අදහස් ප්‍රකාශනයේ අයිතිය
අනුල්ලංඝණීය අයිතියක් නෙවෙයි
ජනමාධ්‍යවේදියෙකු ලෙස මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍ර දෙකේම වසර ගණනාවක අත්දැකීම් ඇති විරංජන හේරත්, නීතිඥයෙකු ලෙස ද භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් ක්‍රියාකාරීව මැදිහත් වන්නෙකි. වත්මන්කොරෝනා සන්දර්භය තුළ ජනමාධ්‍යයේ හැසිරීමත්, සමාජ මාධ්‍ය ජාලයන්ගේ ප්‍රතිචාරත්, ඒ සියල්ල සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයත් සම්බන්ධයෙන් ඔහු පළ කළ අදහස් මේ සම්මුඛ සාකච්ඡාවට ගොනු කෙරිණි.
අදහස් පළ කිරීම සම්බන්ධ සිදුවීම් අරබයා අත්අඩංගුවට ගැනීම් 17 ක් එක්ක, අදහස් ප්‍රකාශනයේ අයිතිය සම්බන්ධයෙන් නැවතත් බරපතළ කතාබහක් ඇති වෙලා තියෙනවා. මේක මූලික අයිතිවාසිකමක් කියලා හැමතැනම කතා කරනවා. ඒත් හැමදාම මෙහෙම වෙන්නෙ, මේ අයිතිය ආරක්ෂා කරන්න ලංකාවේ ක්‍රියාත්මක නීති ප්‍රමාණවත් නැද්ද ? එහෙම නැත්නම් ඇත්තට ම ජනමාධ්‍යය තමන්ගෙ වගකීම් තේරුම් අර ගෙන නැද්ද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තියෙන් මූලිකවම අදහස් ප්‍රකාශනයේ අයිතිය. ඒ කියන්නෙ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස තහවුරු කරලා තියෙනවා. ඒක මූලික අයිතිවාසිකමක්. මේක පුරවැසියන්ට තියෙන අයිතියක්. සමහරු හිතාගෙන ඉන්නවා, මේක පරම, අනුල්ලංඝණීය අයිතියක් කියලා. එහෙම කොහෙවත් නෑ. ඒක සීමාවක් තියෙන අයිතියක්. ව්‍යවස්ථාවේ 15 වැනි ව්‍යවස්ථාවෙන් ඒ සීමා පනවලා තියෙනවා. ඒ කියන්නෙ උදාහරණයක් විදිහට ජනවර්ග අතර ගැටුම් ඇති වන ආකාරයෙන් කටයුතු කරන්න බෑ. හැබැයි අදහස් ප්‍රකාශනයේ අයිතිය තමන්ට හිතෙන හිතෙන විදිහට භාවිතා කරන්න පුරවැසියන්ට අයිතියක් නෑ වගේම, ඒකට තියෙන සීමාවන්ට මුවා වෙලා ඒ අයිතිය පාලනය කරන්න ආණ්ඩුවට අයිතියක් දීලත් නෑ. උදාහරණයක් විදිහට මොහොට්ටිගේ ගුණතිලක සහ තවත් අය කියන නඩුව ගත්තොත් ඒකෙදි අධිකරණය පැහැදිලිව කියලා තියෙනවා, ආණ්ඩුවක් විවේචනය කරන්න තියෙන අයිතිය ගැන.
සමාජ මාධ්‍යවල අදහස් ප්‍රකාශනයේ යෙදුණු පිරිසක් අසත්‍ය ප්‍රකාශ කළ බවට චෝදනා කරමින් පසුගිය සති දෙකේදි ඇතැමුන් අත්අඩංගුවට ගත්තා. ඒත් ඔවුන්ට එරෙහිව අධිකරණය ඉදිරියේ චෝදනා ගොනු කළ ආකාරය ගැටලු සහගතයි. එහිදී ඇතැමෙකුට විරුද්ධව අයිසීසීපීආර් පනත පවා යොදාගෙන තියෙනවා. මෙතැනදි නීතිය අවභාවිත කිරීමක් සිදු වෙන බවට බරපතළ මතයක් ගොඩ නැගෙමින් තිබෙනවා. ඇත්තටම මොකක්ද මේ වෙන්නෙ…?
පහුගිය කාලෙ පුරාම පත්වුණු ආණ්ඩු මේ අයිතිය සම්බන්ධයෙන් සාධනීයව කටයුතු කරලා නෑ. ඒක මුලින්ම අවධාරණය කරන්න ඕනෙ. බොහෝ අවස්ථාවල පොලිසිය කටයුතු කරලා තියෙන්නෙ, නීතිය භාවිත කරලා තියෙන්නෙ අදහස් ප්‍රකාශනයේ අයිතිය තහවුරු කරන්න නෙමෙයි. උදාහරණයක් විදිහට කෙටිකතාවක් ලිවීම සම්බන්ධයෙන් ශක්තික සත්කුමාර කියන ලේඛකයාට විරුද්ධව කටයුතු කළේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනතෙන්. (ICCPR) ඒ පනතෙන් චෝදනා ගොනු කළාම පහළ අධිකරණයකට ඇප දෙන්නත් බෑ. මේ වෙලාවෙත් නැවත ඒ වගේ පනත් අදහස් ප්‍රකාශනයට එරෙහිව භාවිත කරමින් ඉන්නවා. මේ එක නඩුවක්වත් තවම අවසානයක් දක්වා ගිහින් නෑ. මේ පනත්වලින් නඩු දාන්න පුළුවන්ද, බැරිද කියලා තවම කිසිම අධිකරණයකින් කියලා නෑ. ඒත් එළියෙන් බැලුවම පේන දේ තමයි, මේ වගේ පනත් තියෙන්නෙ මානව හිමිකම් පුළුල් කරන්න. සීමා කරන්න නෙමෙයි. නිරෝධායන පනත මේ වෙලාවෙ භාවිතා කරන්න ඕනෙ, මේ වසංගත තත්ත්වය පාලනය කරන්න මිසක් මිනිස්සුන්ගෙ මූලික අයිතිවාසිකම්වලට එරෙහිව කටයුතු කරන්න නෙමෙයි.
ආණ්ඩුව විවේචනය කරන්න මිනිස්සුන්ට අයිතියක් තියෙනවා. ඒක පිළිගන්න ඕනෙ. මේ වෙලාවෙ සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, ජනාධිපතිවරයා කැපකිරීම් කරනවා. ඒ වගේම අමතක කරන්න බෑ, ජනතාවත් කැපකිරීම් කරනවා. සමහරුන්ට හරියට කෑම නෑ. ආදායමක් නෑ. අත්‍යවශ්‍ය භාණ්ඩ ලැබෙන්නෙ නෑ. ඒ ගොල්ලොන්ට ඒ ප්‍රශ්න කියන්න තැනක් නෑ. රජයේ නිලධාරියෙක් එන්නෙ නෑ. මාධ්‍යයට කියන්න බෑ. කිව්වත් මාධ්‍ය ඒවට ඉඩක් දෙන්නෙ නෑ. ඒගොල්ලොන්ට ෆේස්බුක් එකේ ලියන්න අයිතියක් තියෙනවා. ඒක ලියන්න දෙන්නෙ නැත්නම්, ඒක බරපතළ තත්ත්වයක්.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් අත්අඩංගුවට ගත්තෙ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල ප්‍රභූන්ට ප්‍රතිකාර කරන්න වෙන් කිරීමක් පිළිබඳ පළවුණු ප්‍රවෘත්තියක් ෆේස්බුක් ඔස්සේ බෙදාගැනීමක් සම්බන්ධයෙන්. අනෙක් අතට ආණ්ඩුවේ පොරොන්දු සම්බන්ධයෙන් කොයි තරම් අසත්‍ය දේවල් පළවෙනවද. කොහොමද මේ සත්‍ය – අසත්‍ය බෙදාගන්නෙ, අසත්‍ය කියන එක ආණ්ඩුවේ නිර්ණායක මත මැනීම නීතිය පැත්තෙන් කොයිතරම් දුරට සාධාරණද?
ඉතිහාසය පුරාම ආණ්ඩු සත්‍ය – අසත්‍ය වෙන් කරලා තියෙන්නෙ තමන්ට සාපේක්ෂව. ඒ ශිෂ්‍යයා කොහෙ හරි තිබුණු එකක් එක්ක, තමන්ගෙ අදහසක් ප්‍රකාශ කරන්න ඇති. පළවැනි එක පුරවැසියන්ටත් මේ වෙලාවෙ බරපතළ වගකීමක් තියෙනවා. සෞඛ්‍ය අංශ මේ වෙලාවෙ දෙන උපදෙස් පිළිපදින එක යුතුකමක්. හැකි සෑම අවස්ථාවකම ගෙදරට වෙලා ඉන්න එක යුතුකමක්. තහවුරු කරගත්තෙ නැති ප්‍රවෘත්තියක් හුවමාරු කරන එකත් ගැටලුවක් තමයි. ඒත් ඒකට අදාළ දඬුවමක් තියෙනවනෙ. ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන්නම ඕනෙද? ඔහු පිළිගන්නව නම්, තමන් ඒක හොයලා බලන්නෙ නැතුව කළේ කියලා. ඔහුට අවස්ථාවක් දෙන්න බැරි ඇයි?
එක වෛද්‍යවරයෙක් සමාජ මාධ්‍ය ඔස්සේ අදහසක් පළකරලා තිබුණා, මේ පරීක්ෂණවලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නැති නිසා රෝගීන් වාර්තා වීමේ අඩුවක් ගැන. අපි හිතමු මේ කාරණා දෙකම අසත්‍යයි කියලා. ඒත් මේ වෙලාවෙ රටට වැඩියෙන්ම බලපාන්නෙ රෝහලේ පරීක්ෂණ පිළිබඳ ප්‍රවෘත්තිය වෙන්න පුළුවන්. ඒත් එතැනදි නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ අර ශිෂ්‍යයාට විදිහටමද. නෑ, වෙනස්. මං කියන්නෙ නෑ, ඔහුව අත්අඩංගුවට අරන් රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා. ඔහු වරදක් බව පිළිගත්තා. එතැනින් ඒක ඉවර වුණා. මිනිස්සුන්ට වරදින්න පුළුවන්. අපි දන්නවා, ප්‍රධාන මාධ්‍යවල කොයිතරම් අසත්‍ය ප්‍රවෘත්ති පළවෙනවද. සමහර වෙලාවට ඒවා නිවැරදි කරනවා. සමහර වෙලාවට නිවැරදි කරන්නෙවත් නෑ. ඒවට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද. මේවා ඉතාම බරපතළ කරුණු.
ආණ්ඩුවට මෙතැනදි තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන්, මේ වෙලාවෙ තියෙන තත්ත්වය නිසා මේ ක්‍රියාමාර්ග ගන්න වෙනවා කියලා. බහුතරයක් ඒක පිළිගන්න බවක් පේන්න තියෙනවා. එහෙම බැලුවම ආණ්ඩුවේ තර්කයට තමයි වැඩි වටිනාකමක් හා පිළිගැනීමක් තියෙන්නෙ…?
අඩුපාඩුකම් මැද්දෙ වුණත්, මිනිස්සු මේ වෙලාවෙ යම් ආකාරයක නීති පද්ධතියකට යටත් වෙලා තියෙනවා. ඇඳිරි නීති තත්ත්වය ගත්තත් එහෙමයි. මිනිස්සු ගෙවල්වලට හිර වෙලා කොච්චර දවසක් හිටියද ප්‍රශ්න කරන්නෙ නැතුව, ඒ නීතියට අවනත වුණා නෙ. අපි භුක්ති විඳින මානව හිමිකම් මේ වගේ වෙලාවකදි යම් තරමකට සීමාවෙන්න පුළුවන්. අපි දන්නවා, සංවිධානය වීම කියන්නෙ මානව හිමිකමක්. රැස්වීමක් පැවැත්වීමත් එහෙමයි. ලෝකෙ හැම රටක්ම මේ වෙලාවෙ ඒ සීමාකම් අත්විඳිනවා. ඒත් මේ සීමාකම්, මේ තත්ත්වය, මේ රෝගය පාලනයට අදාළ වෙන්නෙ කොහොමද කියන එක පැහැදිලි කරන්න ඕනෙ.
අර ප්‍රභූන්ගෙ කාරණය ශිෂ්‍යයෙක් ෂෙයා කළා කියලා, මොකක්ද ඇති වුණු බලපෑම. මේ රෝගය පාලනයට ඒකෙන් බරපතළ බාධාවක් වුණාද. අර වෛද්‍යවරයාගෙ අදහස් පළකිරීමෙන් කිසිම බාධාවක් වෙන්නෙ නැද්ද. ආණ්ඩුව මේ තියෙන නීති යොදාගන්නෙ ඇත්තටම තත්ත්වය පාලනය කරන්නද, නැත්නම් තමන්ව විවේචනය කරන හෝ තමන්ට විරුද්ධ මතයක් දරන පුද්ගලයන් මර්දනය කරන්නද කියන ප්‍රශ්නය මතු වෙනවා. අපි දැක්කා, ගම්පොළ පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා, තමන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ලැබෙන්නෙ නෑ, ඒවා පක්ෂපාතීව බෙදනවා කියලා. ඔවුන්ට පවතින තත්ත්වය සහ ඒ තත්ත්වය පාලනය කරන්න ක්‍රියාත්මක නීති අනුව එතැනට සංවිධානය වීමේ යම් වරදක් තියෙනවා කියලා තර්ක කරන්න පුළුවන්. ඒ වගේම අපි පිළිගන්න ඕනෙ, මිනිස්සු එහෙම නොකර වෙන මොනවා කරන්නද කියන එක. කවුරුත් බලන්නෙත් නැත්නම්, තනි – තනිව කියන දේවල්වලට බලයකුත් නැත්නම්, පාරට එන්නෙ නැතුව මොනවා කරන්නද. එතැනදි ආණ්ඩුවක් කරන්න ඕනෙ, එතැනට ගිහින් ඒ මිනිස්සුන්ගෙ ප්‍රශ්නෙට විසඳුමක් දෙන එකද? නැත්නම් අල්ලගෙන ඇවිත් කූඩුවට දාන එකද? ජනතාව ආරක්ෂා කරගන්න නම් මේ නීති ක්‍රියාත්මක කරන්නෙ, ඒවගෙන් ජනතාව පීඩාවට හෝ අසරණභාවයට පත්කරන්න අයිතියක් නෑ.