උතුරේ නිවාස ප්‍රශ්නය:
ගෙවල් හදමුද? කඹ අදිමුද?
යුද්ධයෙන් නිවාස අහිමිවූ උතුරේ ජනතාව සඳහා නිවාස 65,000ක් ඉදි කිරීමට රජය විසින් සැලසුම් කළ ව්‍යාපෘතිය අභියෝගයට ලක් වී තිබේ. මේ අභියෝගය ජයගත හැක්කේ කෙසේද?
‘‘ගල් ගෙවල්වලට වඩා මේ ගෙවල් හොඳයි. රෑට සීතල තියෙනකොට ගේ ඇතුළේ ඉඳිද්දී සීතල තේරෙන්නෙ නැහැ. සමහර අය කියනවා මේව අපේ දේශගුණයට හරියන්නේ නැහැ කියලා. ඇත්ත මොනවද කියලා තේරෙන්නේ නැහැ.’’ මනෝන්මනී මාතාව සිය නිවස බලන්නට ආ අමුත්තන්ට පැවසුවාය. අප වැනි අමුත්තන් බොහෝ ගණනක් ඇගේ නිවස බලන්නට පැමිණ තිබේ.
යාපනය දිස්ත‍්‍රික්කයේ, උරුම්පිරායිහි සෙල්විපුරම් ගම්මානයේ පදිංචි ඇය, එම නිවාසලාභියා වන ලක්‍ෂමන් ධර්මරාජන්ගේ මවය.
නන්නාඳුනන අමුත්තන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ නිවස බලන්නට පැමිණීමේ සුවිශේෂ හේතුවක් තිබේ. ඔවුන් පදිංචි නිවස, යුද්ධයෙන් නිවාස අහිමි වූවන් වෙනුවෙන් රජය මගින් ඉදි කිරීමට යෝජිත නිවාස ව්‍යාපෘතියක ආදර්ශ ඉදි කිරීමකි. ඔවුන් අද මේ නිවස තුළ ගෙවන ජීවිතය, ඔවුන් වැනිම තවත් 65,000කගේ අනාගත දිවි පෙවෙත වෙත එබී බැලිය හැකි කවුළුවක් වැන්න.
‘වහලක්’ නොලද්දෝතිස් අවුරුදු යුද්ධයෙන් උන් හිටි තැන් අහිමිව වසර ගණනාවක් තිස්සේ අවතැන්ව දිවි ගෙවූ උතුරේ සහ නැගෙනහිර පදිංචිකරුවන් බොහෝ දෙනෙක් කල් පසු වී හෝ සිය ගම් බිම්වල නැවත පදිංචි වී යළි ජීවිත ගොඩනගාගනිමින් සිටිති. එහෙත් තවමත් අවතැන් කඳවුරුවල හෝ තාවකාලික නිවාසවල දිවි ගෙවන සංඛ්‍යාවද සුළුපටු නොවේ. යාපනය දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ සංඛ්‍යා ලේඛනවලට අනුව, තවමත් නිවාස අහිමි ජන සංඛ්‍යාව එක්ලක්‍ෂ පනස් දහසකි.
එම ජනතාව වෙනුවෙන් දියත් කිරීමට යෝජිත දැවැන්ත ව්‍යාපෘතියක්, ඒ පිළිබඳව මතු වූ විවාදාත්මක තත්ත්වයක් හමුවේ අභියෝගයට ලක්ව තිබේ. ව්‍යාපෘතිය මගින් ඉදි කිරීමට යෝජිත නිවාස ගණන 65,000කි. ඒ සඳහා කැබිනට් අනුමැතියද ලැබී තිබියදී ඒ සම්බන්ධයෙන් උතුරේ විරෝධතා ව්‍යාපාර කිහිපයක් දියත් වීමත් දෙමළ ජාතික සන්ධානය ඊට මුළුමණින්ම විරුද්ධත්වය පළ කිරීමත් හේතුකොට ගෙන මේ වන විට ව්‍යාපෘතිය අතර මඟ නැවතී තිබේ.
එක්සත් ජනපද ඩොලර් බිලියනයක වටිනාකමකින් යුත් මෙම නිවාස ව්‍යාපෘතියට ලංසු තබන ලද්දේ ප‍්‍රංශ සමාගමක් වනArcelor Mittal’s සමාගම ය. වානේ වර්ගයකින් ඉදිකෙරෙන මෙම පෙරසවි (pre- fabricated) එක් නිවසක වටිනාකම රුපියල් මිලියන 2.1 කි. වර්ග අඩි 550ක බිම් පෙදෙසකින් යුතු මෙම නිවසක කාමර දෙකක් පැන්ටි‍්‍ර කබඞ් සහිත කුස්සියක්, වැසිකිළියක් ඇතුළත් වේ. ඊට අමතරව සූර්ය බල විදුලිය පද්ධතියක්, වතුර ටැංකියක්, ඇඳක්, කෑම මේසයක් ඇතුළුව ලී බඩු කිහිපයක්, විදුලි පංකාවක්, සිලින්ඩරය සහිත ගෑස් උඳුනක්, රූපවාහිනියක් සහ ලැප්ටොප් එකක් සමග වයිෆයි ඉන්ටර්නෙට් පහසුකමද නිවෙස් හිමි වන ජනතාව වෙත ලැබේ. කෝපායි සහ තෙලිප්පලෙයි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මෙම නිවෙස්වල ආදර්ශ නිවාස දෙකක් මේ වන විටත් ඉදි කර තිබේ. අප මුලින් සඳහන් කළ ධර්මරාජන්ගේ නිවස, ඒ දෙකෙන් එකකි.
මිශ්‍ර ප්රතිචාරයක්දේශපාලන නියෝජිතයින් තදබල විරෝධයක් දක්වන නමුත්, නිවාස අපේක්ෂාවෙන් සිටින ජනතාව තුළ ඒ පිළිබඳව ඇත්තේ මිශ්‍ර ප්‍රතිචාරයකි.
සෙල්විපුරම්හි තාවකාලික නිවාසවල පදිංචි වී සිටින දිව්‍යා සඳහන් කළේ දශක දෙකකට ආසන්න කාලයක් නිවාසක් නොමැතිව අමාරුවෙන් ජීවත්වන තමන් මෙම නිවසක් ලබා ගැනීමට කැමති බවය.
‘‘අවුරුදු 20ක් විතර අපි ඉන්නේ ස්ථිර ගෙයක් නැතිව. අම්මගේ (චන්ද්‍රිකා කුමාරතුංග) කාලෙ ඉඳන් ස්ථිර ගෙයක් නැතිව හරි අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. මේ කාලේ හරි ගෙවල් දෙනවා නම් හොඳයි. යුද්ධය කාලෙ එහාට මෙහාට ගිහින් ඇති වෙලා තියෙන්නෙ. ළමයි තව ලොකු වුණාම මේවයේ ඉන්න අමාරුයි. ලැබෙන්නෙ ගල් ගෙවල්ද නැද්ද කියන එක ගැන හිතන්නෙ නැතුව ඉන්නෙ. අපි ඉන්න තත්ත්වෙ හැටියට මේ ගෙවල් හොඳයි.’’
වැන්දඹුවක් වන ශිවනේෂන් සෙල්වි දැනට සිටින්නේ තමාගේ මුදලින් රජයේ සහාය ඇතිව ඉදි කරගත් ඉතා කුඩා නිවෙසකය. ඇයට දරුවන් දෙදෙනෙකි. ගලින් හැදෙන නිවාසයකට වඩා කැමති වුණත් මෙම නිවාසයක් ලබා ගන්නා බව ඇය සඳහන් කළාය.
‘‘ස්වාමිනාදන් මහත්තයා මෙහාට ඇවිත් කිව්වා ගෙවල්වලට කැමති අය ඉන්නවා නම් දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයට ලියුම් දෙන්න කියලා. සමහරු මේ ගෙවල් හොඳ නැහැයි කියනවා. අපේ දරුවන්ගේ කාලේ වෙද්දී මේව කැඩුණොත් කොහොමද හදා ගන්නේ කියලා හිතන්න බැහැ. ඒත් අපි කැමති වුණා. අපි නැති බැරිකමින් ඉන්නෙ. අපිට කෝකත් එකයි.’’
කම්කරු රැකියාවෙහි නිරත වන කලියුහ වර්ධන් සඳහන් කළේ තමන්ට ගලින් ඉදි කෙරෙන නිවසක් අවශ්‍ය බවයි. ස්ථිර නැති ගෙවල් නිකන් දුන්නත් ගන්නේ නැති බව ඔහු පවසයි.
මහඇමති අකමැතියිඋතුරු පළාත් මහ ඇමැති සී.වී විග්නේෂ්වරන් මහතා පවසන්නේ මෙම නිවාස ව්‍යාපෘතිය උතුරු පළාත් සභාවේ කිසිදු සම්බන්ධයක් නොමැතිව මධ්‍යම ආණ්ඩුව විසින් තීරණය කර, පසුව තමන්ට එහි වගකීම පවරන්නට උත්සාහ දරන බවයි.
‘‘මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ එක් නිවසකට රුපියල් මිලියන 2.1 වැය වෙනවා. වසරකට පමණ කලින් සිදු කළ නිවාස ව්‍යාපෘති දෙස බලන විට මෙම මුදලට පහසුවෙන්ම නිවාස 3ක් තනාගත හැකිව තිබුණා. ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය යටතේ නිවසකට වැය වුණේ රුපියල් ලක්‍ෂ 5 1/2 ක් පමණ. රජයේ නිවාස ව්‍යාපෘතිය යටතේ රුපියල් ලක්‍ෂ 7 1/2 ක් නිවසකට වැය කෙරුණා.’’
‘‘මෙම නිවාස පරීක්‍ෂා කර බැලූ ජ්‍යෙෂ්ඨ ඉන්ජිනේරුවන් සඳහන් කළ අන්දමට, මෙම නිවාසවල අඩුපාඩු රැුසක් තිබෙනවා. ප‍්‍රධානම කාරණය තමයි මෙම නිවාස ඇතුළත අධික උණුසුම. මෙම පළාත් තද අව් රශ්මිය සහිතයි. එම නිවාස බිත්ති සකස් කරනු ලබන්නේ කොටස් දෙකක් එක් කිරීමෙන්. ඒ අතරමැද ස්පොන්ජ් වැනි කොටසක් තියෙනවා. මේවාට කුඩා සතුන්ගෙන් හානි පැමිණෙන්න පුළුවන්. මෙම නිවාස 65,000ටම ළිඳක් බැගින් ලබා දෙනවා. දැනටමත් යාපනයේ වතුර ප්‍රශ්නය බරපතළ වීම තුළ ළිං 65,000ක් ඇති කිරීම කෙතරම් බලපෑමක් ඇති කරාවිද යන්න පිළිබඳව සලකා බැලිය යුතු වෙනවා. අධික මිලෙන් යුත් මෙම නිවාස අලූත්වැඩියා කිරීමට සිදු වුවහොත් ඒ සඳහා අවශ්‍ය කොටස් මිලදී ගන්නෙ කෙසේද යන්න සලකා බැලිය යුතු වෙනවා. මෙම සියලූම ගැටලූ අපි අමාත්‍යවරයාට කලින් පෙන්වා දී තිබෙනවා. කුමන හෝ හේතුවක් මත ආණ්ඩුව මෙම නිවාස ව්‍යාපෘතිය පවත්වාගෙන යන්න කැමතියි.’’
මුලතිව්හි නිවාස අවශ්‍යතාවය නිසා මෙම නිවාස 20,000ක් මුලතිව්වල ඉදිකිරීම සඳහා අමාත්‍ය එම්.ස්වාමිනාදන් මහතා තමන්ගෙන් විමසීමක් කළ බවත්, එසේ වුවහොත් එම අසමානත්වය නිසා නිවාස අහිමි වන ජනතාව අතර අසහනය වර්ධනය විය හැකි බවත් මහ ඇමැතිවරයා පෙන්වා දෙයි.
උණුසුම් විවාදයක්දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතිඥ එම්.ඒ සුමන්තිරන් මහතා මෙම නිවාස ව්‍යාපෘතිය සම්බන්ධයෙන් බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය සී.එම්. ස්වාමිනාදන් මහතාට පාර්ලිමේන්තුව තුළදී දැඩි විවේචනයක් එල්ල කළේය. ඇමතිවරයාට මූල්‍යමය වාසි ඇති හෙයින් මෙම නිවාස ව්‍යාපෘතිය පවත්වාගෙන යාමට උත්සාහ දරන බවටද සුමන්තිරන් මහතා චෝදනා කරයි.
ඔහු සඳහන් කළේ මෙම පළාත්වල ජනතාව නවීන නිවාස වලට අකමැති බවත් පරම්පරා තුන හතරකට වාසය කළ හැකි ශක්තිමත් හා ස්ථිර නිවාස ඔවුනට අවශ්‍ය බවය. කොන්කී‍්‍රට් අත්තිවාරමක් නොමැතිව මෙම නිවාස ස්ථාවර නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙම නිවාස පිළිබඳව පරීක්‍ෂා කර බැලීම සඳහා විශ්වවිද්‍යාල දෙකක් කටයුතු කළ අතර මුලදී මොරටුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පරීක්‍ෂණ වාර්තා දෙකක් නිකුත් කෙරුණි. එම පරීක්‍ෂණ වාර්තා දෙකෙන් කියැවුණේ මෙම නිවාස සුදුසු නොවන බවය. ඒ සඳහා වන කරුණු ගණනාවක් එම වාර්තාවල සඳහන් වේ. පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් නිකුත් කළ තවත් වාර්තාවකින් ඊට පරස්පර අන්දමේ අදහසක් ඉදිරිපත් වී තිබේ.
තීරණය ජනතාවටදැනට පවතින තත්ත්වය හමුවේ නිවාසවල අවශ්‍යතාවය ජනතාවගෙන්ම විමසීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. ඒ අනුව ප‍්‍රාදේශීය ලේකම්වරුන් වත අයදුම් පත් යොමු කෙරෙන අතර නිවාස අවශ්‍ය අය එම අයදුම්පත් පුරවා ප‍්‍රාදේශීය ලේකම් වෙත බාරදිය යුතු වේ. ඒ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම සඳහා උතුරේ දෙමළ පුවත්පත්වල දැන්වීම් පළ කර තිබුණි. නිවාස අවශ්‍ය බව සඳහන් අයදුම්පත් 97,000ක් ලැබී තිබෙන බව ස්වාමිනාදන් මහතා සඳහන් කළේය.
දෙමළ ජාතික සන්ධානයේ විරෝධය මත මෙම නිවාස ව්‍යාපෘතිය අහිමි වුවහොත් එහි පාඩුව සිදු වන්නේද නිවාස නොමැති දුක් විඳින අසරණ ජනතාවටය. වෙනත් ව්‍යාපෘතියක් රජයේ පටිපාටියට අනුගතව කි‍්‍රයාත්මක කිරීමට යාම තවත් දීර්ඝ කාලයක් ගත වන කි‍්‍රයාවලියකි. එසේ වුවහොත් තවදුරටත් එම ජනතාවට දීර්ඝ කාලයක් බලා සිටින්නට සිදු වනු ඇත. අදාළ නිවාස උතුරේ දේශගුණයට ගැළපේවිද යන්න පරීක්‍ෂා කර බැලීමට තිබුණේ ව්‍යාපෘතිය ලබා ගැනීමට පෙරය. එසේ නොකළ නිසා අද මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබේ. කෙසේ වෙතත් පවතින තත්ත්වය පිළිබඳව ස්වාමිනාදන් ඇමතිවරයා පළ කරන අදහසද බැහැර කළ නොහැකිය.
‘‘අවුරුදු 27 කට කලින් ඉඳන් අනාථ කඳවුරුවල, ඥාති ගෙවල්වල, යාළුවන්ගෙ ගෙවල්වල ඉන්න මිනිස්සුන්ට මොනවාහරි ලැබෙන්න ඕනෙ. මේ නිවාස මිනිස්සු බලාපොරොත්තු වෙන විදියෙ ඒවම නොවෙන්න පුළුවන්. ඒත් මේ වේලාව අපි ඒ නිවාස ගන්න ඕනෙ. අනාථ කඳවුරුවල ඔවුන්ගේ ජීවිත ගෙවෙන්නෙ ඉතාම අමාරුවෙන්. මේ නිවාසයක වගකීම් කාලය අවුරුදු 10ක් නම් ඒක ලොකු දෙයක්. මේ දිහා ධනාත්මකව බැලිය යුතු වෙනවා. දේශපාලන වාසි ගන්න ගියොත් අමාරුවේ වැටෙන්නේ ජනතාවම තමයි.’’