වී ඇටේ කාගෙ කුඹුරෙත් පැළ වෙනවා!
සියාම් හාජියාර්ගේ මනුසත්කම
සියාම් හාජියාර්ගේ ගබඩාවේ ගොඩගැසුණු වී ඇට කාගේ කුඹුරෙන් ආව ඒවාද? ඒවා නැවත කාගේ කුඹුරේ පැළවේද? කාගේ කුස ගිනි නිවයි ද? කිසිවෙක් නොදනී. ඒ හැම වී ඇටයක්ම හොරොව්පොතානේ මිනිසුන්ගේ පැවැත්ම උදෙසා මිස ඒවා පැළ කරන අය හෝ ආහාරයට ගන්නා අය හෝ සිංහල ද මුස්ලිම් ද කියා හාජියාර්ට භේදයක් නැත.
වී ඇටයට මිනිස් වර්ගයාගේ වෙනසක් නැත.ජලය හිරු එළිය ඇත්නම් එය සිංහල ගොවියාගේ කුඹුරේ මෙන්ම මුස්ලිම් ගොවියා ගේ කුඹුරේද පැළවන්නේ ය. එලෙසින් බත් ඇටය ද කොයි ජාතියේ කොයි කුලේ මිනිසාගේත් කුස කුසගිනි නිවන්නේ ය. සියාම් හාජියාර්ගේ ගබඩාවේ ගොඩගැසුණු වී ඇට කාගේ කුඹුරෙන් ආව ඒවාද? ඒවා නැවත කාගේ කුඹුරේ පැළවේද ? කාගේ කුස ගිනි නිවයි ද? කිසිවෙක් නොදනී. ඒ හැම වී ඇටයක්ම හොරොව්පොතානේ මිනිසුන්ගේ පැවැත්ම උදෙසා මිස ඒවා පැළ කරන අය හෝ ආහාරයට ගන්නා අය හෝ සිංහල ද මුස්ලිම් ද කියා හාජියාර්ට භේදයක් නැත. සිය කාර්යාල මේසය මත අතුරා ඇති විවිධ ධාන්‍ය වර්ග දෙස දවස පුරා ඇස ගැටෙන විට ඔහු සිතන්නේ ‘මේවා බෝවි හොරොව්පොතානේ මිනිසුන්ගේ කුසගිනි දුරුවේවා! ‘ යන්න ය.
‘‘ මේවා දැන් කලවම්.අපිත් කලවම්. තව මොනවාට භේද වෙන්නේ? ‘‘ ඔහු අප හා කතාව පටන්ගත්තේ එතැනින් ය.
ගම් නියම්ගම්වල ජනයාට පොදුවේ ද පුද්ගලිකව අසරණවූ අයට ද අපමණ උදව් කරන හොරොව්පොතාන මන්ෆාවුල් හසනත් ජුම්මා මහ පල්ලියේ සභාපති ඒ.එම්. සියාම් (සියාම් හාජියාර්) මහතා බොහෝ කල් කළ නිහඬ සේවය පසුගියදා එක පුංචි සිදුවීමකින් එළියට ආව් ය. ඒ හොරොව්පොතාන පුහුලේවැව ගම්මානයේ පිහිටි ‘ඉසුරු‘ මුල් ළමාවිය මධ්‍යස්ථානයේ දරුවන්ටගේ වාර්ෂික විවිධ ප්‍රසංගයේදී ය.
‘ඉසුරු‘ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ 2019 වසර වෙනුවෙන් අධ්‍යාපනය ලැබූ දරුවන් සංඛ්‍යාව අටකි. දැඩි ආර්ථික අපහසුතා මැද දිවි ගෙවන මෙම දරුවන්ගේ දෙමාපියන් එදිනෙදා කුලී වැඩ කරමින් ජීවත් වන අතර දරුවන්ගේ අධ්‍යාපන උපකරණ මිලදී ගන්නට පවා හරිහමන් වත්කමක් නොමැත්තෝ ය.
වසර අවසානයේ මුල් ළමාවිය අධ්‍යාපනය නිම කරන මෙම දරුවන් අට දෙනා 2020 වසර වෙනුවෙන් පළමු වසරට පා තැබීමට නියමිත ය. ඉකුත්දා මෙම දරුවන්ගේ දෙමව්පියන් සහ ගුරුතුමිය මුහුණ දුන්නේ සුළුපටු අභියෝගයකට නොවේ ය. වසර අවසානයේ නික්ම යන දරුවන්ගෙ හැකියාවන් ඔප් නංවන විවිධ ප්‍රසංගය සංවිධානය කරන්නටත් පාසලට ඇතුළත් කිරීමෙන් පසු පළමු වසරට අවශ්‍ය අධ්‍යාපන උපකරණ ලබා දෙන්නටත්වීම ඔවුනට තිබූ අභියෝගයකි. මන්ද ඒ සඳහා ඔවුනට ආර්ථික ශක්තියක් නොමැති වූ නිසා ය. ඒ සඳහා දරුවන්ගේ ගුරුතුමිය වූ ඉනෝකා ගුණරත්න මහත්මිය නොගත් උත්සාහයක් නැත. විවිධ ආයතන වලට සහ පුද්ගලයන්ට තම දුක කීවද පලක් නොවුණි. කෙසේ හෝ විවිධ ප්‍රසංගය පත්වන්නටත් අධ්‍යාපන උපකරණ ලබාදීමත් සිදුකළ යුතුම ය. එයට හේතුව වූයේ දරුවන් ඒ පිළිබඳ මහත් බලාපොරොත්තු තබා ගෙන සිටීම ය.
අවසානයේ පිහිට ආවේ කිසිවෙකු නොසිතූ අයෙකි.
හොරොව්පොතාන මුස්ලිම් මහ පල්ලියෙ සභාපති සියාම් හජියාර් මහතාට මේ ගැන දැනගන්නට ලැබී තිබුණි. ඔහු වහා දරුවන්ගේ ගුරුතුමිය හමුවේ පවසා ඇත්තේ “ඔබතුමිය කිසිම දේකට බයවෙන්න එපා. උත්සවය සංවිධානය කරන්න. දරුවන්ට අවශ්‍ය සියලු අධ්‍යාපන උපකරණ මම අරන් දෙන්නම් මොන ආගමේ වුණත් අපි කරන්න ඕනේ පින්. මේ අහිංසක දරුවන් වෙනුවෙන් මම ඕනෙම දෙයක් කරන්න ලෑස්තියි.‘‘ යනුවෙනි.
ඒ අනුව දෙසැම්බර් 10 වැනිදා උදෑසන සිට ඉසුරු මුල් ලමාවිය දරුවන්ගේ විවිධ ප්‍රසංගය සාර්ථකව පැවැත්වුණේ දෙමවුපියන්ගේ සතුටු කඳුළු මැදිනි. පළමු වසරට පිය නගන තමනට අවශ්‍ය සියලු අධ්‍යාපන උපකරණ ලැබූ අහිංසක දරුවන් අට දෙනා ද සතුටින් ඉපිල ගියහ. ‘‘ළමයි අට දෙනෙක් ඉන්න නිසා තමා මේ මිස්ට උදව් කරන්න ඕනෑ.ළමයි අටයි කියන්නේ මිස්ට ලැබෙන උදව් අඩුයි කියන එක. මට මිස්ටත් තෑග්ගක් ගෙන යන්න බැරිවීම ගැන දුකයි‘‘ උත්සවය ගැන ඔහු පසුතැවුණේ එසේ ය.
හොරොව්පොතාන නගරයේ තුන්මන්සල මැද ඔහුගේ ධාන්‍ය මධ්‍යස්ථානයන් වූ ව්‍යාපාරික ස්ථානයට අප යන විට ඔහු වටකරගෙන සිටියේ වියපත් මවක හා කාන්තාවන් කිහිප දෙනෙකි. ‘‘කරදයක වුණේ නෑ.අම්මා අපි හොඳින් ආවා.ඒ ප්‍රශ්නෙ විසඳුනා.‘‘ ඔහු කියනවා ඇසිණි. ඒ මව හා පිරිස ඔහුට ‘‘ පුතාට දෙයියන්ගේ පිහිටයි. හොඳවැඩ කරන අයට කරදර වෙන්නේ නෑ.අපි දුකෙන් හිටියේ මයේ පුතාට කැදරයක් වෙන්ඩැති කියලා.ඇස් දෙකටම දැක්ක හින්දා දැන් සැනසිල්ලක් දැනුණා. ‘‘කියාගෙන සතුටු කඳුළු පුරවාගෙන ඒ මව නික්මුණා ය. සියාම් මහතාගේ ඇස්ද සතුටු කඳුළින් බොඳව තිබුණි. ‘‘ මම එදා පුහුලේ වැවට ගිහින් එනකොට එකපාරට වාහනයක් හරහට ඇවිත් හැප්පුණා. නමුත් තුවාල නොවී බේරුණා. ඒ නිසා බයවෙලා මාව බලන්න තමා ඒ අම්මලා ඇවිත් හිටියේ ‘‘ ඔහුට අප වෙත පැහැදිලි කළේ ය.
‘‘මගේ ළඟ ජාතීන් අනුව භාෂා අනුව වෙනම සැලකිළි නෑ. මං පල්ලියේ සභාපති වශයෙන් මගේ ආගමට සේවය කරනවා. ඒ වාගේම අනෙක් අයටත් අපේ සේවය අවශ්‍යයි. අපි සැබෑ ආගමික නායකයන් නම් මේ සමාජයේ හැමෝටම සේවය කරන්න ඕනෑ. නැත්නම් අපි නායකයෝ නෙවෙයි. මම මගේ අවධානය හොරොව්පොතාන නගරයට විතරක් සිමා කරන්න කැමති නෑ. අඩුම ගානේ මුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටම පොදුවේ බලපාන ප්‍රශ්න ගැන මම සංවේදීයි.
හොරොව්පොතාන ඉතාම දුෂ්කරයි. ඈත ගම්මානවල පොදු පහසුකම් ප්‍රශ්න ඉතාම වැඩියි. මේහැම දේටම වඩා වැදගත් දේ අධ්‍යාපනය කියන එක මම විශ්වාසකරනවා. මේනිසා මම අධ්‍යාපනය ලබන අයට උදව්වකත් ඕනැ වෙලාවක කරන්න උත්සාහ කරනවා. ගුරු හිගය සහ පාසල්වල සංවර්ධන අවශ්‍යතා බහුලයි. නගරයෙන් ඈත ගම්මානවල මාර්ග පද්ධතිය ඉතා දුෂ්කරයි. පානීය ජලය සඳහා අපේ කොට්ඨාසයට ස්ථිර විසඳුමක් අවශ්‍යකරනවා. පානීය ජලය කීවාම සල්ලි වලට හරි නොමිලේ හරි ගෙවල්වලට වතුර දෙන එක විතරක් නෙවෙයි පොදු ස්ථානවල,ඒ කියන්නේ බස් නැවතුම්පොළ,පාසල,රෝහල වගේ තැන් වල මිනිසුන්ට අවශ්‍ය මොහොතේ බොන්න වතුර තිබෙන්න ඕනෑ. අහිංසක මිනිසුන්ට හදිසියට නගරේදී වතුර ඕනෑ වුණාම ලොකු මුදලක් දීලා වතුර බොතල් ගන්න වෙනවා. නැත්නම් පිපාසේ ඉන්න වෙනවා. මේ වාගේ අවශ්‍යතාවලට ජාති ආගම් වැඩක් නෑ. මනුෂ්‍ය යෝ වෙනුවෙන් කළ යුතු දේවල්.
පායන කාලේට හැමදාමත් බවුසර්වලින් වතුර බෙදන එක දිගටම කරන්න බෑ. ඒවාට විසඳුම් සොයන්න අවශ්‍යයි.
ප්‍රදේශයේ රැකියා හිඟය බහුලයි. රජයක් මගින් මේවාට විසඳුම් දෙන්න ඕනෑ ආකාරය පොදු වැඩ කරන අය වශයෙන් අපි පෙන්වා දෙන්න ඕනෑ.
මේ කොට්ඨාසයේ ගොවිතැන් වැඩිපුරම කරන්නේ කුඩා වැව් ආශ්‍රිතව. නැත්නම් අහස් වැස්සෙන්. ඒ නිසා හොඳ අස්වැන්නක් ගන්න එක ඉතා අමාරුයි.
වාහල්කඩ ජනපදයේ වගාවන් සාර්ථක වුණාම අපටත් වෙළඳාම වැඩි වෙනවා. මගේ වෙළඳාමටත් ජනවර්ගයක් නෑ. හැබැයි හරියට සමීක්ෂණය කරලා බැලුවොත් මගේ කඩේට සීයයට අනූවක්ම ධාන්‍ය සපයන්නේ සිංහල ගොවියෝ. මම මේ අයගේ වී හරි කුරක්කන් හරි ඒ අදාළ ධාන්‍ය වර්ගය අරන් සල්ලි දුන්නා ඉවරයි කියන මානසිකත්වයේ නෑ. කවුරු හරි උදව්වක් ඉල්ලාගෙන ආවොත් මට පුළුවන් දෙයක් නම් කරනවා. විශ්වාසෙට ණය ගනුදෙනු කරලා තියනවා. මේ අයගේ අස්වැන්න මිළඳි ගන්නවා විතරක් නෙවෙයි වී වපුරන කාලේට බිත්තර වී එහෙමත් ගොවියන්ට හොයලා දෙනවා. වී විතරක් නෙවෙයි බඩ ඉරිඟු උඳු ආදී ගොවින්ගේ විවිධ වගාවන් සම්බන්ධ අවශ්‍යතාවල දී අපි සේවාවන් ලබා දෙනවා. ඒ වාගේම මගේ ව්‍යාරයේ දුප්පත් දරුවෝ වැඩ කරනවා. මේ අයගේ පවුල්වල අය ඒ නිසා කාලා බිලා ජීවත් වෙනවා. ඒ ගැන මම සතුටු වෙනවා. ජාතියක් බලන්නේ නෑ. මම විශ්වාස අය වැඩට ගත්තා.
ධාන්‍ය කියන්නේ මට හැමෝම එක්ක තියන බැඳිම්ක්.හැමෝටම ධාන්‍ය ඕනෑ. ඒවා වගා කරන්නත් ඕනෑ. අස්වැන්න බෙදා හරින්නත් ඕනෑ. මේ රටේ කොයි ජනවර්ගයේ කෙනාටත් වී,උඳු,කුරක්කන්,මුං ඇට,බඩ ඉරිඟු ඕනෑ.
අප්‍රේල් 21 ප්‍රහාරය අවස්ථාව වන විට අපේ නගරයේකිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නෑ. මෙහෙ වැඩි ප්‍රමාණයක් ඉන්නේ මුස්ලිම් ව්‍යාපාරියෝ. අපට කවුරුවත් ඇඟිල්ල දික්කරේ නෑ.අපි හරි දේට හරි කියනවා. වැරදි දේට වැරදි කියනවා. ඒ වෙලාවේ අපි ඉක්මනටම මේ ප්‍රදේශයේ ඉන්න නායක හාමුදුරුවරුන් දෙනමට නතාකරලා ගැටුම් ඇති නොවන ආකාරයට ආරක්ෂාව වෙනුවෙන් පියවර ගත්තා.‘‘ අපි සමාජයට නායකත්වය දෙන අය හැටියට පොදු මිනිසුන් වෙලා ඉන්න ඕනෑ. වෙන් වෙන්න නරකයි. අපේ රටේ සංස්කෘතිය තුළ මළ ගෙවල්,මඟුල් ගෙවල් සංවිධානය කරන්නේ බැඳීම් ඇති කරගන්න. ඒ නිසා මළ ගෙවල්වලට මඟුල් ගෙවල්වලට යන්න ඕනෑ. ඒවගේ අවස්ථාවල මිනිසුන්ගේ අවශ්‍යතා ගැන සොයාබලා උදව්කරන්න ඕනෑ. සහජීවනය කියන්නේ ඒකට. ආරාධනාවක් නැතුව යන්න පුළුවන් එකම තැන මළ ගේ. ඒකට මම නම් යනවාමයි. මම සාමය ගැන වැඩ කරන්නේත් හිතන්නේතත් එහෙමයි ‘‘ සියාම් සිය සමාජ සේවාවේ සතුට පල කළේ එලෙසයි.