
“යුද්දේ ඉවර වුණ එක හොදයි. නමුත් අපි බලාපොරොත්තු වුණ දියුණුව වුණේ නැහැ. අනෙක් කාරණය තමයි දකුණේ වගේම උතුරේ ජනතාවගේ යුද මානසිකත්වය නැති කරන්න වැඩපිළිවෙළක් පසුගිය ආණ්ඩුවලට තිබුණෙ නැහැ. මේ යුද මානසිකත්වය නිසා තමයි උතුරත් දකුණත් මේ විදියට බෙදුණේ ”
හැටතුන් හැවිරිදි සිවමලන් ජීවත් වන්නේ තහඩු කීපයක් උඩට දැමූ, සාරි කීපයක් වටේට දැමූ මඩුවක ය. එය ඉදි කර දී ඇත්තේ ද හමුදාවෙනි. මෙවැනි නිවෙස් විශාල ප්‍රමාණයක් උතුරේ දක්නට ඇත.
‘මේකේ ඉන්නේ කොහොමද? කිසි ආරක්ෂාවක් නැහැ නේද?‘ මම සිවමලන් ගෙන් ඇසීමි.
“වැස්සට තෙමෙනවා. අව්වට කර වෙනවා. වැස්ස දවසට නම් අනිවාර්යෙන් බඩගින්නේ තමයි. නමුත් මං ජිවත් වෙනවා. මම කාටවත් අත පාන්නේ නැතුව ජීවත් වෙනවා. මම ඒ ගැන සතුටු වෙනවා.” සිවමලන් ඉතා නිහතමානිව කියාගෙන ගියාය.
මේ පැල්පතට නුදුරින් තිබු විශාල ගොඩනැගිල්ලක ශේෂ වූ නටබුන් පෙන්වූ සිවමලන් ‘මේ තමා මගේ ගේ‘ යැයි කීවා ය. ඒ දෙස බලා සිටි ඇගේ ඇසට කඳුළක් නැඟිණි.
“දුක් වෙන්න දෙයක් නැහැ. මේ වගේ ගෙවල් ඕනෑ තරම් මේ ඕමන්තේදී දැකගන්න පුළුවන්. මේ පාර දිගේ පොඩි දුරක් ගියාම බලන්න පුළුවන්. මං කියන්නේ මේ ගමනේදීම ඒවත් බලාගෙන යන්න කියලයි.”
සිවමලන් පෙන්නූ පාර දිගේ මීටර් තුන් හාරසියයක් ගිය තැන මට හමුවුණේ සිවමලන්ගේ පැල්පතට වඩා ටිකක් දියුණු පැල්පතකි. මේ පැල්පතේ දරු තිදෙනෙකු සමඟ වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙකු සිටි අතර, මෙහි ගෘහ මූලිකයා කුලී වැඩක් සොයා නික්ම ගොස් තිබුණි. තිස් හත් හැවිරිදි ලින්ගේශ්වරන් ඉන්ද්‍රානි මේ නිවසේ මව වූ අතර ඇය පැවසුවේ තමනට ජීවත් වීම සඳහා ස්ථිර අදායම් මාර්ගයක් නොමැති බවයි.
“අද වෙන කොට කුලී වැඩක් හොයා ගන්නත් සෑහෙන දුකක් විඳින්න ඕනෑ. මේ නිසා දෙන කුලිය අඩු වෙලා. මුළු දවසටම ලැබෙන්නේ රුපියල් හාරසීයක් වගේ මුදලක්. ඒ මුදලින් හය දෙනෙකුට ජීවත්වෙන්න අමාරුයි. මේ ඉන්න ඉඩමට ඔප්පු නැහැ. වැහි දවසට මේ පාරේ යන්න බැහැ. බොන්න වතුර ටිකක් ගන්න හැතැක්ම ගාණක් යන්න ඕනෑ. මේ පළාතේ ජනතාව ලොකු දුකක් විඳිනවා. නමුත් කියන්න කෙනෙක් නැහැ. අඩුම ගානේ මේ පාර ජන්දේ ඉල්ලලා හරි කවුරුත් ආවේ නැහැ. ඒ කියන්නේ අපිව අත හැරලා වාගෙ තියෙන්නේ.”
ඉන්ද්‍රනිගේ පැල්පතද තහඩු, ඉටි කොළ, සාරි වැනි දෙයින් මෙන්ම කාඩ් බෝඩ්වලින්ද ආවරණය කර තිබුණි.
මේ ගමේදී හමු වූ තිස් දෙහැවිරිදි සුබ්‍රමනියම් සෙන්දිල් දරු දෙදෙනෙකුගේ පියෙකි. බිරිඳ හා දරුවන් සමඟ ඉතා කුඩා නිවසක ජීවත්වන ඔහුට ඇති ප්‍රධාන ගැටලුව ස්ථිර අදායම් මාර්ගයක් නොමැති කමයි.
“අපිට ගොඩාක් බලාපොරොත්තු නැහැ. එදා වේල හොයා ගන්න එක තමයි අපේ ප්‍රධාන ප්‍රශ්නේ. යුද්දේ නිසා අපිට හැම දේම නැති වුණා. අපි ඉපදුණේ යුද්ධයේ සාපයට අහුවෙලා. යුද්දේ ඉවර වෙයි කියලා අපි හිතුවෙම නැහැ. අපි හැමදාම හිතුවේ බංකරේ තමයි අපිට උරුම කියලා. නමුත් යුද්දේ ඉවර වුණා. ඒකට අපිට සතුටුයි. නමුත් අපිට එකේ ප්‍රතිලාභ මොනවත් ලැබිලා නැහැ. අපට තියෙන ප්‍රධාන ගැටලුව වතුර නැති එක. වතුර තිබුණා නම් අපිට මොනවා හරි කරන්න පුළුවන්. අපේ දේශපාලකයන්ගෙන් වෙච්ච දෙයක් නැහැ. අපේ ගැටලු සිංහල පත්තරයක හරි ගිහින් දකුණේ දේශපාලකයෝ අපේ දුක දැක්කොත් අපිට යමක් කරයි.
මේ ගමනේදී කැමැත්තෙන් මා හා කතා කිරීමට ඉදිරිපත් වූ එකම රාජ්‍ය නිලධාරියා වන්නේ ඕමන්තේ සමෟද්ධි බැංකුවේ කළමනාකරු උපාලි චන්ද්‍රසිරි මහතායි. දකුණේ සිට උතුරට පැමිණි ඔහු දකුණේ හා උතුරේ සංවර්ධනය දකින්නේ අහසට පොළොව මෙනි.
“දකුණේ ගෙදරකට යන පොඩි පාරත් කොන්ක්‍රීට් කරනවා, කාපට් කරනවා මෙහෙ ‘ඒ නවය’ ඇරෙන්න වෙන කිසිම පාරක් හැදිලා නැහැ. මේ නිසා ප්‍රවාහන ගැටලු තියනවා. මිනිස්සු තවමත් කිලෝමීටර් හය හත පයින් යන අවස්ථා තියෙනවා. බොන්න වතුර ටිකක් ගන්න කිලෝමීටර් ගාණක් යන්න වෙලා තියනවා. ඒ වගේම තමයි යුද්දෙන් පස්සේ පදිංචියට ආව මෙහෙ ජනතාවට ඉන්න හරි හැටි වාසස්ථානයක් නැහැ. මූලික මිනිස් අයිතිවාසිකම් කිසිවක් මේ ජනතාවට තවම ලැබිලා නැහැ. මට කියන්න තියෙන්නේ ඉතා ඉක්මනින් මේ තත්වය වෙනස් කළ යුතුයි. දකුණේ දේශපාලකයන් මෙන්ම නිලධාරීන් උතුරට ඇවිල්ලා මේ ගැන හොයා බැලිය යුතුයි. අවුරුදු ගාණක් යුද්ධයෙන් බැට කාපු මේ ජනතාවට දැන්වත් සහනයක් දිය යුතුයි. ඒ නිසා දකුණේ කෙනෙක් විදියට මට කියන්න තියෙන්නේ දකුණට පෙර උතුර සංවර්ධනය සදහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි.”
උතුර හා දකුණේ දුරස්ත බව දුරු කළ හැකි කදිම ප්‍රායෝගික යෝජනාවක්ද ඔහු සතුව තිබිණි.
“මම යෝජනා කරන්නේ, හොඳට වැඩ කරන්න පුළුවන් දකුණේ රාජ්‍ය නිලධාරීන් මේ පළාතේ සේවය සඳහා යොදවන්න ඕන. මට ඒ ගැන හොඳ අත්දැකීම් තියනවා. මං අකමැත්තෙන් මෙහේට ආවේ. මොකද ඒ වෙන කොට මට දෙමළ අකුරක්වත් බැහැ. මං මුලින් බය වුණා මේ අයත් එකක් වැඩ කරන්න. මං වැඩ කළ මේ ටික කාලේදී අවබෝධ කර ගත්තා මේ ජනතාවට වැඩ කරන්න පහසු බව. ඉතා අහිංසක ජනතාවක් කියන එක. මේ නිසා මට පුළුවන් උපරිමයෙන් මේ අයට සේවය කරනවා. ඒ නිසා දකුණේ ජනතාව ගැන ආදරයක්, භක්තියක්, ගෞරවයක් දැන් දැන් මේ පළාතේ ජනතාවට ඇතිව තිබෙනවා. සමහර විට උතුරේ දේශපාලකයන් මේ යෝජනාවට අකැමති වෙන්න පුළුවන්. නමුත් මං හිතනවා විශ්වාස කරනවා නව ජනාධිපතිතුමාට මේ දේ කරන්න පුළුවන් කියලා. ඒ වගේම උතුරේ නිලධාරීන් දකුණේ සේවය සදහාද යොදවන්න පුළුවන්.”
ආපසු යන ගමනේදී මට යළිත් සිවමලන් මුණගැසිණි.
“මේක මගෙන් තෑග්ගක්” සමුගැනීමට සැරසෙද්දී තම අලෙවි භාණ්ඩ අතරින් යමක් ගෙන මා අත තබමින් සිවමලන් පැවසුවාය. ඒ ස්ටිකර් දෙකකි. “මෙම නිවසට බුදු සරණයි” යන්න මින් එකක් වූ අතර අනෙක අපේ ජාතික කොඩියයි. මා සිංහල බෞද්ධයෙකු යැයි සිතූ ඇය, ඊට ගැළපෙන හොඳම තිළිණයක් පිරිනමන්නට සංවේදී වූ අයුරු මට වැටහිණි. එතරම් සංවේදීකමකින් අප ඔවුන් දෙස බලන්නේ කවදාද?