Media in Cooperation and Transition
Brunnenstraße 9, 10119 Berlin, Germany
mict-international.org

Our other projects:
afghanistan-today.org
theniles.org
correspondents.org
English
தமிழ்

කොවිඩ් සමයේ පුද්ගලිකත්වය ආසාදනය කරන
ජනමාධ්‍ය වෛරස

COVID-19 වසංගතය පුවත්පත් කලාවේ නැවත ඉපදීමකට මඟ පාදා තිබේ. මිනිසුන්ට, සමාජයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට විශ්වාසදායක තොරතුරු තීරණාත්මක වන්නේ මන්දැයි ජනමාධ්‍ය කලාව මේ මොහොතේ පෙන්විය යුතුය. සත්‍යයේ හොඳම පුනරූපණය අත්විඳීම පිණිස සෑම කෙනෙකුටම අවස්ථාව ලබා දෙන ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වයක් මේ යුගයේ අවශ්‍යතාව බවට පත්ව තිබේ. ඒ අවශ්‍යතාව වටහා නොගෙන කටයුතු කිරීමෙන් සිදුවන්නේ සෞඛ්‍ය ගැටලු, කලබල සහ කැළඹීම් සමාජ ගතකරමින් මහජන උද්වේගය ඇති කරන ඩිජිටල් වෛරසයක් බවට ජනමාධ්‍ය පත්වීම පමණකැයි සාධනීය පුවත්පත් කලාව පිළිබඳ ආයතනයේ ප්‍රධාන විධායක උල්රික් හැගරප් කියයි.

30.04.2020  |  
කොළඹ දිස්ත්‍රික්කය

අවසානයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් එහි මාධ්‍ය අධ්‍යක්ෂ ශානිකා ශ්‍රියානන්දට ජනමාධ්‍ය ආයතන අමතා කාරුණික ඉල්ලීමක් කරන්නට සිදු විය. 2020 අප්‍රේල් 27 දාතමින් යුතු  එම ලිපියෙන් ජනමාධ්‍ය ආයතනවලින් ආරක්ෂක අමාත්‍යංශය ඉල්ලා සිටියේ කොව්ඩ් 19 රෝගී තත්ත්වයට ගොදුරු වූ රෝගීන් පිළිබඳ වාර්තා කිරීම උදෙසා වීඩියෝගත කිරීමේදී ඔවුන්ගේ පුද්ගලිකත්වයට ගරු කරන මෙන් සිය මාධ්‍යවේදීන් දැනුවත් කරන ලෙසයි. “කොවිඩ් 19 රෝගයට ගොදුරු වූ තැනැත්තන් පිළිබඳව වාර්තා කිරීමේදී ඔවුන්ගේ පුද්ගලිකත්වයට ගරු නොකිරීම නිසා සෞඛ්‍ය අංශවලින් සිදුකරන පරීක්ෂණවලට ඉදිරිපත් වීමේදී මහජනතාව පසුබෑමකට පත්විය හැකියි” යන්නද මෙම ලිපියෙන් අවධාරණය කර තිබුණි. කෙසේවෙතත් එම ලිපියෙන් අනතුරුවද විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය නාළිකා සිය දුර්භාවිතයෙන් පූර්ණ වශයෙන් නොමිදී තිබූ බවක් දිස්වූයේ පෙර විවෘතව පෙන්වූ දසුන් නොපෙන්වා සිටීම වෙනුවට පුද්ගලයින් බොඳකොට පෙන්වීමෙන් පමණක් සිය සීමාව හඳුනාගත් බව ශිෂ්ට සම්පන්න සමාජයට පෙන්වීමේ නිරර්ථක උත්සාහයක නිරත වීමෙනි.

ජනමාධ්‍ය ආයතනවලින් ආරක්ෂක අමාත්‍යංශය කළ ඉල්ලීම

සිය අත්සනින් යුක්තව මාධ්‍ය ආයතන ඇමතූ ලිපිය පිළිබඳව අප කළ විමසීමේදී ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂවරිය පැවසුවේ කරුණු සහිත විමර්ශනයකින් අනතුරුව එවැනි ඉල්ලා සිටීමක් සිදුකිරීමට ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත තීරණය කළ බව සහ එය සහේතුක බවයි. ඇය පවසන පරිදි මෙම ලිපිය මාධ්‍ය ආයතන අමතා නිකුත් කළ විගස මහජනයාගෙන් පැසසුම් සහගත ප්‍රතිචාර ලැබුණි. ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ ශානිකා ශ්‍රියානන්ද ඇමතූ එක් පුරවැසියෙක් තමන්ගේ පුද්ගලික අත්දැකීම ලෙස සඳහන් කර තිබුණේ, රෝගීන් පමණක් නොව රෝගය වැළඳී ඇතිදැයි නිර්ණය කර ගැනීම පිණිස පරීක්ෂාවට භාජනය වන කැනැත්තන් පවා රූපවාහිනී කැමරාවල නොමනා ග්‍රහණයට හසු වූ බවයි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී  ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, දමිළ මාධ්‍ය එකතුව, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් ජන මාධ්‍ය සංසදය යන මාධ්‍ය සංවිධාන එකතුව ද 2020 මාර්තු 23 වැනි දා දාතමින් යුතුව ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක සියලු මාධ්‍ය ආයතන හිමිකරුවන්  ප්‍රධානීන් වෙත, ‘කොවිඩ්-19 ගෝලීය වසංගතයට එරෙහිව ජනමාධ්‍ය වගවීම පිළිබඳ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හිමිකරුවන් හා ප්‍රධානීන් වෙත’ යන මැයෙන් ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ ද කොරෝනා පුවත් වාර්තාකරණයේදී භාවිත කළයුතු මුලික නිර්දේශ ඇතැම් මාධ්‍ය ආයතන විසින් නොසලකා හරිමින් කටයුතු කිරීම ඒහි ආරම්භක සමයේ සිට ම කල එළි  බසින්නට වීමත් සමඟ ය.

මාධ්‍ය සංවිධාන එකතුව

එහිදී මේ ව්‍යසනකාරී අවස්ථාවේ දැඩිලෙස සැලකිලිමත් විය යුතු සහ ක්‍රියාත්මක කළ යුතු කරුණු කිහිපයක් මාධ්‍ය ආයතන හිමිකරුවන් හා ප්‍රධානීන් ගේ අවධානයට යොමු කිරීම එම සංවිධානවල අපේක්ෂාව විය.

මාධ්‍ය ආයතනවල වෙබ් අඩවි සහ සෙසු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජනතාව වෙත විසිරණය වන පුවත් කෙරෙහි ඇති විශ්වාසය තහවුරු කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය වගවීම කෙරෙහි සැලකිලිමත්වීම ද, සිදුවීම් වාර්තාකරණයේ දී ස්වකීය සමාජ වගකීමෙන් බැහැර නොවීම කෙරෙහි මාධ්‍යවේදීන් ඥානනය කිරීමේ වැදගත්කම ද ඒ ලිපියෙන් අවධාරණය කර තිබිණි.


මේ ව්‍යසනකාරී අවස්ථාවේ දැඩිලෙස සැලකිලිමත් විය යුතු සහ ක්‍රියාත්මක කළ යුතු කරුණු කිහිපයක් මාධ්‍ය ආයතන හිමිකරුවන් හා ප්‍රධානීන් ගේ අවධානයට යොමු කිරීම එම සංවිධානවල අපේක්ෂාව විය.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධ පුවත් පළකිරීමේදී ජනතාව තුළ වෛරය ඇතිවන ලෙස තොරතුරු වාර්තා කිරීමෙන් වලකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ  ද මාධ්‍ය ආයතන වෙත දැනුම් දීමක් සිදු කළේ ද මෙයට පෙරාතුව ය. කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධ පුවත් පළකිරීමේදී අනුගමනය කළ යුතු යැයි සැලකෙන  නිර්දේශ 08ක් ඔහු ප්‍රමුඛ සුව සේවා අධිකාරීන්  ප්‍රකාශයට පත් කළේ ද කොවිඩ් 19 රෝගයට ගොදුරු වූ තැනැත්තන් පිළිබඳව වාර්තා කිරීමේදී ඔවුන්ගේ පුද්ගලිකත්වයට ගරු නොකිරීම නිසා සෞඛ්‍ය අංශවලින් සිදුකරන පරීක්ෂණවලට ඉදිරිපත් වීමේදී මහජනතාව පසුබෑමකට පත්විය හැකියි යන අදහස ද ,  සමාජයේ වෙසෙන්නන්ගේ  පුද්ගලිකත්වය රැකෙන පරිදි කටයුතු කිරීම මූලික මිනිස් අයිවාසිකමක් හා යුතුකමක් ද වන බව පෙන්වා දෙමිනි.

කොරෝනා පුවත් වාර්තාකරණයේදී භාවිතා කළයුතු මුලික නිර්දේශ ඇතැම් මාධ්‍ය ආයතන විසින් නොසලකා හැරීම නිසා, රෝගය ආසාදිත පුද්ගලයින් සමාජයෙන් කොන්වීමට ඇති බියෙන් නිසි වෛද්‍ය ප්‍රතිකාර නොගෙන සැඟවී සිටීමට උත්සාහ කරන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පෙන්වා දෙයි.

වසංගත තත්වය පිළිබඳව වාර්තාකරණයේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ නිර්දේශ 08 මෙලෙස වේ.

  • සෑමවිටම කෝවිඩ් 19 සම්බන්ධව වාර්තා කිරීම සඳහා සත්‍ය සහ තහවුරු කරන ලද මූලාශ්‍ර පමණක් භාවිත කරන්න.
  • නිරෝධායනයට ලක්කරන පුද්ගලයන්/ රෝගීන් සහ මරණ වාර්තාකරණයේදී කිසිවිටකත් ජාතිය හා ආගම සඳහන් නොකරන්න.
  • වයිරසය ආසාදිත පුද්ගලයන් රෝගීන් මිස අනෙක් අයට රෝගය පතුරවන පුද්ගලයන් ලෙස හැඳින්වීමෙන් වළකින්න.
  • අවදානමේ ප්‍රමාණය තාක්ෂණික හා විද්‍යාත්මක කරුණු මත පමණක් පදනම් කර වාර්තා කරන්න. විවිධ පුද්ගලයන්ගේ පෞද්ගලික මත සමාජගත කිරීමෙන් වළකින්න.
  • නිරෝධායනයට ලක්කරන පුද්ගලයන් හා රෝගීන්ගේ ඡායාරූප/වීඩියෝ පට ඔවුන්ගේ අවසරයකින් තොරව ප්‍රදර්ශනය කිරීමෙන් වළකින්න.
  • මිය ගිය අයගේ අවසන් කටයුතු පිළිබඳ සංවේදී ඡායාරූප හෝ වීඩියෝ පට ප්‍රදර්ශනය කිරීමේදී එම දර්ශන බොඳ කර භාවිතය යෝග්‍යය.
  • ජනතාව තුළ වෛරය ඇති වන ලෙස තොරතුරු වාර්තා කිරීමෙන් වළකින්න.
  • මෙම කෝවිඩ් 19 තත්ත්වය ජන මනසට ආතතිය හා ඉච්ඡා භංගත්වය ඇති වන ලෙස නොව අනාගතය සම්බන්ධයෙන් ධනාත්මක බලාපොරොත්තු සහ එකිනෙකා අතර සහයෝගය ඇති වන ලෙස ප්‍රවෘත්ති සහ දැනුවත් කිරීම් ලබාදෙන්න.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ නිර්දේශ 08

කොවිඩ්-19 වසංගතය ඉදිරියේ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ, පුරවැසි මාධ්‍යවේදීන්ගේ සහ රාජ්‍යයේ සමාජ වගකීම කුමක් විය යුතුද යන්න මෙරට පමණක් නොව විශ්ව සංවාදයට  භාජනයද වූ මාතෘකාවක් බවට අද වනවිට පත්ව තිබේ. එහිදී ලෝක ජන මාධ්‍ය ව්‍යාපාරය නොකඩවා අවධාරණය කරන්නේ නිසි හා නිවැරදි තොරතුරු නිදහසේ ගලා යම, ඒ සඳහා ප්‍රවේශයන් පැවතීම හා ඊට නිසි යාන්ත්‍රණයන් පවත්වාගැනීම මූලික අවශ්‍යතාවක් වන බවයි.

‘මත දැරීමට ඇති අයිතිය සහ ප්‍රකාශනයේ නිදහස’ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ නියෝජිත ඩේවිඩ් කායිල්, යුරෝපීය ආරක්ෂාව සහ සහයෝගිතා සංවිධානයේ මාධ්‍ය නිදහස පිළිබඳ නියෝජිත  හර්ලම් ඩිසර් සහ අන්තර් ඇමරිකානු මානව හිමිකම් සංවිධානයේ අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳ විශේෂ නියෝජිත එඩිසන් ලන්සා’ යන විද්වතුන් අවධාරණය කරන්නේ කොවිඩ්-19 වසංගතය ඉදිරියේ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ, පුරවැසි මාධ්‍යවේදීන්ගේ සහ රාජ්‍යයේ සමාජ වගකීම කුමක් විය යුතුද යන්න පිළිබඳව ය. අදාළ ප්‍රකාශය ‘කොවිඩ්-19: ගෝලීය වසංගත සමයක තොරතුරු භූමිකාව’  නමින් සිංහලට  පරිවර්තිත  ප්‍රකාශනයක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සමාජ ගත කරන්නේ කොවිඩ්-19 වසංගතය ඉදිරියේ, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ, පුරවැසි මාධ්‍යවේදීන්ගේ සහ රාජ්‍යයේ සමාජ වගකීම කුමක් විය යුතුද යන්න පිළීබඳ ශ්‍රී ලාංකීය ජනමාධ්‍ය සමාජයේ අවධානය යොමු කරවමිනි.

මානව සෞඛ්‍යයට එල්ල වන තර්ජනවල  ස්වභාවය සහ එයින් පුද්ගලයන්ට, ඔවුන්ගේ පවුල්වලට සහ ප්‍රජාවන්ට ආරක්ෂා විය හැකි ආකාර පිළිබඳ සැපැයෙන දායකත්වයේ ප්‍රගතිය,  නිවැරදි තොරතුරු මත රඳා පවතී. සෑම තැනක ම, සෑම කෙනෙකුගේ ම ප්‍රකාශනයේ නිදහසත්, සෑම ආකාරයක ම තොරතුරු සහ අදහස් සෙවීමේ, ලබාගැනීමේ සහ ලබා දීමේ අයිතියත් එයට ඇතුළත් වේ.

කොරෝනා වයිරසය ඇති කර තිබෙන තර්ජනයේ ස්වභාවය පිළිබඳ සත්‍යවාදී තොරතුරු සැපයීම අත්‍යවශ්‍ය බව ද,  සැමට විශ්වසනීය තොරතුරු වෙත ප්‍රවේශය පහසුවෙන් ලබාගත හැකි ආකාරවලින් ලබා දීමට සෑම තැනක ම රජයන් මානව හිමිකම් නීතිය යටතේ බැඳී සිටිතියි ද මෙම ප්‍රතාශනයෙන් අවධාරණය කෙරෙයි.

අදාළ ප්‍රකාශනයේ ඇතුළත් ඉහත වගන්ති පුන පුනා  අවධාරණය කරන්නේ වාර්තාකරණය සැමවිටෙකම නිවැරදි තොරතුරු මත රඳාපදනම් ව සිදු විය යුත්තක් බව ය. අසත්‍ය තොරතුරු පදනම් කර ගත් ඒකපාර්ශවීය වාර්තාකරණය මෙන් ම පටු චේතනා හා විවිධාකාර සමාජ දේශපාලන අරමුණු මුල් කර ගත් සමාජ අනර්ථකාරී වාර්තාකරණයට එහි කිසිදු ඉඩක් නොමැති බවබව මෙමඟින් අවධාරණය කෙරේ.

විශ්වසනීය තොරතුරු සැපයීම මගින් දුස් තොරතුරු පැතිර යාම  දුරලීම අත්‍යවශ්‍ය වන්නේ දුස් තොරතුරු හා වසංගතය  පිළිබඳ වැරදි තොරතුරු සමාජ ගතවීම හේතුවෙන් සෞඛ්‍ය ගැටලු, කලබල සහ කැළඹීම් ඇති වීමට තිබෙන ඉඩකඩ මෙන් ම මතුවිය හැකි මහජන උද්වේගය පිළිබඳ  ද අවධානයට ගැනීමෙනි. ව්‍යසන සමයේ ජනමාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ජනමාධ්‍ය ෆෙඩරේෂණය හා එක්වෙමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවා සිය බරපතල සංවේදී බව හා අවධානය කිහිපවරක් ම  ප්‍රකට කර තිබිණි.

ජ්‍යේෂ්ඨ ජනමාධ්‍යවේදී වික්ටර් අයිවන්

රාවය විකල්ප පුවත්පතෙහි කතුවරයාව සිටි,  ජනමාධ්‍යයේ  ප්‍රවීණයෙකු හා ජ්‍යේෂ්ඨයතු ද වන වික්ටර් අයිවන්වන වික්ටර් අයිවන් වරක් ප්‍රකාශ කළේ ලංකාවේ වඩාත් ජරාජීර්ණ තත්ත්වයකට පත්ව ඇති ක්ෂේත්‍රය ජනමාධ්‍ය බවයි. ජනමාධ්‍ය නිදහසට මුවා වී ස්වකීය සමාජ වගකීමෙන් බැහැර වීමට නොහැකි බව සියලු මාධ්‍ය ආයතන වටහා ගත යුතු බව ඔහුගේ අවධාරණය යි. ප්‍රකාශනයේ නිදහස අතිශය සුන්දර කාරණයක් වන නමුදු පුරවැසියාගේ පුද්ගලිකත්වය සාධාරණ හේතුවකින් තොරව බිහිසුණු ලෙස උල්ලංඝණය කිරීම මාධ්‍ය නිදහස යැයි අරුත් ගැන්විය නොහැක. කිසියම් රෝගයකින් පෙළෙන තැනැත්තෙකුට ස්වකීය පුද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂා කරගැනීමට ඇති අයිතිය මෙන්ම මාධ්‍ය ඒ සම්බන්ධද වාර්තාකරණයේ දී සදාචාරාත්මකව කටයුතු කළ යුතුය යන්න  දීර්ඝ කාලයක් තිස්සේ එච්.අයි.වී ඒඩ්ස් වැනි රෝග සම්බන්ධ වාර්තාකරණයන්ට අදාළ ව පවා මෙරට මාධ්‍ය අනුදත යුත්තක් බවට ජනමාධ්‍ය සමාජය  දැනුම්වත් කර ති‍බේ.

කොරෝනා පුවත් වාර්තාකරණයේදී භාවිත කළයුතු මුලික නිර්දේශ පවා නොතකා හරිමින් කටයුතු කිරීමේ මහන්තත්ත්වයක් ආරෝපණය කර ගන්නට ශ්‍රී ලංකාවේ බොහෝ ජනමාධ්‍ය ඒඩිතර වී ඇත්තේ  ස්වකීය මාධ්‍යයේ අරමුණු  විවිධ දේශපාලන න්‍යාය පත්‍ර සමඟ ගැට ගැසී පැවතීම  නිසා වන්නට පුළුවන. කොරෝනා වෛරසය ආසාදිතයන් සමග සමීපව රාජකාරියේ නිරත වන්නට සිදු වීම නිසා ගොදුරු බවට පත් වූ නාවික හමුදා සෙබළුන් හා බැඳුණු පුවත් ත්‍රාසජනක කතා හැටියට පෙන්වීමේ ජනමාධ්‍ය ක්‍රියාන්විතවල උත්ප්‍රාසජනක ප්‍රථිඵලය වුයේ වරෙක මේ මාධ්‍ය මගින්ම රණවිරුවන් ලෙස උත්කර්ශයට නැංවූ පිරිසක් එක රැයින් වගකීම් විරහිත ද්‍රෝහීන් පිරිසකගේ තත්ත්වයට පිරිහෙළනු ලැබීමයි.

අප්‍රේල් 28 වෙනිදා සිය ගමේ පන්සලේ හිමිනම හා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමාද තවත් දිරිගන්වන්නන් කිහිප දෙනෙකුද ඉදිරියේ මාතර දිස්ත්‍රික්කයේ මොරවක පදිංචි කාන්තාවක් සිය අත්දැකීම විස්තර කළේ හඬමිනි.  තවත් අවස්ථා  රැසකදී රෝගයට ගොදුරු වූ බව නිශ්චිතව තහවුරු නොවූ පිරිස් පවා ආ ගිය ඇසුරු කළ තැන් අනවසරයෙන් හා අවශ්‍යතාවයෙන් තොරව අනාවරණය කළ මාධ්‍ය “මාව වීඩියෝ කරන්නට එපා යැයි” කරන ඉල්ලීම් පවා නොසලකා හරිමින් වාර්තා කළ අවස්ථා තිබුණි.  මේ බොහොමයක් සිදුවීම්වලට අදාලව මාධ්‍ය කැඳවා ගත්තේ රාජ්‍ය නිලධාරීන්ම බැව් සඳහන්  මතයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ ජනගත වෙමින් තිබේ. එය එසේ වුවත් අගති විරහිත මාධ්‍යකරණයෙන් බැහැර වීමේ වගකීම භාර ගත යුත්තේ ජන මාධ්‍යය ම වේ.

වෙරිටේ රිසර්ච්හී, එතික්ස් අයි වැඩසටහන මෙම සමාජ දුස්සාධ්‍යකරණ  මාධ්‍ය ක්‍රියාකාරකම පිළිබඳ විමර්ශනාත්මක හෙළිදරව් කිරීමක නිරත විය. එම වැඩසටහන වෙනුවෙන්, වෙරිටේ රිසර්ච් මාධ්‍ය පර්යේෂණ ප්‍රධානි දීපාංජලී අබේවර්ධන පැවසුවේ ජනමාධ්‍ය සිදුකරන සමාජ වගකීමෙන් දුරස්ථ වාර්තාකරණ අවස්ථා රැසක් නිරීක්ෂණය කිරීමට තමන්ට අවස්ථාව ලැබුණු බවයි. ඇය පෙන්වා දෙන අන්දමට “කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් පිළිබඳව ඇතැම් රූපවාහිනී නාළිකා වාර්තා කළේ ඔවුන් වුවමනාවෙන් රෝගයට ගොදුරු වී සෙසු අයට බෝ කිරීමට ක්‍රියාකරන අන්දමක් ඇඟවෙන පරිදි” ය.

වෙරිටේ රිසර්ච් මාධ්‍ය පර්යේෂණ ප්‍රධානි දීපාංජලී අබේවර්ධන

ලංකාවේ දෙවන කොරෝනා මරණය ලෙස වාර්තා වූ රෝගියාගේ සිදුවීමේදී ඔහු යාපනයේ මංගල උත්සවයකට සහභාගී වූ තැන් ඇතුළු සියල්ල පෙන්වන අතර රෝගය බෝ කරන්නෙක් ලෙස ඔහුට වක්‍රව චෝදනා කිරීමට මාධ්‍ය ක්‍රියා කළා. ඇතැම් අවස්ථාවල සෞඛ්‍ය අංශ නිශ්චිත අදහසක් ප්‍රකාශ කර නොතිබියදී පවා මාධ්‍ය ස්වකීය නිගමන මත කටයුතු කරන ආකාරයක් පෙනෙන්නට තිබුණා’ යයි දීපාංජලී අබේවර්ධන පැවසුවාය. පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීමේ මාධ්‍ය ක්‍රියාකාරකම් නිසා  රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල පිරිස පවා මාධ්‍ය අපරාධයක වින්දිතයන් බවට පත්වන අවස්ථා දිස් විය. දීපාංජලීට අනුව මෙහි ඉතා බියකරු ප්‍රථිඵලය වන්නේ, සමාජය තුළ ප්‍රතික්ෂේපවීමට ලක්විය හැකි  මාධ්‍ය ගොදුරක් බවට පත්වීමේ භීතිය නිසා ජනතාව පරීක්ෂණවලට සහය නොදී වසංව සිටීමට උත්සාහ ගැනීමයි. ආරක්ෂක අමාත්‍යංශයටද මාධ්‍ය ආයතන අමතා අවධාරණය කරන්නට සිදුවූයේ එයයි. මෙහි තවත් පැතිකඩක් එතික්ස් අයි අනාවරණය කරගත් බව දීපාංජලී අබේවර්ධන පැවසුවාය.  ඇතැම් අවස්ථාවල මාධ්‍ය කොරෝනා රෝගීන් පිළිබඳව වාර්තා කිරීමේදී අහේතුකව ඔවුන්ගේ ජාතිකත්වය සඳහන් කිරීමයි. එමඟින් ජාතීන් අතර අනවබෝධය වර්ධනය වීමේ අවදානමක් ඇති වූ බව පෙන්වා දුන් ඇය සඳහන් කළේ ඇතැම් ජාතිකයෙකු හිතා මතා වාහකයෙකු බවට පත් වූ ආකාරය මාධ්‍ය වාර්තාවලින් ජනගත කිරීමට උත්සාහ දැරූ බවයි. මෙය මාධ්‍ය සදාචාරයට සේම සමාජ සදාචාරයටද පටහැණි බව ඇගේ අදහසයි.

අනුරාධපුර  මාධ්‍යවේදී සහන් බස්නායක මේ සම්බන්ධ තවත් මානයක් පෙන්වා දුන්නේය. ඔහු පවසන පරිදි ඇතැම් මාධ්‍යවේදීන් සහ වෙනත් පිරිස් රජයේ සෞඛ්‍ය අංශ නිල වශයෙන් තහවුරු නොකළ ආරංචිමාත්‍ර පවා පළ කිරීමට ක්‍රියා කිරීම නිසා ජනතාව අතිශයෝක්තිය විශ්වාස කිරීමට පෙළඹේ. අනුරාධපුර ප්‍රදේශයේදී මුහුණ දුන් අත්දැකීම් අනුසාරයෙන් ඔහු පැහැදිලි කළේ  එවැනි පසුබිමක ජනතාව සත්‍යයෙන් බැහැරවීමට ඇති ඉඩ ඉහළ යන බවයි. ඇතැම් මාධ්‍යවේදීන් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රචාරය කළ ව්‍යාජ පුවත් නිසා අගතියට පත් ජනයා  ඔවුන්ට බැණ වදිමින් ප්‍රතිචාර දක්වා තිබුණි.

නිරෝධායනය කරන ලද පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝණය කිරීම හොඳ ජනමාධ්‍ය භාවිතාවක් නොවන බව ජනමාධ්‍ය හා අධ්‍යාපන සදහා වූ මධ්‍යස්ථානය  නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කොරෝනා වසංගතය වාර්තා කිරීමේදී COVID-19 ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයන්ගේ  මෙන් ම නිරෝධායනය වන ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින්ගේ පවුල්වල රූපරාමු  බලහත්කාරයෙන් රූගත කළ කැමරා කණ්ඩායම් පිළිබඳ සමාජයේ දැඩි විරෝධයක් පවතින බව ද ඔවුන් පවසා සිටී.

ජනමාධ්‍ය හා අධ්‍යාපන සදහා වූ මධ්‍යස්ථානය මාධ්‍ය ආයතනවලින් හා ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය කොරෝනා වසංගතය වාර්තා කිරීම සඳහා ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට හා මාධ්‍ය උපමානවලට  ගරු කරන ලෙස ය.

වසංගතයක් තුළ වාර්තා කිරීම පහසු කාර්යයක් නොවන අතර බොහෝ හොඳ මාධ්‍යවේදීහු  මහජනතාවට පැහැදිලි, සංක්ෂිප්ත හා යාවත්කාලීන තොරතුරු ලබා දීමට අවදානම නොසලකා කටයුතු කරමින් සිටිති. තවත් සමහරු ටැබ්ලොයිඩ්වාදයට යොමුවීම, ව්‍යාකූලත්වයක් ඇති කිරීම, විවිධ වාර්ගික ජන කණ්ඩායම්වලට අපකීර්තියක් ඇති කිරීම, වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල් තවදුරටත් අවදානමට ලක් කිරීම සහ බලධාරීන් විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ අනුගමනය නොකිරීමෙන් වැනි අයහපත් කාරණා සිදු කරමින් සිටිති’යි ද ඒම නිවේදනය තව දුරටත් පවසයි.

‘ප්‍රේක්ෂකයින්ට, ශ්‍රාවකයන්ට, සමාජයට හා ප්‍රජාතන්ත්‍රවාදයට පුවත්පත් කලාව අත්‍යවශ්‍ය වන්නේ මන්දැයි තහවුරු කොට පෙන්වා දීමට දැන් කාලය හා අවස්ථාව පැමිණ තිබේ’ යි සාධනීය පුවත්පත් කලාව පිළිබඳ ආයතනයේ ප්‍රධාන විධායක උල්රික් හැගරප් පවසයි. ඔහු පෙන්වා දෙන්නේ COVID-19 වසංගතය පුවත්පත් කලාවේ නැවත ඉපදීමකට මග පාදා ඇති බවයි.

ඒ යළි ඉපදීම සුබදායක වන්නේ මූලික ජනමාධ්‍ය ආචාරධර්මවත් ගරු කරන තත්ත්වයක් තුළ ජනමාධ්‍ය හැසිරීම සිදු වන්නේනම් පමණකි. විශේෂයෙන් එය වත්මන්  ශ්‍රී  ලාංකීය මාධ්‍ය භූ දර්ශනයට  බෙහෙවින් ම අදාළ වන කරුණකි.

අදහස්, හැඟීම්, කරුණු හා කටකතා සමඟ මුසු වී ඩිජිටල් වෛරසයක් මෙන් ලොව පුරා ව්‍යාප්ත වන සමාජ මාධ්‍ය ධාරා වගකිවයුතු ජනමාධ්‍යවේදය  වෙනුවෙන්  ආදේශ කළ නොහැක්කේ ඇයි ද යන්නට හොඳම පිළිතුරක් ලබා දීම පිණිස සාධනීය ජනමාධ්‍ය කලාවේ පෙළහර දැක්වීමට කාලය ඉඩහසර විවර කර ඇති බව උල්රික් හැගරප් පෙන්වා දෙයි.

උල්රික් හැගරප්

‘මිනිසුන්ට, සමාජයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට විශ්වාසදායක තොරතුරු තීරණාත්මක වන්නේ මන්දැයි ජනමාධ්‍ය  කලාව මේ මොහොතේ පෙන්විය යුතුය. සත්‍යයේ හොඳම පුනරූපණය අත්විඳීම පිණිස  සෑම කෙනෙකුටම අවස්ථාව ලබා දෙන ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වයක් මේ යුගයේ අවශ්‍යතාව බවට පත්ව තිබේ. ඒ අවශ්‍යතාව වටහා නොගෙන කටයුතු කිරීමෙන් සිදුවන්නේ අදහස්, හැඟීම්, විකෘත කරුණු, පටු මාන, හා කටකතා සමඟ මුසු වී වැරදි තොරතුරු සමාජ ගතකරන, සෞඛ්‍ය ගැටලු, කලබල සහ කැළඹීම් හා  මහජන උද්වේගය ඇති කරන ඩිජිටල් වෛරසයක් වන්නට පමණ ය. උල්රික් හැගරප් පැවසූ පරිදි ‘ප්‍රේක්ෂකයින්ට, ශ්‍රාවකයන්ට, සමාජයට හා ප්‍රජාතන්ත්‍රවාදයට පුවත්පත් කලාව අත්‍යවශ්‍ය වන්නේ මන්දැයි’ යන්නට පිළිතුරක් සපයන්නට මේ වෛරස සමත්වන්නේ නැත.