දුක සැප පෙරළන රිය සක
විංකල් සුමිතුරෝ
දුක සැප රිය සක මෙන් කරකැවේ. මේ රිය සක දිවිය පෙරළා දෙන දුක සැප වැනි ය. දුක මෙන් සැප ද බෙදාගෙන, එකිනෙකාට පිහිට වී බත්පත ද එකට බෙදාගෙන කන මේ සුමිතුරන් දෙදෙනා ද පාපැදියේ රෝද දෙක මෙනි. ඒ මොහිදීන් හා රාජා යන කාර්මික දෙපළ ය.
අනුරාධපුර කඩ දොළහ ප්‍රදේශයේ යොවුන් නිකේතන මංසන්ධියේ පුංචි ගරාජ් කුටියක එක් පසෙක පාපැදි අලුත්වැඩියාව ය. අනෙක් පස යතුරුපැදි අලුත්වැඩියාව ය. දෙපසේ වැඩ කටයුතු පවත්වා ගෙන යන්නේ දෙදෙනෙකි. ජාති ජන්ම කුල ආදී කිසිදු දෙයකින් සමාන නොවුණ ද මිනිසත්කම නම් සාධකය මේ දෙනොටම පොදු වූ දෙයකි.
වයසින් හැට පැන්න දරු මුණුබුරන් දැක ඇති රාජා හෙවත් ජේ.පී.සෝමරත්න නව යොවුන් වියේ සිට යතුරු පාපැදි කාර්මිකයෙකු ලෙස අනුරාධපුර නගරයේ නමක් දිනාගෙන සිටිය ද කිසිදා තමාගේ කියා ඉඩමක් හෝ කඩ කාමරයකට හිමිකම් කීමට ඉඩ නොලැබිණි.
‘මං මේ වැඩේ කරන්නෙ අවුරුදු හතළිහක පනහක අත්දැකීම්වලින්. අසූ ගණන්වල මුල මේ නගරයේ මෝටර් බයිසිකල් දෙක තුනක් තියන කාලේ ඉඳන් අද දක්වා මං මේ රස්සාව කරනවා. ඉස්සරවෙලාම තිබුණෙ ට්‍රෑම්ප් බයික්. අද එක ගෙදරක බයික් දෙක තුන තිබෙනවා. නගරයේම දාස් ගාණක් තියනවා. මේවාගේ මාදිලි අනුව කැඩෙන බිඳෙන විදිය අනුව මට හොඳට දැනෙනවා හොඳ දේ මොකද්ද නරක දේ මොකද්ද කියලා. මං කැමති මිනිසුන්ගෙන් සල්ලි ගන්නවා නම් ඇත්ත කියලා, හරියට වැඩේකරලා ගන්න. මං ඇන්ජිමක් හැදුවොත් ඒක හරියට ෆිට් කරලා හරියට පදම් කරලා එළියට දානවා. අතරමං වෙන්ඩ හදන්නේ නෑ. බොරුවට අයිතිකාරයට වියදම් කරවන්නේ නෑ. බොරුවට අලුතින් අමතර කොටස්මාරු කරලා හෝ මාරුකළා කියලා රවට්ටලා සල්ලි ගන්නේ නෑ. එහෙම ගත්තානම් මාත් මාළිගා හදලා.‘‘ යන්න ඔහුගේ වදනයි. පසෙක සිටි ඔහුගේ මිතුරා වන මොහිදින් ඒය හිස දෙපසට වනමින් අනුමත කරයි.
සුචරිතගම ගම්මානයේ පදිංචි රාජා පාසල් ගොස් ඇත්තේ අනුරාධපුර වලිසිංහ හරිහ්චන්ද්‍ර මහා විද්‍යාලයට ය. පහ ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබීමෙන් පසු යතුරු පැදි ඇන්ජින් අලුත්වැඩියාව ඉගෙනගත් ඔහු වෙනත් කාර්මිකයින්ගේ ගරාජවල කුලියට කලක් වැඩකර ඇති තර පසුව කුලියට ගත් කඩ කාමරවල යතුරු පැදි අලත්වැඩියා කිරීම සිදු කළේය. ඒ අනුරාධපුර ජයන්ති මාවතේ කඩ තිහ ප්‍රදේශයේ ය.වෙළඳපොළ තරගය හා නගරයේ පුළුල්වීම් ආදී වෙනස්කම් මැද ඔහු සිටි සියලු ස්ථාන එකින් එක අහිමිවී යද්දී කඩ දොළහ ප්‍රදේශයේ ඩී.මොහිදීන් ඔහුට ආරාධනාවක් කළේ තමන් හා එකට වැඩකරන්නට එන ලෙසයි.
මොහිදීන් කඩ දොළහට පැමිණියේ අනුරාධපුර නගරයේ සුප්‍රකට ස්ථාන රැසක සිය සේවා ස්ථානය පවත්වාගෙන යාමෙන් පසුව ය. අනුරාධපුර පූජා නගරයේ උපන් ඔහු විවවේකානන්ද මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවෙකි. අද වයස අවුරුදු 64 හි පසුවන ඔහු ළමා කාලයේම සිය මාමා (මවගේ සොයුරා) හා පුංවි වින්කලයක පාපැදි අලුත්වැඩියාවට එක්වුණේ ය. මේ වන විට ඔහුගේ දියණියන් සිවු දෙනා විවාහ වී වෙනම ජීවත් වන අතර සිවු වසරකට පෙර සිය බිරිය මියයාමෙන් පසු මොහිදීන් ද තනිකඩයෙකුව සිටී.
‘‘ රාජා මේ ටවුන් එකේ පරණම බාස් කෙනෙක්. මිනිහා හොඳ වැඩ කාරයෙක්. එත් හම්බකරලා තිබුණේ නෑ. කෑවා බීවා, මිනිසුන්ට උදව් කළා විතරයි. මං දැනගෙන හිටියා රාජා හිත හොඳ මිනිහෙක් කියලා. ටවුමේ කඩ සාප්පු දියුණුවෙලා, පොඩි කඩ කාමර ලොකු ලොකු ගොඩනැගිලි බවට පත්වෙලා පුංචි වෙළෙන්දන් පුංචි කඩ කාමරවලින් වීසි වෙන කාලයක් ආවාම රාජාට යන්න තැනක් තිබුනේ නෑ. අපේ පවුලේ මේ කඩ කාමර පේළිය ටවුමේ ප්‍රධානම තැනක තියනක වටිනාම තැනක්. අපි රාජාගෙන් මේකට මුදලක් බලාපොරරොත්තු නෑ. නෑදෑයෙක්ද කියලා බැලුවෙත් නෑ. විශ්වාසය නිසා පවුලේ කෙනෙක් වාගේ සම්බන්ධකරගත්තා‘‘යි මොහිදීන් පවසයි. ඒ වදන්වලට රාජා නොහොත් සෝමරත්න හෙළන්නේ කෘතවේදීත්වය මුසු වූ බැල්මකි.
දිගු කලක් සිය මාමා හා අනුරාධපුර ප්‍රධාන තැපැල්හල ඉදිරිපිට කඩ පෙළේ පාපැදි අමතර කොටස් සහිත වෙළඳ සලක පාපැදි අලුත්වැඩියාවේ නිරතව සිටි මොහිදීන් දැන් වසර ගණනාවක සිට කඩ දොළහේ කඩ කාමරයට පැමිණි සිටී. එය ඔහුගේ සොහොයුරාට අයිති ස්ථානයක් වන නිසා කඩ කුලියකින් ද නිදහස් ය. ඒ ගරාජ කාමරයේ රාජාට ද දොර ඇරී තිබෙන්නේ මේ දෙදෙනාගේ අවබෝධය නිසායි.
‘‘ ඉස්සර මං හිටියේ නව නගරෙ. තැපැල් කන්තෝරුව ළඟ. දිනපතා දාස් ගාණක් එතැනට එනවා. අද වගේ නෙවෙයි. මීට අවරුදු විස්සකට තිහකට කලින් හැමෝම ගියේ බයිසිකල්වලින්. මං හිටපු තැනින් තමා බාලිකා විද්‍යාලයට ළමයි යන්නේ. මධ්‍ය විද්‍යාලයත් අනෙක් ඉස්කෝල සියල්ලටමත් ළමයින් යන්නේ තැපැල් කන්තෝරුව ළඟ හරස් පාරෙන්. කොච්චරවත් ළමයි බයිසිකල් කැඩිලා එකවා. බයිසිකල් රෝදවල හුළං ගහනවා කෙළවරකුත් නෑ. අද වගේ නෙවේ ඉස්සර, අලුතින් ටයර් ටියුබ් මාරු කරනවා හරි අඩුයි. කොහොමහරි අමුණාගන්න තමා බලන්නේ. ඉතිං මේ ළමයින්ට වුණත් මහ මිනිස්සුන්ට වුණත් ඒ වෙලාවට බයිසිකලේ හදලා දුන්නාම ලොකු සතුටක් දැනේනේ. අපි ගත්තේත් පුංචි ගාස්තුවක් නේ. මුල්ම කාලේ රුපියලට දෙකට පැච් දාලා දුන්නා. අද ඒවා කියද්දී සුරංගනා කතා වගේ ඇති. කොහොම වුණත් කෙනෙකුට බයිසිකලේ හදලා දීලා පිටත් කළාම ඒ අයටත් සන්තෝෂයි. මටත් සන්තෝෂයි. අතරමංවෙලා ආව අය අපිට පිං දෙනවා.’ මොහිදීන් පෙර’පර සන්ධි ගළපයි.
‘අපිත් මිනිස්සුන්ව සන්තෝෂ කරලා සේවාවක් ලබා දෙනවා ඇරුණාම මහා ලොකු ව්‍යාපාර කරන්න හිතුවේනෑ. මෙහෙමත් හොඳයි, අපිත් සතුටින් ඉන්නවා. මේ ටවුමේ හැමෝම අපට ආදරෙයි. ඒ කාලේ ඉස්කෝලේ යද්දී අපෙන් බයිසිකලේට පැච් දාගෙන ගියපු අය අද ලොකු වාහනවල යනවා හිනාවෙලා අත වනාගෙන. එතකොටත් සන්තෝෂ යි.‘‘ මොහිදීන් අතීතය සිහිකොට සතුටු වන්නේ එලෙසිනි.
මොහිදීන්ට ගරාජයේ සිටින ගමන් නොයෙකුත් අමතර ගමන් බිමන් යන්නට සිදුවේ. එක්කෝ බේත් හේත් ගෙන ඒමට ය.අවමංගල උත්සවයකට නැතහොත් ආගමික කටයුතුත්ක ය. නතහොත් දරුවන්ගේ සුවදුක් බලන්නට ය. ඒ යනවිට මොහිදීන් වෙනුවට පාපැදි හදන්නේ රාජා ය. රාජා හදන පැපැදියකට උපයන මුදලින් කොටසක් දීමට මොහිදීන් අමතක නොකරයි.
‘‘මට කොච්චර කල් වැඩ කරත් මගේම කියලා කඩ කාමරයක් හදාගන්න බැරිවුණා. අවසානේ කුලියට ගන්නත් නැතිවුණා. මං අදටත් මගේ දැනුමේ හැටියට අඩු මුදලෙන් එන මිනිහාව ගොඩදාන්න උත්සාහ කරනවා මිස මගේ ලොකුකම පෙන්නලා ලොකු ගණන් ගන්නේ නැති නිසා ලොකු ආදායමක් දවසට උපයන්නේ නෑ. ඒ නිසා මට එදිනෙදා හොයන පුංචි මුදලින් ජීවත්වෙන්න තැනක් නැතුව ඉන්නකොට ‘නෑයෙක් මිත්තරයෙක් ‘ වත් නොකරන උදව්වක් තමා මොහිදීන් කළේ. ඒ නිසා මට පුළුවන් ඕනෑ උදව්වක් එයාට මම කරනවා. අපි දෙන්නට යාලුවාගේ පවුලේ සහෝදරයින්ගෙන්වත් වෙන කාගෙන්වත් බාදාවකුත් නෑ.‘‘ යි රාජා පවසයි.
රාජාට ද හදිසි ගමන් බිමන් යෙදේ. එවිට රාජා එනතුරු ගනුදෙනු කරුවන් රඳවාගෙන සිටීමට මොහිදීන් වග බලාගනී. රාජාට දෙමළ ටිකකුත් මොහිදීන්ට සම්පූර්ණයෙන් සිංහලත් කතා කළ හැක. මොහිදීන් ගෙනෙන කෑම පාර්සලය විටෙක දෙදෙනාම බෙදාගෙන කති. රාජා ද විටෙක මොහිදීන්ටත් එක්ක ආහාර පාන රැගෙන එයි. එක වතුර බෝතලයෙන් දෙදෙනාම පවස නිවා ගනිති. තවත් විටෙක දෙදෙනා ම එක කහට කෝප්පය බෙදාගෙන බොති. රාජාගේ ගමේ මළගෙදරට මොහිදීන් ද මොහිදීන්ගේ පවුලේ මළ ගෙදරට රාජ ද යති. මේ දෙදෙනා ම අකමැති දේ වන්නේ ඒ ඒ ජාතින්ගේ හිත් රිදෙන දේවල් කිසිවෙකු පවසනවාට ය.
මොවුන් හා සංවාදයේ සිටි විට පාපැදියක් තල්ලු කරගෙන ආ වැඩි හිටියෙකි. මොහිදීන්ගේ වැඩ හොඳද යි ඒ අමුත්තාගෙන් ඇසූ විට කීවේ මෙවැන්නකි. ‘ අපි මෙයාලා දන්නේ එකදාස් නමසිය හැටගණන්වල ඉඳලා. තැපැල් කන්තෝරුව ළඟ ඉද්දී මෙයාගේ මාමාත් මගේ යාළුවෙක්. මේ අත් දෙකින් කීදෙනෙකුට පිහිට වෙලා ඇද්ද? ‘‘ යනුවෙනි.
ඔහුගේ නම එස්.ඒ.චාල්ස් ය. හේ අනුරාධපුර පළමු පියවරේ පදිංචිකරුවෙකි.