ජාතික ගීයේ
දෙමළ අනන්‍යතාව
”සිංහල පමණක්” අකමැති, සංහිඳියාව සහ එක්සත්කම හා විවිධත්වයට කැමති විවිධ සමාජ මට්ටම් නියෝජනය කරන සිංහල, දෙමළ , මුස්ලිම් සහ බර්ගර් ජාතීන්ට අයත් පිරිසක් පසුගිය පෙබරවාරි 04 වෙනිදා නිල ජාතික දින උත්සවයට සමගාමිව කොළඹ දී ජාතික ගීය සිංහල භාෂාවෙන් මෙන් ම දෙමළ භාෂාවෙන් ද ගැයූහ.
2020 ජාතික නිදහස් දින නිල සැමරුම් වලදී ජාතික ගීය ගායනා කළ හැක්කේ ”සිංහල බසින් පමණක්” යැයි ශ‍්‍රි ලංකාවේ නව ආණ්ඩුව තීරණය කළේය. වසර 2016 දී යහපාලන ආණ්ඩුව සිංහල හා දෙමළ භාෂා දෙකම රාජ්‍ය භාෂා බවත්, ජාතික ගීය එකී භාෂා දෙකෙන්ම ගැයිය හැකි බවටත් ප‍්‍රකාශයට පත්කෙරිණි.
”දින කිහිපයක් අපි එකතුවෙලා දෙමළ භාෂාවෙන් තියෙන ජාතික ගීය ගයන්න පුරුදු වුණා. සිංහල අපි දෙමළෙන් ගැයෙන ජාතික ගීය අහල තිබුණට, වචන හුරු නැහැ. උච්චාරණය හුරු නැහැ. නිවරැදි වචන සහ නිවරැදි උච්චාරණය වැදගත් නේ.” යනුවෙන් මෙකී කර්තව්‍යයේ මූලිකත්වය ගෙන ක‍්‍රියා කළ මානව හිමිකම් ක‍්‍රියාකාරිණියක වන මරීෂා ද සිල්වා මෙනවිය කීවා ය.
ජාතික ගීය දෙමළ බසින් ගයන්නට බොරැල්ල, කනත්ත වටරවුමට ඒකරාශී වුණු පිරිස අතර සිටි එකම දේශපාලනඥයා වු එක්සත් සමාජවාදී පක්‍ෂයේ නායක සිරිතුංග ජයසූරිය අදහස් දක්වමින්, මෙවර නිදහස් දිනයේ දී ජාතික ගීය නිල වශයෙන් ”සිංහල භාෂාවෙන් පමණක්” ගායනා කළ යුතුය යන මතය ඉදිරිපත් වු විට එය එසේ නොවිය යුතු යැයි කිසිදු මැති ඇමති කෙනෙකුගෙන් හඬක් ඇසුණේ නැතැයි කීවේය.
”නිදහස් දිනය රටටත් එහි ජනතාවටත් වැදගත් දිනයක්. ඒ නිසා අපේ රටේ ජාතික ගීය සිංහල සහ දෙමළ බසින් ගායනා කරන්නට ව්‍යවස්ථාවෙන් ඉඩ සැලසී තිබෙනවා. එසේ තිබිය දී තමයි සිංහල භාෂාවෙන් පමණක් ජාතික ගීය ගැයිය යුතුයි කියලා ප‍්‍රකාශ කළේ. මා එයට විරුද්ධයි. දෙමළ ජනතාවගේ අයිතිය නිදහස් දිනයේදි සපථ කරන්නට ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නට තමයි අද මගේ දායකත්වය මෙසේ ලබාදුන්නේ.” යැයි සිරිතුංග ජයසූරිය ප‍්‍රකාශ කළේය.
”සිංහල පමණක්” යන ප‍්‍රකාශය සම්බන්ධයෙන් අසතුටට මෙන්ම කලකිරීමට ද පත්වු ඇතැම් සිංහල, දෙමළ ජනතාව මෙන් ම වෙනත් ජාතීන් ද රටේ සෑම තැනක ම ජීවත් වෙති. බොහෝ දෙමළ ජාතිකයින් සිය අයිතීන් අහිමි කිරිම පිළිබඳ ප‍්‍රසිද්ධියේ කථා නොකළ ද නිරන්තර මානසික ගැටුමක දිවි ගෙවන බව ඔවුන්ගේ අදහස්වලින් ප‍්‍රකට වන්නකි. අවස්ථාව ලද විට සිය අපේක්‍ෂා භංගත්වය, කලකිරීම මෙන් ම කනගාටුව ද ප‍්‍රකාශ කිරීමට ඔවුහු මැළි නොවෙති.
තම අනන්‍යතාව ඒ ආකාරයෙන් ප‍්‍රකාශ කිරීමට නිදහසක් තිබිය යුතු බවත් එකී නිදහස ‘තම අයිතිවාසිකමක්” ලෙසටත් ඔවුහු ගෙනහැර දක්වති.
”තමන්ගේ භාෂාවෙන් තමන්ගේ අම්මා ගැන, තමන්ගේ දෙවියෝ ගැන, තමන්ගේ රට ගැන වර්ණනා කිරීම හරීම සංවේදීයි. තමන්ට නොතේරෙන භාෂාවකින් තමන් බිහිවුණු රට ගැන ගුණ ගයන්න බැහැ. එ්ක හරිම අමාරු වැඩක්. කිසිම හැඟීමක් නැතිව වචන ටිකක් ඔහේ උච්චාරණය කිරීමක් පමණක් වෙනවා.” යනුවෙන් ප‍්‍රකාශ කළේ යාපනයේ ජීවත්වෙන දෙමළ හින්දු පුරවැසියෙකු මෙන් ම ලේඛකයෙකු ද වන යෝගරාජන් ය.
”ඒක ප‍්‍රජාන්ත‍්‍රවාදයේ තිබෙන මානව හිමිකමක්. අපේ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරන්න අපට අයිතියක් නැහැ කියන්න කාටවත් බැහැ.” යනුවෙන් 65 වියැති යෝගරාජන් තවදුරටත් අවධාරණය කළේය.
කන්කසන්තුරේ ජීවත්වන විශ‍්‍රාමික දෙමළ ක‍්‍රිස්තියානි ගුරු යුවළක් වන රෙජිනා සහ අන්තෝනිපුල්ලේ ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ කෙනෙකුට තමන්ගේ මවු භාෂාවෙන් වැඩකිරීමට තිබෙන නිදහස, ඒ පුද්ගලයාට උපතින් ම ලැබෙන අයිතිවාසිකමක් බවයි.
”අපට සිංහල තේරෙන්නෙ නැතිව අපි කොහොමද හැඟීමකින් යුතුව ජාතික ගීයට සම්බන්ධ වෙන්නෙ. අපේ විශේෂ දවස්වලදි රට ගැන ගැයෙන ගීය අපේ භාෂාවෙන් අපිට දැනෙන විධියට ගායනා කරන්න අපට පුළුවන් වෙන්න ඕනෙ. එතකොට තමයි අපිට දැනෙන්නෙ ඒ අවස්ථාවට අපිත් සම්බන්ධ වුණා කියලා. ඉතිං ඒ නිදහස, ඒ අයිතිය අපිට අහිමි කරන එකට අපේ කැමැත්තක් නැහැ.” යි ඔවුහු පවසති.
ලේඛකයෙකු වන යෝගරාජා මෙන් ම රෙජිනා අන්තෝනිපුල්ලේ යුවළ ද අවධාරණය කළේ රටේ ජාතික ගීය තමන්ගේ මවු භාෂාවෙන් ගයන්නට ඇති නිදහසත්, එසේ ශ‍්‍රවණය කිරීමට ලැබෙන නිදහසත් තුළ දෙමළ ජාතිකයින් ද ශ‍්‍රී ලාංකිකයන් යන උතුම් හැඟීම දෙමළ මිනිසුන් තුළ වර්ධනය වන බවයි. එතුළින් ජාතීන් අතර තිබෙන බැඳීම විනාශ වන්නට නොව වර්ධනය වන්නට අවකාශ ලැබෙන බවයි.
/
පසුගිය යහපාලන ආණ්ඩුව දෙමළ ජනතාවගේ ඇවැසිතා හඳුනා ගනිමින් ,සිංහල මෙන් ම දෙමළ භාෂාවද රාජ්‍ය භාෂාවක් බවත්, අවැසි අවස්ථාවලදි ජාතික ගීය සිංහල භාෂාවෙන් මෙන් ම දෙමළ භාෂාවෙන් ද ගැයිය හැකි බවටත් 2016 වසරේදි චක‍්‍රලේඛයක් නිකුත් කරමින් දන්වා සිටියේය. 2019 වසරේ සිදුවුණු ආණ්ඩු මාරුවත් සම`ග එකී මධ්‍යස්ථ පිළිවෙත වෙනස් ව ජාතික ගීය ගැයීමට”සිංහල පමණක්” භාවිතය ක‍්‍රියාත්මක විය.
කොළඹ දී ජාතික ගීය දෙමළ බසින් ගයන්නට එක්වු දෙමළ යෞවනියක හා මානව හිමිකම් ක‍්‍රියාකාරිණියක වන ස්වතිකා ආරුලිංගම් පවසා සිටියේ මෙවැනි අදහසකි.
”දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගැයුවා ය කියා මේ රටේ ජීවත්වෙන සමස්ත දෙමළ මිනිස්සුන්ගේ ප‍්‍රශ්න නිමාවෙන්නෙ නැහැ. සමස්ත ජනතාවගේම ආණ්ඩුව ප‍්‍රකාශ කරනකොට ජාතික ගීය ගායනා කරන්නේ සිංහල භාෂාවෙන් පමණයි කියලා, ඒ ප‍්‍රකාශය දෙමළ මිනිසුන් තවත් අපේක්‍ෂා භංගත්වයට පත්කරවනවා. ඒ නිසා තමයි අපට ඕනෙ වුණේ සමස්ත දෙමළ මිනිසුන් වෙනුවෙන් අපගේ සහයෝගීතාවය දැක්වීමට මෙවැනි පියවරක් ගන්න.”
අමාලි වෙළගෙදර, සිවිල් සමාජ ක‍්‍රියාකාරිණියක් සහ ජාතික ගීය දෙමළ බසින් ගයන්නට නායකත්වය ගෙන ක‍්‍රියා කළ කණ්ඩායමේ තවත් එක් සිංහල තරුණියකි. ඇය මේ දවස ගැන සතුටට පත්වන්නේ යැයි කීවා ය.
”මෙය සංකේතාත්මක අවස්ථාවක්. දෙමළ මිනිසුන්ගේ අයිතියක් වෙනුවෙන් මෙසේ පෙළගැසෙන්නට අවකාශය ලැබීම නිසයි ඒ. සිංහල පමණක් යන වත්මන් ආණ්ඩුවේ නිදහස් දින උත්සවයට විරෝධය පාමින් බොරැුල්ල කනත්ත වටරවුමේ දී මේ ආකාරයෙන් එකතු වෙලා ජාතික ගීය දෙමළ බසින් ගයන්නට අවකාශය ලැබීම ඒ බව සංකේතවත් කරනවා.”
/
”දෙමළ ජනතාවගේ භාෂාමය අයිතිය වෙනුවෙන් මා අද මේ ස්ථානයට ආවේ. ඒ ඔවුන් වෙනුවෙන් සහයෝගය පළකරන්නට”යැයි කියමින් ජාතික ගීය දෙමළ බසින් ගයන්නට අත්වැල් බැඳගත්තේ කොළඹ සිවිල් සංවිධාන ක‍්‍රියාකාරිණියක වන නදීරා ප‍්‍රියදර්ශනි යි.
”මා ඉතා ම සතුටින් මේ අවස්ථාවට සහභාගි වුණේ. ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරන්න බැහැ කියන මතයක් තිබුණා. එය පරාජය කරමින් තමයි පුරවැසියන් වශයෙන් අපි හැමදෙනා ම මේ ස්ථානයට ඇවිත් ජාතික ගීය භාෂා දෙකෙන් ම ගායනා කළේ.” යැයි පුරවැසි අනන්‍යතාව පිළිබඳ ගෞරවයකින් කථාකරන කතෝලික පූජකතුමෙකු මෙන් ම මානව හිමිකම් ක‍්‍රියාධරයෙකු ද වන සරත් ඉද්දමල්ගොඩ පියතුමන් පැවසීය.
පියතුමන් වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ”ජාතික සමඟිය වෙනුවෙන් අප වැඩකරනවා නම්, ජාතික සමඟියක් අපේ රටට අවශ්‍ය නම් අන් ජාතිකයන්ගේ අනන්‍යතාවට ගරු කරන්නට අප හුරුවිය යුතු බවයි.
‘දියුණු සමාජයක ප‍්‍රධාන ලක්‍ෂණයක් වන්නේ ජාතින් අතර එකමුතුවයි. ජාතික සමඟිය නොමැතිව රටට අනාගතයක් නැහැ.” යි පියතුමෝ පවසති.
”බෙදුම්කාරි තත්ත්වයක් ඉතිරි කරලා මිය යන්න අප සුදානම් නැහැ. ඒ නිසා ජාතික සමඟිය වෙනුවෙන් තමයි මේ කාර්යය අප ඉටුකරන්නේ.” යැයි පියතුමන් ප‍්‍රකාශ කළේය.
ඒකීය ශ‍්‍රී ලංකාව තුළ, රටේ විශේෂිත ම වු සැමරුම් උලෙළවලදි සියලුම ජාතීන් නියෝජනය කරමින් ගැයෙන ජාතික ගීය දෙමළ ජනතාව බහුතරයක් වෙසෙන පළාත්වල දෙමළ භාෂාවෙන් ගයන්නට ද, නිල උත්සවවලදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගයන්නටැයි ගෙනා යෝජනාව තවදුරටත් විචක්ෂණශීලීව සලකා බැලිය යුතු යැයි මේ අවස්ථාව නියෝජනය කළ පිරිසගේ අදහස විය.
සැවොම එකතුවී ඒකීය ශ‍්‍රී ලංකාව තුළ සියලුම ජාතීන් නියෝජනය කරන අපගේ ජාතික ගීය දෙමළ බසින් ”ශ‍්‍රී ලංකා තායේ” ලෙසට උච්චාරණය කිරීමෙන් සිංහල දෙමළ මිනිසුන් අතර සහෝදරත්වය සහ එකමුතුකමට පරමාදර්ශයක් ලබාදෙන්නට ගත් උත්සාහය පිළිබඳ තමන් ඇතුළු සමස්ත කණ්ඩායම ම සතුටට පත්වන බව මරිෂා ද සිල්වා කීවේ මහත් ප‍්‍රිතියකිනි.