කෙට්ටු අතැඟිලි ගණිනා සිල්ලර කාසි හඬනා
මේ දේශගුණය ඉතා උණුසුම්ය
ඇගේ අතැඟිලි අතරට එකතුවන හැම කොළයක්ම පරඬැල්ය. ණය දෙන ආයතන එකතු කරන්නේ කොළ පාට රුපියල් දහසේ කොළ ය. මාසය අවසානයේ ලැබෙන විසි දහස ණය වාරිකවලට බෙදා වෙන්කරන්නට ද මදි ය. මුදලින් විසඳන ජිවිතයේ අනෙක් ප්‍රශ්න තවත් නම් කී දවසකට කල් දමන්න ද? මේ ක්ෂුදු මූල්‍ය ණය උගුලෙට සිරවූ දහස් සංඛ්‍යාත මෙරට ගෘහණියන්ගේ කතාවේ පෙරවදන ය.
‘‘මට හෙට වෙනකොට හත් දාහක් ඕනෑ. ඒ ගැන මතක් කරලා දැන් දුරකථන ඇමතුම් ගණනාවක්ම ලැබුණා. බැණුම් ඇහුවා.‘‘ යි පැවසූ සුනේත්‍රා කුමාරී (42) රතු වූ දෑස කැමරාවට වසන් කරමින් සිටියා ය. ඒ ක්ෂුදු මූල්‍ය ණය උගුලකට සිරවූ දහස් සංඛ්‍යාත මෙරට ගෘහණියන්ගෙන් එක් අයෙකි.
ඒ අතුරින් මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙරුප්පන්කුලම ගම්මානයේ පවුල් හතළිහක කාන්තාවන් ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩසටහන්වලට හසුවී බලවත් අසීරුතාවන්ට මූණ දී සිටින බව හඳුනාගන්නට හැකිවිය.
දරාගත නොහැකි අධික පොළිය මත හා අසාර්ථක ආදායම් උත්පාදන මාර්ග වෙනුවෙන් මෙන්ම ලබාගත් ණය ගෙවීම සඳහා නැවත ණය ලබාගැනීම වෙනුවෙන් ද මෙම ණය ලබාගෙන ඇති බවත් ණය අයකරගන්නා නිලධාරීන්ගේ අනපේක්ෂිත ක්‍රියාකලාප හේතුවෙන් ද මෙම කාන්තාවන් පීඩා විඳින බව ගම්වාසීහු කියති.
ණය උගුලේ අතුරු ප්රතිඵලවිවිධ හේතු හමුවේ මේ කාන්තාවන්ට ණය ගන්නට සිදු විය. මේ ණය දෙන ක්‍රමවේදයේ මෙන්ම අයකරන ක්‍රමවේදයේ නොසැලකිල්ල නිසා බැට කන කතුන් බොහෝ දෙනෙක් තමන් අත වරදක් ඇතියි සිතා මේ අසීරුව ලොවට හෙළිකරන්නේ නැත. තවත් සමහර කාන්තාවන් ණය උගුලේ අතුරු ප්‍රතිඵල නිසා වෙනත් උගුල්වලට හසුවූ නිසා සමාජ ජීවිතය තුළ ඇති වූ අවුල් වියවුල් මත නිහඬ ය.
මේ හැමෝම වෙනුවෙන් සුනේත්‍රා තමාට වූ මූල්‍ය අසීරුව මෙසේ විස්තර කළා ය. ඇය අනුරාධපුර නගරයේ තානායමක කම්කරු රැකියාවක නිරතව සිටි.
‘‘ ණය ගන්න යද්දී අවශ්‍යතාව මොකද්ද කියලා වැඩි හොයන්න යන්නේ නෑ.ඉක්මනට දෙනවා. අපිත් මුදල් ගත්තා. ඒත් ගොවිතැන් ආදිය ගිය අවුරුදු වල සාර්ථක වුණේ නෑ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට මුදලින් කොටසක් වැය වුණා. ණය ගෙවාගෙන යද්දී අධික පොලිය නිසාත් නියමිත දවසටම වාරිකය ඉල්ලන නිසාත් කරකියා ගන්න දෙයක් නැතුව ගියා. වාරිකය ගන්න එන දවසට වෙන කොහෙන් හරි ණයක් ගන්න ඕනෑ ඒක ගෙවන්න. මේ ආදි විදියට හැමෝම ණය උගුලේ හිරවුණා. මේ ගැන කල්පනා කරලා සමහර අය ලෙඩ වුණා. තවත් අය ජීවිතේ නැති කරගන්න ගියා. සමහරුන්ට මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගන්න වුණා. අපි සමහරු හිත ශත්කිමත් කරගෙන පුංචි පුංචි රස්සාවල් හොයාගත්තා. සමහර කාන්තාවන්ට ස්වාමි පුරුෂයන්ගෙන් බැණුම් අහන්න වුණා. සමහරවිට ගෙදර තියන වියදම් ගැන මහත්තුරුන්ට අවබෝධය මදි ඇති. ගැහැනු අය ඒ අවශ්‍යතා කොහොම හරි ඉෂ්ඨකරනවා මිස කියා කියා මහත්තුරුන්ට වද දිදී ඉන්නේ නෑ. මගේ මහත්තයා හමුදාවේ විශ්‍රාමික කෙනෙක්. අපි දෙදෙනා අතර හොඳ අවබෝධයක් තිබෙන නිසා මට නම් ගැටුම් ඇතිවුණෙ නෑ. ඒත් බොහෝ ගම්වල බොහෝ පවුල්වල අවුල් ඇතිවුණා කියා අපි දන්නවා. දැන් අපි හොයන්නේ මේ උගුලෙන් ගැලවෙන්න ක්‍රමයක්. ‘‘ යැයි වෙරුප්පන්කුලම පදිංචි සුනේත්‍රා කුමාරී එසේ කියා සිටියා ය.
ණය ගෙවීමට මසකට රුපියල් 25000ක් ඕනෑ‘‘ මං ගිය අවුරුද්දේ ලක්ෂයක ණයක් ගත්තා.ඒක රුපියල් 6055 ගණනේ වාරික 24කින් ගෙවන්න වෙනවා. පොළියත් එක්ක ගෙවලා ඉවරවෙනකොට සම්පූර්ණ මුදල එක් ලක්ෂ අනූ දාහක්. ඒ ණය ගෙවන්න මං වෙනම බැංකු ණයක් ගත්තා.හේතුව මං මුලින්ම ණය ගත්තේ ගොවිතැනට.ගොවිතැන අසාර්ථක වුණ නිසා ණය ගෙවාගන්න බෑ.‘‘යනුවෙන් පැවසූවේ වෙරුප්පන්කුලම ගම්මානයේ පදිංචි ඒ.යසවතී (56)මහත්මියයි. ඇය මූල්‍ය ආයතන හතරකින් ලබාගෙන ඇති අතර මාසයකට ඒ ණය ගෙවීමට රුපියල් 25000ක් අවශ්‍ය වේ.
වැඩි දුරටත් සිය දුක්ගැනවිල්ල විස්තර කළ යසවතී මහත්මිය මෙසේ කීවා ය.
‘‘ තිරප්පනේ ආයතනයකිනුත් මං රුපියල් පනස්දාහක ණයක් ගත්තා ගඩොල් ව්‍යාපෘතියකට. අපේ තුනේ කණ්ඩායම්වල එක් කෙනෙක් නොගෙවේවොත් අනෙක් දෙන්නාගෙන් මුදල් ඉල්ලලා කරදර කරනවා. සල්ලි දෙනකල්ම යන්නේ නෑ. කාගෙන් හෝ ණයවෙලා සල්ලි දෙන්න හරි තියන කනකර උගස්කරලා දෙන්න හරි වෙනවා.ඒක නිසා තමා නැවත නැවත ණය ගන්න වෙන්නේ. අපේ ගමේ ගැහැණු නගරයේ කඩවල්,හෝටල් ආදිය හොයාගෙන වැඩට යනවා. ඒත් ගෙවන්නේ සොච්චං කුලියක්. ‘‘ යනුවෙනි.
‘‘රජයේ බැංකුවකින් ණය ගන්න ගියාම ඉල්ලන කොන්දේසි සම්පූර්ණ කරන්න බෑ.ඒ නිසා තමා ජනතාව මේ ණය උගුල්වලට අසුවෙන්නේ. මේ අය දින දෙකෙන් තුනෙන් සල්ලි දෙනවා. හැබැයි මේ උගුල්වලට අසු කරගන්නේ ගැහැනු අය විතරයි. ඒ අයගේ ස්වාමි පුරුෂයො මොකවත් දන්නේන නෑ. මගේ බිරිඳත් කීයක්දෝ අරන්. මං ඒ ගත්තෙ මොකටද කියලාවත් දන්නේ නෑ. ‘‘ යි පැවසූවේ එම ගමේ විජිත බණ්ඩාර මහතා ය.
වෙරුප්පන්කුලමේ ශාලිකා උදයංගනී (35)මහත්මිය ‘‘මමත් ඔය වගේම ණය උගුලක පැටලිලා ඉන්නේ.දරුවෝ දෙන්නාගෙන් එක්කෙන් සාමාන්‍ය පෙළ සමත්වෙලා හිටියත් උසස් පෙළට ටියුෂන් පංති යාමත් නතර කරන්න සිද්ධ වුණා.‘‘ යනුවෙන් පැවැසුවා ය.
මිහින්තලේ ප්‍රාද්ශීය ලේකම් කොට්ටාසයේ ගම්මාන රැසක මෙවැනි ආකාරයේ ක්ෂුද්‍ර ණය ගැටලුව පැන නැගී ඇති අතර මැදවච්චිය,පදවිය,නොච්චියාගම හා විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ද මෙම ගැටලුව පවතින බව වාර්තා වේ.
අඩු ආදායම්ලාභී පවුල් ඉලක්කයයිනැගෙනහිර පළාතේ ජනජීවිතයට ද මෙම බලපෑම එල්ලවන්නට පටන්ගත්තේ 2004 සුනාමි ව්‍යවසනයෙන් පසුවය. 2019 වසරේ මානූෂීය මෙහෙයුම් නිමා වීමත් සමග බොහෝ මූල්‍ය සමාගම් මූදුබඩ ගම් දනව් වල අඩු ආදායම්ලාභී පවුල් ඉල්ක්ක කරගෙන නව ඉතිරිකිරීම් ක්‍රම මෙන්ම ක්ෂද්‍ර මුල්‍ය වැඩසටහන් ද හදුන්වා දෙන්නට විය. කෘෂි කර්මාන්තයට මෙන්ම කලපු ආශ්‍රිත ධීවර ව්‍යාපෘති වෙනුවෙන් ණය ලබාදීම් තෝරාගෙනඇතත් මේ බොහෝ ව්‍යාපෘති සාර්ථක කරගැනීමට මෙ කාන්තාවන්ට හැකි වී නොමැත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙන්ම මේ වැසියන්ට ද ලබාගත් ණය මුදලින් වෙනත් අවශ්‍යතාවන් පිරිමසාගන්නට සිදු බවද වාර්තා වේ.
මේ බොහෝ මූල්‍ය ආයතනවලට ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය නොලැබී ඇති අතර අනුමැති ලද ආයතන ද නොලද ආයතන ද සියයට විස්සත් තිහත් අතර පොළියට ණය ලබාදීමට කටයුතු කර ඇති අයුරු ජනතාව පෙන්වා දෙති.
170 ක් ණය නිසා දිවි නසාගෙනමේ වනවිට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 170 ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවාගත නොහැකිව සිය දිවි නසාගෙන ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.
2019 මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 14 වැනි සැසිවාරයට ඉදිරිපත් කෙරුණු, ණය සහන හා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂඥයා ගේ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන ඇති සංඛ්‍යාව 2,898,232කි.
ණය ලබාදුන් ආයතන ණය ගෙවාගත නොහැකිව සිටින අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටී. ඇතැම් පැමිණිලි අධිකරණය හමුවේ ගොනු කර ඇති අතර ඇතැම් පැමිණිලි සමථ මණ්ඩල වෙත යොමු කර තිබේ.
2018 දෙසැම්බර් 03 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නියෝගයට අදාළව ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා අය කළ හැකි වාර්ෂික උපරිම පොලී අනුපාතය 35%කි. එහෙත් ඇතැම් මූල්‍ය ආයතන ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගත් පුද්ගලයන්ගෙන් 20% සිට 220% දක්වා පොලී මුදල් අය කරන බව මුල්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.
කාන්තාවන් 12 දෙනා 15 දෙනා වැනි ණය කණ්ඩාම් ඇති කර කාන්තාවන් පාදක කරගත් ව්‍යපෘති මෙම මූල්‍ය ආයතනවල ක්ෂේත්‍ර නිලධාරින් මගින් අරඹා තිබේ. අක්කරෙයි පත්තු, සමන්තුරේ, කල්මුනේ, සයින්දමරදු, කාරතිව් වැනි ප්‍රදේශවල වෙසෙන කතුන් බහුල වශයෙන් මේ ණය උගුල්වලට හසු වු අය අතර වේ.
ණය උගුල්වලට හසු වු අයඅක්කරෙයිපත්තු ප්‍රදේශයේ ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට පත්වූවන්ගේ එකමුතුවේ කැඳවුම්කාරීණි වානි සයිමන් මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටින්නේ නිසි යාන්ත්‍රණයකින් තොරව ණයකාරියන් බවට පත්කරගැනිමෙන් කාන්තාවන් අසරණ භාවයට පත්ව සිටින බවකි.
‘‘ මේ ණය ලබාදුන්නේ නිසි ක්‍රමවේදයකින් තොරවයි. ඒ අයට ණය ගත්තාට ඒවා ගෙවා ගැනීම සඳහා ආදායම් මාර්ගයක් ඇති කර ගැනීමට හරි හැටි මඟ පෙන්වීමක් සිදු වුණේ නෑ. ගත් ණයට මේ අයගේ සමාජ මට්ටම අනුව දරන්න බැරි තරම් අධික පොළියක් අය කරනවා. මේක පොලියක් නෙවෙයි කාන්තාවන්ගේ ශ්‍රමය සූරාකෑමක් කීවොත් නිවැරදියි. හරිම ව්‍යාකූල පිළිවෙතක් මේ අය අනුගමනය කරල තිබෙන්නේ. එකම අවස්ථාවේ ආයතන ගණනාවක් එකම පිරිසට ණය දීලා. ණය ගෙවීමේ හැකියාවවත් මැන බලන්නේ කොහොමද? කණ්ඩායමක් තුළ සියලු දෙනාම එකිනෙකාට ඇප කරුවන් වෙලා. ණයකරුට ණය ගෙවන්න බැරිනම් ඇපකරුටවත් ගෙවාගන්න ක්‍රමයක් නෑ. එහෙම තියෙද්දී ණය අයකරන නිලධාරින් එන දවසට ණය වාරික හා පොලිය ගෙවීම අනිවාර්යයි.මේ නිසා ණය ලබා ගත් කාන්තාවන් තවත් ප්‍රශ්න ජාලයක පැටළිලා. පවුල් ආරවුල්, ලිංගික අපචාර, විවිධ පීඩාවන්ට හසුවීම්, සියදිවි නසාගැනීම් මෙන් ම නැතිබැරි කම් උග්‍රවීම් ඒ අතර ප්‍රධානයි.‘‘ යනුවෙන් වානි මහත්මිය පැවැසුවා ය.
ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගත් අයගේ තවත් කඳුළු කතා රැසක් අම්පාර දිස්ත්‍රික්කයෙන් අසන්නට ලැබිණි.
‘‘ මගේ සැමියා අප හැර ගිහිල්ලා, අපි අසරණ වුණාම ළමයින්ගේ අවශ්‍යතා සපුරාගන්න මාත් ක්ෂුදු මූල්‍ය ආයතනයකින් ණයක් ගත්තා.ගත්තේ රුපියල් 50000ක් කුකුල් ගොවිපළකට කියලා. සැමියා වෙන්වෙච්චි නිසා දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන්ඒ මුදල වැය වුණා. මගේ ආදායම මදි මේ ණය වාරික ගෙවන්න.මං දරු තුන් දෙනා ජීවත් කරවන්නේත් ඉතාම අමාරුවෙන්.ඒත් මජ හැම සතියෙම රුපියල් 1350 ගෙවන්න ඕනෑ. ඒක ගෙවන්න මට වෙන තැනකින් ණයක් ගන්න සිද්ධවුණා. මේ ණය සහ පොළිය දෙකෙන් මං බෙල්ලටම හිරවුණා.‘‘ කියූ ඇය එලයාදිවෙම්බු හි පිදංචි තිස් අට හැවිරිද පී.නිරෝජිනි ය.
උතුරු මැද, උතුරු මෙන්ම නැගෙනහිර කතුන් බිළිගත් මේ ක්ෂුද්‍ර ණයවලින් පීඩා විඳින මේ කතුන් වත්මන් රජයෙන් පිහිටක් ඉල්ලා සිටින්නේ ඉකුත් ජනපතිවරණයටත් පෙර සිට ය.